උපක්‍රමික ව අනෙකෙකු මුළාවේ හෙළීම සමාජ ව්‍යවහාරයේ හඳුන්වන්නේ ‘ගොනාට ඇන්දවීම’ කියා ය. අනුන් ව ගොනාට අන්දවන්නට කැමති අය ඕනෑ තරම් සිටී. නමුත් කිසිවෙකු ගොනාට අඳින්නට කැමති නැත. “ඇන්දුනා නේ ද?” කියා අවඥාවට ලක් වීමට කිසිවෙකු සූදානම් නැත. අකැමැති වුව ද, සූදානම් නො වූව ද දීර්ඝ කාලයක් පුරා අප සමාජය සිටින්නේ ගොනුන්ට ඇඳගෙන බව සත්‍යයකි.
කට වාචාලකම තිබේ නම් මේ රටේ ප්‍රබල දේශපාලනඥයෙක් වීමට පුළුවන. රූප පෙට්ටිය අභිරුචියෙන් නරඹන්නවුන්ගේ සිත් ගත් රඟපෑමක යෙදුණේ නම් කෘතහස්ත දේශපාලකයන් අබිබවා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යන්නට ද පුළුවන. එපමණක් නොව, මුඛරි ව කතා කරන්නට හැකි නම් ධර්ම කථිකයෙකු ලෙස මහා මාධ්‍ය පිරිවරක් ද සමඟ පෙරහැරේ යන්නට ද පුළුවන. ඒ සියල්ලන්ට ම ආ වඩන සමාජයට කිව යුත්තේ ‘ගොනාට ඇඳලා’ කියා නො වේ ද? මේ ඇන්දවීමත්, ඇඳ ගැනීමත් කෙළවර වන්නේ අති විශාල පිරිසකට සුගතිය අහිමි වීමෙනි.

නිදසුන් දෙකක් පමණක් දක්වමු.

කාලාරඛත්තිය නම් භික්ෂුව එක් අවස්ථාවක සම්බුදුරජාණන් වහන්සේ වෙත එළඹ සාරිපුත්ත මහරහතන් වහන්සේට චෝදනාවක් නැගුවේ ය. චෝදනාව වූයේ, ‘සාරිපුත්ත මහරහතන් වහන්සේ අරහත්වය ප්‍රකාශ කරන්නේ ය’ යන්න යි. ඒ අවස්ථාවේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ කැඳවූ සම්බුදුරජාණන් වහන්සේ අරහත්වය ප්‍රකාශ කළේ ද යන්න විමසූහ. මෙසේ, “මම රහත්” කියා පැවසීම ශාස්තෘන් වහන්සේගේ අධිකරණයක් බවට පත් වූ ශාසනයක, “මම රහත්” කියා මාධ්‍ය නිවේදන නිකුත් කරන ඇතැම් භික්ෂූන් හා ඇතැම් ගිහියන් වන්දනාමානනයෙන් පිළිගැනීම සිදු කරන සමාජයක නුවණැතිකම ප්‍රශ්න කළ යුතු නො වේ ද?

ඒ සා ම ප්‍රබල ව සමාජය පුරා පැතිර යන තවත් දුර්මතයක් නම් සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම ලක්දිව සිදු වූ බව ය. බුද්ධ භූමි පිළිබඳ හිතලු ප්‍රකාශයට පත් කරලමින්, බුද්ධ භාෂිතය තම තමන්ගේ විග්‍රහයන් අනුව විචාරයට ලක් කරමින් කටයුතු කරන ඔවුන් ආර්යෝපවාදයේ යෙදෙනවා පමණක් නොව ගෙඩිය පිටින් සියල්ල ගිල ගන්නා ස්වභාව ඇතියවුන් පහසු ගොදුරු බවට ද පත් කර ගනී. කෝසල, ලිච්ඡවී, බිම්බිසාර, අජාසත්ත ආදි පෙළ දහමේ මුණගැසෙන රජවරුන්ගේ නාමමාත්‍රයක්වත් නොකියැවෙන හෙළ රාජවංශයට බුද්ධ භූමිය ඈඳන්නට දත කන්නවුන් පිටුපස පෙළ සැදී සාදු කියන සමාජයක නුවණැතිකම කොපමණ ද යන්න ප්‍රශ්න කළ යුතු නො වේ ද?

රස කර කියූ පමණින් සියල්ල හදවතින් ම පිළිගන්නා ස්වභාවය කිසිසේත් ම නුවණැතිකමක් නො වේ. එය හුදෙක් ආවේගයකි. ආවේගයෙන් යුතු ව සිදු කළ අකුසල ය කියා අකුසලයන්ගේ විපාක හීන වන්නේ නැත. නොදන්නාකමින් ස්පර්ශ වූවා යැයි කියා ගින්නෙන් නොපිළිස්සී තිබෙන්නේ නැතුවාක් සේ ම ආවේගයෙන්, මෝඩකමින් කීවා, කළා කියා අකුසලයන්ගේ විපාක දුබල වන්නේ නැත. මෙහි ඇති අතිශය ඛේදනීය කරුණ නම් ධර්මය නමින් අධර්මය වැළඳ ගැනීම තුළ සිදුවන මහා අලාභය යි.

කලබලය කිසිවකට යහපත් නැත. කනින් අසන දේ ඒ අයුරින් ම ගිල දමන්නට කලබල වීම, නොඉවසිලිමත් වීම විසින් අපට පරම දුර්ලභ බුද්ධ ශාසනයේ ප්‍රතිලාභය අහිමි කරලන්නේ නම්, අප ව දුගතියට ගෙන යන්නේ නම් අප සැබෑවට ම කලබල විය යුත්තේ එන එන දේ ගෙඩිය පිටින් භාර ගන්නා ස්වභාවය ගැන ය. ගොනාට අන්දවන්නෝ එහි විපාක තම තමන් භුක්ති විඳිනු ඇත.

අසිහියෙන් සිටින්නවුන්ට ඕනෑම කුණු ගොඩක පැටලී ඇඳ ගැනීම පහසු ය. එහෙත් ඒ ඇඳ ගැනීම යොමු වන්නේ සසරට යි. ඇඳ නොගෙන සිටින්නට සිහිනුවණ උපදවා ගැනීම අපට සුගතියත්, නිවනත් රැක දේ. අප සතුටු විය යුත්තේ ඒ සුරක්ෂිතතාවය අත්පත් කර ගැනීමටයි.