සම්බුද්ධත්වයට පත් වූ මුල් අවධියේ අජපල් නුගරුක සෙවණේ වැඩ සිටිද්දී භාග්‍යවතුන් වහන්සේගේ සිතේ මෙවැනි කල්පනාවක් පහළ විය.

“ගුරුවරයෙක් නැතිව, ගුරුවරයෙකුගේ ඇසුරක් නැතිව හිටියොත් දුකින් තමයි ඉන්න වෙන්නේ. ඉතින් මම කොයි වගේ ශ්‍රමණයෙක් ද බ්‍රාහ්මණයෙක් ද ගුරුවරයෙක් හැටියට සත්කාර සම්මාන කරගෙන, ඇසුරු කරගෙන වාසය කරන්නේ?” කියා. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිත්විය. “මං වෙන ශ්‍රමණයෙක් ව හරි බ්‍රාහ්මණයෙක් ව හරි ගුරුවරයෙක් හැටියට සලකාගෙන ඇසුරු කළ යුත්තේ මට සම්පූර්ණ කර ගන්න බැරිවෙච්ච සීල ස්කන්ධයක් ඇත්නම්, සමාධි ස්කන්ධයක් ඇත්නම්, ප්‍රඥා ස්කන්ධයක් ඇත්නම්, විමුක්ති ස්කන්ධයක් ඇත්නම්, විමුක්ති ඤාණදර්ශන ස්කන්ධයක් ඇත්නම් එය සම්පුර්ණ කර ගැනීම පිණිසයි. නමුත් මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ මේ මිනිස් ප්‍රජාව තුළ මං ගුරුවරයෙක් වශයෙන් සලකා ඇසුරු කළ යුතු මට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඤාණදර්ශනයෙන් යුක්ත වූ වෙන ශ්‍රමණයෙක් ව හෝ බ්‍රාහ්මණයෙක් ව හෝ මං දකින්නේ නෑ” කියා. එම නිසා භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් තීරණය කළ සේක. “ඉතා හොඳින් අවබෝධ කර ගත්තු මේ ධර්මය තියෙනවා. ඒ ධර්මය ම ගුරුවරයෙක් වශයෙන් සලකලා ඇසුරු කරගෙන ඉන්න එක තමයි සුදුසු” කියා. (යන්නූනාහං ය්වායං ධම්මෝ මයා අභිසම්බුද්ධෝ තමේව ධම්මං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යන්ති)

(ගාරව සූත්‍රය- සං. නි. 1)

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ එවන් උත්තම ආකල්පයකින් යුතුව වැඩ සිටිමින් තථාගත ශාසනයේ පැවිදි උපසම්පදා වන ශ්‍රාවකයන් උදෙසා තමන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිද්දී ම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා පත්කර ගන්නට අනුදැන වදාළසේක.

කුඩා, මහත් වරදවල් පෙන්වා දී අවවාද අනුශාසනා කිරීම පිණිසත්, ධර්ම-විනය පුරුදු පුහුණු කිරීම පිණිසත් කල්‍යාණමිත්‍ර වූ ගුරුහිමියන් වහන්සේනමක් අනුදැන වදාළේ මෙසේ ය. “මහණෙනි, ආචාර්යයන් වහනසේනමක් අනුදනිමි. ආචාර්යයන් වහන්සේ අන්තේවාසිකයා හෙවත් ශිෂ්‍යයා කෙරෙහි ‘මේ මාගේ පුතු ය’ යන සිත උපදවන්නේ ය. ශිෂ්‍යයා තම ආචාර්යයන් වහන්සේ කෙරෙහි ‘මේ මාගේ පියා’ යන සිත උපදවන්නේ ය. මෙසේ ශිෂ්‍යයා ගුරුවරයෙකු සහිත ව, පිහිට සහිත ව, ගැළපෙන ඇවතුම් පැවතුම් ඇතිව වාසය කරන්නේ නම්, මේ ශාසනයෙහි දියුණුවට, මුල්බැස ගැනීමට, වැඩීමකට පැමිණෙන්නාහ. (අනුජානාමි භික්ඛවේ ආචරියං. ආචරියෝ භික්ඛවේ, අන්තේවාසිකම්හි පුත්තචිත්තං උපට්ඨාපෙස්සති. අන්තේවාසිකෝ ආචරියම්හි පිතුචිත්තං උපට්ඨාපෙස්සති. ඒවං තේ අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාගවුත්තිනෝ විහරන්තා ඉමස්මිං ධම්මවිනයේ වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජිස්සන්ති)

එසේ තමන් ව නිවන් මගේ හික්මවන උතුම් වූ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ව පත්කරගත යුත්තේ ද ඉතා ම ගෞරවණීය ආකාරයෙන් බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ මෙලෙසිනි. “මහණෙනි, ආචාර්යයන් වහන්සේ පත්කර ගත යුත්තේ මෙසේ ය. තනිපට සිවුර ඒකාංසකොට පොරවාගෙන, පාද වන්දනා කොට උක්කුටිකයෙන් වාඩිවී නළල මත දෙඅත් තබා වැඳගෙන තෙවරක් මෙසේ කිව යුත්තේ ය. ස්වාමීනි, මට ආචාර්යයන් වහන්සේ වනු මැනව කියා ය.”

එසේ පත්කර ගන්නා තම ගුරුදේවෝත්තමයන් වහන්සේට, පැවිදි ශිෂ්‍යයා විසින් කෙසේ වූ ආකල්ප දැරිය යුතුදැයි භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

■ ගුරුදේවයන් වහන්සේ කෙරෙහි අධිමාත්‍ර ප්‍රේමයක් තිබිය යුතු ය.
■ ගුරුදේවයන් වහන්සේ කෙරෙහි අධිමාත්‍ර පැහැදීමක් තිබිය යුතු ය.
■ ගුරුදේවයන් වහන්සේ කෙරෙහි අධිමාත්‍ර ලැජ්ජාවක් තිබිය යුතු ය.
■ ගුරුදේවයන් වහන්සේ කෙරෙහි අධිමාත්‍ර ගෞරවයක් තිබිය යුතු ය.
■ ගුරුදේවයන් වහන්සේ කෙරෙහි අධිමාත්‍ර මෛත්‍රී භාවනාවක් තිබිය යුතු ය.
(ආචරිය වත – වත්තක්ඛන්ධකය)

මෙලෙසින් ගුරු ගෞරවය මනා කොට පැවැත්වීම නිවන් මඟ දියුණු කර ගැනීම උදෙසා කොතරම් වැදගත් වන්නේ ද කියා ‘ආදිබ්‍රහ්මචරිය පඤ්ඤා’ නම් සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ මේ අයුරිනි. “මහණෙනි, භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ ඇසුරුකොට වාසය කරයි. යමෙකු කෙරෙහි ඔහු තුළ තියුණු ලැජ්ජා භයක් පිහිටයි ද, ප්‍රේමයත් ගෞරවයත් පිහිටයි ද එබඳු ගුරු තැන්හිලා සැලකිය හැකි එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේනමක් හෝ ඇසුරුකොට වාසය කරයි. මහණෙනි, නිවන් මගට මුල්වන ප්‍රඥාව නො ලැබී ඇත්නම් එය ලැබීම පිණිසත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිසත්, විපුල බවට පත්වීම පිණිසත් භාවනාවෙන් පිරිපුන් වීම පිණිසත් හේතුවන ප්‍රත්‍යවන පළමු කරුණ මෙයයි.” එමෙන් ම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා විසින් කුඩා මහත් වරද පෙන්වා දෙමින් අවවාද කිරීම, අනුශාසනා කිරීම ශාස්තෘන් වහන්සේ දක්වා ඇත්තේ නිධානයක් පෙන්වා දෙන මෙන් දකින ලෙසයි.

“නිධානයක් තියෙන තැන පෙන්වා දෙන මිත්‍රයෙක් වගේ, නුවණැත්තාත් අඩුපාඩු දැක්කා ම, කරුණාවෙන් අවවාද කරලා, වරදින් මිදෙන්න උදව් කරනවා. එබඳු නුවණැති සත්පුරුෂයන් ව යි ඇසුරු කළ යුත්තේ. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් ම යි සිදුවෙන්නේ. අයහපතක් නම් නො වෙයි.”

“කල්‍යාණ මිත්‍රයා වරදින් මිදෙන්න අවවාද කරනවා. යහපතේ හැසිරෙන්න අනුශාසනා කරනවා. පව්වලින් වළක්වනවා. එබඳු කල්‍යාණ මිත්‍රයන් ව නුවණැති සත්පුරුෂයන්ට හරි ප්‍රියයි. නමුත් අසත්පුරුෂයන්ට ඔවුන් ව අප්‍රියයි”

(ධම්ම පදය- පණ්ඩිත වග්ගය)

එවන් වූ මහත් උපකාර ඇති කල්‍යාණ මිත්‍ර උතුම් ආචාර්යයන් වහන්සේනමක් කෙසේ ඇසුරු කළ යුතුදැයි ‘භික්ඛුමිත්ත’ නම් සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙසේ පෙන්වා දෙන සේක.

“මහණෙනි, කරුණු සතකින් සමන්විත වූ කල්‍යාණමිත්‍ර වූ භික්ෂුව තමා ව බැහැරට එළවන්නේ නමුත් ඇසුරුකළ යුත්තේය, භජනය කළ යුත්තේ ය, ගෞරවයෙන් ඇසුරු කළ යුත්තේ ය. ඒ කවර කරුණු සතකින් ද යත්,

ප්‍රිය වූයේ වෙයි, මනාප වූයේ ද වෙයි, ගරුකටයුතු ද වෙයි, සම්භාවනීය වෙයි, පිළිගත හැකි වචන කියන්නේ ද වෙයි, අනුන්ගේ වචන ඉවසන්නේ ද වෙයි, ගැඹුරු ධර්ම කථාව කරන්නේ ද වෙයි, කෙනෙකු ව නොමඟට නො යොදවන්නේ ද වෙයි.”

1. ප්‍රිය වූයේත්, මනාප වූයේත්, ගරුකටයුතු වූයේත්, සම්භාවනීය වූයේත්, වචනයෙහි දක්ෂ වූයේත්, වචන ඉවසන්නේත් ගැඹුරු (දහම්) කථා පවසන්නේත්, නොමඟට නො යොදවන්නේත් වෙයි ද

2. යම් පුද්ගලයෙකු කෙරෙහි මේ ලක්ෂණයන් දකින්නට ලැබෙයි නම් හේ කලණ මිතුරෙකි. යහපත කැමැත්තාට අනුකම්පා කරන එබඳු මිත්‍රයා නෙරපනු ලැබුව ද මිත්‍රයෙකු කැමති තැනැත්තා විසින් ඇසුරු කළ යුත්තේ ය.

(භික්ඛුමිත්ත සූත්‍රය- අං.නි. 4)

අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අසීමිත ගුරු ගෞරවය

අග්‍ර ශ්‍රාවක ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ සදහම් පණිවිඩය මුලින් ම ඇසුණේ අස්සජී මහරහතන් වහන්සේගෙනි. එබැවින් සාරිපුත්ත තෙරණුවන් තුළ අස්සජී මහරහතන් වහන්සේ කෙරෙහි පැවතියේ අතිමහත් ගෞරවයකි. සැරියුත් තෙරණුවෝ අස්සජී මහරහතන් වහන්සේ සමඟ එකම ආරාමයක වැඩවසන විට මුලින් ම බුද්ධෝපස්ථානයේ යෙදී පසුව ආචාර්යෝත්තමයාණන් වහන්සේ කරා ගොස් උපස්ථානයේ යෙදී වන්දනාමාන කොට ගෞරව සත්කාර දක්වන සේක. රාත්‍රියේ සැතපීමට පෙරත්, පළමුකොට බුදුරජාණන් වහන්සේ වැඩසිටින සුගන්ධ කුටිය දෙසට හැරී fදාහොත් මුදුන් තබා වන්දනා කොට දෙවනුව අස්සජී මහරහතන් වහන්සේගේ කුටිය දෙසට හැරී දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කොට සැතපෙන සේක. අස්සජී මහරහතන් වහන්සේ වෙනත් විහාරයක වැඩ සිටියත්, ඒ දිශාව දෙසට හැරී පසඟ පිහිටුවා වැඳ නමස්කාර කොට, ඒ දිශාවට හිස තබා සැතපෙන සේක. ප්‍රඥාවෙන් අග්‍ර වූ, ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෙම අසීමිත ගුරු ගෞරවය මහත් සේ පසසමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

නැණවත් වූ කෙනෙක් ලොවේ – ඉගෙන ගනී නම් සදහම්
‘සක්දෙවිඳු ව’ පුදන ලෙසින් – හේ “සදහම් ගුරුත්” පුදයි
බොහෝ දහම් දැනුමෙන් යුතු – පිදුම් ලබන ගුරුවරයා
පහන් සිතින් යුතුව ඔහුට – මතුකර දෙයි සද්ධර්මය

නොපමාවී කෙනෙක් එබඳු – දහම් ගුරුන් ඇසුරු කළොත්
හොඳින් සවන් යුග යොමු කොට – සිරි සදහම් දැන ගනිමින්
නුවණැති හේ පිළිපදිනා – විට අසනා දහම් අනුව
වහ වැටහෙන සියුම් නැණැති – කෙනෙක් බවට හේ පත් වේ

සැබවින් මේ කරුණ නිසා- බොහෝ දහම් දැනගෙන ඇති
මනා නුවණ ඇති යහපත් – උත්තම සදහම් ගුරුන් ව
නිතර ඇසුරු කළ යුතු ම ය.
එවිට ඔහුගේ සදහම් දැන – ඒ සදහම් පිළිපැදගෙන
අවබෝධයකින් යුතු වී – ලොව්තුරු සැප ලබන්නේ ය.

(ධම්මනාවා සූත්‍රය- සුත්ත නිපාතය)

ගෞතම බුදු සසුනේ ශික්‍ෂාකාමී භික්‍ෂූන් අතර අග්‍ර වූ ජිනපුත්‍ර රාහුල හිමියන් තුළ ද අසීමිත ගුරු ගෞරවයක් තිබිණි. සෑම උදෑසනක ම මිදුල ඇමද, අතට වැලි fදා්තක් ගෙන “අද මේ වැලි කැට ගණනට ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගෙන් මට අවවාද අනුශාසනා ලැබෙත්වා!” කියා ප්‍රාර්ථනා කළ සේක. ඒ සොඳුරු ආකල්ප සම්පත්තිය නිසා ම වයස අවුරුදු දහඅට වෙද්දී අභිඤ්ඤාලාභී මහරහතන් වහන්සේනමක් බවට පත් වූ සේක.

එම නිසා අපත් ඒ උතුම් මහරහතන් වහන්සේලා ආදර්ශයට ගනිමින්, සම්බුද්ධ අවවාදයන් සිහිකරමින්, අප හට නිවන් මඟ පෙන්වා දී ශාසනික දියුණුවට උපකාර කරන ගුරු උතුමන් වහන්සේලාට මහත් සේ ගෞරව කළ යුතු ය. කීකරු වී යටහත් ඇවතුම් පැවතුම් පැවැත්විය යුතු ය. අවවාද අනුශාසනා ගෞරවයෙන් පිළිගත යුතු ය. මෙලොව යහපතත්, පරලොව සුගතියත්, උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයත් ලබාගත හැක්කේ එවන් සත්පුරුෂ ගුණ ඇතිකර ගැනීමෙන් පමණක් බව තරයේ සිතට ගත යුතු ය.

“පින්වත් මහණෙනි, යම් කෙනෙකුන් නිසා තිසරණයේ පිහිටියා ද, සිල්පද තුළ සංවර වූවා ද, චතුරාර්ය සත්‍ය ධර්මය ඉගෙන ගත්තා ද, උතුම් ධර්මාවබෝධය ලැබුවා ද, ඒ සඳහා උපකාර කළ කල්‍යාණ මිත්‍ර උතුමන් වහන්සේට සිව්පසයෙන් පුදා, වන්දනාමාන කොට ගෞරව දක්වා, කෙළෙහිගුණ සලකා අවසන් කළ නො හැකි ය.”

(දක්ඛිණා විභංග සූත්‍රය- ම. නි. 3)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි