මේ ලෝකයේ වෙසෙන බොහෝ ජාතීන් හට තම තමන්ගේ ජාතිය පැවත පැමිණි ආකාරය සඳහන් ඉතිහාස කථාවක් ඒ ඒ ජාතීන් සතුව ඇත්තේ ය. ඒ අතරිනුත් ඉතාමත් සුළු ජාතීන් පිරිසකට පමණක් අඛණ්ඩ ව පැවත එන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කීමේ භාග්‍යය ලැබී ඇත්තේ ය. සිංහල ජාතිය වූ කලී එවන් භාග්‍යවන්ත ජාතියකි. ඒ ගැන සිංහල ජාතියට අයත් අප සියලු දෙනා හට අතිශයින් ම සතුටු විය හැකි ය. අප හට අපගේ ඒ මහා ප්‍රෞඪ ඉතිහාසය ගැන කියා දෙන ගුරුවරයා වනාහී වෙනත් කිසිවෙක් නොව ‘මහාවංශය’ නමැති අති උතුම් වූ ග්‍රන්ථ රත්නය යි. අතීතයේ සිට සිංහලයෝ මේ මහා වංශකතාව මහත් වූ අභිරුචියෙන් කියවූහ. ඉගෙන ද ගත්හ. තම බාල පරම්පරාවට ද කියා දුන්හ. එනිසා ම තම වංශකතාව දැන ඉගෙන ගත් අපගේ අතීත මුතුන් මිත්තෝ මේ ධරණීතලයේ මහා අභිමානවත් ජාතියක් ලෙස සිංහල ජාතියේ නාමය රන් අකුරෙන් ලියවූවෝ ය.

එහෙත් අද වන විට සිදුව ඇත්තේ ඊට හාත්පසින් ම වෙනස් වූ දෙයකි. අපගේ ප්‍රෞඪ ඉතිහාසය ගෙන හැර පාන අපගේ වංශකතාව වූ මහාවංශයට ගරහන පිරිසක් අප ජාතිය අතරින් ම බිහිව ඇත්තේ ය. අවාසනාවකට වනාහී ඔවුන්ගෙන් බොහෝ පිරිසක් වූ කලී මේ රටේ උගත් යැයි සම්මත පිරිසකට අයත් වූවෝ වෙති. එබැවින් ඔවුනගේ කියමන් අදහන්නා වූ සාමාන්‍ය ජනී ජනයා ද ඔවුනගේ මුග්ධ අදහස් කරපින්නාගෙන තමාගේ වංශකතාවට ගැරහීමට පටන් ගෙන තිබීම කෙතරම් අභාග්‍ය සම්පන්න දෙයක් ද? මේ අතරවාරයේ සුළු කලක පටන් ඇතැම් සිංහල නොවන නායකයෝ, ‘මහාවංශය වූ කලී සිංහලයාට පක්ෂග්‍රාහීව ලියැවුණු පොතක් බවත්, එහි ඇති කරුණු මිථ්‍යාවක් බවත්’ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. එහෙත් එම සියලු ප්‍රකාශ පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව කරුණු සහිතව පෙන්වා දිය හැක.

මුලින්ම අප බැලිය යුත්තේ මහාවංශය හුදෙක් ම සිංහල ජාතියට පමණක් ම පක්ෂග්‍රාහී ව ලියැවුණු ග්‍රන්ථයක් ද කියා ය. එය එසේ නොවන වග අපට මහාවංශය දෙස නුවණින් යුක්තව මනා කොට සිහි එළවා බැලීමෙන් ම මනා කොට තේරුම් ගත හැකි ය. මහාවංශ කතුවරයා විසින් අනෙක් ජාතීන්ට ද ප්‍රශංසාව හිමි විය යුතු තැන ඊට සුදුසු ප්‍රශංසාව හිමි කර දී ඇත. මේ එවන් එක් අවස්ථාවකි.

අස්සනාවිකපුත්තා ද්වේ – දමිළා සේනගුත්තිකා
සූරතිස්සමහීපාලං – තං ගහෙත්වා මහබ්බලා
දුවේ වීසතිවස්සානි – රජ්ජං ධම්මේන කාරයුං

අශ්ව නාවිකයෙකුගේ සේන ගුත්තික නමැති දෙමළ පුතුන් දෙදෙනෙක් සිටියහ. මහා බලසම්පන්න ඔවුහු ඒ සූරතිස්ස රජුව ජීවග්‍රාහයෙන් අල්ලාගත්හ. ඔවුහු දෙදෙන අවුරුදු විසිදෙකක් ධාර්මිකව රාජ්‍ය පාලනය කළහ.

(මහාවංශය – 21 පරිච්ඡේදය)

එමෙන්ම මෙරට ආක්‍රමණය කොට රාජ්‍යය අල්ලා ගත් ද්‍රවිඪ පාලකයෙකු වන එළාර රජු ගැන සඳහන් කිරීමේ දී ඔහුගේ ධාර්මිකත්වය, සාධාරණීයත්වය ගාථා රැසකින් මහාවංශ කතුවරයා විසින් මනාකොට පෙන්වා දෙන්නේ ය.

සිංහලයාට පක්ෂග්‍රාහී ලෙස මහාවංශය රචනා කරන ලද්දේ නම් මෙබඳු ආකාරයේ විස්තර කිසිදු ලෙසකින් අපගේ වංශකථාවට එකතු නොවන්නේ ය. මෙයින් මහාවංශය පක්ෂග්‍රාහීව ලියවුණු පොතක් ය යන අභූත චෝදනාව මැනැවින් ප්‍රතික්ෂේප වන්නේ ය.

ඉන් පසු අප විමසා බැලිය යුත්තේ මහාවංශයෙහි සඳහන් වන කරුණුවල ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳ ව ය. එය ද මෙරටින් හා විදෙස් රටවලින් හමුවන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් මනාකොට පැහැදිලි කරගත හැකි ය.

කාලිංග දේශයේ එක්තරා පර්වත ගුහාවක තිබී සොයා ගන්නා ලද ශිලා ලේඛණයක කාලිංග රජ කෙනෙකුගේ යුදාරම්භයක් ගැන සඳහන් වී තිබුණි. මෙම ලිපිය මැනැවින් අධ්‍යයනය කළ විද්වතුන් ප්‍රකාශ කරන ලද්දේ යුරෝපීය පණ්ඩිතයන් විසින් ඉදිරිපත් කොට තිබූ බුද්ධ වර්ෂය වැරදි බවත්, මහාවංශයෙහි දක්වා ඇති බුද්ධ වර්ෂය නිවැරදි බවත් ය.

එමෙන්ම ධර්මාශෝක රජ සමයෙහි හිමාල ප්‍රදේශයට යවන ලද ධර්ම දූතයන් වහන්සේලා පිළිබඳ ව මහාවංශයෙහි සඳහන් වන කරුණු කාරණාවල සත්‍යතාවය සාංචියෙහි තිබී සොයාගනු ලැබූ පුරාවිද්‍යාත්මක සාධකවලින් මනාකොට තහවුරු වී ඇත. ලංකාවාසීන්ට එතරම් වැදගත් නො වේ යැයි හැඟෙන විදෙස් රටවල සිදු වූ මෙවැනි සිද්ධීන් පිළිබඳව මහාවංශයෙහි සඳහන් කරුණු මෙතරම් සත්‍ය නම් ලංකාද්වීපය පිළිබඳව දක්වා ඇති කරුණු කාරණා කෙසේ නම් අසත්‍ය වන්න ද?

මහාවංශයෙහි සත්‍යතාවය ඉස්මතු කරවන සාධක මේ දිවයිනේ නන් දෙසින් ලැබී පවතී. මෙම ග්‍රන්ථයෙහි සඳහන් වන ප්‍රධාන ම සිද්ධියක් වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේලා සමඟ මෙරටට වැඩම කිරීම යි. මෙම සිදුවීමෙහි සත්‍යතාවය තහවුරු කරවන ශිලාලිපියක් අම්පාර රජගල පුදබිමින් ලැබී ඇත. එය මෙසේ ය;

යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ (මේ ද්වීපයට ප්‍රථමයෙන් ඉර්ධි බලයෙන් වැඩි ඉට්ඨිය රහතන් වහන්සේගේත්, මිහිඳු මහරහතන් වහන්සේගේත් ස්තූපය යි.)

මීට අමතරව මිහින්තලේ පුදබිමෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ නම හා අනෙක් රහතන් වහන්සේලාගේ නම් ඇතුළත් ලිපියක් හමු වී තිබීමෙන් තවදුරටත් මෙකී සිදුවීම තහවුරු වේ. (මෙම ලිපි හමුවීමට මත්තෙන් ඇතැමුන් ප්‍රකාශ කළේ මහින්දාගමනය යනු අසත්‍ය සිදුවීමක් බවයි.)

මහාවංශය දුටුගැමුණු රජතුමා ගැන සඳහන් කිරීමේ දී එම රජුට උපකාර කළ යෝධයන් දස දෙනෙක් ගැන ද සඳහන් කොට ඇත. මෙම විස්තර ඇතැම් උගතුන්ගේ සැකයට හා හාස්‍යයට ලක් විය. එහෙත් දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් ලැබුණු ශිලා ලේඛනවලින් දස මහා යෝධයන්ගේ ඓතිහාසිකත්වය තහවුරු විය. මේ ඉන් කිහිපයකි.

(1). දෙවන පිය රඣ අබයශ සෙනපති පරුමක මිතශ මහ ලෙණෙ ශගශ දින
දෙවනපිය අභය රජුගේ (දුටුගැමුණු රජු) සේනාපති වූ පරුමක මිත්‍රගේ මහ ලෙණ සංඝයාට පුදන ලදී. (කොරවග්ගල ලිපිය)

(2). පරුමක මහතිශ පුත පරුමක අයිමරහ ලෙණෙ ඣය ශදි ශදය පරුමක සුපටම ඣිත පරුමකලු සොණය
පරුමක මහාතිස්සගේ පුත් පරුමක අයිමරගේ ද (ගෝඨයිම්බර) ඔහුගේ බිරිඳ වූත්, පරුමක සුපටමගේ දුව වූත් පරුමක සෝණාගේ ද සාමූහික ලෙණයි. (සිතුල්පව්ව ලිපිය)

(3). පරුමක වෙලුශුමනශ පුත පරුමක වෙලුශ පුත පරුමක පුශ දෙවශ ලෙණ දෙවන පියශ රඣ තිශශ අයකශ ලෙණෙ ලඪකෙයිලෙණ ශගශ
පරුමක වේළුසුමනගේ පුත් පරුමක වේළුගේ පුත් පරුමක ඵුස්සදේවගේ ලෙණ දෙවියන්ට ප්‍රිය වූ තිස්ස රජුගේ අයකැමියාගේ ලඪකෙයි නම් ලෙණ සංඝයාට ය. (දෙකුන්දරවැව ලිපිය)

(4). ශගශ දිනෙ ශෙනපති පරුමක පුශදෙවහ ඣිතය උපශික නගහ ලෙණෙ තිශ මහ රජහ ශොනපිතිය අශිදතහ ඔරියය
සේනාපති පරුමක ඵුස්සදේවගේ දුව වූත් තිස්ස මහරජුගේ සේනාපති පරුමක අග්ගිදත්තගේ බිරිය වූත් නාගා නම් උපාසිකාවගේ ලෙණ සංඝයාට පුදන ලදී. (වැල් එල්ලූගොඩ ලිපිය)

මේවායින් මනාකොට පිළිබිඹු වන්නේ මහාවංශයෙහි සත්‍යතාවය නො වේ ද? මෙවැනි විශේෂ කරුණු කාරණාවල පමණක් නොව මහාවංශයෙහි සඳහන් වන සුළු කරුණුවල පවා ඓතිහාසිකත්වය තහවුරු වීම අතිශයින්ම පුදුම සහගත ය. වළගම්බා රජු විසින් තම සොයුරු ඛල්ලාටනාග රජතුමාගේ පුත් කුමරු වන මහා චූලික කුමරුව තම පුත්‍රස්ථානයෙහි තබා හදා වඩා ගත් නිසා එතුමා ව පිතුරාජ යන නමින් හැඳින්වූ බව මහාවංශය සඳහන් කරන්නේ මෙසේ ය.

ඛල්ලාටනාගරඤ්ඤෝ සෝ – පුත්තකං සකභාතුනෝ
මහාචූලිකනාමානං – පුත්තට්ඨානේ ඨපේසි ච
පීතිට්ඨානේ ඨිත්තාස්ස – පීතිරාජාති චබ්‍රවුං

මහාවංශයෙහි සඳහන් වන මෙම කරුණ වළගම්බා රජු ගැන සඳහන් බොහෝ ශිලාලිපිවල එතුමාව ‘පිතරජ’ ලෙස හඳුන්වා තිබීමෙන් මනාකොට තහවුරු වේ. මේ එවන් එක් ශිලා ලිපියකි.

පිත මහ රඣහ බඩගරික පරුමක ශුමන පුත පරුමක වෙමශ ලෙණ රඣ තිශහ රඣියශි නියතෙ. අගත අනගත චතුදිශ ශගශ

පිතුරාජ මහ රජුගේ භාණ්ඩාගාරික පරුමක සුමනගේ පුත් පරුමක වෙමශගේ ලෙණ තිස්ස නම් රජුගේ කාලයේ දී පැමිණි, නොපැමිණි සතර දිග සංඝයාට පමුණුවන ලදී. (කොරවග්ගල ශිලා ලිපිය)

මීට අමතරව වළගම්බා රජුගේ උත්තර නම් ඇමතියා නගරයට දකුණු දෙසින් දක්ඛිණ විහාරය නම් විහාරයක් කරවූ බව මහාවංශයෙහි සඳහන් වන අතර දක්ඛිණ සෑය අසල තිබී හමු වූ සෙල්ලිපියකින් මෙම කරුණ තහවුරු වී ඇත.

මෙවැනි සුළු කරුණුවල පවා සත්‍යතාවය මැනැවින් විද්‍යාමාන වෙද්දී මහාවංශය නමැති මහානීය ග්‍රන්ථය මිථ්‍යාවක් යැයි කියා කෙසේ නම් පවසන්න ද? මහාවංශයෙහි සත්‍යතාවය ඉස්මතු කරවන කරුණු කාරණා ඕනෑ තරම් තවත් අපට හමු වේ.

1 වන කාශ්‍යප රජු විසින් (ඉසුරුමුණියෙහි) විහාරයක් කරවා එතුමාගේ බෝධි හා උප්පලවණ්ණා යන දියණියන්ගේ නමත් එකතු කර එම විහාරය නම් කර සංඝයා උදෙසා පූජා කළ අතර ඉසුරුමුණි විහාරයට ගම් ද පූජා කළේ ය. මහාවංශයෙහි සඳහන් මෙම ප්‍රකාශය දැනට වෙස්සගිරිය ලෙස හඳුන්වන පුදබිමෙන් ලැබී ඇති සෙල්ලිපියකින් තහවුරු වන අතර එහි කසුප් රජු විසින් තබන ලද නාමය ‘බොඋපුල්වන් කසුප්ගිරි’ යනුවෙන් සඳහන් කර ඇත.

අනුරාධපුර යුගයෙහි අවසාන භාගයේ සිදු වූ සුවිශේෂී සිදුවීමක් මහාවංශයෙහි සඳහන් වේ. එය නම් 2 වන සේන රජු විසින් පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කර එහි අගනගරය වූ මධුරාපුරය ද අත්පත් කරගෙන තම පිය රජුගේ කාලයේ දී (1 වන සේන රජුගේ කාලයේ දී) පඬි රජු විසින් ලක්දිව ආක්‍රමණය කොට රැගෙන ගිය වස්තුව ද ඒ රටෙහි පවතින බොහෝ වස්තුව ද රැගෙන නැවත ලක්දිවට පැමිණීමේ සිදුවීම යි. 2 වන සේන රජුගේ ශිලා ලිපිවල ‘මධුරා දුනු මධුරා පහළ සිරිසගබෝ’ යන අභිධානයෙන් මෙම රජු ව හඳුන්වා තිබීමෙන් මෙම සිදුවීමෙහි සත්‍යතාවය හෙළි වන අතර එතුමාගේ පුත් කුමරු වන 5 වන කාශ්‍යප රජු විසින් පිහිටුවන ලද බිලිබෑව ටැම් ලිපියේත්, මැදිරිගිරිය ටැම් ලිපියේත් මෙම ආක්‍රමණය ගැන සඳහන් වී තිබීමෙන් තවදුරටත් මෙම මහාවංශ පුවතෙහි සත්‍යතාවය තහවුරු වේ.

5 වන මිහිඳු රජු දවස සොළී රජු විසින් එවන ලද සොළී සේනාවන් රජරට ප්‍රදේශය අත්පත් කරගත් බව මහාවංශයෙහි සඳහන් ය. එම කරුණ කොළඹ හා පොළොන්නරු කෞතුකාගාරවල තිබෙන 1 වන රාජේන්ද්‍ර නම් සොළී රජුගේ ශිලා ලිපි කිහිපයක සඳහන් වන අතර රුහුණු ප්‍රදේශයේ ආධිපත්‍යය දැරූ මහලානකිත්ති, ජගතිපාල, පරාක්‍රමපාණ්ඩ්‍යය යන ජන නායකයින් සොළීන් සමඟ යුද කිරීමට ගොස් එම තිදෙනා ඔවුන් අතින් මරණයට පත් වූ බව මහාවංශයෙහි දක්වන පුවත රාජාධිරාජ රජු විසින් දකුණු ඉන්දියාවේ පිහිටුවන ලද ‘මණිමංගලම්’ ශිලා ලිපියේ ඇති කරුණුවලින් තහවුරු වේ.

මෙම සොළී ආක්‍රමණිකයන්ගෙන් සිංහලද්වීපය බේරා ගත් විජයබාහු රජුට එම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා බුද්ධරාජ නම් ජන ප්‍රධානියෙක් උදව් කළ බව වංශකථාවෙහි සඳහන් වන අතර ‘පනාකඩුව තඹ සන්නසින්’ එය තහවුරු වේ. විජයබාහු රජු විසින් සොළීන්ගෙන් රට බේරාගෙන ලක්දිව එක්සේසත් කළ පසු බුදු සසුනේ දියුණුව පිණිස විශාල කාර්යභාරයක් ඉටු කරන ලද්දේ ය. ඉන් එක් කර්තව්‍යයක් ලෙස මහාවංශයෙහි සඳහන් වන්නේ ශ්‍රී පාද වන්දනාවෙහි යන බැතිමතුන්ට පහසුකම් සලසා එම පුදබිමට ගම් බිම් ද පූජා කරන ලද්දේ ය යන්නයි. මෙම කරුණු කාරණා අඹගමු සෙල්ලිපියෙන් තහවුරු වන්නේ ය.

විජයබාහු රජුගෙන් පසු පොළොන්නරු යුගයෙහි පහළ වූ ශ්‍රේෂ්ඨ ම රජු වන්නේ 1 වන පරාක්‍රමබාහු රජු ය. එතුමාට පොළොන්නරුව සියතට ගැනීම පිණිස එවකට එම ප්‍රදේශය පාලනය කළ ගජබාහු රජු සමඟ යුද්ධ ගණනාවක් කිරීමට සිදු විය. එහෙත් අවසන භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීම නිසා පරාක්‍රමබාහු රජු ගජබාහු රජු සමඟ ගිවිසුමකට එළඹී පොළොන්නරුව නැවත ගජබා රජුට ම බාර දුන් බවත්, එම ගිවිසුම මැදිරිගිරියෙහි ගලක කොටවා තැබූ බවත් මහාවංශයෙහි සඳහන් ය. එම ලිපියේ පිටපතක් සංගමු විහාරයෙන් ලැබී තිබේ. ඉන් කොටසක් මෙසේ ය.

(ස්වස්ති) ශ්‍රී මහා සම්මත පරම්පරා –
(යෙන්) නොපිරිහී ආ සත්‍යධන වූ ගජ
බා (හු ප)රාක්‍රම බාහු දෙසුරුබඩු වම් –
හ. අප කළ සන්ධානයට ජීවතාන්ත
දක්වා විග්‍රහයක් නොකරම්හ. ඔවු –
නොවුන් අයාමෙහි පළමු වැ කෙනෙකුන්
ගෙ…… පසු වූවන් අත්පත්
(වන්න)….. එක් කෙනෙකුන්……
(වැ) මෙ…… (රා)ජ්‍ය වි(ලුප්ත) වන නියායෙ –
න්…… (අප) දෙදෙනා කෙරෙන්
එක් කෙනෙකු (න් හට) සතුරු වූ රජදරු කෙ –
නෙක් ඇත්නම් දෙදෙනාට ම සතුරහ. මෙ –
ට විරුද්ධයක් කළමො නම් තුනුරුවන් ආඥා
මැකුවම්හ. නරකයෙන් මුක්ත නොවූවම්හ.

මෙහි අර්ථය පැහැදිලි ය. එසේ ම පරාක්‍රමබාහු රජුගේ තෙද බලය මෙරටට පමණක් සීමා නො වී ය. විදෙස් දේශයන්ට ද පැතිර ගියේ ය. එවන් අවස්ථාවන් දෙකක් මහාවංශයෙහි දැක්වේ. පළමුවැන්න නම් එවකට බුරුම දේශයේ පාලකයා සිංහල රජුට විරුද්ධව කටයුතු කළ නිසා පරාක්‍රමබාහු රජු සෙනෙවියෙක් යටතේ විශාල නාවික හමුදාවක් ස්ථාපිත කොට ඔවුන්ව බුරුම දේශය ආක්‍රමණය කිරීමට යවා එම දේශය ජය ගෙන එහි සිංහල රජුගේ බලය ස්ථාපිත කිරීම යි. මෙම සිදුවීම කෑගලු ප්‍රදේශයෙන් ලැබී ඇති දෙවනගල ලිපියෙන් සනාථ වේ. එහි බුරුම රජුව ‘අරමණාධිපති’ ලෙස හඳුන්වා ඇති අතර එම රජු තමාට විරුද්ධව කටයුතු කළෙන් නැව් දහස් ගණනකට බලසෙන් නංවා එරටට යවා ඒ දේශය ජය ගත් බව සඳහන් වේ. එමෙන් ම එම සටන මෙහෙයවූ සෙනෙවියාට ලබාදුන් ත්‍යාගයන් පිළිබඳව ද සඳහන් වේ.

දෙවැනි කරුණ ලෙස මහාවංශයෙහි සඳහන් කරන්නේ පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කිරීම යි. කුලශේඛර නම් අයෙක් 2 වන රාජාධිරාජ නම් සොළී රජුගේ ද උදව් ඇතිව පාණ්ඩ්‍ය දේශය අල්ලාගත් අවස්ථාවේ ඔහුගෙන් පාණ්ඩ්‍ය දේශය නිදහස් කොට නැවත පාණ්ඩ්‍ය කුමාරයෙකු ව සිහසුනෙහි නැංවීම එම ආක්‍රමණයෙහි අරමුණ විය. ඒ පිණිස ලංකාපුර දණ්ඩනායක සෙනෙවි යටතේ මහා සේනාවක් එරටට යවා පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කළේ ය. එකල චෝළ දේශයේ රජු වන 2 වන රාජාධිරාජ රජුගේ පස්වන රාජ්‍ය වර්ෂයට අයත් ‘අර්පාක්කම් ශිලා ලිපියෙහි’ මේ ගැන සඳහන් වේ. එහි සිංහල සේනාව පාණ්ඩ්‍ය දේශය අල්ලාගෙන කුලශේඛර රජු පන්නා දැමූ බවත්, සිංහල සේනාවට බියපත් වූ සොළී රටෙහි මිනිසුන් පූජකවරයෙකු ලවා යාඥා, පූජා බලිදාන පවත්වා සිංහල සේනාව මැඩ පැවැත්වීමට දෙවි පිහිට ඉල්ලූ බවත් සඳහන් වේ. මීට අමතරව එම සොළී රජුගේ 8 වන රාජ්‍ය වර්ෂයට අයත් ශිලා ලිපියක ද මෙම ආක්‍රමණ පිළිබඳව විස්තර සඳහන් වේ.

මෙම සියලු කරුණු කාරණාවලින් නැවත නැවතත් ඉස්මතු වන්නේ මහාවංශයෙහි ඇති සත්‍යතාවය නො වේ ද? තවත් ඕනෑතරම් මහාවංශයෙහි ඇති සත්‍යතාවය විදහා දක්වන සාධක හමු වී තිබුණත් නුවණැතියෙකුට මහාවංශයෙහි සඳහන් කරුණුවල සත්‍ය අසත්‍යතාවය තේරුම් ගැනීමට මෙම කරුණු කාරණා හොඳට ම ප්‍රමාණවත් ය. එහෙයින් මහාවංශය වනාහී මුසාවක් යැයි පවසන අයවලුන්ගේ එම කථාවන්ට නොරැවටී ඉතා සිහිබුද්ධියෙන් යුක්තව සිංහල ජාතියත්, බුදු සසුනත් ආරක්ෂා කළ මහා වංශකථාව වූ මහාවංශය නමැති ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රත්නය සිංහල ජාතියට අයත් සියලු දෙනා විසින් කියවිය යුත්තේ ය. කුමක් නිසා ද යත් එවිට නැවත වතාවක් අතීතයේ මෙන් අභිමානවත් ප්‍රෞඪ ජාතියක් ලෙස අපට නැඟී සිටිය හැකි නිසා ය.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.