‘ආදරය’ යනු ලොව කවදත් සංවේදී වන ආකර්ෂණීය මාතෘකාවක් ය. විශාල වපසරියක් තුළ දිවෙන මේ ඉසව්වේ බොහෝ කලාකරුවන්, නිර්මාණකරුවන් ආදරය තලු මරමින්, හප කරමින් යම් රසාස්වාදයක් තම ශ්‍රාවකයන්ට, පාඨකයන්ට, ප්‍රේක්ෂකයන්ට ලබා දීමට වෙහෙසෙයි. ඒ නිසා ම සිනමා නිර්මාණකරුවන්ගේ සිනමා තිර ආදරයේ ජවනිකාවන්ගෙන් පිරී ඉතිරී යයි. ලේඛකයන්ගේ තෙලි තුඩ රිසි රිසි සේ පිටු පුරවමින් දහස් ගණන් ග්‍රන්ථ දොරට වඩියි. ගීත රචකයන් ආදරයේ අස්සක් මුල්ලක් නෑර පීරා ආදරයට නව ජවයක් සපයන්නට වෙහෙසෙයි. විටෙක ආදරය සංවේදී ය. විටෙක අතිශයින් ම රෞද්‍ර ය. සිනමා නිර්මාණ තුළ සිටින වීරයන් තම ආදරය වෙනුවෙන් සිය ගණන් තම සතුරන් ඝාතනය කරන විට ඔහු අපට තව දුරටත් මිනීමරුවෙක් නොව මහා වීරයෙකි. ඒ, ආදරය එතරම් ම අපට ආකර්ෂණීය නිසා ය. ආදරය එතරම් ම අපට පූජනීය නිසා ය.

ලෝකයා මෙතරම් ම ඉඩකඩක් ආදරය වෙනුවෙන් සැපයුව ද ආදරය මෙතරම් ම ලෝකයා ආකර්ෂණය කළ ද කුමක්දෝ අඳුරු කළු පැතිකඩක් ඒ තුළ ගැබ්ව ඇති බව ලෝකයට හැමදාම අනවධාන ව පවතී. මේ ආදරය තුළ වන මුළාව නිසා දිනපතා ම ලෝකය පුරාම මිනිස් ජිවිත දහස් ගණනක් බිල්ලට ගැනේ. ඇතැම්හු ආදරය වෙනුවෙන් සියදිවි නසා ගනිති. ඇතැම්හු ආදරය වෙනුවෙන් තමාගේ දෙමාපියන්, ඥාතීන්, ම්තුරන් ඝාතනය කරති. මීට වසර කිහිපයකට ඉහත දී නේපාලයේ රජ පවුලේ ඔටුන්න හිමි කුමරු තම දෙමාපියන්, සහෝදරයා ඇතුළු මුළු රජ පවුල ම ඝාතනය කර ඔහු ද සියදිවි නසා ගත්තේ තම ආදරය වෙනුවෙන් ය.

වර්තමානයේ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වන සමාජ මාධ්‍ය ජාල මේවාට ඉන්ධන සපයයි. කලාකරුවන් ද නිර්මාණකරුවන් ද බලධාරීන් ද මෙකරුණ කෙරෙහි කෙරෙන අවධානය අල්ප නිසා ම ආදරයේ අඳුරු පැතිකඩ තුළින් මහපොළොවට ඇද වැටෙන උණුසුම් ලේ, කඳුළු දහරාව මහා ගංගාවක් සේ අසරණ මිනිසුන්ගේ සිත් සතන් දවමින්, තවමින් නොනැවතී ම ගලා යයි.

අප මේ පූර්විකාව තුළ තනන ඉඟිය කුමක්දැයි ඔබට දැනටමත් වැටහෙනු ඇත. ආදරයේ අඳුරු පැතිකඩ තුළින් මතුවන ශෝචනීය සිදුවීම් ලොව හැම තැනක ම හැම මොහොතක ම ජනමාධ්‍ය තුළින් එළි බසී. මේ ඉදිරියේ දිග හැරෙන සිදුවීම ද මීට කදිම නිදසුනකි.

මීට මාස කිහිපයකට ඉහත දී ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ මෙම අතිශය ශෝචනීය සිදුවීම සිදු විය. ආදරය කෙලෙස් වසඟයට ගිය කල්හි මිනිසා කොතරම් ම්ලේච්ඡ වනවාදැයි මෙම සිදුවීම මොනවට පැහැදිලි කරයි.

ක්‍රිස්ට් වොට්ස් (33) හා සෙනාන් වොට්ස් (34) යන දෙදෙනා මීට වසර හයකට ඉහත දී විවාහ වී කොලරාඩෝහි පදිංචි වූහ. ක්‍රිස්ට් ප්‍රදේශයේ තෙල් සමාගමක සේවය කරන්නෙකි. පසුව ඔවුන්ට ඉතා ප්‍රියමනාප බුහුටි දියණිවරුන් දෙදෙනෙකු සිටි අතර ඔවුන් 4 හා 3 වියේ පසු විය. පිරිමි දරුවකුට කැමැත්තෙන් සිටි ක්‍රිස්ට්ගේ බලාපොරොත්තු සඵල වෙමින් සේනාන් තුන්වන දරුවා ද බිහි කිරීමට අපේක්ෂාවෙන් සිටියා ය. ඔවුහු ඉතා ම සමඟියෙන් හා සතුටින් කල් ගෙවූහ. ආර්ථික වශයෙන් කරදර නොතිබූ ඔවුන්ට නවීන පන්නයේ විශාල නිවසක් හා සුඛෝපභෝගී වාහන ද සතු විය.

කෙලෙසුන්ට වසඟවීමේ අනතුර

මේ අතර ක්‍රිස්ට්ට පසුගිය ජූනි මාසයේ දී තම රැකියා ස්ථානයේ දී එහි සේවය කරන තිස් හැවිරිදි තරුණියක් හඳුනා ගන්නට ලැබුණි. ඉතා ම ටික දිනකින් ඔවුන් දෙදෙනා අතර සමීප හිතවත්කමක් ගොඩනැගෙන්නට විය. පසුව ඔවුන් නිතර නිතර මුණගැසෙන්නට විය. ක්‍රිස්ට් ඇයට කියා සිටියේ තමා පෙර විවාහ වී සිටි නමුත් දැන් නීතියෙන් වෙන් වී සිටින බව ය. ඇයට එය සැක කිරීමට හේතුවක් නො වී ය. ක්‍රිස්ට් මුළු ලොවට ම රහසේ තම අනාගත ලෝකය ගැන සිහින මවන්නට විය. අලුත් පැතුම්, බලාපොරොත්තු, අපේක්ෂා අතර ඔහු ගිලෙන්නට විය. දැන් ඔහුට පැරණි විවාහයේ බිරිඳ, දරුවන් මහත් හිසරදයකි. වරින් වර ඔහු බිරිඳගෙන් දික්කසාද වීමට ඉල්ලා සිටියේ ය. බිරිඳ කියා සිටියේ දරුවන් ගැන හෝ සිතා එකට ජීවත් වෙමුයි කියා ය. තම අනියම් පෙම්වතිය හමු වී මාස දෙකක් වැනි සුළු කලක් ඇතුළත ක්‍රිස්ට් මුළුමනින් ම කෙලෙස්වලට වසඟ වී හමාර ය. තම පෙම්වතිය ලබා ගැනීම වෙනුවෙන් ඔහු ඕනෑම පාපී දෙයක් කිරීමට වුවත් පසුබට නො වී ය.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ද මේ පිළිබඳ ව වදාළේ “යමෙක් ක්‍රෝධයෙන් යට වූ විට, රාගයෙන් යට වූ විට හේ අර්ථයක් නොදනී. අනර්ථයක් නොදනී. කළ යුත්තක් නොදනී, නොකළ යුත්තක් නොදනී. එවිට හේ අන්ධයෙක් ලෙස හැසිරෙන්නේ ය” යනුවෙනි. සෙනාන් අගෝස්තු 13 වන දින රැකියා ස්ථානයේ විනෝද චාරිකාවක් ගොස් අලුයම 2.00ට පමණ නිවසට පැමිණියා ය. ඒ මොහොතේ ද ක්‍රිස්ට් තමාට දික්කසාද වීමට අවශ්‍ය බව බිරිඳට දැන්වීය. දෙදෙනා අතර වචන හුවමාරු වන්නට විය. ද්වේෂයෙන් ඇවිළුණු ක්‍රිස්ට් මිනිත්තු කිහිපයක් තුළ සති 15ක ගැබිණියක වූ තම බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කළේ ය. එපමණකින් ද නොනැවතුණු ඔහු අසම්මත ප්‍රේමයෙන් වියරු වී තමාගේ ම ලෙයින් උපන් දියණිවරුන් දෙදෙනාගේ ද ගෙල සිර කර මරා දැමී ය. තමන් ව පෝෂණය කළ, තමන්ට ආරක්ෂාව රැකවරණය සැලසූ, තමන් ආදරය කරන තම පියාණන් අතින් ම මියැදෙන්නට සිදු වන විට ඒ දරු සිඟිත්තන්ට කුමක් නම් ඒ මොහොතේ සිතෙන්නට ඇද්ද?

බිහිසුණු අපරාධයක් ලොවට වසන් කිරීම

හිමිදිරියේ ම මළ සිරුරු තුන ම වාහනයට දැමූ ක්‍රිස්ට් තම රැකියා ස්ථානය වන එකී තෙල් සමාගමේ අංගනයට ඇතුළු විය. මෙය පිහිටා තිබුණේ ජනශුන්‍ය ඉතා ශුෂ්ක ප්‍රදේශයක ය. ඔහු දරුවන් දෙදෙනාගේ මළ සිරුරු විශාල තෙල් ටැංකි දෙකකට දැමී ය. පසුව ඒ අසල වළක් කපා බිරිඳගේ මළ සිරුර වැළලී ය.

මෙවැනි මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ආදී සාපරාධී ක්‍රියාවන් කරන බොහෝ දෙනා ඒ මොහොතේ කටයුතු කරන්නේ විකල් වූ සිහියෙනි. මේ අපරාධය හෙළි වූ විට තමන්ට මොන තරම් දුක් ගැහැටවලට මුහුණ දෙන්නට සිදු වන්නේදැයි සිහි නොකරයි. තමන් ඉතා සැලසුම් සහගතව මෙය සිදු කරන බවක්, කිසිදා කිසිවකු මෙය දැන නොගන්නා බවක් ඔවුන් සිතයි. එය මුළුමනින් ම දොස් සහිත ය. අපරාධයක් ලොව වසන් කිරීම ඉතා ම කලාතුරකින් සිදුවන්නකි. එය අනාවරණය නොවුණත් අපරාධකරුවා දිවි ඇති තෙක් ම බියෙන්, තැති ගැනීමෙන් කල් ගෙවන්නේ ය.

ක්‍රිස්ට් සුපුරුදු පරිදි එදින රැකියාව අවසන් කර ගෙදර පැමිණියේ ය. ඔහු හිත මිතුරන් සියලු දෙනාට ම කතා කර සෙනාන් දරුවන් ද රැගෙන කොහේ හෝ ගොස් ඇති බව පැවසී ය. එදින ම තම නිවස විකිණීමට ආයතනයකට භාර දුන්නේ ය. තම පෙම්වතියට කතා කර නව යුග දිවිය ආරම්භ කිරීම ගැන කතිකා කළේ ය. මේ අතර විවිධ මාධ්‍යවලින් ද ඔවුන්ගේ අතුරුදහන් වීම පිළිබඳ ව අනාවරණය කළේ ය. තම නිවසට පැමිණි මාධ්‍ය මඟින් ඔහු කියා සිටියේ තමන් නිවසට වෙනදා පැමිණෙන විට දරුවන් තමන් ළඟට දුවගෙන එන බවත්, දරුවන් නැති හිස් නිවස ප්‍රේතයන් ලගින තැනක් වැනි බවත් කියා ය. එමෙන් ම ඔවුන් කොහේ හෝ ආරක්ෂිත ව සිටින බව තමා විශ්වාස කරන බවත් කියමින් ඔහු බැගෑපත් ව ඉල්ලා සිටියේ කවුරුන් හෝ මේ පිළිබඳ ව තොරතුරක් දන්නේ නම් වහා ම දැනුවත් කරන ලෙස ය.

අපරාධයක හෙළිදරව්ව

දින කිහිපයක් ඇතුළත ක්‍රිස්ට්ගේ සැක කටයුතු හැසිරීම ගැන පොලීසියට ඉව වැටෙන්නට විය. සැක පිට සාක්ෂි සමඟ ඔහු අත්ඩංගුවට ගත් අතර එහි දී ද ඔහු කියා සිටියේ තමන් දික්කසාදය ඉල්ලන විට බිරිඳ ද්වේෂයෙන් දරුවන් ඝාතනය කළ බවත්, ඒ නිසා තමා බිරිඳ ඝාතනය කළ බවත් ය. අහෝ කෙලෙසුන්ට වසඟ වූ සිත මොනතරම් ජඩ ද… මොනතරම් මායාකාරී ද… මොනතරම් වංචනික ද… අපේ ම කියා අප ආදරයෙන් වැළඳගන්නා වූ මේ සිත මොනතරම් කුරිරු ලෙස අපව අයහපතේ යොදවනවා ද… පසුව කරන ලද පරීක්ෂණවලින් ඔහු අනියම් සම්බන්ධය නිසා මේ සියල්ල කරන ලද බව හෙළි විය. උසාවිය මඟින් ඔහු ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදී.

මිරිඟුවක් පසුපස ගිය ජීවිතය

අද ඔහුට අනුකම්පා කිරීමට ඔහුගේ දෙමාපියන් මිතුරන් තබා අනියම් පෙම්වතියවත් ඔහු අසල නොමැත. බිත්ති හතරකට කොටු වී නින්දා අපහාස, වැළපීම්, සෝ සුසුම් මැද ඔහුගේ ඉදිරි දිවිය ගෙවී යනු ඇත. සතුටු සාමිචී කතා, ප්‍රිය සම්භාෂණ, විනෝද චාරිකා, ප්‍රණීත කෑම බීම ඔහුගේ දිවියට නැවත කිසිදා එක් නොවනු ඇත. සෝ සුසුම් මැද මිහිපිට නිරයක ඔහු මිය යන තෙක් ජීවත් වනු ඇත. මරණින් මතු බොහෝ විට නිරයට කැප වූවෙක් වනු ඇත. සැබැවින් ම අප ඔහුට අනුකම්පා කළ යුතු ය.

අපටත් හොඳ පාඩමක්

මේ සිදුවීම ලෝකයේ කා හටත් සාධාරණ ය. බොහෝ විට සිදු වන්නේ මෙවැන්නකි. තරුණ තරුණියන් විවාහ වීමට පෙර ඔවුනොවුන්ගේ ගුණ බොහෝ කොට දකිති, නුගුණ දැක්ක ද අමතක කරති. තමන්ට විශාඛා, සුමනා වැනි වාසනාවන්ත බිරිඳක් ලැබුණ බවත්, සසරේ තමන් පතාගෙන ආ කෙනෙක් වැනි බවත් කියයි. එවිට ලෝකයේ ලස්සන ම, ගුණවත් ම කාන්තාව ඇයයි. පසුව මුළු සේසත ම වියදම් කර, විශාල ණය මුදලකුත් ගෙන ජයට ම විවාහය සිදු කරයි. විවාහ වී ටික කලකින් ම අඩුපාඩු එක දෙක දකින්නට පටන් ගනියි. ගුණ දකින්න ද අමතක කරයි. දැන් ඔහුට ලෝකයේ අවලස්සන ම, පාපී ම කාන්තාව ඇය යි.

බිරින්දෑවරුන් තම ස්වාමියා ගැන සිතන්නේ ද එසේ ම ය. එවිට ඔහුට හෝ ඇයට බාහිර ස්ත්‍රී පුරුෂයන්ගේ ගුණ දකින්නට පටන් ගනියි. ලස්සන දකින්නට පටන් ගනියි. බිරිඳ, ස්වාමියා හිසරදයක් සේ දැනෙන්නට පටන් ගනියි. මේ සියල්ල ම සිතේ ම මායාවන් බව අප තරයේ ම මතක තබා ගත යුතු ය. කාමය සංකල්පයක් බව භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ නිසා ය. කර්මානුරූපව අපට ලැබෙන බිරිඳ ස්වාමියාගේ ගුණ අගුණ තීරණය වී තිබිය හැක. මායාකාරී සිත තමා නොමඟ යවන අයුරු සිහි නුවණින් දැක්ක යුතු ය. සිහි මුළා වී ආස්වාදයට අනුව සිහි කළොත් මහා ව්‍යසනයකින් එය අවසන් වනු ඇත.

මෙවැනි අනතුරු සිදු නොවීමට නම්

කලාකරුවන් ද බලධාරීන් ද දෙමාපියන් ද වැඩිහිටියන් ද භික්ෂූන් ද දරුවන්ට මෙවැනි සිදුවීමක ඇති අනතුර පෙන්වා දිය යුතු ය. මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම පිළිබඳ ව නිර්මාණ, සංවාද, සාකච්ඡා, වැඩමුළු සිදු කළ යුතු ය. ඒ වගේ ම සමාජ මාධ්‍ය ජාල භාවිතයේ දී ස්වයං ශික්ෂණයක් තමා ම ඇතිකර ගත යුතු ය. ආදර්ශවත් ස්වාමියෙක්, බිරිඳක්, මවක්, පියෙක්, වීමට අදිටන් කර ගත යුතු ය. එසේ නොවුණහොත් හෙට දවසේ ද ක්‍රිස්ට්ලා තව දහස් ගණනක් මෙවැනි අවාසනාවන්ත ඉරණම්වලට මුහුණ දී සිරබත් කනු ඇත. මේ මොහොතේ ද මෙවැනි සිදුවීමකට ලොවට ම හොර රහසේ පිඹුරුපත් සකසන කෙලෙස් වසඟ වූ ක්‍රිස්ට්ලා කොයිතරම් නම් සිටිනවා ඇත්ද..!

ඒ නිසා උතුම් බුදු සසුනක දායාදය ලත් වාසනාවන්ත ජාතියක් වූ අප විසින් දිවි හිමියෙන් තෙරුවන් සරණේ පිහිටා සිටිය යුතු වන්නේ ය. කල්‍යාණමිත්‍ර ඇසුර, සීල සංවරය, පවට ලැජ්ජා බය, සසර බය ආදී ගුණදහම් හිස් මුදුනේ ලා කටයුතු කළ යුතු වන්නේ ය.

– මහාමේඝ