අපේ‍්‍රල් පළමුවෙනිදා ‘මෝඩයන්ගේ දිනය’ යැයි නම් කරන ලද්දේ බටහිර ජාතීන් විසිනි. විජාතික ආක‍්‍රමණයන්ට ගොදුරු වීමෙන් පසු පෙරදිග රටවල් හරහා ද මේ මතය ශීඝ‍්‍රයෙන් ප‍්‍රචලිත විය. දැන් පෙරදිග – අපරදිග වෙනසක් නැතිව සියල්ලෝ ම මෝඩයන්ගේ දිනය සමරති.

බටහිර ජාතීන් මේ දිනය අපේ‍්‍රල් මාසයට ම යොදා ගැනීමට හේතුවක් තිබෙන්නට ඇත. ඒ හේතු කෙසේ වෙතත් ශී‍්‍ර ලාංකික බහුතරයක් ද මේ මාසය මෝඩයන්ට ගැළපෙන මාසයක් බවට පත්කරගෙන ඇත්තේ දෛවෝපගත ලෙසකට ය.

අපේ‍්‍රල් මාසය ඇරඹෙන්නේ ම මුසාවන්ගෙනි. ඒ බටහිර මතයට ගරු කරන්නට ය. එය කොතරම් නම් දුරදිග ගොස් තිබේ ද යත්, ගල් පැළෙන බොරුබේගල්වලින් අන්‍යයන් රැවටීම කී‍්‍රඩාවක් යැයි සලකන මට්ටමට ම අප ජාතියක් වශයෙන් මානසිකව පිරිහී ගොසිනි. අපසරණ ගිය ශාස්තෘන් වහන්සේ සත්‍යවාදී බව ගරු කළ බවත්, සත්‍යවාදීව ම වැඩ සිටි බවත් බහුතරය වන බෞද්ධයනට අමතක ය.

මාසයේ මැද භාගය අප වෙන්කරන්නේ කාලිංග මාඝගේ මතයට ගරු කරන්නට ය. ඔහු අප මත බලෙන් පැටවූ හින්දු අවුරුද්ද, සිංහලයෝ ‘අපේ අවුරුද්ද’ යැයි සලකා දින ගණනාවක් පුරා සමරති; කිසිදු පැකිළීමක් නොමැතිව සුරාසූදුවෙහි නියැලෙති. අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ සුරාවෙන් වැළකීම ගිහියන්ගේ නිත්‍ය ශීලයට පනවා වදාළ බව බහුතරයකට අමතක ය; මිථ්‍යා දෘෂ්ටි වැළඳ ගැනීම අකුසල ධර්මයක් යැයි වදාළ බව ද අමතක ය.

මතකයේ තබා ගත යුතු, නිතර නිතර ආවර්ජනය කළ යුතු දෙය සහ මුලින් ම අමතක කොට දමා, කුණු මාළු හිස තබාගෙන හිස මුදුන පිරිසිදු යැයි සිතා ගත් ජාතියක් බවට අප පත්ව අවසන් ය. ඉස්සා අශූචි හිසේ තබා ගෙන සිටිය දී තමන් ශුද්ධ යැයි කියන්නා සේ ම සිංහලයන් ද දැන් දැන් අනුන්ගේ කුණු තමන්ගේ උරට ගෙන සිටිය දී ම, ‘‘අප ජාතියක් වශයෙන් අනන්‍යතාවයක් ගොඩනගා ඇත්තෙමු” යැයි පවසමින් සිටී.

අපට අනන්‍ය වූ සංස්කෘතියක් පැවති බව සැබෑවකි. ඒ සංස්කෘතිය, බුදුදහමෙන් අප ලද ශික්ෂණයේ මෙහෙයවීමෙන් ගොඩනගා ගත්තකි. දහමට අනුව දිවි ගෙවූ අව්‍යාජ මිනිසුන්ගේ මානූෂීයභාවයන් තුළින් ඒ සංස්කෘතිය පන්නරය ලැබී ය. ඒ හැරුණු කොට මෙවන් වූ මෝඩකම් අපේ ‘හෙළ බොදු සංස්කෘතිය’ තුළ වූයේ නැත.

ඒ උදාරතර සංස්කෘතියට මඟ පෙන්වූ සම්මා සම්බුදු දහම දැනුදු අප අතර ජීවමාන ය. පදනම නො ගිලිහී තිබෙන නිසාවෙන්, සංස්කෘතික මළගම ගැන දුක්වන්නට පළමු කළ යුත්තක් අප සතු ය. ඒ අන් කිසිවක් නො ව, අපේකම පණ නැගූ බොදු පදනම තුළ යළිත් වරක් අපේ වංශකථාව ලියා තැබීම ය.

එය සිදු නො වන තාක්, කාමයන් නම් වූ කුරුලූ වැද්දාගේ දැලෙන් මිදී යන්නට අසමත් වූ පිරිසක් ලෙසින් අපත් මේ කාම ලෝකයේ විජ්ජාවන් සතුටින් පිළිගෙන, මෝඩකම්වලින් පිරීගත්, මිථ්‍යාවෙන් වැසීගත් ජීවිතය දුගතිය කරා යොමු කරවන බව නිසැක ය.

අන්ධභූතෝ අයංලෝකෝ
තනුකෙ’ත්ථ විපස්සති
සකුන්තෝ ජාල මුත්තෝ’ව
අප්පෝසග්ගාය ගච්ඡති

මේ ලෝක සත්වයා මෝඩකම නමැති අන්ධභාවයෙන් අඳුරුවෙලයි ඉන්නේ. ඉතා ම ටික දෙනෙක් තමයි යථාර්ථය දකින්නේ. කුරුලූ වැද්දාගේ දැලෙන් නිදහස් වෙන්නෙ කුරුල්ලො ටික දෙනයි. අන්න ඒ වගේ, සුගතියෙ උපදින්නෙ ටික දෙනයි.

(ධම්මපදය – ලෝක වර්ගය)