අද වනවිට අපේ සමාජයේ තරුණ දියණියන්ගේ ජීවන රටාව විවිධ මට්ටම්වලයි තිබෙන්නේ. විටෙක ඇය ප්‍රචණ්ඩකාරියි. තව විටෙක හැඟුම්බරයි. තව විටෙක සියුමැලියි වගේ ම ඇය සෙනෙහෙවන්තයි. යම් දියණියක් වරදක් කළොත් ඍජුව ම සමාජයෙන් දොස් එල්ල වෙන්නේ ඇගේ අම්මාටයි. ඒ පවුලේ අයටයි. එනිසයි දියණියක් තම මව්පියන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට බැඳී සිටින්නේ. එවන් දියණියකගේ ජීවිතය මාපියන්ට, නෑදෑයන්ට, අසල්වාසීන්ට මෙන් ම සමාජයට රටට සහ ලෝකයට එක සේ වටින්නේ කෙසේද? යන්න පිළිබඳව මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ කෙරුණු සාකච්ඡාවකි මේ.

දියණියක් කියන්නේ ඕනෑම පවුලක ආදරය ලබන මල් කැකුළක්. දියණියක් පවුලක ඉපදුණාම ඒ මව්පියන්ගේ සිතට බරක් දැනෙනවා. ඒ, ‘ඇය ව රැකගන්න ඕන, නින්දා අපහාස නොඅසන ආකාරයට හදාවඩා ගන්න ඕන, සමාජයට නුවණක්කාර, දක්ෂ කාන්තාවක් ලෙස දායාද කරන්න ඕන’ කියන බර මව්පියන්ගේ සිතේ තිබෙනවා. ඒ නිසාම ඔවුන් සුන්දර වස්තුවක් රකිනවා වගේ දියණිය ව ආරක්ෂා කරනවා.

ජීවිතය ගොඩනගා ගත යුතු ආකාරය…

බෞද්ධ සංස්කෘතියක් තිබෙන අප රටේ දියණියක් පවුලකට වාසනාවක්. අනර්ඝ වස්තුවක්. දියණියකට රූපයට වඩා ඇයගේ චරිතය සහ ගතිගුණයි වටින්නේ. එවන් දියණියක් ඇසුරක් තෝරා ගත යුත්තේ ඉතාමත් පරිස්සමෙන්. යහළුවෙක් මෙන් ම යෙහෙළියක් තෝරා ගැනීමේදීත් ඇය ඉතාමත් කල්පනාකාරී විය යුතු වෙනවා. පාපී මිතුරියක් ලැබුණොත් සමහරවිට ඇයගේ මුළු අනාගතය ම දුක්ඛිත ඉරණමක් කරා යන්න පුළුවන්. සමහරවිට අම්මා කියනවා, “දුවේ ඔයා ඒ ළමයා ව ඇසුරු කරන්න එපා. ඔයාට එයාව ගැළපෙන්නේ නැහැ.” කියලා. ඒත් දියණිය හිතනවා, ‘මම ඇය ගැන දැනගෙනයි ඇසුරු කරන්නේ.’ කියලා. නමුත් අම්මා කියන දේ තමා හරි. බුදුරජාණන් වහන්සේ වදාළා දිගින් දිගට කෙනෙක් ඇසුරු කරනවිට හොඳ හෝ නරක ගතිගුණ අනෙක් කෙනාට සම්ප්‍රේෂණය වෙනවා කියලා. එහෙම නැත්නම් පාපී කෙනාගේ ඇසුර නිසා හොඳ කෙනා ගැනත් අපවාද පැතිරී යනවා. තමන්ගේ යෙහෙළියට ආදරවන්තයෙක් සිටිනවා නම් ආදරවන්තයෙක් නැති දියණිය සිතනවා, ‘මටත් ආදරවන්තයෙක් සිටියා නම් හොඳයි.’ කියලා. ඊටපස්සේ අනවශ්‍ය කරදරයක පැටලෙනවා. ඇය එදා සිට මවුපියන් ව රවටනවා. අමතර පංති යනවා කියලා ආදරවන්තයා කතාකරන හැම තැනම යනවා. අනෙක් දිනවල පංති ඇරිලා ගෙදර වෙලාවට ආ දියණිය දැන් පංති නොයා චිත්‍රපටි බැලීමට යනවා. විවේකී ස්ථානවලට, උද්‍යානවලට යනවා. ඇය සිතන්නේ ඔහුගෙන් තමයි තමන්ට අවශ්‍ය ආදරය, රැකවරණය වගේ ම සෙනෙහසත් ලැබෙන්නේ කියලා. එතැන් සිට ඇයට වැරැද්ද නිවැරැද්ද තෝරා බේරා ගන්න බැරිව යනවා.

පෙම්වතා නිවැරදිව හඳුනාගන්න…

පුංචි දුවේ, ඔබ මේ වනවිට පෙම්වතියක් නම් ඔබගේ පෙම්වතා ව හොඳින් නිරීක්ෂණය කරන්න. ඔහුව හඳුනාගන්න. ඔහු නිතරම තමන්ට තනිවෙන්න කතා කරනවා නම්, විවේකී ස්ථානවලට යන්න කතා කතා කරනවා නම් ඔහු පිළිබඳ සැලකිලිමත් වීම ඔබගේ වගකීම යි. ඔහු අසභ්‍ය දේ නරඹනවා නම්, ඒවා නරඹන්නට ඔබට ආරාධනා කරනවා නම්, එයට බල කරනවා නම් ඔහු සැබෑ ආදරවන්තයෙක් නොවෙයි. ඔහුගේ වචනය අහක දමන්න බැහැ කියා සිතා ඔබ ඔහුට අවනත වුණොත් අඳුරු ලොවක් උරුම වෙන්නේ ඔබටයි. ඔබ සිතට එන කාම සිතිවිලිවලට වසඟ නොවී බුද්ධියට ඉඩ දීලා තීරණ ගන්න පුරුදු වෙන්න. ආදරය සහ කාමය කියන්නේ දෙකක්. කාමයට වසඟ වුණොත් ඔබගේ අනාගතය අඳුරු වේවි. ඔබ තනි වේවි. ආපසු හැරී බලද්දී පසුතැවීම, දුක, වේදනාව පමණක් ඔබ ළඟ නතර වේවි. තරුණ ඔබ කුඩා පවක් වේවා ලොකු පවක් වේවා සිදු කළොත් මුළු ලෝකයා එය නොදැන සිටියත් තමන්ගේ හෘද සාක්ෂිය එය විටින් විට සිහිපත් කර දෙනවා. එවිට ඔබ මානසිකව අඩපණ වෙනවා. අධ්‍යාපන කටයුතු, බාහිර කටයුතු අසාර්ථක වෙනවා. අම්මා, තාත්තාට වංචා කර පෙම්වතාගේ අයුතු යෝජනාවලට දුවක් අවනත වුණොත් ඇය ඒ වංචාව කර ගන්නේ තමාටම යි. එනිසා තමන්ගේ ජීවිතය පිටස්තර ව ආ පුද්ගලයකුට අනවශ්‍ය විදිහට පාලනය කරන්න දෙන්න එපා. විවාහවෙන තුරු බඹසර රැකගැනීමත්, විවාහයෙන් පසු පතිවත රැකගැනීමත් කියන චරිතවත් බව රැකගන්න දියණියක් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ඔහුගේ වචනයට ඔබ අවනත නොවුණොත් ඔහු දුක කියයි. තරහ වෙයි. නමුත් එවැනි පුද්ගලයෙකු විශ්වාස කළොත් මුළු ජීවිත කාලය ම විඳවන්න වෙනවා. මවුපියන්ට කරන වංචාවෙන් අසරණ වෙන්නේ ඔබයි.

එනිසා දුවේ ඔබ සහකරුවෙක් තෝරා ගනිද්දී බලවත් නුවණින්, බුද්ධිමත්ව එක්වරක් නොව බොහෝ වාරයක් සිතා තීරණයක් ගන්න. අධ්‍යාපනය ලබන අතරතුර එවැනි සබඳතා පටන් ගන්න එපා. එය ඔබගේ මනසට අනවශ්‍ය බරක්. සෑම දියණියකට ම නිශ්චිත කාලයක් තිබෙනවා. ඔබ මවුපියන් යටතේ සිටිද්දී ඔවුන් ඔබ නිසා විඳින දුක, කරදරය, පීඩාව දෙස මොහොතක් නැවතී බලා සිටින්න. එවිට ඔබට වැටහේවි ඔබව රැකගන්න ඔවුන් කෙතරම් කායික මානසික දුකක් විඳිනවා ද කියලා. ඔබට කවදාහරි අම්මා තාත්තා කිව්වොත්, “දුවේ ඔයා මේ ගමන යන්න එපා, මේ වැඩේ කරන්න එපා, මේ අය ඇසුරු කරන්න එපා.” කියලා ඔබ එයට සවන් දෙන්න. ඒ වචනයට අවනත වෙන්න. ඒ කියන දේ ඇසුවොත් ඔබට මදිපුංචිකමක් වෙනවා කියලා හිතන්න එපා. ඒ හැසිරීම, ඒ දරා ගැනීම පුංචි ඔබ වැඩිහිටි වෙලා විවාහ වී ඔබගේ දුවකට ඔවදන් දෙද්දී ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. ඔබ ගුණගරුක දුවක් නම් රාත්‍රියේ ගමන් බිමන් තියා ගන්න එපා. හිතුවක්කාර, තීරණ තීන්දු ඔබගේ ජීවිතයට ගන්න එපා. වටිනා ජීවිත එයින් අඳුරු වෙන්න පුළුවන්. මවුපියන්ට තමන්ගේ දරුවා ගැන ඉවක් තිබෙනවා. ඔබ වැරැද්දක් කරන්න හදනකොට ඒක වැඩිහිටියන්ට දැනෙනවා.

ඒ නිසා ඔබ තේරුම් ගන්න, ‘මම අම්මා තාත්තා රැකවරණයේ ඉන්නේ.’ කියලා. මවුපියන් දරුවාට හිතවත්. දරුවාගේ දුකට අකමැතියි, සැපයට කැමැතියි. මවුපියන් කියන්නේ දැනුම් තේරුම් තිබෙන අයයි. ඔවුන් වයසට ගියේ අත්දැකීම් සමඟයි. ඒ අත්දැකීම් කවදාවත් මිල කරන්න බැහැ. අම්මා ඔබට යමක් කරන්න එපා කියනවා නම් එය නොකළ යුතුයි. එය ඔබ කළොත් ඔබට කවදා හෝ හඬා වැටෙන්නට සිදුවෙනවා ම යි. අම්මා සැරවැර වෙනවා නම් ඔබ දැනගත යුතුයි මේ සියලු දේ ඇය කරන්නේ මට තිබෙන ආදරය නිසා කියලා. ඔබව හදාවඩලා පෝෂණය කරලා මේ ලෝකය පෙන්වා දෙන්නේ මවුපියන්. එනිසා, ඔබේ පාලනය ඔබේ අතට ගන්න එපා. අමතර පංතියේ දී දුම්රියේ දී බස්රථයේ දී ඔබට මුණගැසුණ තරුණයාට ඔබේ ජීවිතය හසුරුවන්න දෙන්නත් එපා. අම්මාට තාත්තාට, වැඩිහිටියන්ට, වැඩිමල් සහෝදර, සහෝදරියන්ට වංචා කරන්න එපා. බොරු කියන්න එපා. එසේ කළොත් එහි විපාකය ඔබට තනිවම ගෙවන්නට සිදුවෙනවා.

සුන්දරත්වය වැඩිකරන විලාසිතා….

ඒ වගේ ම දුවේ ඔබ මේ ගෙවන කාලය තමා ජීවිතයේ හොඳ ම කාලය. මේ කාලයේ ඔබ ලස්සනට විලාසිතා කරන්න ඕන තමයි. සුන්දරව ඉන්නත් ඕන තමයි. නමුත්, විලාසිතාවක් තෝරා ගැනීමේ දී ‘වස්ත්‍රයක් අඳින්නේ ඇයි?’ කියා මුලින්ම තේරුම් ගන්න. ඇඳුම කියන්නේ දියණියකගේ සුන්දරත්වය වැඩි කරන දෙයක්. ඇඳුම ඇඟ ලාගෙන කණ්ණාඩියක් ඉදිරියට ගොස් බලන්න තමන්ට කෙතරම් මේ ඇඳුම ගැළපෙනවා ද කියලා. ලැජ්ජාව සහ බය දියණියකට ආභරණයක්. අසංවර ඇඳුම නිසා අද සමාජයේ දියණියන් බොහෝ කරදරවලට හසුවෙලා පීඩා විඳිනවා. එනිසාම ළමා අපචාර, ස්ත්‍රී දූෂණ වැඩිවෙලා. ළමා ගර්භිණී මවුවරු වැඩිවෙලා. ඇඳුම කියන්නේ දියණියගේ ලස්සන වැඩි කරන දෙයක් කියලා ඇතැම් තරුණියන් දන්නේ නැහැ. ඇඳුම කියන්නේ අපේ ශරීරයට උණුසුමෙන් සීතලෙන්, මැසි මදුරුවන්ගෙන් අව්වෙන්, සුළඟින් සර්පයන්ගෙන් ආරක්ෂා වීමට තිබෙන රැකවරණයක්. ඒ දේ නොදැන, නොතකා සමහර දියණිවරු අන් අයගේ රාගය, ඇතිකරන අරමුණක් වෙනවා. රාගය කියන්නේ මිනිස් සිතේ තිබෙන දුර්වලකමක්. සරාගී මනුස්සයා නිතරම ඇවිස්සුන ස්වභාවයෙන් යුක්තයි. පුංචි දෙයක් ඇති ඔහුට ඇවිස්සී යන්න. එනිසා ඔබ අන් අයගේ රාගය අවුස්සන අරමුණක් වෙන්න එපා. කවුරුත් කැමැති සංවර ගෑනු දරුවෙකුටයි. සංවර අම්මා ඉන්න දරුවා ඒ අම්මාට කැමැතියි. තමන්ගේ බිරිඳ සංවර නම් වැදගත් සැමියා කැමැතියි. තමන්ගේ පෙම්වතිය සංවර නම් වැදගත් පෙම්වතා කැමැතියි. එනිසා, අනවශ්‍ය විලාසිතා කරන්න ගිහින් සමාජයේ විහිළුවක් බවට පත්නොවී ඉන්න ඔබ සිතට ගන්න.

සාකච්ඡා සටහන – නයනා නිල්මිණි