ඈත යුගයේ සිට ම ලංකාව, ඉන්දියාව, චීනය, ජපානය සහ තවත් පෙරදිග රටවල් කිහිපයක් හැරුනු විට සෙසු බටහිර හා කිතු දහම පැතිරි රටවල ජනතාව එකිනෙකා හමුවූ විට ආචාර සමාචාර දැක්වූයේ අතට අත දීමෙන් හා සිප වැළඳ ගැනීමෙනි. ලංකාවට අපරදිග ජාතීන් පැමිණීමෙන් පසු මුහුදුබඩ ප්‍රදේශවල සිංහල ජනකාය අතර ද මේ සිරිත සීඝ්‍රයෙන් පැතිර ගියේ ය. කිතු දහම වැළඳගත් සෙසු ප්‍රදේශවල ජනතාව අනුකරණය කළ එම ආචාර සමාචාර විදි වර්තමානය වන විට ගම්බද බෞද්‍ධ ජනතාව අතර ද ව්‍යාප්තව පවත්නා අයුරු දැක්ක හැකි ය. මංගල අවමංගල උත්සව අවස්ථාවන්හිදී පමණක් නොව නෑදෑ හිතමිතුරන් හමු වූ විටදී ද ගැහැනු, පිරිමි එකිනෙකා වැළඳගෙන මුහුණට මුහුණ ගටා පිළිගන්නා අයුරු මෑත කාලයේ නිතර දැක්ක හැකි විය. වැඩිහිටි, බාල මහලු‍ සියලු‍ වයස් පරතරයන් නොසලකා පැතිරි මේ දුසිරිත මානව සදාචාරයේ පැවැත්මට ද සෞඛ්‍යය හා සනීපාරක්ෂාවට ද බෙහෙවින් හානිකර බව අතීතයේ සිට ම සිංහල බෞද්ධ ජනයා දැන සිටියහ.

පැරණි ලක්දිව ජනතාව අතර පැවති පිළිගැනීම් – සමුදීම් සිරිත වූයේ දෙදෙනෙකු හෝ සමූහයක් හෝ හමුවූ විට දෑත් එක්කොට “නමෝ බුද්ධාය!” හෝ “ආයුබෝවන්!” හෝ යනුවෙන් පවසා වෙන් වී යන විට “තෙරුවන් සරණයි!” යනුවෙන් සුභ පැතීම ය. මීට අවුරුදු හැට හැත්තෑවකට ඉහතදී එම සත්චාරිත්‍රය ගැමි සමාජයේ බාල මහලු‍ සියලු‍ දෙනා අතර ම පැවති අයුරු අපට සිහිපත් කළ හැකි ය. බටහිර සිරිත් විරිත් අවිචාරයෙන් අනුගමනය කරන්නට යෑමේ විපාක වශයෙන් “හලෝ”, “හායි” කියා පිළිගෙන සිප වැළඳ “ටටා”, “චෙරියෝ”, “බායි” කියා සමු දී යාමට තරම් අද වන විට සමහර බොදුනුවෝ ද දීන අනුකාරකයෝ වී සිටිති.

අවුරුදු දෙදහස් පන්සියයකට ආසන්න කාලයක් මුළුල්ලේ බෞද්‍ධ ජනකාය අනුගමනය කළ උතුම් ආචාර සමාචාර පිළිවෙතෙහි වටිනාකම හා සෞඛ්‍ය සම්පන්න බව සමස්ත ලෝවැසි ජනතාවට අවබෝධ වූයේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ය. බටහිර සභ්‍යත්වයේ මහදෙවොල වන බකිංහැම් මාලිගයෙන් පිටතට පැමිණි ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු පිළිගැනීම සඳහා කිසියම් බලවතකු අත දිගු කළ කෙණෙහි චාල්ස් කුමරු ඔහුට ප්‍රතිචාර දැක්වූයේ දෑත් අත්ල එක්කොට පෙරදිග බෞද්ධ සම්ප්‍රදායට අනුව ආචාර කිරීමෙනි. එය වූකලී මෑත ලෝක ඉතිහාසයේ බටහිර ආචාර ධර්මයන් පිළිබඳ සිදු වූ මහා පෙරළියකි. මුළු මහත් ලෝකයට ම බලපෑ මහා වසංගතයක් නිසා අසරණ වූ ජනතාවට පෙරදිග පැවති ආගමානුකූල සත්චාරිත්‍රයකට යොමු වීම විනා වෙනත් පිහිටක් නොමැත.

ඉහත සිදුවීම බටහිර සමාජය සසල කරවීමට හේතු වූවා සේ ම බෞද්ධ ආචාර සමාචාර විධිවල උතුම්කම, සෞඛ්‍ය සනීපාරක්ෂක වටිනාකම මෙන් ම මානව බන්ධුත්වය ද සමස්ත ලෝකවාසී ජනතාවට අවබෝධ කරවන්නක් ද විය. අද වන විට ලොව කිසිදු ජනතාවක් සිප වැළඳ ගැනීම, අතට අත දීම වැනි කය ස්පර්ශ කරන කිසිදු ආචාර ධර්මයකට යොමු වන්නේ නැත. කොරෝනා වසංගතයේදී අසරණ වූ ජනතාවට අද වන විට මක්කමට හෝ වතිකානුවට වෙනත් ආගමික මධ්‍යස්ථානයකට හෝ රැස්වී යාඥා, දේව මෙහෙයවල් හා පින්කම් පැවැත්වීමට අවකාශ නොමැත. මෙබඳු අවස්ථාවලදී මෙන් ම ජන සන්නිපාත අවස්ථාවලදී සියලු‍ම දෙනා විසින් පිළිපැදිය යුතු ඇවතුම් පැවතුම් ආදියට හොඳ මගපෙන්වීමක් බුදු දහමෙන් ලැබේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී ඒ අරබයා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ත්‍රිපිටක ධර්මයේ නොඑක් තන්හි සඳහන් ව තිබේ. ශ්‍රාවක ජනයා, දේව ගණයා, රජ මැති ඇමතිවරුන් සහ අවශේෂ ජනයා කවුරුන් හෝ බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණි කල්හි එකත්පස්ව හිඳ ගැනීම බෞද්ධ සම්ප්‍රදාය විය, එකත්පස්ව හිඳීම යනු ඉතා ළඟත් නොව, දුරත් නොව මීටරයක් පමණ ඈතින් පසෙක හිඳ ගැනීම යි. ශ්‍රාවක ජනයා හිඳගෙන ඇත්තේ තදබද ව නොව පරතරයක් ඇතිව ය. කොවිඩ් 19 වසංගතයෙන් පසුව එකී බෞද්ධ පිළිවෙතෙහි වටිනාකම අවබෝධ වී ඇති බව පෙනෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා සියලු‍ ලෝකවාසීන්ට උපදෙස් දුන්නේ මීටරයක් පමණ දුරින් සිට එකිනෙකා ඇසුරු කරන ලෙසයි.

ලොව පුරා පැතිර බහුජන විපත් පමුණුවන කොරෝනා නමැති මේ බිහිසුණු වසංගතය තුරන් කර ගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර හැරුණු විට බුදුරජාණන් වහන්සේ විසින් මෙබඳු අවස්ථාවලදී දේශනා කොට වදාළ පරිත්‍රාණ ධර්ම දේශනාවන් ද පිළිසරණක් වන බව අද ලෝකවාසීන් අවබෝධ කොටගෙන තිබේ, පරිත්‍රාණ ධර්ම දේශනාව වූ කලී ජාති කුල ආගම් බේද නොතකා සියලු‍ ලෝ සතුන් වෙත පරම ශාන්තිය ගෙන දෙන්නා වූ බලසම්පන්න ශාන්ති ක්‍රමයකි. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියත්, තුන් ලෝකවාසී සියලු‍ සත්වයන්ට කරුණා මෛත්‍රීය හා සුව සෙත සලසන උතුම් ධර්මයේ ආඥා ශක්තියත් ගැබ්ව පවත්නා පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් එකල නොයෙක් විදියේ යාග හෝමවලින් මැඩ පැවැත්විය නොහැකිව තිබූ විශාලා මහනුවර ත්‍රිවිධාකාර වසංගත භීතිය තුරන් කර දැමීමට හැකි විය. මෙම පරිත්‍රාණ ධර්ම දේශනාවට ඇතුළත් රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ධජග්ග පරිත්තය, ඛන්ධ පරිත්තය, ආටානාටිය සූත්‍රය, අංගුලිමාල සූත්‍රය ආදී දේශනාවන්හි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව හා අධිෂ්ඨාන ශක්තිය ගැබ්ව පවතී.

ත්‍රිවිධ රත්නයේ ගුණ බලයට සත්‍යක්‍රියාවේ ආශීර්වාදයෙන් ලැබෙන ශක්තිය අතිශය බලසම්පන්න වෙයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ රත්නත්‍රයේ ආශීර්වාදයෙන් විශාලා මහනුවර තුන් වසංගත බිය මෙන් ම දීඝායු කුමාරයා යක්ෂ බන්ධනයෙන් මුදා ගැනීම, සීවලී මාතාව වූ සුප්පාවාසා දේවිය සත්වසක් ඉසිලූ ගැබ් බරින් නිදහස් වීම, ප්‍රසව වේදනාවෙන් පෙළු‍ණ මාතාවකට අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යක්‍රියා අනුභාවයෙන් ශාන්තිය ලබා දීම ආදිය පරිත්‍රාණ ධර්ම දේශනාවේ අනුහස ප්‍රකට කරන නිදසුන් වෙයි. බොජ්ඣංග වැනි ධම්මාරම්මණයන්ට යොමු කොට උපශාන්ත භාවයක් ඇති කිරීමෙන් රෝ දුක් පීඩා සමනය කිරීම පිළිබඳ හාස්කම් මහා කස්සප, මහා මොග්ගල්ලාන, චුන්ද යන බොජ්ඣංග සූත්‍රවලින් ද ගිරිමානන්ද සූත්‍රයෙන් ද පැහැදිලි වෙයි.

පරිත්‍රාණ ධර්ම සජ්ඣායනා සත්‍යක්‍රියා බලයේ ආනිශංසය ශ්‍රී ලංකාදීපයේ අනුරාධපුර රාජ්‍ය සමයේ අවස්ථා කිහිපයක දී ම ප්‍රත්‍යක්ෂ වූ බවට ඓතිහාසික සාධක පවතී. තම රාජ්‍යෝදයේ සශ්‍රීකත්වය පතා භාතිය රජතුමා රුවන්වැලිසෑය මළුවේ වන්දනා මානන කරන අවස්ථාවක සෑ ගර්භය තුළ රහතන් වහන්සේලා පිරිත් සජ්ඣායනා කරනු ඇසුණු පුවතක් මහාවංශයේ කියවේ. මහා නියං සායක් ඇති වුණ සමයේ සිරිසඟබෝ රජතුමා රුවන්වැලි සෑයේ වැතිරී බුදු ගුණ සජ්ඣායනා කරමින් සිටින අතරතුර මහා වර්ෂාවක් ඇදහැළී නියං සාය දුරු වී ගිය බව පැවසේ- බුද්ධදාස රජතුමාගේ පුත් උපතිස්ස රජුගේ කාලයේ දී දුර්භික්ෂයක් ඇතිවූ කල්හි විශේෂයෙන් පිළියෙළ කළ රථයක් තුළ බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳුවා, පැන් කළයක් ඉදිරිපිට තබා භික්ෂූන් වහන්සේලා පිරිසක් රතන සුත්‍රය සජ්ඣායනා කරමින් කිහිප වරක් නගරය ප්‍රදක්ෂිණා කොට පිරිත් පැන් ඉසීමෙන් පසුව මහා වැසි ඇද හැළී දුර්භික්ෂය නිමා වූ බව කියවේ- උපතිස්ස රජතුමා එසේ කටයුතු කළේ, බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර දුර්භික්ෂය ඇතිවූ සමයේ පිරිත් සජ්ඣායනාවෙන් එය මැඩ පැවැත්වූ අයුරු පිළිබඳ සංඝයා වහන්සේගෙන් විමසා දැන ගැනීමෙන් පසුව ය. එදවස සජ්ඣායනා කර ඇත්තේ රතන සූත්‍රය පමණි- එයින් පසුව ආපදා අවස්ථාවන්හි පිරිත් දේශනා කරවා සෙත් පැතීමේ නියෝගයක් රජු විසින් පනවන ලදී- මෙසේ පිරිත් දේශනා කරවාගෙන සෙත් පැතීමේ අවස්ථා ගැන 9 වැනි, 12 වැනි සියවස්වල ලියවුණු ලිපි ලේඛනයන්හි ඇතුළත්ව ඇත- පොළොන්නරු යුගයේ දී මහා පරාක්‍රමබාහු රජතුමා, පිරිත් දේශනා සජ්ඣායනා කිරීමේ දී පිරිත් පැන් සහ පිරිත් නූල් බෙදා දීමට ‘පන්සැත්තෑගේහ’ නමින් මන්දිර සැත්තෑ පහක් කරවූ බව මහාවංශය කියයි (සැත්තෑඑක්වන පරිච්ඡේදය, 73 ගාථාව)- ඉන් පසු කාලයේ දී කාලිංග මාඝගේ දෙමළ සේනාව විසින් වනසන ලද ලංකාභූමිය යළි එක්සේසත් කළ දඹදෙණි විජයබාහු රජුගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු රජතුමා දඹදෙණි පුරවරයට දන්ත ධාතුන් වහන්සේ වැඩමවා සිය රාජභවන අසල ම ඉදි කරන ලද දළදා මාලිගයේ වැඩ හිඳුවා මහා සත්‍යක්‍රියාවක් සිදු කළේ කාලිංග මාඝ වැනසූ සිරිලක්දිවට යළි එබඳු මහා ව්‍යසනයක් සිදු නොවනු පිණිස යි. එම මහා සත්‍යක්‍රියා ප්‍රාතිහාර්යය මහාවංශයේ අසූවැනි පරිච්ඡේදයේ ගාථා විසිහතරකින් වර්ණිත ය. එම සත්‍යක්‍රියාව අවසානයේ දී දන්ත ධාතුන් වහන්සේ අහසට පැන නැගී සවණක් බුදු රැස් විහිදුවමින් ප්‍රාතිහාර්ය පෑ බව එම පරිච්ඡේදයේ ම 41, 42, 43 ගාථාවල දැක්වෙයි, ඊට පසු කාලයක ඇති වූ මහා නියඟයක් නිසා ගොයම් මැලවී බෝග වගා වැනසී මහා දුර්භික්ෂයක් හා ලෙඩ රෝග බෝවීම නිසා මුළු ලක්දිව ම තුනුරුවන් උදෙසා එක ම පූජා මහෝත්සවයක් කරවා, දළදා වහන්සේ නුවර ප්‍රදක්ෂිණා කරවා, රතන සුත්‍රය ප්‍රධාන කොට ගත් මහා පිරිත් දේශනාවක් පවත්වා ඇත- එකල්හි මහා මේඝ පැන නැගී මහවැසි ඇදහැළෙන්ට පටන් ගත් බව මහාවංශයේ 85 වැනි පරිච්ඡේදයේ විස්තර වෙයි.

මෙපරිද්දෙන් අතීත යුගයේ සිට ම වසංගත රෝග, දුර්භික්ෂ බිය, නියඟ ආදී විපත් පත් සෑම අවස්ථාවක දී ම තෙරුවනේ අනන්ත බලය සිරිලක් වැසි ජනතාවට පිළිසරණක් වූ බව පෙනී යයි- වර්තමානයේ දී මුළු ලොව ම මරණ බියෙන් තැති ගැන්වූ කෝවිඞ් 19 හෙවත් කොරෝනා වසංගතය නිසා අසරණ වූ විදේශයන්හි ජනයා රතන සූත්‍රය ඇතුළු පිරිත් දේශනාවන්ට සවන් දීමට පෙළඹී සිටින අයුරු අසන්ට ලැබේ. එක්සත් රාජධානියේ රෝහලක සේවය කරන ශ්‍රී ලාංකික හෙද නිලධාරිනියක් තමන්ට වැළඳි කොරෝනා රෝගය සුව කර ගත්තේ තෙරුවනේ ගුණ නිතර සජ්ඣායනා කිරීමෙන් බව, ශ්‍රද්ධා රුපවාහිනී සේවය අමතා පැවසුවාය- කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සදහා ලංකාවේ වත්මන් රජය විසින් ගනු ලැබූ පියවර බෙහෙවින් ප්‍රශස්ත ය- රජයේ උපදෙස් නොතකා හැසිරෙන යම් යම් පුද්ගලයන්ගේ චර්යා නොවන්නට මෙතරම්වත් සුළු ආසාදිතයන් සංඛ්‍යාවක් වුව ද බිහි නොවන්ට ඉඩ තිබුණි- තිසරණයේ මහානුභාව සම්පන්න ගුණ බලය අදහන රාජ්‍ය පාලකයකු හා ත්‍රිවිධ හමුදාවක්, විශිෂ්ට සෞඛ්‍ය සේවා බලඇණියකුත් සිටින රටකට ජනතාවගේ සහය ලැබෙන්නේ නම් කොරෝනා වසංගතය සහමුලින් ම තුරන් කිරීම ඉතා පහසු කාරියක් වනු ඇත- මැලේසියා විශ්ව විද්‍යාලයේ Unisains Buddhist සඟරාවේ 2 වැනි වෙළුමෙන් ගත් උපුටනයකින් මේ ලිපිය අවසන් කරමි.

“අවුරුදු 2500ක් වූ බෞද්‍ධ ඉතිහාසය තුළ කිසිම බෞද්ධ රජෙක් හෝ බුදු දහම වැළඳගෙන එය ජාතික ආගම බවට පත් කළ පාලකයෙක් හෝ ආගම දේශපාලනීකරණය කොට, භයංකර ව්‍යසනයන්, උන්මත්තක ක්‍රියාවන් හෝ අමනකම් කර නැත- බුදු දහම මගින් රජ දරුවන්ට හා පාලකයන්ට උගන්වන ලද්දේ සිල්වත්ව, ගුණවත්ව, විශ්ව මෛත්‍රියෙන් ආර්ද්‍ර කොටගත් සිත් ඇතිව ප්‍රීතිය හා සමෘද්ධිය කරා ජනතාව යොමු කිරීම යි-”‍

සටහන – දයාපාල ජයනෙත්ති