කවදාවත් නැතුව අද නම් බබීනා අවදි වූයේ ප්‍රමාද වීමෙනි. වෙලාව බැලූ ඕ කලබලයෙන් ඇඳෙන් බැස්සේ තරහෙනි.

“එකෙක්වත් මට කථා කළේ නැහැනේ…” බබීනා උස්හඬින් කීවේ ලේලියට ඇසෙන්නට ය. කටේ කුණු කෙළවලටත් කලින් ඇය සිතේ තරහ පිට කළේ එලෙසිනි.

ඉක්මනින් මුහුණ සෝදාගත් බබීනා සිල්රෙදි අඳින්නට වූයේ ද කලබලයෙනි. තරහෙනි. උතුරු සළුව පොරවා කටුව ගසත්දී ළැම ස්පර්ශ වූ ඇගේ දෑතට හෘද ස්පන්දනයේ වේගය හොඳින්ම දැණුනි.

“නිවාඩු දවසක් කියල ඔහොම නිදාගත්තොත් හොඳයි. ඒකට අපේ කාලේ…” ඕ තවත් ඇනුම්පදයක් අතහැරියා ය. කාගෙන්වත් ප්‍රතිචාරයක් නැත. මල්ල ගෙන එයට පිඟානත් කෝප්පයත් දමා ගත් බබීනා තවත් ප්‍රමාද නොවී ගෙදරින් එළියට බැස්සේ සන්සිඳී ගිය සිතින් නම් නොවේ. ඒ නොසන්සුන්කම නිසා ම ඈ ගමන් කරන්නට වූයේ වේගයෙනි.

“බබී හිටහං මාත් එනවා…” අපෝන්සු බබීනාට පිටුපසින් පැමිණෙමින් කෑ ගසා කීවේ ය. හැරී බැලූ බබීනා දුටුවේ ගාට ගාට එන අපෝන්සුව යි.

“උඹ එක්ක ගාට ගාට යන්න මට වෙලාවක් නැහැ. මට පන්සලේ වැඩ තියෙනවා ගිහින් කරන්න” යි කියමින් පෙරටත් වඩා වේගයෙන් ඕ ගමන් කරන්නට වූවා ය. අපෝන්සු පාර මැද නැවතී බලා සිටින්නට වූයේ බබීනාගේ ගමන් විලාසයයි.

“නටව නටව යන හැටි.” අපෝන්සුගේ වචන බබීනාට ඇසුණේ නැත.

සිහින් සිරිපොදක් ද වැටෙන්නට විය. බබීනා තෙමීගෙන ම ගියා ය. සිහින් සිරිපොදට තරමක් තෙමී ගිය ද ඇගේ සිතේ ලේලිය සමඟ ඇවිළුණ කෝපයේ ගිනිදැල් බිඳක්වත් නොනිවිණි.

බබීනා පළමුව ගියේ ධර්මශාලාවට ය. ඒ තමාගේ සුපුරුදු ස්ථානය අල්ලා ගැනීමට ය.

“කව්ද මගේ තැන වාඩිවෙලානෙ.” තම ස්ථානය පිළිබඳ දුර දී ම නිරීක්‍ෂණය කරමින් පැමිණි බබීනාට කියවුණේ එතැන්හි කිසිවෙකු හිඳ සිටිනු දැකීමෙනි. බබීනාගේ සිතේ වූ කෝපය තවත් උත්සන්න විය. එහෙත් කලබල නොවන්නට මෙවෙලෙහි ඕ ප්‍රවේශම් වූවා ය.

“ආ… මේ නංගිනේ… මං ඒත් බැලුව මම හැමදාම ඉඳගන්න තැන අද කවුද වාඩිවෙලා ඉන්නෙ අලුත් කෙනෙක් ද කියල.”

බබීනා මවාගත් හිතවත්කමකින් සිරියාවතීට කීවාය. චාටු කථාව තේරුණ ද නොතේරුණ විලසින් සිරියාවතී බණ පොතක් පෙරළාගෙන කියවන්නට වූයේ බබීනාව නොතකමිනි. බබීනා මල්ලෙන් ඉටිකොළයක් ගෙන දිගහැරියා ය.

“නංගියේ මෙතන මගෙ තැනනෙ. මට දියං. හාමුදුරුවෝ බණ කියද්දි ප්‍රශ්නයක් උනත් අහන්නේ මගෙන්නේ. අනික මගෙ කන් දෙකත් ටිකක් ඇහෙනව මදි.” බබීනා කීවේ ඇත්තම නොවේ.

“ඔය ඕන තරම් ඉඩ තියෙන්නේ මේ පේළියෙම.” සිරියාවතී කීවේ පොතේ තවත් පිටුවක් පෙරළමිනි. ‘මේකි නැගිටින්නේ නැති පාටයි’ කියා සිතූ බබීනා ඉටිකොළයත් රැගෙන බිත්තිය කෙළවරට ගියා ය.

“පේන්නැද්ද ඔතන මගේ, මට පිට ටිකක් හේත්තු කරගන්නැතුව ඉන්න අමාරුයි.” පුංචිරාල ඈතක සිට බබීනාට කියමින් ඈ සමීපයට ආවේ ය. බබීනා ඉටිකොළය ගසා දැම්මේ පුංචිරාලට ගසන්නට බැරිකමට ය. ඕ ඊ ළඟට බැලුවේ සිරියාවතී දෙස ය. යටැසින් බලමින් සිරියාවතී තමාට සිනාසෙන බව බබීනා දුටුවා ය.

“ඇයි උඹේ තැන?”

“මගේ තැන අරකි වාඩි වෙලානෙ, නැගිටින්න බෑ කියනව. දැනුයි සීලේ මතක් වෙලා තියෙන්නෙ දහ අට පාලියම නටල නටල…”

බබීනා කීවේ පුංචිරාලට පමණක් ඇසෙන්නට ය. එවර බබීනා වෙනුවෙන් පුංචිරාල ඉදිරිපත් විය.

හිඳ සිටි තැනින් සිරියාවතී නැගිට්ටේ පුංචිරාල කියූ කරුණු නිසාවෙනි. නමුත් ඒ සතුටකින් හෝ කැමැත්තකින් හෝ නොවේ. සිරියාවතීගේ මුහුණට අබ දැම්මා නම් සැණෙකින් පුපුරා යනු ඇතැයි පුංචිරාල සිතුවේ ය.

“කලිං එන්නෙපැයි බං. සිරිය ගියේ කේන්තියෙන්.” පුංචිරාල බබීනාට දොස් තැබුවේ ය.

“අද කවදාවත් නැතුව නින්ද ගියා පුංචියෝ. අනෙක ඉතින් මෙතන මගෙ තැන කියල කවුරුත් දන්නවනෙ.” බබීනා ඉටිකොළය එළමින් කීවා ය.

“ඒකත් ඇත්ත තමයි.” පුංචිරාල බබීනා ව අනුමත කරමින් කීවේ ය.

තමන්ගෙ සුපුරුදු තැන ලබා ගත් බබීනා මල්ල තබා ඊ ළඟට හණිහණික ගියේ උදෑසන බුද්ධ පූජාව සකස් කරන තැනට ය. කවදත් ඒ කටයුතු සිදු කෙරුනේ ඇගේ මූලිකත්වයෙනි. වෙනදා පුරුදු මුහුණු අද එතන නැත. ගමේ කොල්ලො ටික හා කෙල්ලො කිහිප දෙනෙක් සිටින බවකි ඈ දුටුවේ. තමාගේ පැමිණීම ඒ කිසිවෙකුත් ගණන් ගත්තේ නැත. බබීනා පිරිස දෙබෑකරගෙන ඔවුන් අතරින් රිංගා මේසය ළඟින් මතු වූවා ය.

අලුත් පිරිස විසින් අලුත් භාජනවලට අලුත් විදියට පූජාව සූදානම් කොට ඇත. එය නම් කිසිසේත්ම බබීනාගේ සිත නොගත්තේ විය. තමාගේ සුළු ප්‍රමාදය නිසා සියල්ල කණපිට පෙරලී ඇති බව තේරුම්ගත් ඇය පළමුව තරුණ පිරිස දෙස බලා ඊ ළඟට පූජාවන් එකින් එක පිරික්සන්නට වූයේ අඩුපාඩුවක් සොයාගැනීමේ අදහසිනි. ඇගේ දෑස් එකවර ම නතර වූයේ කිරිපිඬු පාත්‍රය තුළ ය. පාත්‍රය පිරෙන්නම වගේ කිරිබත් බෙදා මී පැණි වත්කොට ඇත.

“කවුද මේ කිරිපිඬු එකට මී පැණි වැක්කෙරුවෙ? වෙනදා අපි හදන්නෙ ලුණුමිරිස්නෙ. චිකේයිය හිරිකිතේ බෑ. මේක අන්තිමට කන්නෙවත් කොහොමද?”

මුහුණ හකුළුවාගෙන බබීනා කීවේ සිය වචනවල අදහස ඉරියව් තුළින් ද ප්‍රදර්ශනය කරමිනි. පිරිස අතර සිටි ඇතැමෙක් කලබලයට පත් වූයේ වරදක් සිදුව ඇතිදෝයි යන දෙගිඩියාවෙනි.

“ටී.වී. එකේ බණ කියපු හාමුදුරුනමක් තමයි කිව්වේ මෙහෙම කරන්න කියල.” පිරිස අතර සිටි තරුණයෙකු කීවේ ය. බබීනා ඔහු දෙස රවා බැලී ය.

“ඕවායෙ බණ කියන්නෙ මෝස්තරකාරයො. උඹලත් මෝස්තර බණ අහල ද මේ මෝස්තර කළේ? ඒ මදිවට පලතුරු වට්ටියකුත් හදල දේවාලවල වගේ.” බබීනා පෙරටත් වඩා තරහින් කීවා ය.

“පොඩි හාමුදුරුවන්ගෙනුත් අහල කෙරුවෙ.” පෙර කී තරුණයා ද කීවේ ය.

“පොඩි උන්නාන්සෙ මොනවද දන්නෙ මේ ඊයෙ පෙරේද ඇවිල්ල?” එවර නම් බබීනගේ හඬ තරමක් අඩු විය. එහෙත් කලබලය ඇසී එතැනට වැඩම කොට සිටි පොඩිහාමුදුරුවන්ට බබීනාගේ කථාව ඇසුණි.

“මොකද කලබලේ?” පොඩි හාමුදුරුවෝ ඇසුවේ පිරිසේ පිටුපස සිටිමිනි. ගැහැනු ළමයි ඉවත්ව පොඩි හාමුදුරුවන්ට ඉඩ දුන්නහ. බබීනා සමඟ කථාවට පැටළුන තරුණයා සිදුවීම විස්තර කළේ ඉස්පිල්ලක් පාපිල්ලක් පවා අත්නොහරිමිනි. බබීනාගේ දෑස් තරුණයාගේ මුහුණ මත නතරව තිබුණේ පිපිරෙන කෝපයෙනි.

“උපාසකම්මේ අපි කාටද මේව සූදානම් කරන්නේ?”

“බුදුහාමුදුරුවන්ට.” වචන ආවේ සෙමිනි. අමාරුවෙනි.

“උන්වහන්සේ උතුම් පූජාවන්ට සුදුසු ද නැද්ද?

“එහෙමයි.”

“එහෙනම් ඉතින් ලුණුමිරිස් ද වඩා හොඳ මී පැණි ද?”

පිළිතුරක් දෙනු වෙනුවට බබීනා කළේ නිහඬ ව පිටව යාම පමණකි.

“හිත පහදවගෙන හිත් පැහැදෙන විදියට කටයුතු කරන්න.” යි කියූ පොඩි හාමුදුරුවෝ ද එතනින් ඉවත්ව වැඩියහ.

ඉවතට ගිය බබීනාගේ සිතුවිලි වේගවත් විය. ‘ඉන්නව ද යනව ද? ඉන්නව ද යනව ද? ඉන්නවා.’ ඈ තීරණය කළා ය.

පූජාව වඩම්මන්නට විය. තරුණ පිරිස තාලයට බුදුගුණ කියත්දී බබීනා කුටුකුටු ගාන්නට වූවා ය. වෙනදාට අන්‍යයන්ව යටපත් කරමින් බුදුගුණ කියන්නේ ඈ ය. බුදුගුණ කියන අතරේ දී ඕ අන්‍යයන්ට ගෝරනාඩු කරන්නට ද අමතක නොකරන්නී ය. එවිට ඈ පිරිස අතර වඩාත් කැපී පෙනෙන බව සත්‍යයකි.

“ඕකෙ එබිල බලන්න දෙයක් නැහැ. ඉක්මනට එවපං.”

“කිරිබත් එකේ ඇඟිලි ගහන්නෙපා බං.”

“කුටුකුටු නොගා හයියෙන් කියපල්ල මං වගේ.” එවිට පිරිස උස්හඬින් බුදුගුණ කියත්දී බබීනා පෙරටත් වඩා උස්හඬින් කෑමොර දෙමින් බුදුගුණ කියන්නී ය. ලොකු හාමුදුරුවෝ සිල් සමාදන් කරවීමට පැමිණෙන්නේ බබීනාගේ ඝෝෂාව අවසන් වූ පසුවය. එවිට පූජාව වඩම්මවා අවසන් බව උන්වහන්සේ දැන ගනී.

වන්දනාව කරන්නට ගියත් එසේ ම ය. ලොකු හාමුදුරුවන්ටත් ඉස්සර වෙමින් ගාථා කියන්නී බබීනා ය. සමහර විටෙක ලොකු හාමුදුරුවන් ගාථා කීම නතර කොට බලා සිටී. දෑස් පියාගෙන ගාථා කියන බබීනා කිසිත් නොදැන දිගට ම කියාගෙන යන විට ලොකු හාමුදුරුවන් ද ඈට අනුව ම කියයි.

අද බබීනාගේ දෙතොල තදව ගියාක් මෙනි. ඇගේ දෙතොලට වචන ගලා නොඑයි. ඒ ඇගේ සිතෙහි සිදුවෙමින් පවතින පෙරළිය නිසා ය. ‘ඉන්නවා ද යනවා ද? ඉන්නවා ද යනවා ද? ඉන්නවා.’ ඈ යළිත් සිතා ගත්තා ය.

සිල් සමාදන් කරවීමට වැඩියේ ද පොඩි හාමුදුරුවන් ම ය. “ලොකු හාමුදුරුවෝ ලෙඩ වෙලා ද මන්ද පොඩි උන්නාන්සේ ව හැමදේටම එවන්නෙ.” බබීනා තමාට ම කියා ගත්තා ය. ඒ වනවිට පොඩි හාමුදුරුවන්ගේ මුහුණ දැකීම පවා ඈ තුළ කෝපය උත්සන්න කිරීමට හේතුවී තිබුණි.

වන්දනාවේදීත්, සිල්සමාදන් වීමේදීත් බබීනා ගාථා කීවේ සෙමිනි. ‘ඉන්නව ද යනව ද? ඉන්නව ද යනව ද? ඉන්නවා.’ සිල් සමාදන්ව ඈ පෙර තීරණයට ම පැමිණියා ය.

දානය ගෙනාවේ ගමේ සුපුරුදු පිරිස ම ය. එහි වෙනසක් නැත. බබීනා ඉදිරි පේළියේ ම සිටි නිසා හොඳම දේත් ප්‍රමාණවත් තරමින් ලැබිණ. අන්තිම වෙත්දි වැඩි දෙයක් ඉතුරු වෙන්නැති බව ඕ හොඳාකාරව ම දනී. එබැවින් ඇගේ සිත පිනා ගියේ විය.

දානයේ කටයුතු අවසන් විය. වෙනදා පුරුද්දට පිරිසට පින් අනුමෝදන් කරන්නට බබීනා පිරිසව බලහත්කාරයෙන් මෙන් ඉන්දවන්නට වූයේ දානය ගෙන අවසන් වූ සමහරෙක් පන්සල් භූමියේ සැරිසරන්නට සුදානම් වෙනු දැකීමෙනි. ඕ පුණ්‍යානුමෝදනාව කරන්නට හිටගත්තේ සතුටෙනි. මෙය ද ඈ විසින් ම කලකට පෙර තමාට පවරාගත් තවත් විශේෂ කටයුත්තකි.

“පොඩි හාමුදුරුවෝ වඩිනවා කිව්ව අනුමෝදනාවට.” අපෝන්සු හයියෙන්ම කීවේ බබීනාට පමණක් නොව ධර්ම ශාලාවේ සිටි සියලු දෙනාටම ඇසෙන්නට ය. තමාව දමා පැමිණීමේ වාඩුව ඔහු බබීනාගෙන් පිරිමසා ගත්නේ එලෙසිනි. බබීනා ලැජ්ජාවෙන් හැකිළී ගියා ය.

“අනේ හොඳයි.” බබීනාගේ වචනවලින් පිට වූයේ ඇගේ සිත නොවේ.

පොඩි හාමුදුරුවන් වැඩියේ බණ පොතක් ද රැගෙන බව දුටු බබීනා පොඩි හාමුදුරුවන් බණ කියන්නට ද සූදානම්ව පැමිණි බව තේරුම් ගත්තා ය. ‘මෙයා මොකටද මේ එන්න හදන්නෙ.’ බබීනා තනිවම සිතුවා ය.

“ඈ බං ලොකු හාමුදුරුවන්ට මක්වෙලා ද මෙයාව එවල තියෙන්නෙ?”

බබීනා ඇසුවේ එමලින්ගෙනි.

“බබී අක්ක හාමුදුරුවන්ට කථා කරන්නෙ ගෙදර මිනිහට කථා කරනවා වගේනෙ. අද මොකද මේ වෙලා තියෙන්නෙ?” එමලින් බබීනා ව අනුමෝදන් නොවී කියූ විට ඈ එමලින් සමඟ ද අමනාප වූවා ය.

‘බණ ඉවර වුණ ගමන් ණයයි, පොලියයි දෙකම ඉල්ලනවා. නොදුන්නොත් බණිනවා. දැන් මාස පහක් නොවැ.’ බබීනා එමලින් සම්බන්ධව අවසන් තීරණයකට එළැඹෙමින් නිහඬ වූවා ය.

“හැමදාම ඉස්සරහින් ඉන්න අපේ පින්වත් මෑණිවරු අද ඉඳලා ඉස්සරහ පේළි දෙක තුන අපේ තරුණ පුතාලටයි, තාත්තලටයි දෙමු. නැත්තම් ඒ අය හැමදාම පස්සට යනවා. අනෙක ඒක බණ කියන ස්වාමීන් වහන්සේටත් ලොකු පහසුවක්.”

පොඩි හාමුදුරුවන් කියා අවසන් වෙත්ම බබීනාගේ හිස මත හෙණයක් පුපුරා ගියාක් මෙන් දැනෙන්නට විය. අනෙක් පිරිස හිඳ සිටි තැන්වලින් නැගිට යනවා දුටු බබීනා නැගිට්ටේ කලබලයෙනි. ඈ හැරී බැලුවේ සිරියාවතී තමා දෙස බලා සිටිනවා ද කියා ය. ඈ සිතූ ලෙසින් ම එය එසේ ම විය. ‘අරකිට පස්සෙනුත් හිනා ඇති.’ බබීනාගේ සිත කීවේ ය.

තරුණ පිරිස ඉදිරි පේළිවල වාඩි වූහ. බබීනාට ලැබුණේ අන්තිම පේළිය වූවත් ඉදිරිය හොඳින් පෙනේ. ‘මුන්ට මොකක්ද මේ නිවන් දකින්න හදිස්සියක් එකපාරට ම. වලත්තයොයි බේබද්දොයි. ආයි අප්පා දැන් පන්සලේ නැති ජාතියක් නෑනේ…’ බබීනා සිතන්නට වූවා ය.

“පොඩි හාමුදුරුවෝ බොන්න පුරුදු වෙලා මයෙ හිතේ. බලහංකො ළං කරගෙන ඉන්න කට්ටිය කවුද කියලා.” බබීනා කීවේ ළඟ සිටි ලු‍සියා සමඟිනි.

“මමත් කල්පනා කෙරුවේ ඒක ම තමයි. මනමාලකමත් ඇති. මං දැක්ක සුමනගෙ පොඩි බඩ්ඩ ළඟට ම වෙලා කැරකි කැරකි ඉන්නවා.” ලු‍සියාගේ වචනවලට බබීනාගේ සිත සතුටින් පිරුණි.

“නායක හාමුදුරුවන්ගේ සිවුර පාංකඩ වෙලා. මෙයාගෙ සිවුර බලාපන්කො. රැස් විහිදෙනව වගේ. කොහොම වුණත් වැඩි කලක් ඉන්නැති පාටයි.” බබීනා කීවේ ඇති වූ සතුටට ලු‍සියාගේ පිටට පහරක් ද ගසමිනි.

“අක්ක සෙරෙප්පු දෙක දැක්ක ද? කොල්ලො පන්ති දාන ජාතියේ වෙන්නෝන. අනේ කවුද බං මේවා අරන් දෙන්නෙ?”

“පිරිකර විකුණලා ගන්නව ඇති.” බබීනා කීවේ ඇස් ලොකු කර ගෙන පුණ්‍යානුමෝදනාවට සාධුකාර ද දෙමිනි.

“මට රුපියල් පන්සීයක් ගන්න පුළුවන් නේ ද?” ලු‍සියා නියම වෙලාව බලා වචනය දැම්මා ය. බබීනා පෝය දවසට මුදල් පොලියට දෙන බව ගමේ නම් කිසිවෙකුට රහසක් ද නොවුණි.

“බණ ඉවර වුණාම දෙන්නම්.”

“පොලියට නෙමෙයි. අතමාරුවට.” ලුසියා කීවාය.

“හ්ම්.. කමක් නැහැ.” හැම එකීව ම තරහ කරගෙන බැරි යැයි සිතූ බබීනා කීවා ය.

“ඈ බං ලුසී උඹට ඇහුණ ද උදේ ගාථා කිව්වෙත් අලු‍ත් තාලෙකට. හෙට අනිද්දා වෙනකොට මොනවා වෙයි ද දන්නෑ.”

“ඒකනෙ අක්කෙ.” ලු‍සියා අනුමෝදන් වෙමින් කීවා ය. ධර්ම දේශනාව පැවැත්වෙන කාලය පුරා ම ඔවුනතර කතාබහ මෙවැනි දේ ම විය.

දහවල දානය වෙද්දී පොඩි හාමුදුරුවන්ට විරුද්ධව කතන්දර කිහිපයක් ම නිර්මාණය කර ගැනීමට දෙදෙනා සමත් වූහ. දානයෙන් පසු විවේක කාලය තුළ ඔවුන් බෙදන්න පුළුවන් තැන් බල බලා ඒවා ප්‍රචාරය කරන්නට යෙදුණි.

හවස බණට වැඩියේ ලොකු හාමුදුරුවන් ය. මෙතෙක් පොඩි හාමුදුරුවන්ගේ නුගුණ පතුරුවා බබීනාගේ සිතේ පැවති කාලකණ්ණි සතුටත් සැණෙකින් අතුරුදන්ව සිත ශෝකයෙන් හා කෝපයෙන් පෙළෙන්නට වූයේ ඉදිරි පේළියට වී ලොකු හාමුදුරුවන් බණ කියන විට හූමිටි තබන්නට අවස්ථාව අහිමි වීම නිසාවෙනි.

දේශනාව පුරා ම ඇයට පෙනුණේ ඇගේ සුපුරුදු ස්ථානයේ වාඩි වී සිටින සිරිමලා ව ය. සිරිමලා රස්තියාදුකාරයෙකු වශයෙනි, ඇගේ වැටහීම. ‘‍කොල්ලාගෙත් වරදක් නැහැ. පොඩි හාමුදුරුවෝ තමයි ඔක්කොම කෙරුවෙ…’ ඊ ළඟට ඕ සිතන්නට වූවා ය. කන් යොමා සිටියත් සිත වෙනතක ය. දවස පුරා ම එක ම බණ පදයක් හෝ සිතට ගියේ නැත. දහවල හරියට පොලී මුදල් එකතු කර ගන්නට ද අවස්ථාව නොලැබුණි. ‘අද නම් මහා මූසල දවසක්…’ ඇගේ සිතට පිවිසියේ එවැනි හැඟීමක් හා ලේලිය පිළිබඳ කෝපයකි.

“බබීන අක්කේ, ආයෙම දඹදිව යමු ද?” තේ විවේකයේ දී දයාරත්න බබීනාට කිට්ටුකර ඇසුවේ ය. දඹදිව චාරිකාව මෑතක දී පන්සල තුළට රිංගූ තවත් ව්‍යාපාරයකි. බබීනා තුළ වූ කෝපයට දයාරත්න ගොදුරු වූයේ නොසිතූ ලෙසිනි.

“උඹලත් එක්ක යන දඹදිව. නිවන් යන්න කතා කළත් උඹලත් එක්ක එන්නේ නැහැ. ආරංචියි ගිය පාර උඹලගෙ කෙරුවාව.”‍ දයාරත්න කිසිත් නො කීවේ තමාට වඩා පන්සල තුළ බබීනා බලවත් බව දන්නා නිසාවෙනි.

“මේ බබී අක්කේ, ලබන මාසේ ඉඳල අපිට දානෙ ළඟට ගෙනත් දෙන්නැතිලු‍. එක පිරිසක් තනියම දානේ බාර අරගෙන එක තැනක තියාගෙන බෙදනවලු‍. අපි පෝලිමේ ගිහින් ගන්න ඕනෙ කියන්නෙ.” ලු‍සියා අලු‍ත් ම ආරංචිය බබීනාගේ කනේ තිබ්බා නොව ගිල්ලු‍වා ය.

“පෝලිමේ ගිහින් කන්න අපි හිඟන්නො ද? ඒකත් පොඩි එක්කෙනාගෙ ම වැඩක් වෙන්නැති. කලබල නොකර ඉමු. ඕකෙන් නම් ගමම ඇවිස්සෙනවා.” බබීනා කීවේ වටපිට බලමිනි. ‘කෙසේ හෝ පොඩි හාමුදුරුවන්ට ගමින් යන්න වුණොත් හොඳයි.’

“ඇයි බං නංගියෙ, අපිනෙ සිල් ඇත්තෝ. අපි ළඟට ගෙනත් දෙන එක නේ ද හරි විදිය?”

“ඒක නේන්නං.” ලු‍සියා පුරුදු වචනය දැම්මා ය.

“මං ගෙදරින් අරන් එනව. මං උඹටත් අරං එන්නං.” බබීනා‍ කීවේ රහසිනි.

“ඒක නේන්නං. බබී අක්කා කරපු රස්සාවෙ හැටියට පෝලිමේ යන එක මදිකමක් තමයි.” ලු‍සියා කීවේ සතුටිනි. දැන් ඉතින් රුපියල් පන්සීය ද නොදී ම සිටිය හැක.

හවස මුලින් ම ගිලන්පස ගන්නී බබීනා ය. උගුරට දෙකට කෝප්පය හිස් කළ බබීනා, වඩාත් යුහුසුළු වූයේ ඉතිරි පොලී මුදල් එකතුකර ගැනීමට ය. ඒ වන විටත් පොලී මුදල් ගෙවිය යුතු සැලකිය යුතු පිරිසක් ගිලන්පස අතහැර දමා නිවෙස් බලා පිටත්ව ගොස් තිබුණි.

“මුන් තමයි මිනිස්සු. දැන් ඉතින් ගෙවල් ගානේ ගාටන්න වෙනවා.”

“මොකට ද?”

“පොලී සල්ලි ඉල්ලන්න.”

ලු‍සියා නිහඬව වෙනතක් බලා ගත්තේ නොඇසුණ ලෙසිනි.

“උඹ ගැන කිව්වා නෙවෙයි.” බබීනා ආයෙම කීවා ය.

“මං දන්නැද්ද අක්ක ගැන…” ඒ වචන ටික ලු‍සියාට ඇසී තිබුණි.

නතරව සිටි පිරිසගෙන් පොලී මුදල් එකතුකර ගන්නට ඇයට විශාල වෙහෙසක් දරන්නට සිදු විය.

“මහ එකාව නැති වුණාට කමක් නැහැ අයරින් මට පැටිය ව විතරක් දීපන්.” බබීනා ‘මහ එකා’ කියන්නේ ණය මුදලටයි. ‘පැටියා’ පොලී මුදලයි.

මුදල් එකතුකර ගත් බබීනා වෙලාව බැලු‍වා ය. හවස හතරට ආසන්න ය. ඈ ඉක්මනින් ම තම මල්ලේ පතුලට අත දමා බෝධි පූජාවට ගිලන්පස සෑදීමට ගෙනා තේ කොළ ස්වල්පයත්, බෙලි මල් ස්වල්පයත් අතට ගත්තා ය. සීනි ටිකක් පන්සලෙන් ගැනීම ඇගේ සිරිත ය.

“මේ ගෑනි කොහේ ගියා ද?” බබීනාගේ කටින් ඒ වචන පිට වූයේ ලු‍සියාව සොයාගත නොහැකි වූ විට ය. ඇයට ගිලන්පස හැදීමට ලු‍සියාව සම්බන්ධ කර ගැනීමට උවමනා වූයේ වෙන මොකකටවත් නොව පොඩි හාමුදුරුවන්ගේ නුගුණ කතා කිරීමට ය. ලු‍සියා පන්සල පහළ ලඳු කැලෑවෙන් මතු වූයේ දෑතින් පොල්ගෙඩි දෙකක් ද රැගෙන ය.

“අපරාදෙ, මේව පැළ වෙලා යනවා. ‍හාමුදුරුවන්ට මොකට ද පොල් ? අපි දාන ගෙනත් දෙනවා නෙව.” ලු‍සියා කියද්දී බබීනා තුළ සතුටක් උපන්නේ නැති බව ඈ දුටුවා ය.

“අක්කටත් ගෙඩියක් දෙන්නං?”

ලු‍සියා පොඩි පොල් ගෙඩිය තමාට තියාගෙන ලොකු පොල් ගෙඩිය බබීනාට දිගු කළා ය. බබීනාගේ අඳුරු මුහුණ පුරා සිනා රැල්ලක් පැතිරුණේ මොහොතකිනි. ‘‍ගෙඩිය ලොකු වුණාට ඕකෙ ලෙල්ල විතරයි‍.’ ලු‍සියා සිතින් බබීනාට සිනාසුනා ය.

ගිලන්පස සෑදීම සඳහා දරමඩුව දෙසට යද්දී පන්සලේ මුළුතැන්ගේ දෙසින් ඇසුණ මැෂින් ශබ්දයට ගැහැනු දෙන්නා කලබල වූහ.

“ඒ මොකක්ද බං ලු‍සියො?”

“ඒකනෙ මාත් බැලු‍වෙ. ගිහින් බලමු ද?”

“යමං බලන්න.”‍ බබීනා ලු‍සියාට පෙරටු වෙමින් කීවා ය. සිල් සමාදන් වූ තරුණ පිරිස මුළුතැන්ගෙය තුළ පලතුරු කපමින් බ්ලෙන්ඩර් කරයි.

“දරුවනේ උඹල මේ මොකක්ද කරන්නෙ? විකාලෙ පලතුරු කන්න හොඳ නෑ කියල දන්නෙ නැද්ද? අපි මේ මැෂින් සද්දෙ ඇහිලයි දුවගෙන ආවෙ.” බබීනා ඇසුවේ තරුණයන් කරන්නේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව ය.

“බෝධි වන්දනාවට ගිලන්පස හදනවා.”‍ අයෙකු කී ය.

“ගිලන්පසට පලතුරු?” බබීනාට කියවුණේ පුදුමයෙනි. ‘මහා අපරාධයක්. නාස්තියක්නේ.’ ඇගේ සිතුවිලි එසේ විය.

“එතකොට තේ බෙලිමල් එපා ද?” ‍බබීනා ඇසුවේ කලකිරීමෙනි. ශෝකයෙනි.

“මිස් ඒව හදන්න. මෙන්න වීදුරු.”

තරුණයෙක් බබීනාට රන් පැහැති වීදුරු දෙකක් දිගු කරමින් කීවේ ය. වීදුරු ලොකු වැඩි ය. එය බබීනාගේ සිත තවත් කලකිරවන්නට සමත් විය.

“උඹල ම හදාපල්ල.” බබීනා ලු‍සියාවත් ඇදගෙන මුළුතැන්ගෙයින් පිටවුනේ කෝපයෙනි. ‘ඉන්නව ද යනව ද? ඉන්නව ද යනව ද? ඉඳල ම බලමු.’ බබීනා හිත හදා ගන්ට උත්සාහ කළා ය.

කවුරු මොන දේ කළත් ධර්ම ශාලාවේ සිට බෝධීන් වහන්සේ ළඟට පූජාව වඩම්මන පෝලිම සකස් කරන්නට හැකි වූයේ බබීනාට ය.

“ඇඟේ ගෑවෙන නොගෑවෙන දුරින් හිටහං.” බබීනා අපෝන්සුට සැරෙන් කීවේ ඔහු හා සිරිමානිස් අතර පරතරය වැඩි නිසා ම පමණක් නොව අපෝන්සු හා එකට එක කිරීමක් ද වශයෙනි.

“ඔය හපේ විසි කරපං. නැත්තං ගිලපං. මේ ඩිංගටවත් බෑනෙ උඹලට ඔය හපේ නැතුව ඉන්න.” පොලී මුදල් මගහැරිය නන්දාවතීට ඕ කෑ ගසා කීවා ය.

“උඹලට පණු අමාරුව ද‍ මේ හැටි නලියන්නෙ?” කුඩා දරුවන්ගේ උරහිසින් අල්ලා පෝලිමට තබමින් බබීනා කීවේ තරහිනි.

“මේ ගෑනි මුලින්ම තමන්ගේ හිත විනාශ කරගෙන ඊ ළඟට මේ මිනිස්සුන්ගේ හිත් විනාශ කරනවා.”‍ අසල සිටි තරුණයෙකු කීවේ ආවේගයෙනි. බබීනාට නම් ඒ නෑසුණි.

“එහෙම නැතුවත් බෑ අපේ මිනිස්සුන්ට.” ලු‍සියා බබීනාගේ පැත්ත ගනිමින් කීවේ තරුණයා ව හොඳින් මතක තබා ගනිමිනි. බබීනාට කියන්නට කේළම් දෙක තුනක් මේ වන විට ඈ ළඟ තිබිණි.

පිරිස පෝලිම් කළ බබීනා ඩහදිය පිස දමමින් ධර්ම ශාලාවට ගොඩවුණේ සුපුරුදු පරිදි ගිලන්පස පූජාව වැඩමවීම පිණිස ය. බොහෝ කලක සිට ඒ කටයුත්ත ද කළේ ඇය විසිනි.

“සිරිමල් පූජාව වඩම්මන්න.”‍ බබීනා පූජාවට අත තැබීමට සූදානම් වෙත් ම ධර්ම ශාලාවේ කෙළවරේ සිටි පොඩි හාමුදුරුවෝ කීහ. බබීනා ගල් ගැසුණි.

“උපාසකම්මෙ, අපි තරුණ පිරිසට අවස්ථාව දීලා ඒ අයව ඉස්සරහට ගමු.”‍ බබීනා ව්‍යාජ හිනාවක් හෝ නගාගන්නට අසාර්ථක උත්සාහයක නිරත වූවා ය.

පොඩි හාමුදුරුවන් වැඩිය පසු සිරිමල් පූජාව වඩමවන විට ගමේ උන් සාධුකාර දෙනු බබීනා අසා සිටියේ දැඩි කෝපයෙනි. ‘ඉන්නව ද යනව ද? ඉන්නව ද යනව ද?’ අවසන් තීරණය ගෙන බබීනා මල්ල අතට ගත්තේ ‘ආයෙ පන්සලේ පස් නොපාගමි’ යි යන දැඩි අදිටනෙනි.

පසුවදන –

නිවන් දකින්නට පන්සල් ආව ද අප තුළ බබීනා, ලු‍සියා, දයාරත්න වැන්නවුන් ජීවත් වේ නම් නිවන තබා සුගතියවත් අහිමි බවට සිහිනුවණ උපදවාගෙන එවන් චරිත ජීවිතයෙන් තුරන් කිරීමට කටයුතු කරනු මැන.

(මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි.)