දුර්ලභ මනුෂ්‍ය රත්නයක් හදා වඩා පෝෂණය කළ පින්වතිය ඇයයි….

සම්බුද්ධත්වයෙන් වසරක් ගෙවී ගොස් එළඹුනු වෙසක් සඳ, ශාක්‍යයන් ඉමහත් සොම්නසට පත් කළා. තරු කැළ පිරිවැරි සඳමඩලක් වැනි වූ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළේ එදිනයි. බුදු සමිඳුන් දෙසූ මිහිරි සදහම් පහස ලැබූ ශාක්‍යයන් අපමණ ශාන්තියට පත් වුණා. නන්ද කුමරුන් හා රාහුල කුමරුවන් පැවිදි බවට පත් වුණා. සුදොවුන් පියරජු සේසත යට දී ම පිරිනිවනට වැඩම කළා. ගෞතමියගේ සිත අසීමිත වූ හුදෙකලාවකින් වෙලී ගියා. බුදු සමිඳුන් හමුවේ දෙවරක් ම ගෞතම සසුනේ පැවිදි බව අයැද සිටි මුත් එය ප්‍රතික්ෂේප වීම නිසා හට ගත් සන්තාපයෙන් ඇගේ සිත රිදුම් දුන්නා.

රෝහිණී නදියේ ජලය මුල් කරගෙන ශාක්‍ය කෝලිය වංශිකයන් යුධ වැදුනු වේලේ, එය සන්සිඳුවන්නට වැඩම කළ බුදු සමිඳුන් දෙසූ අත්තදණ්ඩ සූත්‍ර දේශනය අසා පැහැදුනු ශාක්‍ය වංශික කුමාරවරු පන්සියයක් දෙනා ගෞතම ශාසනයේ පැවිදි බවට පත්වී අරහත්වයට පත් වුණා. ගිහිගෙයි නො ඇලුනු, පැවිද්දට ලොල් වූ ඒ පන්සීයක් වූ ශාක්‍ය රජ බිසෝවරුත් ගෞතමිය වටා එක් රොක් වුණා. ගෞතම සසුනේ විමුක්තියේ නාමයෙන් ඔවුන් සිත දැඩි කර ගත්තා. ඒ අමා නිවන එක ම සිහිනය ලෙස සිතේ රුවා ගනිමින් ළාමක ගිහි ජීවිතයට සමුදෙන්නට තීරණය කළා.

කල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. මනස්කාන්ත රූ සපුවෙන් යුතු වූ ඒ ශාක්‍ය කුමරියන් තම අක්බඹරුවන් වූ දිගු කෙස් වැටිය කපා හිස මුඩු කර ගත්තා. ගත තැවරි සඳුන් සෝදා හැරියා. සියලු ආභරණ, සිනිඳු කසී සළු ඉවත් කළා. කසාවත් පොරවා ගත්තා. ඇහැළ මලේ පාටින් බැබළෙමින් ඒ කසාවතින් සැරසුනු ශාක්‍ය දුහිතෘන් භික්‍ෂුණීන් වෙස් ගෙන පා ගමනින් ම විසල් පුරයට වැඩම කළා. මේ අතිශයින් ම සියුමැලි වූ සුන්දර ශාක්‍ය කුමරියන් කසාවත් ගත දවටා වඩින’යුරු දුටු ශාක්‍යයන් හඬා වැළපෙන්නට වුණා. සියුමැලි පා යුග රිදේවිfදා් බියෙන් ඔවුන්ට සුවසේ වඩින්නට සුව පහසු රථ පිළියෙල කළා. ඒ උත්තමාවියන් ශාස්තෘන් වහන්සේට අගෞරව වේ යැයි බියෙන් ඒවා පිළිකෙව් කොට පා ගමනින් ම යි වැඩම කළේ. ඔවුන්ගේ සියුමැලි පායුග ඉදිමී ගියා. ඉරිතැලී ලේ මතු වුණා. ඉතාමත් වෙහෙසට පත් වූ වතින් යුතුව, දූවිලි කුණු පිරුනු ගතින් යුතුවයි ඔවුන් විසල් පුරයට පැමිණුනේ.

තෙවන වරටත් බුදු සමිඳුන් ළඟ භික්‍ෂුණී පැවිද්ද අයැදිද්දීත් එය ප්‍රතික්‍ෂේප කළ විට ඒ ගෞතමිය කූටාගාර ශාලාවේ fදාරකොටුව අබියසට විත් ඉතාමත් දුකට පත්ව වැලපෙන්නට වුණා. කුල කුමරියන් පන්සියයක් පිරිවරාගෙන වෙහෙසට පත්ව දූවිලි වැකුණු සිරුරින් යුතුව දුකට පත්වී හඬමින් සිටින ගෞතමිය ආනන්දයන් වහන්සේගේ නෙත ගැටුනා. ආනන්දයන් වහන්සේ සැණෙකින් ගෞතමිය වෙත පැමිණුනා. කරුණු විමසා සිටි ආනන්දයන් වහන්සේ බුදු සමිඳුන් වෙත ගොස් තෙවරක් ම කාන්තාවන් උදෙසා පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටි මුත් බුදු සමිඳුන් විසින් එය ප්‍රතික්‍ෂේප කොට වදාළා.

ආනන්ද ස්වාමීන් වහන්සේට මෙවැනි සිතක් ඇති වුණා. ‘භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන් සඳහා පැවිද්ද තෙවරක් ම ප්‍රතික්‍ෂේප කොට වදාළා. ඒ නිසා මම අන් මගකින් විමසන්නේ නම් එය සුදුසු යි’. උන්වහන්සේ යළිත් භාග්‍යවතුන් වහන්සේ සමීපයට වැඩම කළා.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් ගිහිගෙයින් නික්ම පැවිදිව දිවි දෙවෙනි කොට දහමේ හැසිරුණොත්, සෝතාපන්න වීම, සකෘදාගාමී වීම, අනාගාමී වීම, අරහත්වයට පත් වීම සිදුවිය නො හැකි දෙයක් ද?”
“පින්වත් ආනන්දය, එය සිදුවිය හැකි දෙයක්.”

“එසේ නම් ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ප්‍රජාපතී ගෞතමිය ඔබ වහන්සේට බොහෝ උපකාර කළා. භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන් වූ මායා දේවිය කලුරිය කළ විට ඈ ඔබ වහන්සේට කිරි පෙව්වා. භාග්‍යවතුන් වහන්සේව පෝෂණය කළා. අත් පා වැඩුවා. ඈ භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන්. ඒ නිසා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ගෞතමිය බුදු සසුනේ පැවිදි බව ලබනවා නම් කොයි තරම් හොඳයි ද?”

“එසේ නම් පින්වත් ආනන්ද, ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ නම් එය ම ඇගේ පැවිද්ද වන්නේ ය. උපසම්පදාව ද වන්නේ ය.”

ඉක්බිති ආනන්ද ස්වාමීන් වහන්සේ ගෞතමියට අෂ්ට ගරු ධර්ම පිළිබඳ පවසා සිටි විට, අලංකාරය කැමති තරුණ දරුවකු හොඳින් දිය නා පිරිසිදුව සිටින විට, සමන් මල් දමක් ලැබුණොත්, fදා්තින් ම ගෙන හිසේ පැලඳ ගන්නා සෙයින් ගෞතමිය ඒ අෂ්ට ගරු ධර්ම ඉමහත් ගෞරවයෙන් යුතුව හිස් මුදුනින් පිළිගත්තා. එය ම ඇයගේ පැවිද්ද හා උපසම්පදාව වුණා.

පැවිදි උපසම්පදාව ලත් ඒ පින්බර ප්‍රජාපතී ගෞතමී භික්‍ෂුණිය මහ ඉසිවර බුදු සමිඳුන්ගෙන් ඇසූ උතුම් සිරි සදහම් සිතේ රුවාගෙන සුළු කලකින් ම අරහත්වයට පත් වුණා. මෙසේ භික්‍ෂුණී සංඝයා මනා කොට පිහිටා පැතිරී ගිය විට නා නා ගම්, නියම් ගම්, රාජධානිවල කුල කුමරියන්, කුල ස්ත්‍රීන් ගෞතම සසුනේ සුපහන් සිත් ඇති කොට පැවිදිව අමා නිවනින් සදා සැනසීමට පත් වුණා. නිකෙලෙස් මුනිවරියන් බවට පත්ව ගෞතම සමිඳුන්ගේ නිමල ධර්මය දේශනා කරමින් ගම් නියම් ගම් සිසාරා වැඩම කළා.

එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ අමා නිවන් මග දේශනා කරනා විට කිවිසුමක් පිට කළ මොහොතක කරුණාබර සිතින් යුතු ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට ආශීර්වාද කරන්නී, මෙසේ පැවසුවා.
“මහා වීර වූ මුනිඳුනි, බොහෝ කල් ජීවත් වන සේක්වා! ලෝකයට හිත සුව පිණිස කල්පයක් වැඩ සිටින සේක්වා!”

එවිට භාග්‍යවතුන් වහන්සේ ගෞතමියට මෙසේ වදාළා.

“පින්වත් ගෞතමිය, තථාගතයන් වහන්සේට ඔය ආකාරයට වන්දනා නො කළ යුතුයි.”

“ස්වාමීනී, එසේ නම් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන ආකාරය මට කියා දෙන සේක්වා!”

එවිට භාග්‍යවතුන් වහන්සේ සැබෑම බුද්ධ වන්දනාව කරන අයුරු මෙසේ වදාළා.

“පටන් ගත් වීරියෙන් ම සිටින, දිවි දෙවෙනි කොට දහමේ හැසිරෙන, නිරතුරුව ම දැඩි වීරිය පරාක්‍රමයෙන් යුතු වූ සමඟි සම්පන්න සංඝයාව දකින්නේ නම් බුද්ධ වන්දනාව යනු එය යි.”

ශ්‍රාවකයන්ට අග්‍රස්ථාන පිරිනමන වේලේ ප්‍රජාපතී ගෞතමී තෙරණියට පැවිදි වී බොහෝ කල් ගතවූ භික්‍ෂුණීන් අතරින් අග තනතුර ලැබුණා.

අසුරු සැණක වේගයෙන් කාලය ගෙවී ගියා. අමා නිවන් සුවයේ වෙලී සැනසුනු ගෞතමී තෙරණියට වයස අවුරුදු 120ක් වුණා. දිනක් හුදෙකලාවේ, විවේකයේ සිටි ගෞතමියට මෙවන් සිතක් ඇති වුණා.

‘මම දැන් හොඳට ම මහලු වෙලා. ආයුෂය ගෙවී ගිය නිසා ම මේ සිරුරත් දැන් අබලන් වෙලා. මහාවීර වූ බුදු සමිඳුන්ගේ පිරිනිවීමත්, සැරියුත් මුගලන් රහතන් වහන්සේලාගේ පිරිනිවීමත්, නන්ද රාහුල, ආනන්ද තෙරුන් වහන්සේලාගේ පිරිනිවීමත් මට දක්නට නො ලැබෙයි. ඉදින් පිළිසකර කළ නො හැකි ලෙස අබලන් වූ මේ සිරුර අතහැර පිරිනිවෙන්නට කල් එළඹ තිබෙයි. ලෝකනාථ මුනිඳුන්ගෙන් අවසර ගෙන පිරිනිවෙන්නෙමි.’

ගෞතමියත් සමග සිටි පන්සියයක් වූ තෙරණිවරුන්ට ද මේ විතර්කය ම ඇති වුණා. එසැණින් අහස ගිගුම් දෙමින් අකල් වැසි ඇද වැටුනා. මිහිකත කඳුළු වගුරුවමින් වැළපෙන්නා සේ මහ හඬින් කම්පා වන්නට පටන් ගත්තා. භික්‍ෂුණී ආරාමය ඇසුරු කරගෙන සිටි දෙවිවරු වැලපෙන්නට පටන් ගත්තා.

එක්වන්ව ගිහි ගෙයින් නික්මුන, එක්වන්ව භවයෙන් ද නික්මුනු, නිකෙලෙස් වූ දැමුනු සිත් ඇති පන්සියයක් වූ රහත් මුනිවරියන් ද ගෞතමී තෙරණිය පෙරටු කර ගත්තා. ගෞතමී තෙරණිය පිරිනිවෙන බැව් අසා දුකට පත් වී මග දෙපස රොක් වී හඬා වැලපෙන සැදැහැති උවසු උවැසියන් සනසවමින් ඒ මහා මුනිවරිය සන්සුන් පියවර තබමින් බුදු සමිඳුන් වෙත වැඩම කොට මහ ඉසිවර වූ බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මෙසේ පැවසුවා.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේගේ මෑණියන් වෙමි. මහාවීර වූ මුනිඳුනි. ඔබ වහන්සේ මාගේ පියාණන් වෙයි. ඔබ වහන්සේ වෙතිනුයි මා උපන්නේ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ රූප කාය මම මනා කොට වැඩුවෙමි. මාගේ ධර්ම කාය වඩන ලද්දේ ඔබ වහන්සේ ම ය. සා පිපාසා සන්සිඳුවන්නට මොහොතක් ඔබ වහන්සේට මම කිරි පෙව්වෙමි. යමෙක් බොහෝ සෙයින් ම ශාන්ත වූ සදහම් අමා කිරි මට පෙවූයේ නම් ඒ ඔබ වහන්සේ ම ය. මහා මුනිවරයාණෙනි, සැබැවින්ම ඔබ වහන්සේ ඇති දැඩි කරමින් කිරි පොවා හැදූ වැඩූ ණයෙන් ඔබ මිදුනේ ම ය. පුතුන් කැමති යම් තාක් මව්වරු සිටී නම් ඒ සියල්ලන් ම ඔබ වහන්සේ වැනි උතුම් පුතුන් ම ලබත්වා! ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ‘රාජ මාතාව’, ‘රාජ මෙහෙසිය’ යන නාමය ලොව හැම කල්හිම අසන්නට ලැබෙන්නේ ම යි. නමුදු යම් ‘බුද්ධ මාතාව’, ‘බුදුරජුන්ගේ මෑණියන්’ යන නාමයක් ඇත්ද එය පරම දුර්ලභ වන්නේ ම ය. මහා වීරයන් වහන්ස, ඔබවහන්සේ මට එය (බුද්ධ මාතාව යන නම) ලබා දුන් සේක. කුඩා වූත්, මහත් වූත් සියල්ල ම ඔබ වහන්සේ මට ලබා දුන් සේක් ම යි.

දෙව් මිනිසුන්ගේ දුක නසන නායකයාණන් වහන්ස, මේ සිරුර අතහැර පිරිනිවීමට කැමැත්තෙමි. එය අනුදැන වදාරන සේක්වා! ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ සක් ලකුණින් සුසැදුනු රත් පියුම් පැහැ ගත් ඔය උතුම් සිරිපා යුගල දිගුකොට වදාළ මැනව. ඔය සිරිපා යුගල මත තැවරුනු දුහුවිලි මාගේ සිරසේ තැවරෙන පරිද්දෙන් වන්දනා කරන්නෙමි.

ලෝකනාථ වූ මාගේ පුතණුවනි, අවසන් වරට ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය සිත් සේ දැකබලා ශාන්තියට පැමිණෙන්නෙමි. තනි රනින් කළ පිළිමයක් බඳුවූ ස්වර්ණ වර්ණයෙන් දිදුලන භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී ශරීරය මා හට පෙන්වා වදාරන සේකවා!”

ගෞතමිය එසේ පැවසූ විට, මහා කාරුණික බුදු සමිඳාණන් සැඳෑ වලා අතරින් පෙනෙන ළහිරු මඬලක් වැනි වූ දෙතිස් මහා පුරිස් ලකුණින් සුසැදුනු ස්වර්ණ වර්ණයෙන් දිදුලන උත්තම ශ්‍රී දේහය බුද්ධ මාතාවට පෙන්වා වදාළා.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රිය යනු සියලු වරදයන්ට ආකරයක් යැයි කියනු ලබයි. ඉදින් මාගේ යම් වරදක් වේ නම්, කරුණාවට ආකරයක් බඳු වූ උතුමාණෙනි, මට සමාවන සේක්වා! මා විසින් ස්ත්‍රීන් කෙරේ පැවිදි බව පුන පුනා ඉල්ලා සිටියෙමි. එහි මාගේ වරදක් වේ නම් එයට ද මට සමාවන සේක්වා! භාග්‍යවතුන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව භික්‍ෂුණීන්ට අවවාද කළෙමි. එහි යම් වරදක් වේ නම් එයට ද මට සමාවන සේක්වා!”

“සියලු ගුණයෙන් ඔපවත් වූ තැනැත්තිය, සමාවට කරුණක් නැති විට ක්‍ෂමා කරන්නේ කවරකට ද?”

එවිට සඳ පිරිවැරි තරු කැළක් සේ සිටි පන්සියයක් වූ අනෙකුත් රහත් භික්‍ෂුණීන් වහන්සේලා ද බුදු සමිඳුන් වටා පැදකුණු කොට සිරිපා යුග වන්දනා කළා. සම්බුදු සිරුර දෙස බලා නෙත් යුග සෑහීමට පත් නො වන්නා සේ, බ්‍රහ්ම ස්වරයෙන් තෙපලන බුදු වදන් කෙතරම් ඇසුවත් සවන්පත් සෑහීමකට පත් නො වන්නා සේ ඒ තෙරණිවරු බුදු සමිඳුන් දෙස දෙනෙත් දල්වා බලා සිටියා. ඒ දුටු ගෞතමී තෙරණිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියා.
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසනා විට යමෙක් පුන්සඳ වන් භාග්‍යවතුන් වහන්සේගේ මුහුණ දකින්නේ වේ ද, යමෙක් තඹවන් නියෙන් යුතු දිගු ඇඟිලි හා විලුඹින් යුතු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයන් වන්දනා කරන්නේ වේ ද ඒ සියලු දෙනා සැබැවින් ම වාසනාවන්තයි.

මිහිරි වූ, සතුට ඇති කරවන, fදාස් නසන්නා වූ, හිතකර වූ භාග්‍යවතුන් වහන්සේගේ වදන් යමෙක් අසයි නම් ඔවුන් ද වාසනාවන්තයෝ ම යි.”

ඉක්බිති ගෞතමී තෙරණිය භික්‍ෂු සංඝයාට වන්දනා කොට ආනන්ද, නන්ද, රාහුල තෙරුන් වහන්සේලා වන්දනා කරමින් මෙසේ කියා සිටියා.

“සර්පයන් ගැවසෙන ගෙයක් බඳු වූ, රෝගයන්ට නිවසක් වූ, ජරා මරණයට ගොදුරු වන අනුන්ට අයිති වූ මේ ශරීරය ගැන මා බෙහෙවින් කලකිරී සිටිමි. පිරිනිවීමට කැමැත්තෙමි. මාගේ පුතණුවරුනි, එය අනු දැන වදාරන සේක්වා!”

නන්ද, රාහුල යන රහතන් වහන්සේලා ධර්ම සංවේගයෙන් වැඩ සිටිද්දී, “ගෞතමිය පිරිනිවෙන්නී ය. ටික දිනකින් ම බුදුරජාණන් වහන්සේ ද පිරිනිවෙන්නේ ය.” යැයි ආනන්ද ස්වාමීන් වහන්සේ වැලපෙන්නට වුණා. දුකට පත්ව වැලපෙන ආනන්ද ස්වාමීන් වහන්සේට ගෞතමිය මෙසේ කීවා.

“බහුශ්‍රැත වූ, මහා ගුණ ඇති, බුදුරජුන්ට සෙවණැල්ලක් සේ උවටැන් කරන මාගේ පුතණුවනි, ශෝක නො කරනු මැනවි. ඔබවහන්සේගේ පිහිටෙන් මම පරම ශාන්තියට පැමිණියෙමි.”

එවිට ගෞතමියට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් ගෞතමිය, කාන්තාවට සිත දියුණු කළ හැකි ද යන්න පිළිබඳව මිනිසුන් තුළ ඇති සැක සංකා දුරුකර දැමීමට ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වන්න.”

භාග්‍යවතුන් වහන්සේගේ අනුදැනුම ඇති ගෞතමී තෙරණිය බුදුරජාණන් වහන්සේට වන්දනා කොට අහසට පැන නැගී අප්‍රමාණ වූ ඉර්ධි ප්‍රාතිහාර්යය දැක්වූවා. සෙසු භික්‍ෂුණීන් වහන්සේලා ද අහසට පැනනැගී පෙළහර දක්වා පිරිනිවීමට අවසර ඉල්ලා සිටි කල්හි බුදු සමිඳාණන් එය අනුදැන වදාළා. ඉන් පසු ගෞතමී තෙරණිය ප්‍රධාන කොට සිටි ඒ භික්‍ෂුණීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට ආපසු ආරාමයට වැඩම කරන්නට වුණා.

මහා කාරුණික වූ බුදු සමිඳුන් තමන් වහන්සේට කිරි පොවා පෝෂණය කළ, අත්පා වැඩූ ඒ මහා ගුණ ඇති බුද්ධ මාතාවට කරන ගෞරවයක් ලෙසින් මහා පිරිවර සමගින දොර කොටුව දක්වා ම ගෞතමිය අනුව වැඩම කොට වදාළා. අපමණ ගුණ දැරූ ඒ ප්‍රජාපතී ගෞතමී තෙරණිය අවසන් වරට සිත් සේ බුදු සමිඳුන්ව දැක රන්වන් සිරිපා යුග ස්පර්ශ කරමින් වන්දනා කළා.

මෙහෙණවරට පැමිණි ඕ තොමෝ හඬා වැලපෙන උවසු උවැසියන් සනසවා අඩ පළඟ බැඳ උතුම් අසුනේ වාඩිවී පිළිවෙළින් පළමු, දෙවන, තෙවන, සිව්වන ධ්‍යානයන්ට සමවැදුනා. අනතුරුව ආකාසඤ්ඤායතනයට, විඤ්ඤාණඤ්චායතනයට, ආකිඤ්චඤ්ඤායතනයට, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදී ප්‍රතිලෝම වශයෙන් ධ්‍යානයන්ට පැමිණුනා. නැවත පිළිවෙළින් සිව්වෙනි ධ්‍යානයට සමවැදී ඉන් නැගී සිටිනවාත් සමග ම, මිහිකත වැලපෙන්නා සේ මහ හඬින් කම්පාවෙද්දී, අහස පුරා හෙණ හඬ පැතිර යද්දී, අකලට වැටුනු වැසි දියෙන් පොළොව තෙමී යද්දී, මල් වැසි ධාරා ඇද හැලෙද්දී, දෙවි මිනිසුන් හිස අත් බදා වැලපෙද්දී මේ මහා භද්‍ර කල්පයේ සිව්වන බුදුරදුන් හැදූ වැඩූ, කිරි පොවා පෝෂණය කළ, උතුම් කලණ මිතුරිය වූ අපමණ ගුණ ඇති මහා මුනිවරිය, බුද්ධ මාතාව, ප්‍රජාපතී ගෝතමී තෙරණිය නිවීයන පහන් සිළක් සේ පිරිනිවනට වැඩම කළා.

ගෞතමිය පිරිනිවුන පසු බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මෙසේ වදාළා.

“පින්වත් ආනන්ද, බුද්ධ මාතාවගේ පිරිනිවීම සියලු ම භික්‍ෂූන්ට දැනුම් දෙන්න.”

එවිට ආනන්දයෙන් තොර වූ ආනන්දයන් වහන්සේ කඳුළු වගුරුවමින්, ගොත ගැහෙන ස්වරයෙන් මෙසේ පැවසුවා.

“නැගෙනහිර, බටහිර, උතුරු, දකුණු ප්‍රදේශවල වෙසෙන සියලු ම බුද්ධ පුත්‍ර වූ භික්‍ෂූන් මාගේ වචනය අසත්වා. අප සුගත තථාගතයාණන් වහන්සේගේ මෑණියන් වූ බුද්ධ මාතාව පිරිනිවියා ය. සියලු භික්‍ෂූන් රැස්වෙත්වා!”

මේ ඇසූ ඉතා දුර විසූ භික්‍ෂූන් පවා වහා එහි පැමිණියා. සමහර දෙනෙක් බුදුරජුන්ගේ අනුහසින් ද සමහරෙක් ඉර්ධි බලයෙන් ද පැමිණියා.

ගෞතමිය යම් ඇඳක පෙර දින සැතපුනී ද රනින් කළ කුලුගෙයක තැබූ ඒ ඇඳෙහි ඇගේ සිරුර තැන්පත් කළා. ලෝකපාලක දෙවිවරු එය ඔසවා ගත්තා. සෙසු දෙවිවරු අනෙකුත් කුලුගෙවල් ඔසවා ගත්තා. සියලු දිසාවල පැතිරුණු වියනින්, පතාකයන්ගෙන් අහස් කුස පිරී යද්දී මල් වැසි ධාරා ඇදහැලෙන්නට වුණා. දිව්‍ය සඳුන් සුවඳ පැතිරී ගියා. මිහිකත ළමැදෙන් බුද්ධ මාතාව වෙනුවෙන් පිපුනු මල්, මල් පලසක් සේ දිස් වුණා. සඳත්, හිරුත්, තරුත් එකවර අහසේ බැබළුනා. හිරු අහස මැද ඇති මුත් සඳ මෙන් සිසිලස පැතිරී ගියා. දෙවිවරු දිව්‍ය මලින්, සුවඳින්, නැටුමෙන්, ගැයුමෙන් පුද සත්කාර කළා. දෙවියන්, බඹුන්, මිනිසුන්, නාග, අසුර ආදීන් තම ශක්ති පමණින් බුද්ධ මාතාවට අපමණ පූජා පැවැත්වූවා.

ගෞතමී තෙරණියගේ පිරිනිවීම අතිශයින් ම අසිරිමත් වුණා. සුවඳ සුණු ඉස, සුවඳ මල් ඉස දැවූ චිතකයේ ඉතිරි වූ ධාතූන් වහන්සේලා ඇගේ පාත්‍රයට ගත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒවා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූවා. ධාතූන් වහන්සේලා දෑතින් පිළිගත් තිලොවට මහා සෘෂි වූ බුදු සමිඳුන් මෙසේ වදාළා.

“අරටුව පවතින මහා වෘක්‍ෂයක ඉතා මහත් වූ කඳ යම් අයුරකින් අනිත්‍ය ධර්මතාවය නිසා වැනසී යයි ද එසේ ම භික්‍ෂුණී සංඝයා අතර එවැනි වූ ගොතමිය පිරිනිවියා ය. එනමුදු අසිරියකි, ධාතූන් ඉතිරි කර බුද්ධ මාතාව පිරිනිවි කල්හි පවා තථාගතයන් වහන්සේ තුළ ශෝක වැළපීම් කිසිවක් නැත්තේ ම ය.

පින්වත් මහණෙනි, බුද්ධ මාතාව නම් වූ ඒ ප්‍රජාපතී ගෝතමිය පණ්ඩිත ය. මහා ප්‍රඥාවකින් සමන්විත ය. අද භික්‍ෂුණීන් අතර පැවිද්දෙන් බොහෝ කල් ගත වූ තැනැත්තිය ය. ඕ තොමෝ ඉර්ධි බලයෙන් යුක්ත ය. දිව කන පිරිසිදු කරගත්තා ය. පරසිත් දන්නා නුවණින් ද යුතු වූවාය. ඉඳුරන් වසඟ කර ගත්තී ය. පුබ්බේ නිවාස ඥානය ද පිරිසිදු කර ගත්තා ය. දිවැස ද පිරිසිදු කර ගත්තා ය. සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වූවා ය. සිව් පිළිසිඹියාවෙන් සමන්විත වූවා ය. පුනර්භවයෙන් නිදහස් වූවා ය. ඒ නිසා පින්වත් මහණෙනි, සියලු සංස්කාරයන් වැනසී යන්නේ ය. තමා පිහිට කොට සතර සතිපට්ඨානයේ සිත පිහිටුවාගෙන වාසය කරන්න. සප්ත බොජ්ඣංගයන් වඩා සියලු දුක් කෙළවර කර දමන්න.”

මෙසේ සසරේ පුරන ලද පාරමී අනුහසින් බෝසත් පුතෙකු හදා වඩා කිරි පොවා ඇති දැඩි කළ ඒ බුද්ධ මාතාව තමන් හැදූ බෝසතුන් සම්බුදු බවට පැමිණීමෙන් පසු ඒ සදහම් අමා දිය දහරින් සදා සැනසීමට පත් වූවා. ඒ බුද්ධ මාතාවගේ විමුක්තිකාමී තිරසර අදිටන සුවහසක් කාන්තාවන්ට ගෞතම සසුනේ පිහිට ලබන්නට, සැබෑම විමුක්තිය කරා යාමට උපකාර කළා. කසාවත් දරා සසුනට විත් බඹසර පුරන්නට මග පෑදූ ඒ උත්තම බුද්ධ මාතාවට, ප්‍රජාපතී රහත් තෙරණින් වහන්සේට අපගේ බැතිබර නමස්කාරය වේවා!

(මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)