ජීවිතාර්ථයක් වෙනුවෙන්, කාමයෙහි ගැලෙමින් වල්මත් වී… සිහිසුන් මිනිසුන් සෙයින් මත්වතුරෙන් සැනසිල්ල සොයනා… හැඳිවත් උණා දමමින්, අන් අයට ගරහමින්, නින්දා අපහාස කරමින්… එහි ම ගැලෙමින් අත්හැර ගනු නොහැකිව එය ම සැනසිල්ල යයි සිතමින් අඳබල් ලෙසින් සිහිනුවණ හසුරුවමින් තමනට මෙන් ම අනුනට ද හිසරදයක් වෙමින් මෙලොවත් වනසාගෙන පරලොවක් ගැන නොසිතන… අනුවණකමින් සියල්ල වැටහෙන්නෙකු සේ සිතා සිටිනා ලෝකයෙහි…

මේ සියල්ල අතහැර ජීවිතයෙහි යථාර්ථයක් දැකීම පිණිස ගෙපිළිවෙළින් ලද අහරින් කුස පුරවාගෙන අවිහිංසාවෙහි ම යෙදෙමින් තමා ගැනත් අන් අය ගැනත් කාරුණික නෙත් යොමා… කසාවතින් විලි වසාගෙන, වදන ද සංවරව පැවති, ගමන ද දුටු දුටුවන්ගේ නෙත් සනහන, බැල්මෙන් සිත් නිවාලන, සිහි නුවණින් කුසල් සිතට නැඹුරුව, කටුක වදනට නොසැලෙන, සුදනන් ඇසුරට ප්‍රිය කරන, ලොවෙහි දෙවි මිනිසුනට සැප සලසාලන පිවිතුරු ජීවිතයක අසිරිය ලොවට ම මැනවින් පෙන්වා දෙන ලොව උත්තරීතර ජීවිතය වනාහී ‘පැවිද්ද’ වේ.

දිවියෙහි සාරය නොදකිමින්, ජීවිතයෙහි යථාර්ථය යැයි සිතා මිසදිටු මතවාදයන්හි ගැලෙමින්, කරුණාව දයාව අවැසි ලෝකයට අවියත්, දඬුමුගුරුත් පෙරටු කොට පරපණ නසමින්, තමා ගැනත් – තමාගේ ආරක්‍ෂාව ගැනත් සිතමින් අන් සතුන් වෙහෙසවමින්, තලා පෙලා දමමින්, කෲර වූ සිතිවිලි තුළ තම ජීවිතය හසුරුවමින්, ලොවට ම ඉහළින් තමාව ම හුවා දක්වමින්, ලොවෙහි අනුකම්පාව ලබා ගැනීම පිණිසමත් අන් අයව පාගා දමමින්, තමා ගැන පමණක් සිතා අන් අයට හිංසා පීඩා දෙන ලෝකයෙහි…

කරුණාව ම පෙරටු කොට මෙත් සිතින් වසනා, කුරා කුහුඹියෙකුට හෝ හිංසාවක් කිරීමට නොසිතන, බිහිසුණු සසරෙහි ස්වභාවය දකිමින් හැමට ම මැදහත් සිතින්, නොකැළඹුණ ජීවිතයකට ආල වඩන, තමාගේ යහපතත් – අනුන්ගේ යහපතත් සිහිනුවණින් ම දකිමින්, වැඳුමින් පිදුමෙන් අන් අයට සැපය සලසමින් ගුණයට ම නැඹුරුව නිරහංකාර වූ, නිහතමානී ජීවිතයකට තම සිත හසුරුවමින්, නිවී ගිය සිතකට රුචි කරනා, දඬු මුගුරින් තොර, සැර පරුෂ වචනයෙන් තොර ලොවෙහි යථා තතු සැමට පෙන්වා දෙන, අන් අයව ද දහමට නැඹුරු කරමින් විරාගී දිවියක් පතනා ලොවේ උත්තරීතර ම ජීවිතය වනාහී ‘පැවිද්ද’ වේ.

වෙසඟනන්ගේ පහස සොයමින්, පර අඹුවන් සොයා ඇදෙමින්, කාමුක සිතුවිලිවලින් සිත පුරවාගෙන අසැබි දේ නරඹමින්, කාමුක ලෝකයෙහි ම සැනසිල්ල සොයමින්, එහි ගුණ දකිමින්, විරාගී බවට ගරහමින්, විරාගී බව පහත් කොට සලකමින්, තම මනස – වචනය සහ කය ද වරදෙහි පිහිටුවමින්, ලැජ්ජාව බිය බැහැර කොට, අසංවර ලීලාවෙන්, සිරුරෙහි වැසිය යුතු තැන් ලොවට පෙන්වමින්, ගුණවත් බවට ගරහමින්, අශෝභන හැසිරීමෙන් ද තම ජීවිතය පුරවාගෙන, වරදෙහි බැඳෙන්නට මොහොතක් හෝ බලා සිටිමින්, කාමුක සැපයෙහි ම ගැලෙමින් සිටිනා ලෝකයෙහි…

විරාගී බවට කැමති ව, විරාගී මනසක් පතා ඉඳුරන් සංවර ව හසුරුවමින්, කයෙහි යථා තතු දකිමින්, පිළිකුල් වූ සිරුරෙහි ඇති තතු විනිවිද දකිනා, විදසුන් නුවණ පෙරටුව, නොකැළඹුන සංවර සිතක සිතුවිලි මත නිවී ගිය, කාමයෙන් සිත මුදවා, ගුණයෙහි පිහිටුවා, දහම් සිතිවිලි මෙනෙහි කරමින් අනිත්‍ය වූ ලොවෙහි විඳුමට ඇති දුක් ගැහැට දකිමින්, මමත්වයට ගැති නො වී, දහම් සුවය තුළ නිවී ගිය, කාමුක සිතුවිලි පසෙක තබා බඹසර සිතුවිල්ලෙහි සිත රඳවා, දැහැන්ගත දිවියක සුවය සොයමින්, බිහිසුණු සසරෙහි බිය දකිමින්, ලද මිනිස් දිවියෙහි අරුත සොයනා පුළුල් නුවණින් – ගැඹුරු නුවණින් ජීවිතයේ තතු දකින්නට, දහම් මනසිකාරය තුළ සිත රඳවමින් හැමට සෙත සදනා ලොව උත්තරීතර ම ජීවිතය ‘පැවිද්ද’ වේ.

වතුපිටි, ඉඩකඩම්, දේපළ රැස්කරමින්, මිල මුදල් පසුපස ම හඹා යමින්, දුරාචාරයට නැඹුරු ව, දරු මල්ලන් ද පෝෂණය කරමින්, කටුක අමිහිරි දුක් පීඩා මැද ජීවිතය ගෙවමින්, විඳින දුක් පීඩා නොදකිමින්, සැප යැයි සිතා දුකෙහි ම ගැලෙමින්, තෘෂ්ණාවෙන් සියල්ල ග්‍රහණය කොට, තෘෂ්ණාවට දාස වෙමින්, සිතෙහි උපදින ක්‍රෝධ, වෛර, ඊර්ෂයා, ගුණමකුකම්, අහංකාරකම්, උද්ධච්චකම් තුළ සිර වී අන් අයව පෙළමින්, නොමැරෙන කෙනෙකු සේ ජීවත්වන මිනිසුන් පිරි ලෝකයෙහි…

දහමට දිවි පුදා, ගිහියෙකුට බඳු කල්පනා බැහැර කොට, මුදලට යට නො වී, අකුසලයට ද යට නො වී, සියලු ලෝකයෙහි ඇති අනිත්‍ය බව විදසුන් නුවණින් දකිමින්, ලොවෙහි කිසිවකට වසඟ නෙවනා සිතක් හුරුකරමින්, තෘෂ්ණාවෙන් කිසිවක් ග‍්‍රහණය කර නොගනිමින්, නිමල දහමෙහි පිළිසරණ පතමින් සැම කල්හි ම මරණයට සූදානම් ව, සියල්ල අත්හරිනා දහම තුළ සිත හසුරුවමින්, දහමින් ලද සැනසිල්ල තුළ දිවියේ සුවය විඳිමින්, තමාගේ යැයි සිතන්නට කිසිවක් නැති, අල්ලා ගන්නට කිසිවක් නැති, දහම තුළ හුදෙකලා වූ ජීවිත සුන්දරත්වයක් අත්විඳිනා, තමා ලද සුවය ලැබ දුන් නිමල දහම අන් අයට ද සුරැකිව ලැබ දෙමින්, නිවී සැනහී ගිය, සියලු ලොව අත්හල, ලොව සුන්දර ම ජීවිතය වනාහී ‘පැවිද්ද’ වේ.

(මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි)