මිළිඳු රජ තෙමේ නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ ඇසුවේය.

“ස්වාමීනී නාගසේනයන් වහන්ස, විතර්කයේ ස්වභාවය කුමක්ද?”

“මහරජාණෙනි, කල්පනා කිරීම යමක පිහිටන ස්වභාවය විතර්කය යි.”

“ස්වාමීනී, උපමාවක් වදාළ මැනැව.”

“මහරජාණෙනි, ලී වඩුවෙක් මනාකොට සකස් කළ දැවය අදාළ සන්ධියෙහි පිහිටුවයි ද, ඒ විදිහම තමයි. කල්පනා කිරීම යමක පිහිටන ස්වභාවය විතර්කය යි.”

“ස්වාමීනී නාගසේනයන් වහන්ස, විචාරයේ ස්වභාවය කුමක්ද?”

“මහරජාණෙනි, නැවත නැවත කල්පනා කිරීමේ ස්වභාවය විචාරය යි.”

“ස්වාමීනී, උපමාවක් වදාළ මැනැව.”

“මහරජාණෙනි, ලෝහ තැටියකට මිටියකින් ගැසූ විට ශබ්දය දෝංකාර දෙමින් යළි යළි ශබ්ද නගමින් පිට වී යයි. මහරජාණෙනි, ලී මිටියෙන් ලෝහ තැටියට ගැසීම යම් බඳු ද, එපරිද්දෙන් විතර්කය ගැන දත යුතුය. එයින් නිකුත් වන ශබ්දය රාව ප්‍රතිරාව දෙමින් තිබේ ද විචාරය දත යුතු වන්නේ ඒ අයුරිනි.”

“ස්වාමීනී නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.”

උපුටා ගැනීම – මිළිඳු රාජ ප්‍රශ්නය
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ