highlights of the week
Home » කතුවැකිය » අලුතින් ම පටන් ගමු…!

අලුතින් ම පටන් ගමු…!

උදා වන සෑම මොහොතක් ම අපේ ජීවිත කරා එළඹෙන්නේ අලුතිනි. උදාවන සැණෙකින් ගෙවී යන ඒ සියලු අවස්ථාවන් අප සියලු දෙනාව එක ම නැවතුමක් කරා ගෙන යමින් තිබේ. ඒ නැවතුම වනාහී මරණය යි.

ඇසිල්ලක් පාසා ගෙවී යන ජීවිත කාලයක් ඇතිව සිටිය ද කිසිදු ආකාරයකින් සංතෘප්ත නො වූ අපේක්ෂාවන් රාශියක් නිරන්තරයෙන් අප හා බැඳී පවතී. මේ අපේක්ෂාවන් නිසාවෙන් ම දිනයක් අවසන නින්දට යන අපි පෙර දිනයේ කටයුතු ම ඉදිරියට පවත්වා ගන්නට සූදානමින් උදෑසන අවදි වන්නට සිත් උපදවන්නෙමු. පරණ දෙයට බැඳී ගත් ශේෂයන්ගේ පැවැත්මක් මිස අලුතින් පටන් ගැනීමක් අපට නැත. එනිසා, සෑමවිට ම අප තුළ සිටින්නේ එක ම කාලසටහනක සිහින සටහනක් සොයන්නට වෙර දරන්නවුන් ය.

දින 365කට ආසන්න කාලයක් අවසන එළඹෙන බුද්ධ වර්ෂයක ඇරඹුමේ දී හෝ නව ව්‍යවහාරික වර්ෂයක ඇරඹුමේ දී හෝ උපන්දින, විවාහ සංවත්සර ආදි විශේෂ කොට ගත් සැමරීම්වල දී බොහෝ දෙනෙකු අලුතින් ම සිතා අලුතින් ම කටයුතු අරඹන බවක් දක්නට තිබේ. එහෙත් දින කිහිපයක් ගෙවී යද්දී අප සිටින්නේ පෙර සිටි තැන ම ය. වෙනසක්, අලුත් වීමක් නැත.

අතිශයින් විරල වූ සම්බුද්ධ රාජ්‍යයක ශ්‍රාවකත්වය ලද අපට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පිරිසිදු ලෙස අසන්නට ලැබුණේ අද ඊයෙක නො වේ. වසර කිහිපයක් පුරා අපි ඒ ධර්මය ඇසුවෙමු. හුරුපුරුදු ජීවන රටාව තුළ ඒකාකාරී පරණ වීමට අප ක්‍රමික ව ගොදුරු වූ අයුරින් ම අද වන විට මේ ධර්ම මාර්ගය තුළ ද අති බහුතරයක් සිටින්නේ ඒකාකාරී, පරණ වීමට යටත්ව ය.

පොහොය සිල් සමාදන් වන, ගුවන්විදුලියේ හෝ රූපවාහිනියේ හෝ දහම් ශ්‍රවණය කරන, පුවත්පතක හෝ පොත් පත් තුළ හෝ ධර්මය කියවන, වන්දනාමාන කරන, දන් පැන් පුදන සුචරිතවත් ජීවන පුරුදු අපට මේ කාලය තුළ හුරු වූ බව සැබෑවකි. ප්‍රශ්නය ඇත්තේ ඒ දේවල් එතැනින් ඉදිරියට ගෙන යා හැකි මානයක් අප ගොඩනගාගෙන නොතිබීම තුළ ය.

තථාගත ශ්‍රී සද්ධර්මය යනු හුදු ඇදහීම් මාත්‍රයක් නො වේ. අනුකරණ මාත්‍රයක් ද නො වේ. එතුළ පවත්නේ අනුපිළිවෙළින් වැඩී යන ප්‍රතිපදාවකි. පටන් ගත් තැන ම හෝ යම් දුරක් ගමන් කොට හෝ නැවතී සිටීමක් එහි නැත. එසේ නැවතී සිටීම ශාස්තෘන් වහන්සේ ප්‍රශංසා කරන්නේ ද නැත. මේ ධර්ම මාර්ගය තුළ පවත්නේ සෑම විට ම පටන් ගත් වීර්යයෙන් යුතු ව අකුසල් ප්‍රහාණය කරලන, කුසල් උපදවාලන අලුත් බව යි, නැවුම් බව යි. ධර්මය අසන්නට ලැබී කලක් ගිය ද ධර්මය පුරුදු කරන්නට පටන්ගෙන කලක් ගිය ද අපට තිබිය යුත්තේ ඒ පටන් ගත් අලුත් ස්වභාවය යි. ඒකාකාරී බවක්, කාලසටහනක් තුළට ධර්මය පටු කර ගැනීම තුළ අපට අහිමි වන්නේ බුද්ධ ශාසනයේ සැබෑ ලාභය යි.

ඉදින් ඒ ලාභය රැකගනිමින්, ලොව අවසන් වර පහළ වූ ගෞතම නම් වූ මහා කාරුණික ප්‍රඥා ඇස නිවී ගොස් වසර 2561ක් ඉක්ම යන මේ මොහොතේ සැබෑ බුද්ධ ශ්‍රාවකයන් ව අපිදු අලුතින් ම පටන් ගමු.

“ආරභථ, නික්ඛමථ, යුඤ්ජථ බුද්ධසාසනේ
ධුනාථ මච්චුනෝ සේනං නළාගාරං’ව කුඤ්ජරෝ”

“බුදු සසුනේ වීර්යය ආරම්භ කරන්න. (කුසීත භාවයෙන්) නික්මෙන්න. (සියලු බන්ධනයන් සිඳලීම පිණිස වීර්ය පරාක්‍රමයෙන්) ක්‍රියා කරන්න. බට දඬු සිඳිනා හස්තිරාජයෙකු සේ සියලු මරසෙන් නසා වනසා දමන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!!!

"මේ සියල්ල තුළ පෙනී යන්නේ රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය හාත්පසින් අප වට කොට තිබෙන බව නො වේ ද? "