දරුවන්ට මනා අධ්‍යාපනයක් හා භෞතික සම්පත් ලබා දීමෙන් දෙමව්පියන් වශයෙන් දරුවන් කෙරෙහි යුතුකම් වගකීම් සියල්ල සම්පූර්ණ කළා යැයි සිතන දෙමව්පියන් වෙත සාදරයෙන් ලියමි.

දෙමව්පියනි, ඔබ දෙපල විසින් මහත් සෙනෙහසින් මෙලොවට දායාද කරන ඒ දරුවන් ඔබේ දෝතට පැමිණෙන්නේ දෑසවත් විවර නොකරගෙන ය. ඔවුන් “අම්මා” යැයි කියන්නට උගනින්නේ ද ඔබගෙන් ය. එතැන් පටන් ඔවුන් ලෝකය දකින්නට හුරු වන්නේ ඔබගේ දෑසිනි. ඔවුන් තමාට කිසි දිනක ළඟා විය නොහැකි වූ සොඳුරු ලොවකට පය තබනු දැකීම බොහෝ සෙනෙහෙබර දෙමව්පියන්ගේ අහිංසක පැතුමයි. ඒ දෙමව්පියන් තම පැතුම සඵල කර ගනු වස් දරුවන්ව අධ්‍යාපනය තුළ ම උත්සාහවත් කරති. ඒ සඳහා අවශ්‍ය සියලු ම සම්පත් සලසා දෙති. තම දරුවන්ගේ මුහුණේ ඇඳෙන සිනහවෙන් දෙමව්පියන්ගේ ජීවන විඩාව සන්සිඳෙයි. කුඩා දරුවන්ගේ සුරතල් දකිමින් සිටින දෙමව්පියන්ට වසර ගණන් ගත වී යනු නොදැනෙයි. නමුදු ඒ දරුවන් ඔබගේ ඇකයෙන් බැස ස්වාධීන ගමනක් යාමට අරඹනා දිනයක් තිබේ. එදිනට අධ්‍යාපනයට අමතර ව ඔවුන්ගේ දිවිමග සරු කිරීමට, යහපත් පුරවැසියෙකු කිරීමට, අන් අයව නොපෙළනා සත්පුරුෂයෙකු කිරීමට අවැසි තවත් බොහෝ දෑ තිබේ. ඒ වටිනාකම්, ගුණධර්ම ඔවුන් උගෙන නැති නම් එවන් දරුවෙකුට වරදිනා මොහොතක් ඔහුගේ ජීවිතයේ කෙදිනක හෝ උදා වේ. ඔහුට වැරදුනු බව සමහර විට මෙලොව දී කිසිවෙකුට දැකිය නොහැකි වන්නට පුළුවන. නමුත් ඒ වැරදිවලට වගකිව යුතු අවස්ථාව ඔවුන්ට මරණයේ දී උදා වෙයි. දරුවන් කෙරෙහි පතල මෙත්තා, කරුණා, මුදිතා උපේක්ෂා ගුණ දරන සෙනෙහෙවන්ත ඔබ, ඔබගේ දරුවන්ගේ මෙලොව යහපත මෙන් ම පරලොව යහපත ද කැමති විය යුතු ය. වර්තමාන දරු පරපුර ගමන් ගන්නා දිශාව කිසිසේත් ම සුභදායක නොවන බැවින් තම දරුවන් තුළ ගුණධර්ම ඇති කිරීමේ වගකීම තමා විසින් ම දැරිය යුතු ය.

ඒ දරුවන්ට තමාගේ මුල අමතක නොකිරීමට කියා දිය යුතු ය. තමාගේ මුල් ගුරුවරු වූ දෙමව්පියන් කෙරෙහි බැතිමත් වීමට කියා දිය යුතු ය. අතිශයින් ධාවනකාරී නොවීමටත්, අන් අයගේ හැඟීම් සමඟ සෙල්ලම් නොකිරීමටත්, අවංක, ඍජු චරිතයක් ඇති කරගැනීමටත්, වගකීම් දැරීමටත් කියා දිය යුතු ය. සිහින ලෝක තුළ ජීවත් වීමට නොව පොළොවේ පය ගසා ජීවත් වීමට කියා දිය යුතු ය. අනුන් කළ කී දෑ නොව තමන් කළ කී දෑ සොයා බලා තම අඩුපාඩු සකස් කර ගැනීමට කියා දිය යුතු ය. වැදගත් යැයි සිතා කටට එන එන දේ කියවීමට නොව වචනයෙන් සංවර වීමට කියා දිය යුතු ය. කිසිවෙකුට නින්දා නොකරන සත්පුරුෂයෙකු වීමට කියා දිය යුතු ය. ඉපදෙන, දිරන, මැරෙන ජීවිත යථාර්ථය කියා දිය යුතු ය. අධ්‍යාපනයෙන්, රූපයෙන්, ධනයෙන්, බලයෙන් පමණක් සියල්ල සම්පූර්ණ නොවන බව කියා දිය යුතු ය. දෙමව්පියෝ දරුවන් කෙරෙහි මහත් අනුකම්පාව උපදවාගෙන අතිශයින් ම අවධානයෙන් වාසය කළ යුත්තාහු ය. ඉවසීමෙන්, ආදරයෙන්, උපායශීලී ව යහපත පිණිස අවවාද කළ යුතු ය. තමාට අවවාද කිරීමට නොහැකි නම් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව ම ඉස්මතු කොට දක්වමින් යහපතට ම මග කියන අපගේ ආර්ය මහා සංඝරත්නය වෙත යොමු කළ යුතු ය. ඒ උතුමෝ වනාහී, සත්වයන් දමනය කිරීමෙහි අතිශයින් ම සමත් වූ අපගේ සුගත වූ ශාස්තෘන් වහන්සේ විසින් වදාළ, සත්වයන් දමනය කිරීමෙහි සමත් ආනුශාසනී ප්‍රාතිහාර්යයෙන් යුතු ඒ උතුම් බුද්ධ භාෂිතය දන්නා සේක. අනුකම්පාවෙන් ම වදාරන සේක. ඒ සත්පුරුෂ ඇසුර ලබන්නෝ සතර අපායේ දොරටු ම විවර කරන මේ සමාජ රටාව ගමන් ගන්නා දිශාවෙන් තරමක් හෝ මිදෙන්නෝ ය.

වර්තමාන තාරුණ්‍යය සම්පූර්ණයෙන් පාහේ ගොඩනැගෙන්නේ ජංගම දුරකතනය තුළ ය. ඔවුනගේ මිත්‍රකම්, නෑදෑකම්, ප්‍රේම සබඳතා සියල්ලම හට ගන්නේ ද පවතින්නේ ද නැති වී යන්නේ ද ජංගම දුරකතනය තුළයි. ජංගම දුරකතනය වනාහි එදා භාග්‍යවතුන් වහන්සේ ඇසතු බෝ සෙවණේ දී යමෙකු පරදා ලොව්තුරා බුද්ධත්වය සාක්ෂාත් කළේ ද එම පවිටු බලවේගයෙහි ග්‍රහණයේ පවතින උපකරණයක් වන බව දහමක් නොදත්, සත්පුරුෂ ඇසුරක් නොලබන අසරණ තරුණ පරපුර නොදනිති. එබැවින් දරුවෝ එය තුළ තම ලෝකය ම ගොඩ නගති. කෙටි පණිවිඩයක් බලන්නට යන කාලය තුළින් කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නටත්, තමාට දක්වන සැලකිල්ල ප්‍රමාණනය කරන්නටත් ඔවුහු උත්සාහවත් වෙති. ද්වේෂයක් උපන් සැණින් එය හැමට ම පෙනෙන අයුරින් දැක්වීමට උත්සුක වෙති. ඉවසන්නට, දරාගන්නට ඔවුනට නොහැකි ය. කුඩා දරුවෙකුගේ දෑතටවත් ජංගම දුරකථන ලබා නොදිය යුත්තේ ය. සමහර දෙමව්පියන්, දරුවන් කුඩා කල ම තාක්ෂණයට හුරු වීම ආඩම්බරයට කරුණක් ලෙස සලකත්. සමහර දෙමව්පියෝ කුඩා දරුවන් නළවා ගැනීමට ජංගම දුරකතනය දෑතට දීමට පුරුදු ව සිටිත්. නව තාක්ෂණික මෙවලම් නිපදවන ආයතනවල හිමිකරුවෝ පවා දරුවන් වැඩිවියට එළඹෙන තාක් ජංගම දුරකතන ලබා දීමෙන් වළකිති. ඒ වෙනුවට ඔවුන්ගේ දෑතට ළමා සඟරා, දහම් කරුණු ඇතුළත් පොත්පත් ලබා දිය හැකි ය. කුඩා අවධියේ සිට ම පුස්තකාලයට රැගෙන යා හැකි ය. කුඩා කල ම කියවීමට හුරු වන දරුවෝ කල් ගත වෙත් ම වීමංසන හැකියාවෙන් ද තියුණු නුවණකින් ද යුත් පරිණත පුද්ගලයෝ වන්නෝ ය.

එසේ ම මෙකල බොහෝ තරුණ තරුණියන්ගේ ආදර අන්දර ජංගම දුරකතනයට සීමා වී ඇත. එයින් ලබන ආශ්වාදය සැබෑ ලෝකයේ හමු වූ විට ලබනු නොහැකි බැවින් සෑම විටම නොනිමෙන පිපාසයකින්, දැවිල්ලකින් යුතුව වාසය කරති. සැබෑ ලෝකයේ තත්ත්වය එකක් වන විට වෙනස් ම තත්ත්වයක් සිතින් මවා ගනිති. භාග්‍යවතුන් වහන්සේ වදාළ අයුරින් ම අතීතයත්, අනාගතයත් ගැන සිතමින් තැවෙන ඔවුහු සැබැවින් ම අව්වේ දැමූ ළපටි බට දඬු මෙන් මැලවී යත්. මනාව ගත දැවටූ වස්ත්‍රයෙනුත්, ව්‍යාජයෙන් මුහුණට නගා ගත් සිනහවකිනුත් තම ජීවිත යථාර්ථය සඟවාගෙන මහත් උඩඟුකමකින් හාත්පස බලත්. විටෙක ජංගම දුරකතන තුළ ගොඩ නැගෙන සබඳකම් අතිශයින් ම පිළිකුල් ය. කාමෝන්මාදයෙන් යුතුව රාගය ම උද්දීපනය කරත්.

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සුරැකෙන, ධාතූන් වහන්සේලා වැඩසිටින බෝධීන් වහන්සේලා වැඩසිටින, ධර්මද්වීපයේ ඒ උතුම් ධර්මයේ පිහිට පිළිසරණ සොයනා සුළුතරය හැරුණු කොට බහුතරයේ තත්ත්වය ද මෙසේ වන විට මේ මිනිස් ලොව අනෙකුත් රටවල වෙසෙන මනුෂ්‍යයන් පිළිබඳ කතා අවශ්‍ය නැත. මනුලොව මෙතරම් පිරිහීමකට පත්ව තිබෙද්දී, තවදුරටත් පරිහානිය කරා ම යද්දී, ලෝකය බොහෝ අකුසල් රැස් කරමින් සිටිද්දී සත්‍යයක් වන්නේ ඒ උතුම් බුද්ධ භාෂිතය ම ය. එනම්, නිය සිලට ගත් පස් පිඬේ උපමාව ම ය. බොහෝ සත්වයෝ සතර අපාය ම තම මහගෙදර කරගෙන වාසය කරති.

එබැවින් තෙරුවන් සරණ ගිය, උතුම් සත්පුරුෂ ඇසුර ලබනා නුවණැති මව්පියෝ තමාත් තෙරුවනේ රැකවරණය තුළ ආරක්ෂා වෙත්වා. තම දරුවන් ද තෙරුවන් සරණ තුළත්, ගුණධර්ම තුළත් මැනවින් පිහිටුවත්වා. අතිශයින්ම බිහිසුණු බවකට පත් වෙමින් යන මනුලොවට නැවත නොපැමිණීම පිණිස නොපමාව කුසල් දම් රැස් කර ගනිත්වා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! අකාලික ගුණයෙන් යුතු උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා! සාමීචිපටිපන්න වූ ආර්ය මහා සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.