අප කවුරුත් නොසිතන, නොපතන ආකාරයකට අපගේ ජීවිත වෙනස් වන්නට මහා කාලයක් ගත නොවන්නට පුළුවන. ඒ වෙනස් වීම කෙසේ සිදුවනවා ද කියා අප කාටත් අවබෝධයක් නැති වුවත්, ඒ අයුරින් වෙනස් වන අවස්ථා නම් එමට ය. “ඒකස්මිං බ්‍රහ්මචරියස්මිං – සහස්සං මච්චු හායිනං” (සං. නි. 1, අන්ධකවින්ද සූත්‍රය) – “එක දහම් පදයක මරු පරදවා සිටින රහතන් වහන්සේලා දහසක් වැඩ සිටිති.” සැබැවින්ම මෙය නම් අසිරියක් ම ය. මේ කියන්නට යන්නේ ද එක ම දම් පදයකින් වෙනස් වූ ජීවිත දෙකක් ගැන ආශ්චර්යවත් කතාවකි.

ඕන තරම් නාට්‍ය, චිත්‍රපට, සංදර්ශන අපිදු කෙළවරක් නොමැතිව නරඹා ඇත්තෙමු. නමුත්, ඒ අවස්ථාවල දී අපි සතුටු වූවෙමු. නැති නම් දුක් වූවෙමු. ද්වේෂය, ආවේගය ඇති කර ගත්තෙමු. අප පමණක් නොවේ; බහුතරයකට එයට වඩා දෙයක් සිදු වන්නේ නැත. එහෙත්, සුළු පිරිසක් වෙනස් ම අයුරකින් ඒ දේවල් ගැන සිතූ තැන් ද තිබේ. ‘ඔවුන්ගේ’ කතාව වෙනස් වූවේත් එලෙසිනි.

කල්ප කාලාන්තරයක් පුරා තිබුණ ඔවුන්ගේ අඹයහළු කතාව මේ ජීවිතයට ද පැමිණියේ ය. ඔවුන් ද කිසිසේත් නොදන්නා ඒ කතාවත්, එයටත් එහා සැඟවී තිබුණු ප්‍රාර්ථනාවත් ටිකෙන් ටික මෝරා යන්නට පටන්ගෙන තිබුණි. මේ පැමිණ තිබෙන්නෙ ඔවුන්ගේ ඉරණම සදහට ම විසඳී යන අවසන් උපතට බව ඔවුන් නොදැන සිටි බවට සැක නැත.

ඒ මිතුදම ඇරඹුණේ අද ඊයෙක නොවේ. ඔවුන්ගේ අඹයහළුකම මෙයින් ඒකාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් තරම් දිගු අතීතයක සිට පැමිණියකි. අනෝමදස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඔවුන් දෙදෙනා  සාරද සහ සිරිවඩ්ඪ නමින් හොඳ මිතුරන් බවට පත්ව සිටියහ. ඒ කතාව ඉතා දිගු නිසා මෙහි දී එම සිදුවීම නො කියන්නෙමි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ඒ ජීවිතයේ දී අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ නිසභ සහ    අනෝම යන උතුම් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දැක, එබඳු වීම පිණිස විවරණ ලබා ගත්හ. එතැන් පටන් දීර්ඝ සසර ගමනක් ගෙවමින් ඒ චාරිකාව නිමාවට පත් වන ජීවිතයට පැමිණියහ. එදා සාරද මෙදා ‘උපතිස්ස’ හෙවත් ‘සාරිපුත්ත’ බවටත්, සිරිවඩ්ඪ, ‘කෝලිත’ හෙවත් ‘මොග්ගල්ලාන’ බවටත් පත් වූහ. පරණ මිතුදම මෙවරත් හොඳින් යා වී ගියේ ය. ඔවුහු සෑම කටයුත්තක් ම එක් වී කළෝ ය. මැනවින් සිප් සතර හදාරා වේදයෙහි කෙළ පැමිණි පණ්ඩිත බ්‍රාහ්මණවරු බවට පත් වූහ.

රජගහ නුවර වසරක් පාසා ගිරග්ග සමජ්ජ – ‘කඳු මුදුනේ සැණකෙළිය’ නමින් උත්සවයක් පැවැත්වෙයි. නැටුම්, ගැයුම්, වැයුම් ආදී නොයෙක් ආකාරයේ විනෝදාත්මක දෙයින් යුක්ත වූ එම සංදර්ශනය නරඹා විනෝද වීමට උපතිස්ස, කෝලිත දෙදෙනා ද පුරුදු වී සිටියහ. මෙවර ද එය ආරම්භ විය. ඒ ඔවුන්ගේ අවසන් සැණකෙළිය බව නොදත් ඔවුන් එය නැරඹීම පිණිස රජගහ නුවරට ගියහ. කවුරුත් නොදත් තවත් දෙයක් සිදුවෙමින් තිබිණ. ඒ ඔවුන්ගේ ප්‍රඥාව ද කෙමෙන් කෙමෙන් මෝරා යාමයි. එනිසා, වෙනදා සැණකෙළියෙන් අතිශයින් ප්‍රීතියට පත් වන උපතිස්ස, කෝලිතට මෙවර එසේ නොවී ය. කොතරම් නාඩගම් බලන්නේමුත් අපට මෙතෙක් නොතේරුන යමක් ඔවුන්ට අවබෝධ වන්නට විය. “අනේ අපොයි… මේ නම් කවර විලම්භීතයක් ද? මේ හරසුන්
දේවලින් කවර ප්‍රයෝජනයක් ද? මින් ජීවිතයට කුමන සෙතක් නම් සැලසෙන්නේ ද?” මෙලෙස සියල්ලෙහි නිරර්ථක බව යම් අයුරකින් වැටහෙන්නට වීමෙන් ඔවුහු සැණකෙළිය ගැන අතිශයින් ම කලකිරීමට පත් වූහ. අවසානයේ සියල්ල අත්හැර දමා සැබෑම විමුක්තියක් සොයා යෑමට දෙදෙනාම කතිකා කර ගත්හ.

දෙදෙනාම රජගහ නුවර සංජය පිරිවැජියාගේ ආශ්‍රමයට ගොස් සංජය පිරිවැජියාගේ ශිෂ්‍යයන් බවට පත් වූහ. ඔහුගේ ධර්මය ඇසූ ඒ මහා නුවණැතියෝ ටික දිනකින් ම එහි තමන් සොයා පැමිණි විමුක්තිය නැති බව පසක් කර ගත්හ. පසුව, සැබෑම සත්‍යය කුමක්දැයි සොයා යාමට සිතා පළමුව සත්‍යාවබෝධය කරන්නා අනෙකාට ද කිව යුතු බවට කතිකා කොට එතැනින් පිටත් වූහ. සැබෑම සත්‍යය පවසන්නෙක් සිටීදැයි සොයමින් ඔවුහු ගම් දනව් පුරා සැරිසරන්නට පටන් ගත්හ.

එදින ද සුපුරුදු පරිදිම ලොවම එළිය කරමින් දිනකර අහස් කුස බබළන්නට විය. එලෙස උදා වූයේ ඒ මහා පින්වන්තයන්ගේ ජීවිත මුළුමනින්ම වෙනස් කරන දිනය බව කවුරු හෝ දුටුවාදැයි නොදනිමි. නමුත්, එසේ වන්නට සියල්ල සකස් වෙමින් තිබුණි. එදවස අපගේ අස්සජී මහරහතන් වහන්සේ රජගහ නුවරට පිඬු සිඟා වැඩියහ. සිනිඳු තෙල් දහරාවක් ගලා හැලෙන්නා සෙයින් වූ සංසිඳී ගිය, ශාන්ත ඉරියව්වලින් යුතුව පිඩුසිඟා වඩිනා අස්සජි තෙරුන්ව දුටු උපතිස්ස පිරිවැජි තෙමේ අතිශයින් ම ප්‍රීතියටත්, විස්මයටත් පත් විය. ඒකාන්තයෙන් ම ලෝකයේ යම් රහත්හු සිටිත් ද රහත් මගට පිළිපන්නෝ සිටිත් ද මේ නම් එවැනි උත්තමයෙක් ම විය යුතු යැයි දුටු පමණින් ම හේ පැහැදුනේ ය. තෙරුන් පිඬු සිඟා වඩිනා නිසා කිසිවක් නොකියා පිටුපසින් ම ගියේ ය. අස්සජී මහරහතන් වහන්සේ දන් වළඳා අවසන් වූ පසු උන්වහන්සේ සමීපයට පැමිණි ඔහු, “ස්වාමීනි, ඔබ වහන්සේගේ ඉඳුරන් ඉතා ප්‍රසන්න ය. ශරීර වර්ණය පිරිසිදු ය. බබළන්නේ ය. ඔබ වහන්සේ කවරෙක් උදෙසා පැවිදි වූයේ ද? ශාස්තෘන් වහන්සේ කවරෙක් ද? කවරෙකුගේ ධර්මයට කැමැති ද?” යැයි විමසී ය.

“පින්වත, ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ මහා ශ්‍රමණ කෙනෙක් සිටිති. උන්වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වන්නාහ. මම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයෙමි. මාගේ ශාස්තෘහූ උන්වහන්සේ ය. මම උන්වහන්සේගේ ධර්මය රුචි කරමි.”

“ස්වාමීනි, ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය යැයි කුමක් නම් කියන්නේ ද?”

“පින්වත, මා මේ ධර්ම විනයේ පැවිදි බව ලබා බොහෝ කාලයක් නොවේ. මම මේ පැවිද්දට නවකයෙක්මි. ඒ නිසා සද්ධර්මය විස්තර වශයෙන් කියන්නට නොහැක්කෙමි. එහෙත් ඒ ධර්මය කෙටියෙන් පැවසීමට හැකි ය.”

ගෞතම සම්බුදු සසුනේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග තනතුරු ලබන්නටත්, අග්‍රශ්‍රාවක බවට පත් වන්නටත් පින් පුරාගෙන සිටි උපතිස්ස පිරිවැජි තෙමේ ඒ මොහොතේ මෙසේ පැවසී ය.

“ස්වාමීනි, කැමැති අයුරින් ටිකක් වේවා බොහෝ වේවා ඒ ධර්මය මට කියා දෙන්න. අර්ථවත් වූ උතුම් දහම පවසනු මැනවි. අර්ථවත් දෙයින් ම මා හට යහපත උදාවන්නේ. නිසරු බස් බොහෝ කීවද ඉන් පලක් නැත.”

අස්සජි මහරහතන් වහන්සේ ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයේ සාරය කැටි කොට ගත් හේතුඵල දහමින් යුතු, උපතිස්ස පිරිවැජියාගේ ජීවිතය සම්පූර්ණයෙන් ම වෙනස් කරලන අසිරිමත් දම් පදය පැවසූහ.

යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතු තථාගතෝ ආහ
තේසඤ්ච යෝ නිරෝධෝ – ඒවං වාදී මහා සමණෝ

“හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යම්තාක් දේ ඇද්ද තථාගතයන් වහන්සේ ඒ සිය`ඵ දේවල්හි හේතු වදාළ සේක. ඒ හේතුන්ගේ යම් නිරෝධයක් වේද, එය ද අපගේ තථාගතයන් වහන්සේ වදාළ සේක. පින්වත, මහා ශ්‍රමණයන් වහන්සේ වූ අපගේ තථාගතයන් වහන්සේ මෙබඳු දහමකි වදාරන්නේ.”

අහෝ ඒ සද්ධර්මය මොනතරම් අසිරිමත් ද…! කෙතරම් ඉක්මනින් ජීවිතය වෙනස් කරන්නට ඒ සොඳුරු දහමට හැකි ද? මහා පිනැති උපතිස්සයන් හට ඒ උතුම් සිව්පදයෙන් මුල් පද දෙක ඇසෙනවාත් සමඟ ම සතර අපා සියලු දොරටු වැසී ගියේ ය. හෙතෙම බුදුරජාණන්වහන්සේගේ සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් විය. ඔහුගේ ඉරණම මුළුමනින් ම වෙනස් කළ ඒ සොඳුරු නිමේෂය මේ අයුරින් උපුටා දක්වමි.

“මහා පුදුම සහගත ය… සාරිපුත්ත නමැති මහා සුවඳැති මනරම් අරවින්දය මනුලොව නමැති විල් දියෙහි හටගෙන දියෙන් උඩට නැගී හිරු රැස් වැටෙන තුරු බලා සිටියේ ය. ඒ සාරිපුත්ත නමැති මහා අරවින්දය පිපී ගියේ ය. ‘හේතුන් නිසා හටගන්නා  ස්වභාව ඇති යමක් ඇද්ද, හේතු නැතිවීමෙන් එය නැති වී යන ස්වභාවයෙන් යුක්ත ය’ කියා අවිද්‍යා ධූලි රහිත වූ, මිසදිටු මලකඩ රහිත වූ දහම් ඇස පහළ වූයේ ය.”

(අච්ඡරිය මනුස්සෝ – 468 පිටුව)

අතිශයින්ම ප්‍රීතියට පත් වූ උපතිස්සයන් මෙසේ පැවසී ය.

ඒසෙව ධම්මෝ යදි – තාවදේව පච්චබ්‍යථා පදමසෝකං
අදිට්ඨං අබ්භතීතං – බහුකේහි කප්පනහුතේහි

(මහාවග්ග පාලි – 1)

ඉදින් මෙපමණකින් නමුත් – ධර්මය වනාහි මෙය ම ය.
කල්ප නහුතයකිනුදු – බොහෝ දෙනෙක් නොම දුටු
සෝකය නොපිහිටන තැන – ඒ අමා නිවන ම ය
නුඹ වහන්සේ නම් – දුටුවෝ ම ය ඒ නිවන

අස්සජී මහරහතන් වහන්සේට වන්දනා කළ උපතිස්සයන් ඒ මොහොතේ ම තම මිත්‍ර කෝලිතයන් සොයා ගියේ ය. තමා වෙතට පැමිණෙන තම මිත්‍රයා දුර දී ම දුටු කෝලිතයන් අද නම් මාගේ මිත්‍රයාට සත්‍යය හමු වී ඇතැයි සිතුවේ ය.

“යහළු උපතිස්සයෙනි, අද නම් ඔබගේ ඉන්ද්‍රියයන් බොහොම ප්‍රසන්න ය. ශරීර පැහැය බබළයි. ඔබ අද ඉතා සතුටින් සිටින බව පෙනෙයි. උපතිස්සයෙනි, මේ වෙනස කුමක්ද? ඔබ අද විමුක්තිය සොයාගෙන එය අවබෝධ කළා ද?” යැයි කෝලිත තෙමේ විමසුවේ ය. සියලු සිදුවීම් හෙළි කළ උපතිස්සයන් අස්සජි මහරහතන් වහන්සේ වදාළ ඒ උතුම් දහම් පදය කෝලිතයන්ට ද කීයේ ය. සැබෑම අසිරියකි. එම ගාථාව කියා නිම වනවාත් සමඟ ම කෝලිතයන්ගේ ද ජීවිතය වෙනස් වී ගියේ ය. ඔහුටත් ඒ දහම් ඇස ඉපදුණි. සැබැවින් ම මොන තරම් ආශ්චර්යවත් සිදුවීමක් ද? එකම එක දහම් පදයකින් ඒ ජීවිත වෙනස් කළ අයුරු අතිශයින් ම විශ්මයජනක ය. මෙවන් අසිරියක් වෙන කුමකින් නම් අප දකින්න ද?

ඒ අයුරින් වෙනස් වූ ඒ උත්තමයන් දෙදෙනා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් ඒහි භික්ඛු පැවිදි උපසම්පදාව ලබා ගත්හ. සාරිපුත්තයන් වහන්සේත්, මහා මොග්ගල්ලානයන් වහන්සේත් ඉතා සුළු කලකින් උතුම් අරහත්වයට පත් වූ සේක. ගෞතම බුදු සසුනේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර වූ සාරිපුත්තයන් වහන්සේත්, ඍද්ධි බලයෙන් අග්‍ර වූ මහා මොග්ගල්ලානයන් වහන්සේත් සසරේ ප්‍රාර්ථනාවනට අනුව ම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා  බවට පත් වූ සේක. අපගේ අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාට නමස්කාර වේවා…! උන්වහන්සේලා නිවී සැනසුන දහමින් අපට ද නිවී සැනසෙන්නට වාසනාව උදා වේවා…!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.