පින්වත් යොවුන් දූ දරුවනේ,

අපි බොහෝ දෙනෙකුට තියෙන දුර්වලතාවයක් තමයි යමක් කට උඩටම එනතෙක් ඉඳලා කලබල වෙන එක. සාමාන්‍යයෙන් විභාග ආදිය ලියන වයසේ අයට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් විභාගෙ කට උඩටම එනකම් ඔහේ ඉන්නවා. විභාගෙ කට උඩ තියාගෙන කලබල වෙනවා. පපුව පුච්චාගෙන දඟලනවා. නමුත් එතකොට ප්‍රමාද වැඩියි. එයාලට ඒ කලබලෙන් සාර්ථකත්වයක් උදා කරගන්න බෑ. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් කලබල වීම සාර්ථක නෑ.

නමුත් කෙනෙක් මෙහෙම කල්පනා කළොත් ‘විභාගයට මට මුහුණ දෙන්න තියෙනවා. මං ඒ උදෙසා කළ යුතු දේවල් කල්දාන්නේ නැතිව ඉක්මණින් කරන්න ඕනි’ කියලා. ඒ තුළින් තමයි සාර්ථකත්වයක් ලැබෙන්නේ. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් පමා නොවී ඉක්මන් වීම සාර්ථකයි.

ජීවිතේ වුණත් එහෙමයි…!

ඔව්! ජීවිතේ වුණත් එහෙමයි. කලබල වුණොත් අසාර්ථකයි. හැබැයි ඉක්මන් වුණොත් සාර්ථකයි. ඉතිං දරුවනේ, මේ ලිපිගතේ අකුරු එකිනෙක අමුණන්නේ කලබල නොවී ඉක්මන් වෙලා ජීවිතේ සාර්ථක කරගන්න හැටි කියා දෙන්නමයි. ඒ නිසා පොඩි වෙලාවක් ගත කරලා මේ ලිපිගත දිගේ ඉදිරියටම යන්න. ඔයාලටත් තේරේවි ‘කලබල නොවී – ඉක්මන් වෙන්නේ කොහොමද?’ කියලා.

අපි මොකද කරන්නේ…?

ඔයාලා හිතන්න අපිට අපේ ජීවිතේ ගැනම පැහැදිලි ආරංචියක් ආවොත් ‘තව ඉන්න තියෙන්නේ ටික දවසයි. අසවල් දවස වෙද්දී මේ ජීවිතේට සමුදෙන්න වෙනවා’ කියලා, අපි එතකොට මොකද කරන්නේ? අපිට මොකද කරන්නේ කියලා හිතාගන්නත් බෑ නේද? එහෙම සිදුවීමක් වුණා ‘සුජාත’ කියලා රජ කුමාරයෙකුට.

සුජාත කුමාරයාගේ කතාව

ඇත්තෙන්ම මේ සිදුවීම වෙද්දී අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් ඉතාම කෙටි කාලයයි ගත වෙලා තිබුණේ. ඒ කාලේ ‘අස්සක’ කියලා රටක් තිබුණා. ඒ රට ‘අස්සක’ නමින්ම රජෙක් තමයි පාලනය කළේ. ඒ රජුගේ පුතා තමයි සුජාත කුමාරයා. මේ සිදුවීම වෙද්දී කුමාරයාට වයස අවුරුදු දහසය යි.

සුජාත කුමාරයා මුව දඩයම පිණිස දුණු ඊතල අරගෙන මහ වනයට ගියා. වනාන්තරේ ඇතුළට තනිවම ඇවිද යද්දී කුමාරයාට දකින්න ලැබුණා භික්ෂූන් වහන්සේනමක් වැඩ සිටින කුටියක්.

ඔබ කවුද…?

ඒ කුටියේ වැඩ සිටියේ අපගේ මහා කච්චාන මහරහතන් වහන්සේ. සුජාත කුමාරයා මේ කුටිය සමීපයට කිට්ටු වෙද්දී රහතන් වහන්සේ කුමාරයාව දැක්කා. කුමාරයාගෙන් මෙහෙම ප්‍රශ්න කළා.

“ඔබේ අතේ දුන්නක් තියෙනවා. කවුද ඔබ? ක්ෂත්‍රියයෙක් ද? වෙනත් රාජ කුමාරයෙක් ද? එහෙම නැත්නම් වනාන්තරයේ ඇවිදගෙන යන වැද්දෙක් ද?”

කුමාරයා උත්තර දුන්නා. “ස්වාමීනි, මං අස්සක රජ්ජුරුවන්ගෙ පුතා. මං ගැන කවුරුත් දන්නෙ සුජාත කියලයි. මං මේ මුවන් ව හොයාගෙන යනවා. මං මේ නැවතුනේ ඔබව දැකලයි.”

එතකොට රහතන් වහන්සේ ඒ කුමාරයාට බොහෝම කරුණාවෙන් මෙහෙම පැවසුවා. “කුමාරය, ඔබේ පැමිණීම යහපත් එකක්මයි. ඔන්න ඔතනින් වතුර අරගෙන ඔබේ පා සෝදා ගන්න. රාජ පුත්‍රය, ඔයින් පැන් ටිකකුත් වළඳලා මේ ඇතිරිල්ලේ වාඩිවෙන්න.”

තව තියෙන්නේ මාස පහයි

රහතන් වහන්සේ මේ කුමාරයාට වාඩි වෙන්න කිව්වේ ඔහුව බොහොම වැදගත් කරුණක් ගැන දැනුවත් කරන්නයි. ඉතිං උන්වහන්සේ ඒ කරුණ කුමාරයාට කෙළින් ම පැවසුවා. “රාජ පුත්‍රය, තව මාස පහකින් මෙපිට ඔබේ මරණය සිද්ධ වෙනවා. ඊට කලින් තමන්ව අපා දුකින් මුදවා ගන්න.”

මට තියෙන්නේ කොච්චරක් ද?

කුමාරයාට ජීවත් වෙන්න තියෙන්නේ තව මාස පහයි. මොහොතක් හිතන්න. ඔයා දන්නව ද තව කොතරම් කාලයක් ඔයාට ඉන්න තියෙනවා ද කියලා. ඕනම මොහොතක, ඕනම වයසක, ඕනම තැනක දී, ඕනම විදිහකට අහිමි වෙන්න පුළුවන් ජීවිතයක් ඇතිවයි අපිත් ඉන්නේ. හැබැයි අපට තව තියෙන්නේ කොච්චර කාලයක් ද කියලා අපි දන්නව ද? සමහර විට අපිට ඒ කුමාරයාටත් වඩා අඩු කාලයක් තියෙනවා වෙන්න බැරි ද? ඒ නිසා මේ කතාව අපි හැමෝටම ගොඩක් වැදගත්.

මං කොහොමද බේරෙන්නේ…?

සුජාත කුමාරයා මේ කතාව අහපු ගමන් කලබල වුණා. රහතන් වහන්සේට කලබලෙන් මෙහෙම කිව්වා. “ස්වාමීනී, ඒ මං කොයි ජනපදයට ද යන්නෙ? මොන වගේ දෙයක් ද කරන්නෙ? මොන වගේ පුරුෂ කාර්යයක් ද කරන්නෙ? මොන වගේ විද්‍යාවකින් ද මේ ජරා මරණවලින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ?”

එතකොට රහතන් වහන්සේ කුමාරයාගේ අනවශ්‍ය කලබලය දුරු කරන්න ලස්සන අවවාදයක් කළා.

කවුරුත් අමරණීය නෑ…

“රාජ පුත්‍රය, කෙනෙක් යම් තැනකට ගිහින් ජරාමරණවලින් නිදහස් වෙනවා නම්, ඒ විදිහේ තැනක්, ඒ විදිහේ විද්‍යාවක්, ඒ විදිහේ පුරුෂ කාර්යයක් දැකගන්ට නෑ.

මහා ධනවත් උදවිය, මහා භෝග ඇති උදවිය, ක්ෂත්‍රිය වූ රජවරු, තවත් බොහෝ ධනධාන්‍ය ඇති උදවිය ඉන්නවා. ඔය කවුරුත් අජරාමර උදවිය නොවේ.

ඉදින් ඔබ අහල තියෙනවා ද ‘අන්ධක වෙණ්හූ පුත්‍ර’ කියන අය ගැන. එයාල හරී ශූරයි. වීරයි. වික්‍රමාන්විතව සතුරන්ට පහර දෙනවා. හිරු සඳු වගේ. අන්තිමේ දී ඒ උදවියත් ආයුෂ ඉවර වෙලා මැරිල ගියා.

ක්ෂත්‍රිය උදවිය, බ්‍රාහ්මණවරු, වෙළඳ ව්‍යාපාරිකයෝ, දැසිදස්සන්, චණ්ඩාල, පුක්කුස කුලවල අය ඉන්නවා. ඔය කවුරුත් අජරාමර වෙච්ච උදවිය නොවෙයි.

අට්ඨක වාමක ආදී ඍෂිවරුන්ගේ පරම්පරාවෙන් ආපු සයවැදෑරුම් වේදමන්ත්‍ර පාඩම් කරන උදවිය ඉන්නවා. අනෙක් නොයෙක් විද්‍යා දන්න උදවියත් ඉන්නවා. ඔය කවුරුත් ඒ ඇති කර ගත්තු විද්‍යාවෙන් අජරාමර වෙන්නෙ නෑ.

ශාන්ත ඍෂිවරු ඉන්නවා. සීල සංවරයෙන් යුක්තයි. තපස් රකිනවා. ඒ තපස්වීන් වහන්සේලාත් කාලය ආවහම ශරීරය අත්හැර දානවා. වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලාත් පින් පව් මේ ජීවිතය තුළ ම ගෙවා දමලා අන්තිමේදි මේ සිරුර බැහැර කරනවා.

අනේ ඔබවත් මට සරණ වෙන්න…

එතකොට රජ කුමාරයා “පින්වත් භික්ෂුව, ඔබ මේ කියපු කරුණු මං ගැන අනුකම්පාවෙන්මයි කිව්වේ. අනේ ඔබවත් මට සරණ වෙන්න.” කියලා ඉල්ලා සිටියා.

ඒ රජ කුමාරයාට පමා නොවී ඉක්මණින් කරගත යුතු ඒ යහපත ගැන රහතන් වහන්සේ ඒ මොහොතේ කියලා දුන්නා. මොකක්ද ඒ පමා නොවී ඉක්මණින් කරගත යුතු යහපත. තෙරුවන් සරණේ පිහිටීමත්, සිල්වත් වීමත්, පින් කරගැනීමත්… මේ තමයි ඉක්මන් වෙලා කරගත යුතු දේ.

කලබල නොවී – ඉක්මන් වුණා…

කලබල වුණොත් කොරොස් කටෙත් අත දාගන්න බැරිව යනවා. ඒ නිසා සුජාත කුමාරයා කලබල වුණේ නෑ. නමුත් යහපත් දහම් අවවාද අසා හොඳ සිහියෙන් නුවණින් යුතුව ඉක්මන් වුණා.

“ඇත්තෙන්ම ස්වාමීනී, ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සේක් නම් උන්වහන්සේ සමග උතුම් දහම් ඇසුර ලබන්ට මං දහසක් යොදුන් ගෙවාගෙන හරි යනවා. ඒත් ශාස්තෘන් වහන්සේ යම් හෙයකින් පිරිනිවන් පා වදාළ සේක් ද පිරිනිවනට වැඩියා වූ ඒ මහා වීරයාණන් වහන්සේ ව මං සරණ යනවා.

මං බුදුරජාණන් වහන්සේ ව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝරත්නයත් සරණ යනවා.

මං වහ වහා සතුන් මැරීමෙන් වළකිනවා. ලෝකයෙහි සොරකම් කිරීම මං කරන්නෙ නෑ. මත්පැන් බොන්නෙත් නෑ. බොරු කියන්නෙත් නෑ. තමන්ගේ බිරිඳ සමඟ පමණයි මං සතුටු වෙන්නෙ. වැරදි කාම සේවනයෙන් මම වළකිනවා.

පමා නොවී පින් කරගන්න…

එතකොට මහා කච්චාන මහරහතන් වහන්සේ සුජාත කුමාරයාට ධාතූන් වහන්සේනමක් ලබා දුන්නා. “පින්වත් කුමාරය, ශාස්තෘන් වහන්සේගේ මේ උතුම් ධාතූන් වහන්සේට පූජා දක්වා පමා නොවී පින් කරගන්න.”

බලන්න දරුවනේ, මේ කිසිවක් ජීවිතේ ගෙවා දමලා අවසන් මොහොතේ කරගන්න බැරි දේවල්. ජීවිතේ අවසන් තැනට ආවට පස්සේ කලබල වෙලා වැඩක් නෑ. ඒ මොහොතේ කලබල වුණාට කිසිවක් සාර්ථක වෙන්නේ නෑ.

කළ යුත්තේ කලබල නොවී, ප්‍රමාදත් නොවී, කළ යුතු දේ ඉක්මණින් කිරීමයි. ඔව්! සුජාත කුමාරයා ඒකට දක්ෂ වුණා. ඒ නිසාම මාස පහක් ඇතුළත ඔහු මිය යද්දී මරණින් මත්තේ තව්තිසා දෙවියන් අතරේ චූළරථ දෙව්විමනේ දේවපුත්‍රයා බවට පත් වුණා.

පටන් ගන්න…

මේ පුවත තිබෙන්නේ විමානවත්ථු පොත් වහන්සේගේ චූළරථ විමාන වස්තුවේ. දැන් ඔයාලට තේරෙනවා ඇති ‘කලබල නොවී – ඉක්මන් වෙන්නේ කොහොමද?’ කියලා.

ඉතිං පමා නොවී දැන්ම පටන් ගන්න. තෙරුවන් සරණේ පිහිටන්න. සිල්වත් වෙන්න. පෝය දවස්වලට අටසිල් අරගෙන අධිශීලයේ හික්මෙන්න. පුළුවන් තරම් ජීවිතේට පින් කරගන්න.

එතකොට කලබල නොවී ඉක්මන් වුණ සාර්ථක ජීවිතයක් ඔයාලටත් උපදවා ගන්න පුළුවන් වේවි!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.