සැවැත්නුවර ප්‍රධාන නගරයට නුදුරින් වූ ගම්මානයක පටු මාවතක් අද්දර වූ කුඩා නිවසකි. එළිමහනට කිසිවකු පෙනෙන්නට නොසිටිය ද නිවසේ මුළුතැන්ගෙය තුළ තරුණ කාන්තාවක් යුහුසුළුව ආහාර පිසිමින් සිටියා ය. කලින්ම තම නිවැසියන්ට රාත්‍රී ආහාර වේල සකසා පිළියෙල කළ ඇය මුළුතැන්ගෙය ද ඉක්මණින් ම පිරිසිදු කළා ය. නිවසට මඳක් ඈතින් වූ කුඹුරු යාය අසලින් ගලා යන දොළ පහරෙන් දිය නා ගත් පසු කයට දැනුනේ සුවයකි. එහෙත් ඊටත් වඩා නැවුම් ප්‍රබෝධයකින් අද ඇගේ සිත පිරී තිබේ. පිරිසිදු සුදුවත් හැඳ සළුව දවටා ගත් ඇය සුවඳැති කබෝලීල මල් පැස ද, කලින්ම ගලගා සූදානම් කර තිබූ රත් සඳුන් කල්කය ද අමතක නොකර අතට ගත්තා ය.

තුන්ලෝතිලක ශාන්තිනායක ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ මේ දිනවල සැවැත්නුවර වැඩ සිටින සේක. ගමේ සැදැහැති උපාසක උපාසිකාවන් සමඟ ඇය මේ ගමන් කරන්නේ ඒ භාග්‍යවත් මුනිරජුන්ගේ අමා ධර්මය ශ්‍රවණය කරන්නට ය. දෙව්රම් වෙහෙරේ භාග්‍යවතුන් වහන්සේ වැඩ නොසිටින දිනවල සාරිපුත්ත ආදී මනෝභාවනීය මුනිවරයන් වහන්සේලාගෙන් ඒ මධුර මනෝහර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ හැකි ය. විහාර භූමියේ සිටි දහස් සංඛ්‍යාත පිරිස් අතරට එක් වූ ඇය මුලින්ම ජේතවන දොරටුව අසල වැඩ හුන් – මහත් ප්‍රාතිහාර්ය සහිතව රෝපණය වූ ආනන්ද බෝධීන් වහන්සේ ළඟට පැමිණියා ය. ඇය ජීවමාන බුදුරදුන් බඳු ආනන්ද බෝධිරාජයාණන් වහන්සේට සාදර සිතින් වන්දනා කළා ය. ප්‍රදක්ෂිණා කළා ය. පිරිසිදු පැන් බඳුනක රත් සඳුන් කල්ක දිය කළ ඇය බෝ රජුන් පාමුල තබා සැදැහැ සිතින් පූජා කළා ය. බෝ රජුන් වටා ඉදි කොට තිබූ සොඳුරු මණ්ඩපය වටා රැගෙන ආ සුවඳැති කබෝලීල මල් ඇතිරුවා ය. බුදුගුණ සිහි කොට යළිත් වන්දනා කළා ය.

සැදැහැවත් උවසු උවැසියන් දම්සභා මණ්ඩපය පුරාත්, ඒ අවටත් තැන්පත්ව සැදී පැහැදී සිටින්නේ ලෝකයට අතිශයින් ම කලාතුරකින් ඇසෙන අමා දහම් පද ශ්‍රවණය කරන්නට ය. ඇය ද ඉඩකඩ ඇති තැනක සුවපහසුව හිඳ ගත්තා ය. ධර්මාසනයේ වැඩ හුන් ධර්මදේශකයාණන් වහන්සේ සොඳුරු දහම් හඬ අවදි කළ සේක. සිව්වනක් පිරිස සුසැඳි ඒ ධර්ම ශ්‍රවණලාභී පිරිස මධුර මනෝහර තථාගත ධර්මයට දෙසවන් යොමුකොට සිත පිහිටුවාගෙන තම තම නැණ පමණින් නුවණින් මෙනෙහි කරමින් ධර්මශ්‍රවණයේ යෙදී සිටියහ. කිසිවෙකුට කාලය ගැන හැඟීමක් නොවිණි. දහම් රසය විඳිමින් සිටි ඇයගේ අවධානය මොහොතකට අවට පරිසරය වෙත යොමු විය. අවරගිර ක්ෂිතිජයෙන් හිරු මඬල බැස යන්නට ආසන්න ය. පරිසරය ක්‍රමක්‍රමයෙන් අඳුර විසින් වෙලා ගනිමින් සිටියි. තව ටික වෙලාවකින් රාත්‍රි අන්ධකාරය විසින් දේශකයාණන් වහන්සේත්, සිවුවනක් පිරිසත් සහිත දම්සභා මණ්ඩපය ද අත්පත් කර ගනු ඇත. තවම දම්දෙසුම ආරම්භ වුණා පමණි. ‘දම්සභා මණ්ඩපයට අන්ධකාරයෙන් උපද්‍රවයක් නොවේවා!’යි හදිසියේම සිතේ ඇති වුණ සිතිවිල්ලකින් මෙහෙයවනු ලැබූ ඇය කිසිවකුටත් බාධාවක් නොවන පරිදි සන්සුන්ව හුන් තැනින් නැගී සිටියා ය. කඩිසර ගමනින් ජේතවන දොරටුව දෙසට ඇය ඇවිද යද්දී ගිලන් භික්ෂුවකට උපස්ථාන කොට ආපසු යමින් සිටි පුරුෂයෙක් ඇයට ඉදිරියෙන් ගමන් කරමින් සිටියේ ය. සුසුමක් හෙළුෑ ඇය කලින් දන්නා හඳුනන ඔහු අත තම නිවසට පණිවිඩයක් යවා පිරිසිදු පහන් වැටි පන්දම් කීපයක් සහිත පහන් දල්වන උපකරණ ද ගෙන්වා ගත්තා ය. යුහුසුළුව නමුත් මනා කොට සකසා පිළියෙල කර ගත් පහන් දැල්වූ ඇය ධර්මාසනය ඉදිරියෙනුත්, ඒ අවට සුදුසු තැන්වලත් ඒවා තැන්පත් කළා ය. ඇය දැල්වූ පහන්වල බබළන එළියෙන් දම්සභා මණ්ඩපය තුළ අඳුර මැකී ගියේ ය. හාත්පස ආලෝකවත් වී ගියේ ය. ප්‍රීතියෙන් පිරුණු ඇගේ සිත ඊටත් වඩා ආලෝකවත් වී තිබිණි. කටයුත්ත නිමා කර සන්සුන්ව පසෙකින් හිඳ ගත් ඇය පහන් සිතින් ධර්මය ශ්‍රවණය කළා ය.

අරුණෝදයේ ලොවට නැගෙන හිරු බැස යමින් ද අවරගිර බැස යන ඒ හිරු පෙරදිගින් යළි නැගෙමින් ද කෙමෙන් කෙමෙන් දින සති මාස බවට පත් වෙමින් කාලය ගෙවී ගියේ ය. ඒත් සමඟම ඇයගේ ආයුෂ ද ගෙවී යමින් තිබිණ. ගිහි ජීවිතයේ අනේක දුක් කරදර කම්කටොළු මැද වුව ද වරින් වර සිදු කර ගත් නොයෙක් පින්කම් ද ශ්‍රවණය කර ධර්මය ද මෙනෙහි කරමින් සිත සනසා ගන්නට වියපත් වූ ඇය ගත්තේ අවංක උත්සාහයකි. ඒ අතර අතීතයේ තමා කළ සියලු දන් පින් අභිබවා නැවතත් සිතට නැගෙන්නේ සුන්දර පිනකි. එක්තරා දවසක අහඹු ලෙස සිදුකර ගත් ප්‍රදීපාලෝක පූජාව – එය අත්‍යාවශ්‍ය අවස්ථාවක දී සිදුකර ගන්නට යෙදුණකි. ආලෝක පූජාව සිහිවෙන වාරයක් පාසා එදා දැනුන තරම් ම ප්‍රීතියකින් ඇගේ සිත පිරී ඉතිරී යයි. තමා දැල්වූ පහන්වලින් ආලෝකවත් වූ දම්සභා මණ්ඩපය තුළ දහස් ගණන් පිරිස සුව සේ ධර්මය ශ්‍රවණය කරන දසුන යළි යළිත් ඇගේ මනසේ මැවි මැවී පෙනිණි. ඒ හැම වාරයක ම ඇගේ සිත පහන් වී ගියේ ය. එසේ පහන් වී ගිය සිතින් සිටි එක්තරා මොහොතක තම අවසන් සුසුම් පොද වාතලයට මුසු කරමින් ඇය මනුලොව අත හැරියා ය.

වෘක්ෂය පාමුල සිහිලැල්ව භාවනායෝගීව වැඩ සිටින්නේ තථාගත සම්බුදුරදුන්ගේ වාම අග්‍රශ්‍රාවක වූ ඍද්ධි ප්‍රාතිහාර්යප්‍රාප්ත වූ මහා මොග්ගල්ලාන මුනිවරයන් වහන්සේ ය. මනුලොව මිනිසුන් කෙරෙහි අප්‍රමාණ දයානුකම්පාවෙන් තෙත්වූ හද මඬලක් දරා වැඩසිටි ඒ උත්තම මහරහත් මුනිඳුන් දෙව්ලොවට වැඩම කර, ඒ දෙවි දේවතාවුන් කළ පින් ගැන තොරතුරු අසා දැන විත් මනුලොව මිනිසුන්ට කරුණාවෙන් කියා දෙන සේක. පින් කුසල් කෙරෙහි අප්‍රමාදී කරවන සේක. මේ මොහොතේ සමවත් සුවයෙන් මිදුණු මහා මොග්ගල්ලාන මුනිඳුන් දික් කළ අතක් හකුළුවන වේගයෙන් එතැනින් නොපෙනී ගොස් තව්තිසාවේ දෙව්විමන් අතර පහළ වුණේ ඒ උදෙසා ය.

අනේකවිධ විවිධ වූ දිව්‍ය විමාන අතර, වලාකුළු රහිත අහස්කුස දිලෙන මධ්‍යහ්න සූර්යයා බඳු දීප්තිමත් ආලෝකධාරා විහිදුවමින් බබළන මනෝරම්‍ය වූ ‘ජෝතිරස’ නම් දෙව් විමනකි. ඒ දෙව් විමන දොරකඩ ළඟ නැවතී සිටි ශාන්ත ඉඳුරන් සහිත, සන්සිඳී ගිය, සිහියෙන් යුතු මහා මුනිවරයන් වහන්සේ ව දුටු විමානාධිපතිනිය වූ මහා පුණ්‍ය ඍද්ධි ඇති අභිරූපී දිව්‍යාංගනාව පිරුණු සතුට යුතු සිතින් යුතුව සිය දෙව් පිරිස ද සමඟින් වහා එතැනට පැමිණියා ය. අප්‍රමාණ බැති සිතින් යුතුව දෑත් නළල තබා මුනිඳුන්ගේ පා කමල් අබියස වැඳ නමස්කාර කළා ය. එකල්හී මුනිඳුන් මෙසේ අසා වදාළ සේක.

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින් ද?

පින්වත් දෙව්දුව, ඔබේ සිරුරෙන් විහිදෙන එළිය හරිම නිර්මලයි. ඔබේ සුන්දර වූ සියලු අඟපසඟින් විහිදෙන එළියෙන් හැම දිසාවම බබළන්නේ මොනවගේ පිනකින් ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක් ද කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබළි බැබළි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබළනවා.”

මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රශ්නවලට ඒ දෙව්දුව බොහෝ සතුටු වූවා ය. ‘මොන වගේ පින්කම්වලින් ද මේ සැප ලැබුණේ’ යන ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ මෙසේ ය.. “මගේ අතීත ජීවිතයේ මිනිස් ලොවේ මනුස්ස දුවක් වෙලයි හිටියේ. මහා ඝන අන්ධකාරයක් තිබුණා. පහන් ආලෝකයක් අවශ්‍ය ම වෙච්ච වෙලාවක්. ඉතින් මම ඒ පහන් ලබාදුන්නා. කවුරුහරි කෙනෙක් ඝන අන්ධකාරය පවතින විට, පහන් ආලෝකය අත්‍යවශ්‍ය ම වෙන ඒ වෙලාවට පහන් පූජා කරනවා නම් අන්න ඒ කෙනාට ජෝතිරස කියන දිව්‍ය විමානයේ උපදින්නට පුළුවනි. ඒ විමානයේ ගොඩක් ලස්සන මල් වර්ග තියෙනවා. සුදු නෙළුම් තියෙනවා. ඉතින් ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණෙත්. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසා ම යි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාවසම්පන්න ව බැබළි බැබළි ඉන්න ඕක තමයි මම කරගත්ත පින. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබළනවා…”

තමා විසින්ම කළ පින සිහිකිරීමෙන් හටගත් ප්‍රසන්න සිතත්, ධර්මාවබෝධයට මෙහෙයවිය හැකි නුවණත් දිවැසින් දුටු මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය දේශනා කළ සේක. දේශනාව අවසානයේ සිය පිරිවර සහිත මහානුභාව ඇති එම දේවතාවිය සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා ය.

ඇසුර – දීප විමාන වත්ථු, විමානවත්ථු පාලිය (ඛු. නි.)

පරමත්ථදීපනී අට්ඨකථාව