ආදරණීය දුවේ, පුතේ,

අද අපි කථා කරන්නේ කළගුණ සිහිකිරීම ගැනයි. කළගුණ සිහිකිරීම කියන්නේ කවුරුන් හෝ අපේ යහපත වෙනුවෙන් පුංචි හරි උදව්වක්, උපකාරයක් කළොත් ඒ ගුණය මතක තබාගෙන සිටීමයි. ඒවා අමතක කරන්න හොඳ නෑ. ඒ වගේම අපිත් අපට උපකාර කළ අයට අවශ්‍ය වෙලාවට උදව් උපකාර කළයුතුයි. කෙනෙක් අපිට උපකාර කරනකම් එයාට සලකලා එයා අසරණ වුනාම, නැති බැරි වුනාම අමතක කරලා දානවා නම් ඒක බොහොම නරක ගතියක්. එහෙම කරන්න හොඳ නෑ.

ඔයාලට ගොඩාක් ම ආදරය කළේ, සෙනෙහස දැක්වුවේ, රැකබලා ගත්තේ, උපකාර කළේ ඔයාලගේ දෙමව්පියෝ සහ ගුරුවරු. ඒ වගේම අපේ මුළු රටේම මුළු මහජනතාවගේ ම යහපත වෙනුවෙන්, සැපය වෙනුවෙන්, ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය සහ ධනය කැප කරන වෙනම පිරිසකුත් ඉන්නවා. ඒ හැම කෙනෙකුගෙන් ම අපිට ලැබුණු උපකාර සහ සේවාවන් අපි කවදාවත් අමතක නොකළ යුතුයි. විශේෂයෙන්ම කවදාවත් ඔයාලගේ දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ සිත් රිදවන්න එපා!

ආදරණීය දුවේ, පුතේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කළගුණ දන්නා බව කියන්නේ අපේ ජීවිතයට යහපත උදාකරන මංගල කාරණයක් කියලා. බුදුරජාණන් වහන්සේ පවා ඒ බව ආදර්ශයෙන් ම අපට පෙන්වා දීලා තියෙනවා.

‘සෙවණ දුන් ගහේ අතු බිඳින්නෙපා!’ කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ඔයාලා අහලා ඇති. එයින් අදහස් කරන්නේ තමන්ට උපකාර කළ අයට ද්‍රෝහිකම් කරන්න එපා කියලයි. තමන්ට උදව් කළ අයට ද්‍රෝහිකම් කරන කෙනාට අපි කියනවා මිත්‍රද්‍රෝහියා කියලා. එයා උසස් පුද්ගලයෙක් නෙවෙයි, පහත් පුද්ගලයෙක්. එයා හැම අතින් ම පිරිහී යනවා. අපට ප්‍රයෝජනවත් වෙච්ච පණ නැති උපකරණයකට වුනත්, ගහ කොළකට වුනත්, ගංගා ඇළදොල උල්පත් ආදියට වුනත්, සතෙකුට වුනත් අපි නිසි ගෞරවය දක්වන්න ඕනෙ.

ජලය අපිරිසිදු වන ආකාරයට කටයුතු නොකළ යුතුයි. අප ජීවත් වන පරිසරය රැකගන්න ඕන. අපි ප්‍රයෝජනයට ගන්න පොදු දේපළ විනාශ වන විදිහට කටයුතු කිරීමත් කළගුණ නොසැලකීමක්. අපි මෙලොවට බිහිවීමට පෙර සිට ම මේ රටේ හැම කෙනෙක් ම නොයෙකුත් අයුරින් අපට උදව් උපකාර කර තිබෙනවා. ඉතින් ඔයාලා හොඳ යහපත් ගුණගරුක පිරිසක් වූවොත් පමණයි ඊට කළගුණ සැලකුවා වෙන්නේ.

ආදරණීය දුවේ, පුතේ, දැන් මම ඔයාලට පුංචි කතාවක් කියලා දෙනවා. මේ කතාවෙන් කළගුණ සැලකීම කොච්චර වටිනවා ද කියලා හිතාගන්න පුළුවන් වේවි.

බොහොම ඉස්සර කාලෙක දළ්හධම්ම නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කරමින් හිටියා. ඔය කාලේ බෝධිසත්වයෝ ඇමති පවුලක ඉපදිලා වැඩිහිටි වියට පත්වුනාට පස්සේ මේ රජතුමා ළඟ සේවයේ යෙදුනා. ඔය රජ්ජුරුවෝ ළඟ එක්තරා ඔටුදෙනක් හිටියා. ඈ ඇතින්නක් වගේ බලසම්පන්නයි. දවසට යොදුන් සීයක් දුර යන්න පුළුවන්. යුද්ධ වලටත් උදවු උපකාර කළා. සතුරන් පැරැද්දුවා. රජ්ජුරුවන්ගේ දූත කටයුතු කරලා දුන්නා. ශක්තිසම්පන්න කාලේ රජතුමා ඔටුදෙනට හොඳට සැලකුවා. ටිකෙන් ටික වයස්ගත වෙලා දුර්වල වුණා ම රජ්ජුරුවො ඇයට දෙන සැලකිලි නැවැත්තුවා. අනාථ ව අසරණ ව කැලෑවට ගිහින් කැලේ කොළ කාලා ජීවත් වුණා.

ඔහොම ඉන්න අතරේ රජගෙදර මැටි වළං ඉවරවෙලා රජ්ජුරුවෝ කුඹල්කාරයා කැඳවලා අලුත් වළං වුවමනා බව දැන්වුවා. “අනේ දේවයන් වහන්ස, මට ගොම ටිකක් ඇදගන්ට කරත්තයක් නෑ. ඒවා ගෙන්නා ගන්ට ගොනෙක් නෑ.” කුඹල් කාරයා කිව්වා.

එතකොට රජ්ජුරුවෝ ඇමතිවරු දිහා බලලා අපේ හිටපු වයසට ගිය ඔටුදෙන කොහෙද ඉන්නේ? ඇයට වැඩක් නැති නිසා ගෙන්වා ගන්න පුළුවන්නේ” කිව්වා. “දේවයන් වහන්ස, ඇය මොකෝවත් කාලා බීලා විවේකයෙන් කල්ගෙවනවා.” ඇමතිවරු කිව්වා. රජ්ජුරුවෝ ඔටුදෙන සොයාගෙන විත් මේ වැඬේට යොදවා ගන්නා ලෙස ඇමතිවරුන්ට අණ කළා.

දැන් වයසක ඔටුදෙන කරත්තයක බන්දවාගෙන කුඹල්කරුවා ගොම මැටි අදින්ට පටන් ගත්තා. දවසක් නගරයෙන් පිටතට යමින් සිටපු ඔටුදෙන නගරයට ඇතුල්වන බෝධිසත්වයන්ව දැක්කා. “අනේ මුන්නාන්සේ තමයි මට පිහිටට ඉන්නේ” කියා බෝධිසත්වයන් ඉදිරියේ වැඳ වැටී හඬන්ට පටන් ගත්තා. ඇය මෙහෙම කිව්වා. “අනේ ස්වාමීනී, මං තරුණ කාලේ රජ්ජුරුවෝ මගෙන් හොඳට උදව් උපකාර ලබාගත්තා. ඒ කාලේ මටත් හොඳට සැලකුවා. අනේ මං දැන් නාකියි නොවැ. නාකි උනාට පස්සෙ මට නොසලකා අතහැරියා. මං වනේ කොළ කකා හිටියේ. දැන් ඒ මදිවට මාව කරත්තයක බැඳලා වැඩට ගන්ට කුඹල්කාරයෙකුට දුන්නා. මට දැන් පිහිටට ඉන්නේ ඔබතුමා විතරයි. මම රජ්ජුරුවන්ට කළ උදව් පදව් ඔබතුමා දන්නවානේ. අනේ මට කලින් වගේ සලකන්න කියලා පිළිවෙළක් හදල දුන මැනව.” කියලා කිව්වා.

බෝධිසත්වයෝ ඔටුදෙනගෙ කථාව අහල රජ්ජුරුවන්ට කරුණු කාරණා කියා දීලා ඇයට පිහිට වෙන බවට පොරොන්දු වුණා. රජමාලිගාවට ගිය බෝධිසත්වයෝ රජතුමාට කරුණු පහදලා දුන්නා. “මහරජතුමනි, තමුන්නාන්සේගේ ‘ව්‍යාධිහත්ථිනී’ කියන ඔටුදෙන මතකයි නේද? ඇය කොච්චර ඔබවහන්සේට උදව් උනා ද? උරයේ ආයුධ බැඳගෙන යුද්ධ භූමියට ගිහින් යුද්ධ කළා. මතක ද? යොදුන් සිය හමාර දූත මෙහෙවරට පිටත් කළා. දැන් ඈ කොහිද?” ඇහුවා. රජ්ජුරුවන්ට ඈ ගොම ඇදගන්ට කුඹල්කාරයාට දුන් බව මතක් වුනා. “ඇය මම ගොම ඇදගන්ට දුන්නනෙ.”

“අනේ රජතුමනි, ඒ කළ වැඩේ නම් හරි නෑ. වැඩක් ගන්ට පුළුවන් කාලේ සලකනවා. යමක් කරගන්ට බැරිවුනාට පස්සෙ එයාව අමතක කරන එක අනුවණ අයගේ නරක වැඩක්. එහෙම කරන කෙනාට කවදාවත් තමන් හිතන පතන දේවල් ඒ විදිහට කරගන්ට ලැබෙන්නෙ නෑ.” එහෙම කියල රැස්වී සිටින අනික් අයටත් කරුණු පහදලා දුන්නා. “උදව් උපකාර කළ කෙනාව අමතක කරන්න එපා. කෙළෙහිගුණ දන්න කෙනා දෙව්ලොව උපදිනවා.” බෝධිසත්වයෝ කිව්වා.

රජ්ජුරුවෝ බෝධිසත්වයන්ගේ අවවාද අහලා ඔටුදෙන නැවත මාලිගාවට කැඳවාගෙන කලින් වගේම ආදරයෙන් සත්කාර සම්මාන පැවැත්වුවා. ඉතින් දරුවනේ, ඔයාලත් කළගුණ සිහිකිරීමේ උතුම් ගුණාංගය පුරුදු වෙන්න හිතට ගන්න.

තෙරුවන් සරණයි!

මානෙල් නැන්දා