ගෞතම බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටියෙන් දේශනා කරන ලද ධර්මය විස්තර වශයෙන් දේශනා කිරීමෙහි අගතනතුරු ලබන්නට කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරූ මහා පුණ්‍ය මහිමයකින් හෙබි, මුළු අවන්ති දේශය ම ධර්ම රාජ්‍යයක් කළ ගෞතම බුද්ධ ශාසනය බැබළවූ අපගේ මහා කච්චාන මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද “ධර්මය වෙතට ගෙන යන ආසන්න කාරණය” (පදට්ඨානහාර විභංගය) පටිසම්භිදාලාභී මහා ක්ෂීණාශ්‍රව මහ රහතන් වහන්සේ නමකට විනා කොතරම් ව්‍යක්ත වුවත් අන් කිසිවෙකුට කළ හැකිද?

මහා කච්චානයන් වහන්සේගේ මේ අපූරු විග්‍රහය අපිට පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය, චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය හොඳින් තේරුම් ගැනීමට මෙන්ම සීලය ද මනා ලෙස තේරුම් ගන්නට, නුවණින් විමසන්නට, ධර්මයේ හැසිරෙන්නට බෙහෙවින් උපකාරි වේ.

අප මෙහිදී තේරුම් ගත යුත්තේ මෙම විග්‍රහය මහා කච්චානයන් වහන්සේ විසින් සිදුකළ ධර්මය නැවත පුළුල් ලෙස විග්‍රහ කිරීමක් බැවින් මෙය ධර්මය වෙතට ගෙන යන එක් දහම් පරියායක් බවයි. මෙහි විග්‍රහ වන්නේ ආසන්න කාරණය පමණක් වන බව හොඳින් තේරුම් ගත යුතුය.

උන්වහන්සේ කුමක් දේශනා කරන සේක් ද?

  • අවිද්‍යාවට ආසන්න කාරණය සතර සංඥා විපල්ලාසයෝ ය.

සියලු ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය ඒ අයුරින්ම අවබෝධ නොවන ලක්ෂණය අවිද්‍යාවයි. ඒ අවිද්‍යාවට ආසන්න කාරණය විපරීත බවට පත් වී ඇති සතර සඤ්ඤාවෝ ය.

අවිද්‍යාව තේරුම් ගත යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම ලෙසයි. සතර සංඥා විපල්ලාසය යන්නෙන් අදහස් කරන්නේ අනිත්‍ය දේ නිත්‍ය සංඥාවෙන් දැකීමයි. දුක් දේ සැප සංඥාවෙන් දැකීමයි. තමන්ගේ වසඟයේ පැවැත්විය නොහැකි දේ (අනාත්ම) තමන්ගේ වසඟයේ පැවැත්විය හැකි දෙයක් (ආත්ම) ලෙස දැකීමයි. අසුභ දේ සුභ වශයෙන් දැකීමයි.

  • සිත ඇදී ගිය අරමුණෙහි බැසගැනීමේ ලක්ෂණය තණ්හාව යි. ඒ තණ්හාවට ආසන්න කාරණය එහි ඇති ප්‍රිය ස්වභාවය යි. මිහිරි ස්වභාවය යි.
  • ආශා කරන දෙය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටීමේ ලක්ෂණය ලෝභය යි. ඒ ලෝභයට ආසන්න කාරණය නුදුන් දේ පැහැර ගැනීම යි.
  • පැහැය, සටහන්, සළකුණු ග්‍රහණය කිරීමේ ලක්ෂණය සුභ සංඥාව යි. ඒ සුභ සංඥාවට ආසන්න කාරණය ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන්ගේ අසංවරය යි.
  • කෙලෙස් සහිත ස්පර්ශයකට එළඹීමේ ලක්ෂණය සැප සංඥාව යි. ඒ සැප සංඥාවට ආසන්න කාරණය ආශ්වාදය යි.

(ඉෂ්ට, කාන්ත, මනාප වූ රූප – ශබ්ද – ගන්ධ – රස – පහස ආදියෙහි ඇති ආශ්වාදයයි. අවිද්‍යා සහගත පුද්ගලයාගේ ස්පර්ශය කෙලෙස් සහිතයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ “තිණ්ණං සංගති ඵස්සෝ“ කරුණු තුනක එකතු වීම ස්පර්ශය ලෙසයි. එනම් ඇසත් රූපයත් ඇසේ විඤ්ඤාණයත් එකතු වීම ඇසේ ස්පර්ශය යි ආදී වශයෙනි.)

  • හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංඛත ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය නුවණින් නොදැකීමේ ලක්ෂණය නිත්‍ය සංඥාව යි. ඒ නිත්‍ය සංඥාවට ආසන්න කාරණය විඤ්ඤාණය යි.

(භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ සංඛතයක ලක්ෂණ තුනක් පවතින බවයි. එනම්  ‘උප්පාදෝ පඤ්ඤායති’ හටගැනීමක් පෙනෙයි. ‘වයෝ පඤ්ඤායති’ වැනසීමක් පෙනෙයි. ‘ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති’ පවතින දේ තුළ වෙනස් වෙමින් පැවතීමක් පෙනෙයි යනුවෙනි. විඤ්ඤාණය යන්නෙන් අදහස් කරන්නේ විශේෂයෙන් දැන ගන්නවා යන්නයි. ‘විජානාතීති ඛෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති වුච්චති.)

  • අනිත්‍ය සංඥාව ත්, දුක්ඛ සංඥාව ත් නුවණින් නොදැකීමේ ලක්ෂණය ආත්ම සංඥාව යි. ඒ ආත්ම සංඥාවට ආසන්න කාරණය වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර යන නාම ධර්මයන් එකට එක් ව පැවතීම හෙවත් නාමකාය යි.
  • සියලු ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය ඒ අයුරින් අවබෝධ කරවන ලක්ෂණය විද්‍යාව යි. ඒ විද්‍යාවට ආසන්න කාරණය අවබෝධ කළ යුතු සියල්ල යි. (සියල්ල වශයෙන් සබ්බ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඇසත් රූපත් ය, කනත් ශබ්දයත් ය, නාසයත් ගඳ සුවඳත් ය, දිවත් රසයත් ය, කයත් පහසත් ය, මනසත් අරමුණුත් ය)
  • සිතේ විසිරී යාම නැති කොට එක් තැනකට ගොනු කිරීමේ ලක්ෂණය සමථය යි. ඒ සමථයට ආසන්න කාරණය අසුභ භාවනාව යි.
  • ආශා කළ දේ ගැන රහසේ සිත සිතා සිටින බව නැතිකොට එක් තැනකට ගොනු කිරීමේ ලක්ෂණය ලෝභ නැතිකම හෙවත් අලෝභය යි. ඒ අලෝභයට ආසන්න කාරණය සොරකමින් වැළකීම යි.
  • පීඩාවක් නැතුව සිටීමේ ලක්ෂණය ද්වේෂය නැතිකම හෙවත් අද්වේෂය යි. ඒ අද්වේෂයට ආසන්න කාරණය සතුන් මැරීමෙන් වැළකීම යි.
  • කරුණු නිවැරදිව තේරුම් ගැනීමේ ලක්ෂණය මුලා නැතිබව හෙවත් අමෝහය යි. ඒ අමෝහයට ආසන්න කාරණය නිවැරදි ප්‍රතිපත්තිය යි. (නිවැරදි ප්‍රතිපත්තිය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.)
  • ඉදිමී නිල් වී ගිය මළසිරුර, සැරව වැගිරෙන මළසිරුර ආදී අරමුණු සිතින් ග්‍රහණය කිරීමේ ලක්ෂණය අසුභ සංඥාව යි. ඒ අසුභ සංඥාවට ආසන්න කාරණය අවබෝධයෙන් ම එපා වීම යි. (අවබෝධයෙන් ම එපා වීමට බලපාන්නේ යෝනිසෝ මනසිකාරයයි. ජීවිතයේ යථා ස්වභාවය ඒ විදිහටම මෙනෙහි කිරීමයි.)
  • කෙලෙස් සහිත ස්පර්ශ පිළිබඳව විශේෂයෙන් දැනගැනීමේ ලක්ෂණය දුක්ඛ සංඥාව යි. ඒ දුක්ඛ සංඥාවට ආසන්න කාරණය අරමුණ විඳීම යි. (අවිද්‍යා සහගත පුද්ගලයාගේ ස්පර්ශය කෙලෙස් සහගතයි. රහතන් වහන්සේගේ ස්පර්ශය කෙලෙස් රහිතයි.)
  • හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සංඛත ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය නුවණින් දැකීමේ ලක්ෂණය අනිත්‍ය සංඥාවයි. ඒ අනිත්‍ය සංඥාවට ආසන්න කාරණය සංස්කාරයන්ගේ හටගැනීම ත් – නැසීම ත් නුවණින් දැකීම යි. (හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංඛත ධර්මයන් වන්නේ පංච උපාදානස්කන්ධය, ආයතන, ධාතු ආදියයි.)
  • කාමරාගයට ආසන්න කාරණය පංචකාම ගුණය යි. රූප රාගයට ආසන්න කාරණය රූපවත් වූ පංච ඉන්ද්‍රියයන් ය. භව රාගයට ආසන්න කාරණය මනස නැමැති සය වෙනි ආයතනය යි. පංච උපාදාන ස්කන්ධයට ආසන්න කාරණය ඒ රූප, වේදනා ආදිය උපදින උපදින ආකාරයට බැලීම යි. ඥානදර්ශනයට ආසන්න කාරණය පෙර විසූ කඳපිළිවෙළ සිහි කිරීම යි.
  • ඇදහීමේ, නිශ්චය කිරීමේ, ළඟට පැමිණීමේ ලක්ෂණය ශ්‍රද්ධාව යි. නොකැළඹීමේ, ප්‍රසන්න වීමේ, ළඟට පැමිණීමේ ලක්ෂණය ප්‍රසාදය යි. විශේෂයෙන් ඇදහීමේ ලක්ෂණය ශ්‍රද්ධාව යි. ඒ ශ්‍රද්ධාවට ආසන්න කාරණය නොසෙල්වෙන පැහැදීම යි. නොකැළඹීමේ ලක්ෂණය ප්‍රසාදය යි. ඒ ප්‍රසාදයට ආසන්න කාරණය ශ්‍රද්ධාව යි.
  • පටන් ගැනීමේ ලක්ෂණය වීර්යය යි. ඒ වීර්යයට ආසන්න කාරණය සතර සම්‍යක් ප්‍රධානය යි. (හට නොගත්තා වූ අකුසල් නූපදවීමේ වීර්යය, හටගත්තා වූ අකුසල් ප්‍රහාණය කිරීමේ වීර්යය, හට නොගත්තා වූ කුසල් ඉපදවීමේ වීර්යය, හටගත්තා වූ කුසල් වැඩි දියුණු කරගැනීමටත්, පිරිපුන් බවට පත් කර ගැනීමටත් ගන්නා වීර්යය)
  • විවිධ බාහිර අරමුණුවල සිත ඉල්පී ඉල්පී නොසිටීමේ ලක්ෂණය සිහිය යි. ඒ සිහියට ආසන්න කාරණය සතිපට්ඨානයයි.
  • සිත එකඟ වීමේ ලක්ෂණය සමාධිය යි. ඒ සමාධියට ආසන්න කාරණය ධ්‍යාන සතර යි.
  • අවබෝධ කරගැනීමේ ලක්ෂණය ප්‍රඥාව යි. ඒ ප්‍රඥාවට ආසන්න කාරණය චතුරාර්ය සත්‍යය යි. (ප්‍රඥාව විස්තර වන්නේ උදයත්ථගාමිනී පඤ්ඤා ලෙසයි. එනම් හටගැනීමත් නැතිවීමත් දකින නුවණ යි)

මෙසේ මහා කච්චාන මහ රහතන් වහන්සේ ජීවිතයේ යථා ස්වභාවය දකින ආකාරය භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ඇසුරින් විස්තර කොට දැක්වූ සේක.

(උපුටා ගැනීම – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලට පරිවර්තනය කරන ලද ‘නුවණැතියන් ශ්‍රී සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ’ නමැති නෙත්තිප්ප්‍රකරණය ග්‍රන්ථයෙනි)