පින්වත් දුවේ පුතේ,

අද මම ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ ලස්සන කතාවක්. ඒ තමයි ඔයගොල්ලො වගේම අවුරුදු හතක පුංචි පුතෙක් ගැන. හැබැයි මේ චූටි පුතා ඔයාලා වගේ නෙවෙයි. මෙයාගෙ අත් දෙකයි කකුල් දෙකයි හරිම කැතයි. විරූපියි. ඉන්න හිටින්න හරිහමන් ගෙදරක් නෑ. වැස්සට තෙමෙනවා. අව්වට පිච්චෙනවා. කන්න දෙයක් නෑ. පාරේ විසි කරපු දෙයක් තමයි කෑමට ගන්නේ. පව් නේද දරුවනේ මේ පුංචි බබා? ඔයාලා දැකලා තියනවා නේද මේ වගේ අය පාරවල් අයිනේ ඉන්නවා?

ඉතින් ඒ වගේම කෙනෙක් ගැනයි අද ඔයාලට කියලා දෙන්නේ. මෙයා හිටියේ සැවැත්නුවර. දවසක් මෙයා සිටු මැදුරක් ළඟින් යනකොට එකපාරට ම මෙයාගේ කලින් ජීවිතය මතක් වුණා. ඒ තමයි මෙයා කලින් හිටපු සිටු මැදුර. මෙයාට මතක් වුණා ‘අනේ මං සිටුවරයෙක් වෙලානේ හිටියේ’ කියලා. අඬන්න පටන් ගත්තා. සිටු මැදුර ඇතුළට ගියා. මෙයාගේ කලින් ජීවිතේ බිරිඳ, දරුවෝ, මුණුපුරෝ ඔක්කොම ඉන්නවා. හැබැයි ඒ කාටවත් මෙයාව අඳුනගන්න බැරි වුණා. ඉතින් ඒ අය මෙයාට බැණලා, කස පහරවල් දීලා, එළියට ඇදලා දැම්මා. ලේ එනකම්ම පොලුවලිනුත් හොඳට ම තැලුවා.

ඔයාලා වගේ පුංචි අයට බුදුරජාණන් වහන්සේ හරිම ආදරෙයි කියලා ඔයාලා දන්නවනේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ අහිංසක දරුවාව. උන්වහන්සේ මේ දරුවාගේ කලින් ජීවිතයේ පුතා වෙලා හිටිය ආනන්ද සිටුවරයාට කිව්වා “මේ දරුවාට තලන්න හිරිහැර කරන්න එපා. මේ ඉන්නේ ඔයාගේ පියා කියලා.” ඒත් ඒ ආනන්ද සිටුවරයා භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ පිළිගත්තේ නෑ. බුදුරජාණන් වහන්සේට ඕනෑම කෙනෙකුගේ කලින් ජීවිත පේනවනේ. උන්වහන්සේ ඒ දරුවාගේ හිස අතගාලා කිව්වා “වත්ත කෙළවරේ ලොකු පෙට්ටියක වස්තුව නිදන් කළා නේද? ඒක පෙන්වන්න.” කියා වදාළා. ගොඩක් අය පිළිගත්තේ නෑ මේ මූලසිරි සිටුතුමා කියලා.

ඉතින් ඒ දරුවා පෙන්නපු තැන අනුව නිධානය ගොඩ ගත්තා. සමහර අම්මලා, තාත්තලා, අයියලා, අක්කලාට සිහි නැතුව වැටුණා, අනේ මේ වගේ සසරක ද අපි යන්නෙ කියලා. සමහරුන්ට දාඩියත් දැම්මා. පුතේ දුවේ, ගොඩක් අයට බය ඇති වුණා, ගෙවාගෙන ආපු සසර ගමන ගැන. ඔයාලත් බයයි නේද සංසාරේ යන්න?

භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා, මෙයා කලින් ජීවිතේ පින් කළේ නෑ. පව්වල විපාක පිළිගත්තේ නෑ. දෙමව්පියන්ට සැලකුවේ නෑ. නැති බැරි අයට උදව් කළේ නෑ. ස්වාමීන් වහන්සේලාට ගෞරව කළේ නෑ. ඒ නිසයි මෙයා හිඟන්නෙක් වෙලා ඉපදුණේ කියලා. ඉතින් ඔයාලා කැමති ද ඒ වගේ අසරණ ජීවිතයක් ලබන්න? නෑ නේද දරුවනේ?

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ දරුවා ළඟ තියාගෙන හැමෝටම ඇහෙන්න ලස්සන ගාථාවක් කිව්වා. ඔන්න ඔයාලත් දැන් දෑත් නළලේ තියාගෙන හඬ නගලා කියන්න ඕනේ..

“පුත්තා මත්ථි ධනම්මත්ථි
– ඉති බාලෝ විහඤ්ඤති
අත්තාහි අත්තනෝ නත්ථී
– කුතෝ පුත්තා කුතෝ ධනං”

ලස්සන හැඩරුව ඇති හොඳ
– දරුවන් මට ඉන්නවා
මහන්සියෙන් හම්බ කරපු
– ධනයත් මට තියෙනවා
කියමින් අනුවණ කෙනා
– ඒ මත්තෙම නැහෙනවා
තමාවවත් තමාට නැති
– බව ඒ අය දන්නෙ නැහැ
එනිසා තමහට පිහිටට
– දරුවන් කොහොම ද ලැබෙන්නේ ධනයත් කොහොමද ලැබෙන්නේ

මෙයා කලින් ජීවිතයේ ධනය ගැනයි, දරුවෝ ගැනයි විතරක් ම හිත හිතා හිටියා. ඒ විදිහට තමයි බාලයා හිතන්නේ. ඔයාලත් බාලයෝ නම් ඇසුරු කරන්න එපා. දැන් මෙයාට පිළිසරණක් නෑ. දරුවෝ ගැන, ධනය ගැන විතරක් හිත හිතා ඉන්නෙ නැතිව පින් දහම් කරගෙන තමන්ගේ ජීවිතයට ධර්මයෙන් පිළිසරණක් හදාගන්න ඕනෙ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

ඔන්න දරුවනේ, ඔයාලත් මේ කතාව යාළුවන්ට කියන්න ඕනේ. නැන්දලා මාමලාට කියන්න ඕනේ. ගුරුවරුන්ටත් කියන්න ඕනේ. ලස්සන චිත්‍රයකුත් අඳින්න අමතක කරන්න එපා. එහෙනම් පුංචි ඔයාලාට තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.