සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි. ලෝ සතගේ දුක් නිවා සනසා අමා නිවනට පමුණුවන උත්තම මාර්ගය ලෝකයට විවර කරන්නා වූ සම්මා සම්බුද්ධ රාජ්‍යයක පමණ ම ය, බුද්ධ රත්නය සේ ම ධර්ම රත්නයත්, සංඝරත්නයත් වැඩ සිටින්නේ.

මිනිසුන් සර්ව බලධාරීත්වයෙන් පිදුම් දෙනු ලබන මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙන් ම පමණක් සම්බුදුරජාණන් වහන්සේලා දහම් සක ප්‍රවර්තනය කරලීම බුද්ධ සාධාරණ ධර්මතාවයකි. මන්ද යත්, බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වන සමයෙහි මිනිස්සු තාපස පරිබ්‍රාජකයෝ ය, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ය ලෙස සත්‍යය ගවේෂණය කරමින් හිඳිති. ඒ සියල්ලෝ ම බ්‍රහ්මයා දෙවි කොට, බ්‍රහ්මයා ගරු කොට, බ්‍රහ්ම පරායණ ව සිටිති. එනිසාවෙන්, ඒ බලවත් වූ, යසවත් වූ, දෙවි මිනිසුන් දන්නා වූ, ප්‍රකට වූ, උසස් වූ මහා බ්‍රහ්මයාගේ ආයාචනාවෙන් සදේවක ලෝකයා ම නැමී යයි. සිත යොමු කරයි. අවබෝධයට බැස ගනියි. තථාගතයන් වහන්සේලා බ්‍රහ්මායාචනයෙන් ධර්මය දේශනා කරන්නේ මෙකරුණ නිසාවෙනි (මිළිඳු රාජ ප්‍රශ්නය – 2).

ඉදින්, සහම්පතී මහ බඹුගේ ඇරයුමෙන් අපගේ ශාස්තෘවර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී උතුම් ධර්මචක්‍රය කරකවා වදාළ අද වන් ඇසළ පුන් පොහොය දිනයක ය, මේ ලෝකයේ ධර්ම රත්නයත්, සංඝරත්නයත් පහළ වූයේ. පරමෝත්තම ත්‍රිවිධ රත්නයේ පහළ වීමෙන් සම්බුද්ධ ශාසනය පිරිපුන් වූ බරණැස ඉසිපතන මිගදායේ උත්තම ධම්මචේතියට අපගේ නමස්කාරය වේවා!

ඇහැළ මල් කහ පාට ය. සිත් නෙත් නිවන, සනසවන සුලු ය. ඒ හා අනුරූප නාමයකින් ම ව්‍යවහාරිත මේ උතුම් පොහොය දිනයේ ලොව පහළ වූ, ඇහැළ මලේ පාටින් බැබළී ගිය සිරුරක් දරා හුන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් අද දක්වා ම අරහත් ධජය දරා වැඩ වෙසෙමින් ලෝ හිතසුව සලසන්නා වූ ඒ උත්තම සංඝරත්නයට යළිදු අපගේ නමස්කාරය වේවා! උතුම් ධර්ම පර්යායන් තුළ අප ඇසූ දුටු ශ්‍රාවක සංඝරත්නයේ ගුණශෝභාව මෙසේ සටහන් තබන්නේ ඒ අග්‍ර වූ පිරිස කෙරෙහි පහන් සිත් උපදවාගෙන පින් ඵල නෙළත්වා යන අදහසිනි.

වර ප්‍රවර වූ, දෙව් නර සුපූජිත වූ, දේවාතිදේව වූ, බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ, තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යය පිහිටවනු පිණිස අනවරාග්‍ර සසරේ අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පාරමිතා ධර්මයන් පූරණය කරමින් ගුණයෙන් වැඩි වැඩී යද්දී ඒ සම්බුද්ධ රාජ්‍යය ශෝභාවත් කරලන මහා ශ්‍රාවකයෝ ද මහා ශ්‍රාවිකාවෝ ද කල්ප ලක්ෂ ගණනින් පාරමී පුරමින් සසරේ පැමිණියහ. ඒ උත්තමයන්ගේ ගුණ ශෝභාවන් අප කෙසේ නම් වර්ණනා කරන්න ද…

සම්බුද්ධ ශාසනයේ පැවිදි ශ්‍රාවකයා සෑම කල්හි ම ගිහි ශ්‍රාවකයාට වඩා උදාර චරිතාපදානයෙන් යුක්ත ය. සතර අපාය දොරටු සහමුලින් ම වැසී ගොස් ඇති, සම්මා දිට්ඨියට පැමිණි, ශාස්තෘ ශාසනය මැනැවින් හඳුනාගත්, සෝතාපන්න ඵලයෙහි පිහිටි ගිහි ශ්‍රාවකයා පෘථග්ජන භික්ෂුවකට හෝ සාමණේරයෙකුට හෝ දැක හුනස්නෙන් නැගිටිනු ලබන්නේ, වඳිනු ලබන්නේ එහෙයිනි. යම් කරුණකින් ඒ ශ්‍රමණයන් වහන්සේලා වැඳුම් ලැබීමට, දැක හුනස්නෙන් නැගී සිටීමට, ගරු බුහුමනට, පුද පූජාවනට සුදුසු වන්නේ නම් එහිලා ශ්‍රමණයන් වහන්සේනමකගේ ශ්‍රමණ බව ඇති කරවන ධර්මයන් විස්සක් ද ලිංගයන් දෙකක් ද පවත්නා බව නාගසේන මහරහතන් වහන්සේ මිළිඳු රජු හට පෙන්වා වදාළ සේක. ඒ ශ්‍රමණයන් වහන්සේලාගේ විසි වැදෑරුම් ශ්‍රමණ ධර්මයන් මෙබඳු ය.

1. බුද්ධාදී ශ්‍රේෂ්ඨයන් වහන්සේලා විසින් මුළුමනින් ම හික්මවන හෙයින් ශ්‍රේෂ්ඨ බව ඇත්තේ ය.
2. තුන්දොරින් ක්ලේශයන් හා එක් නො වී සිටින හෙයින් ශ්‍රේෂ්ඨ බව ඇත්තේ ය.
3. ධර්මයෙහි ම ඇලී සිටින බව ඇත්තේ ය.
4. අග්‍ර වූ නිවන කරා ම යන බව ඇත්තේ ය.
5. සන්සුන් වූ ඉරියාපථ විහරණයෙන් යුක්ත බව ය.
6. කාය, වාග් සංයමයෙන් යුක්ත බව ය.
7. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත බව ය.
8. ඉවසීමෙන් හා කීකරු බවෙන් යුක්ත බව ය.
9. හුදෙකලාවේ හැසිරෙන බව ය.
10. තනි වාසයට ඇලෙමින් භාවනාවෙන් යුක්ත ව සිටින බව ය.
11. පවට ලැජ්ජාව සහ භය ඇති බව ය.
12. සතර සම්‍යක් පධානයෙන් යුක්ත බව ය.
13. අප්‍රමාදයෙන් යුක්ත බව ය.
14. ආභිසමාචාරික – ආදිබ්‍රහ්මචරියක ශික්ෂාපදයන් සමාදන් වන බව ය.
15. ශික්ෂාපදයන් රැකීමෙහි වීරිය ඇති බව ය.
16. කුසල ධර්මයන් කෙරෙහි ඇලුණු චරිතය ඇති බව ය.
17. කුසල ධර්මයන් පිළිබඳ ව ඉගෙනීමත්, ප්‍රශ්න අසා දැනගැනීමත් ඇති බව ය.
18. සීලාදියෙහි බලවත් ව ඇලී සිටින බව ය.
19. පංචකාමයෙහි ද සිව්පසයෙහි ද ආල රහිත බව ය.
20. ආභිසමාචාරික – ආදිබ්‍රහ්මචරියක ශික්ෂාපදයන් පිරිපුන් කරන බව ය.

දෙවැදෑරුම් ලිංගයන් මෙබඳු ය.

1. ගිහි වස්ත්‍රාභරණ හැර දමා අනගාරික පැවිද්දන්ගේ කාසාය වස්ත්‍ර දරන බව ය.
2. ශිර්ෂාලංකාරාදිය හැර දමා හිස මුඩු කර ගත් බව ය.

භික්ෂූන් වහන්සේලා මේ ගුණයන්ගේ සමාදන් ව සිටිති. උන්වහන්සේලා ඒ ඒ ගුණයන්ගෙන් අඩු නොවන බැවින්, පිරිපුන් බැවින්, යුක්ත බැවින්, සම්පූර්ණත්වයට පැමිණෙන බැවින්, අසේඛ භූමිය වූ රහත් භූමියට බැස ගනිති. ශ්‍රේෂ්ඨ වූ භූමියට බැස ගනිති. පැවිදි වීමෙන් රහතන් වහන්සේලාගේ සමීපයෙහි ඇසුරට යන්නට සුදුසු වෙති. එනිසාවෙන් සෝවාන් වූ උපාසකයා පෘථග්ජන භික්ෂුවට වන්දනා කරන්නට, දැක හුනස්නෙන් නැගිටින්නට සුදුසු ය.

නාගසේන මහරහතන් වහන්සේ එහි දී ඉතා මනරම් වූ කරුණින් විග්‍රහ කොට දක්වමින් පෘථග්ජන භික්ෂුව පවා මග ඵලලාභී ගිහි උපාසක පිරිස් විසින් වන්දනාමානන කරන්නට සුදුසු වන ආකාරය පෙන්වා වදාළ සේක.

“ඒ භික්ෂුව ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා හා සම බවට පැමිණියේ වෙයි ද මා හට ක්ෂීණාශ්‍රව භික්ෂූන් වහන්සේලා හා සම බවට පැමිණෙන්නට ඒ අවස්ථාව නැතැයි සෝවාන් වූ උපාසකයා පෘථග්ජන භික්ෂුවට වන්දනා කරන්නට, දැක හුනස්නෙන් නැගිටින්නට සුදුසු ය.

ඒ භික්ෂුව අග්‍ර වූ පිරිස අතරට පැමිණියේ වෙයි ද මා හට අග්‍ර වූ පිරිස අතරට පැමිණෙන්නට ඒ අවස්ථාව නැතැයි සෝවාන් වූ උපාසකයා පෘථග්ජන භික්ෂුවට වන්දනා කරන්නට, දැක හුනස්නෙන් නැගිටින්නට සුදුසු ය.

ඒ භික්ෂුව පාමොක් උදෙසීම ඇසීමේ අවස්ථාව ලබයි ද මා හට පාමොක් උදෙසීම සවන් දීමේ ඒ අවස්ථාව නැතැයි සෝවාන් වූ උපාසකයා පෘථග්ජන භික්ෂුවට වන්දනා කරන්නට, දැක හුනස්නෙන් නැගිටින්නට සුදුසු ය.

ඒ භික්ෂුව අන්‍යයන් පැවිදි කරයි. උපසම්පදා කරයි. බුද්ධ ශාසනය දියුණු කරයි. මා හට ඒ අවස්ථාව නැතැයි සෝවාන් වූ උපාසකයා පෘථග්ජන භික්ෂුවට වන්දනා කරන්නට, දැක හුනස්නෙන් නැගිටින්නට සුදුසු ය.

ඒ භික්ෂුව අප්‍රමාණ වූ ශික්ෂාපදයන්හි පිරිපුන් කරන්නේ වෙයි. මම ඒ ශික්ෂාපදයන් සමාදන් කොට නොවසමි’යි සෝවාන් වූ උපාසකයා පෘථග්ජන භික්ෂුවට වන්දනා කරන්නට, දැක හුනස්නෙන් නැගිටින්නට සුදුසු ය.

ඒ භික්ෂුව ශ්‍රමණයන්ගේ වේශයට පැමිණියේ ය. බුදුරජාණන් වහන්සේගේ අදහසෙහි සිටියේ ය. මම ඒ ශ්‍රමණ වේශයෙන් දුරස්ථ ව සිටින්නෙමි’යි සෝවාන් වූ උපාසකයා පෘථග්ජන භික්ෂුවට වන්දනා කරන්නට, දැක හුනස්නෙන් නැගිටින්නට සුදුසු ය.

ඒ භික්ෂුව දික් වූ කිසිලි ලොම් ඇත්තේ, අඳුන් නොගාන්නේ, වස්ත්‍රාභරණයෙන් නොසැරසෙන්නේ, සීල සුගන්ධාලේපයෙන් යුක්ත වූයේ වෙයි. මම් වනාහි වස්ත්‍රාභරණ සැරසීම් ආදී අලංකාරයට කැමැති ව සිටින්නෙක්මි’යි සෝවාන් වූ උපාසකයා පෘථග්ජන භික්ෂුවට වන්දනා කරන්නට, දැක හුනස්නෙන් නැගිටින්නට සුදුසු ය.

තව ද යම් ඒ ශ්‍රමණ බවට පත්කරන විසි වැදෑරුම් ධර්මයන්ගෙන් ද දෙවැදෑරුම් ලිංගයන්ගෙන් ද යන මේ ධර්මයන්ගෙන් සමූපේත වූ බවක් භික්ෂුව තුළ දකින්නට ලැබෙයි නම්, ඒ භික්ෂුව ඒ ධර්මයන් දරා සිටියි නම්, අන්‍යයනුත් එහිලා හික්මවයි නම්, මා හට ඒ ගුණධර්ම දැරීම ද අන්‍යයන් හික්මවාලීම ද නැතැ’යි ඒ සෝවාන් වූ උපාසකයා පෘථග්ජන භික්ෂුවට වන්දනා කරන්නට, දැක හුනස්නෙන් නැගිටින්නට සුදුසු වේ ම ය.”

එය කොතරම් නම් උසස් කොට සැලකිය යුත්තක් ද යන්න නාගසේන මහරහතන් වහන්සේ තවදුරටත් මෙසේ පෙන්වා වදාළ සේක.

“යම් සේ රාජකුමාරයෙක් පුරෝහිතයෙකු සමීපයෙන් ශිල්ප ඉගෙන ගනියි නම්, ක්ෂත්‍රීය ධර්මයන් ඉගෙන ගනියි නම්, ඒ කුමරු පසු කාලයක ඔටුනු පැලැන්දේ සිය ආචාර්යවරයාට ද ‘මෙතෙමේ මා හික්මවූයේ ය’ කියා වඳියි ද දැක හුනස්නෙන් නැගිටියි ද එසෙයින් ම මහරජාණෙනි, භික්ෂුව බොහෝ අය හික්මවන ශාසන වංශය දරන කෙනෙකි’ යි සෝවාන් වූ උපාසකයා පෘථග්ජන භික්ෂුවට වන්දනා කරන්නට, දැක හුනස්නෙන් නැගිටින්නට සුදුසු වේ ම ය.

තව ද මහරජාණෙනි, මේ ක්‍රමයෙන් භික්ෂු භූමියෙහි ඇති මහත් බවත්, අසම බවත්, විපුල බවත් දත මැනැව.

මහරජාණෙනි, ඉදින් සෝවාන් උපාසක තෙමේ අරහත්වය සාක්ෂාත් කරයි නම් ඔහුට ගති දෙකක් ම ඇත්තේ ය. අනෙකක් නැත්තේ ය. එනම්, ඒ දවසෙහි ම පිරිනිවන් පෑ යුත්තේ ය. නැතහොත් භික්ෂු භාවයට පැමිණිය යුත්තේ ය. මහරජාණෙනි, යම් ඒ භික්ෂු භාවයක් ඇද්ද මේ පැවිද්ද නොසෙල්වෙන දෙයකි. මහත් වූ දෙයකි.”

(මිළිඳු රාජ ප්‍රශ්නය – 02)

අප භික්ෂු සංඝයා ඇසුරු කළ යුත්තේ උන්වහන්සේලා මේ උත්තම ගුණධර්මයන්ගෙන් සමූපේත බව සිත්හි දරාගෙන ය. එසේ නොවුණහොත් අපගේ තුන්දොර විෂයෙහි උත්තම සංඝරත්නය කෙරෙහි වරදවා පිළිපන් ස්වභාවයන් ඇති වීම වැළැක්විය නොහැකි ය. එයින් උන්වහන්සේලාට නම් අලාභයක් නැත. අග්‍ර වූ දෙය කෙරෙහි අපැහැදුනු සිතින් කටයුතු කිරීමෙන් අප ලබන විපාකයන්, ආදීනවයන් බරපතළ ම ය.

සැබැවින් ම, සංඝයා වහන්සේලා අමා මහ නිවන නම් වූ සම්බුද්ධ ශාසනයේ අග්‍ර ඵලය අරමුණු කරගෙන නිවන් මගෙහි හැසිරීම පිණිස ගිහි වත් අත්හැරියෝ ය. ගිහි ජීවිත අත්හැරියෝ ය. ඒ උත්තමයන්ගේ ජීවිතාර්ථය කෙබඳු ද යන්න නාගසේන මහරහතන් වහන්සේ මෙසේ පෙන්වා වදාළහ.

“මහරජාණෙනි, යම් මේ ආමිස පූජාවක් ඇද්ද මෙය ජිනපුත්‍රයන් වහන්සේලාගේ කටයුත්තක් නොවෙයි. සංස්කාරයන්ගේ අනිත්‍ය බව නුවණින් මෙනෙහි කිරීමත්, බුද්ධ වචනයට අනුව නුවණ යොදා මෙනෙහි කිරීමත්, සතිපට්ඨානය ම වැඩීමත්, සමථ විදර්ශනා අරමුණෙහි සාරය ගැනීමත්, ක්ලේශ යුද්ධයත්, මාර්ගඵලාවබෝධයේ යෙදීමත් යන මෙය ජිනපුත්‍රයන් වහන්සේලා විසින් කළ යුතු දෙය යි. අවශේෂ පුද පූජා ආදිය දෙව්මිනිසුන් විසින් කළ යුත්තේ ය.”

(මිළිඳු රාජ ප්‍රශ්නය – 02)

භික්ෂු භූමිය සම්බුදුරජාණන් වහන්සේ කොතරම් ගෞරව සම්ප්‍රයුක්ත ව සැලකුම් කරන ලද්දේ ද යන්න ගැන නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළහ.

“භික්ෂු භූමියට ගෞරව ඇති බැවින් පාමොක් උදෙසීම සීමාවක් කොට වසන ලද්දේ කෙසේ ද?

මහරජාණෙනි, බුද්ධ ශාසනයක පැවිදි උපසම්පදාව ලබා භික්ෂුවක් වීමෙන් වෙන කිසිවක් හා සම නොවන දෙයකි. පමණ කළ නොහැකි කුසල් උපදවන දෙයකි. මහත් අනර්ඝ දෙයකි. ලෝකයෙහි වෙන කිසිවක් හා අගය කිරීමට හෝ ගළපා බැලීමට හෝ ප්‍රමාණ කිරීමට හෝ නොහැකි දෙයකි. මෙබඳු වූ භික්ෂු භාවය ලෝකයෙහි පිහිටියේ කිසිවක් හා සම සම නොවේවා’යි උපසම්පන්න භික්ෂූන් අතර පමණක් පාමොක් උදෙසීම හැසිරෙයි.

මහරජාණෙනි, ලෝකයෙහි උතුම් බඩු භාණ්ඩ, උතුම් වස්ත්‍ර, උතුම් ඇතිරිලි, උතුම් හස්ථි – අශ්ව රථ, රන් රිදී මුතු මැණික්, ස්ත්‍රී රත්නාදියක් හෝ ජයග්‍රහණයෙන් ලබන ජය පැන් බීමක් හෝ ඇද්ද ඒ සියල්ල ලැබෙන්නේ රජවරුන්ට ය. එමෙන් ම මහරජාණෙනි, ලෝකයෙහි යම්තාක් සුගතයන් වහන්සේගේ දේශනාවෙහි ඇති ආචාර උත්තම සීල සංයම ගුණයන් ඇද්ද, ප්‍රාතිමෝක්ෂයෙහි හික්මෙන්නා වූ භික්ෂු සංඝයා ඒ සියලු ගුණයෙන් සමූපේත ව වැඩවෙසෙති. මෙසේ භික්ෂු භූමියට ගෞරව ඇතිව පාමොක් උදෙසීම සීමාවක් කොට වසන ලද්දේ ය.”

(මිළිඳු රාජ ප්‍රශ්නය – 02)

දෙව් බඹ පිරිස් විසින් පවා මුදුනත් කොට ගෞරවයෙන් පිදුම් කරනා සංඝරත්නයේ ගුණශෝභාව නාගසේන මහරහතන් වහන්සේ යළි මෙසේ ද වදාළහ.

“මහරජාණෙනි, සීල සම්පන්න වූ සිල්වත් භික්ෂුව සත්වයන්ගේ ක්ලේශ විෂ නැසීමෙහි ලා අග්‍ර වෙයි. සත්වයන්ගේ ක්ලේශ ආබාධයන් සන්සිඳවීමෙහි ඖෂධයක් හා සම වෙයි. සත්වයන්ගේ කෙලෙස් දුහුවිලි සෝදා හරින ජලයක් හා සම වෙයි. සත්වයන් හට සියලු සම්පත් ලබා දෙන සිතුමිණි රුවනක් හා සමාන වෙයි. සත්වයන් හට සතර ඕඝයෙන් එතෙර වීමට නෞකාවක් හා සමාන වෙයි. සත්වයන් හට ඉපදීම නම් මරු කතරින් එතෙර වීමට ගැල්කරුවෙක් හා සමාන වෙයි. සත්වයන්ගේ රාග, ද්වේෂ, මෝහ යන ත්‍රිවිධ ගිනි නිවාලන සුළඟක් හා සමාන වෙයි. සත්වයන්ගේ මනස පිරිපුන් කරන මහාමේඝයක් හා සමාන වෙයි. සත්වයන් හට කුසල් උගන්වන ආචාර්යවරයෙක් හා සමාන වෙයි. සත්වයන් හට නිර්වාණය නම් වූ නිර්භය ස්ථානයට පාර පෙන්වන මාර්ගදේශකයෙකු හා සමාන වෙයි.”

ඒ උත්තම සංඝරත්නයේ වැඩ සිටීම දෙව්මිනිස් ලෝකයාට හිතසුව පිණිස පවත්නා අයුර කුමාරකස්සප මහරහතන් වහන්සේ මෙසේ වදාරා තිබේ.

“සිල්වත් වූ, කලණ දහම් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණවරු යම් යම් අයුරන් ලොවෙහි දීර්ඝ කාලයක් වැඩ සිටිත් නම්, ඒ ඒ කරුණින් සත්වයෝ බොහෝ පින් රැස් කරති. බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිසුන්ගේ හිතසුව පිණිස උන්වහන්සේලාගේ වැඩ සිටීම හේතු වෙයි.”

(පායාසී රාජාන්‍ය සූත්‍රය – දී. නි. 2)

අහෝ…! ඒ අපරිමිත ගුණ ශෝභාවෙන් යුතුව සසුන්කෙත හොබවන්නා වූ ශ්‍රාවක සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා! ඒකාන්තයෙන් ම උන්වහන්සේලාගේ වැඩවිසීම දෙවියන්ටත්, මිනිසුන්ටත්, සියලු ලෝ සතටත් යහපත පිණිස ම පවතින්නේ ය. ඒ ශ්‍රාවක සඟරුවන නොවන්නට අද අපට මේ මිහිරි දහම් පද’රුත් දක්වමින් කියා දෙන්නේ කවුරුන් ද? සෑසි මුනි සිහනද නගමින් සම්බුදුරජුන්ගේ බුද්ධ ආඥාව යළි යළිත් බල ගන්වන්නේ කවුරුන් ද? ගිහිගෙය අතහැර, අරහත් ධජය දරා ගනිමින් කෙලෙස් යුද්ධයට පිළිපන් ඒ උත්තම සඟරුවනට යළිදු අපගේ නමස්කාරය වේවා!

“සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
දුල්ලභේන මයාලද්ධං
වන්දිතුං පස්සිතුං වරං

සාරිපුත්තාදි ථේරානං
ආගතං පටිපාටියං
සද්ධාසීලං දයාවාසං
බුද්ධපුත්තං නමාමහං”

“මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!”

(ඇසුර – අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කළ මිළිඳු රාජ ප්‍රශ්නය – 02 සදහම් ග්‍රන්ථය)

සටහන – උදුලා පද්මාවතී