බුද්ධකාලීන ව, තනි පුද්ගලයෙකු විසින් සිදු කළ වැඩිම මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාවක් ගැන අපට අසන්න ලැබෙන්නේ අංගුලිමාල පුවතින්. ගුරුවරයා කෙරෙහි සිත්හි තිබුණු අසීමිත ගුරු භක්තිය නිසා, ගුරුවරයා ඉල්ලූ පරිදි ම තනි මිනිසෙකුගේ තනි ඇඟිල්ල බැගින් ගෙන සැකසූ ඇඟිලි දහසක මාලයක් ගුරු පඬුරු ලෙස පිදීම පිණිස කිසිදු පැකිලීමකින් තොරව කඩුව අතට අරගෙනයි අහිංසක තරුණයා අංගුලිමාල බවට පරිවර්තනය වුණේ. ළමා මහලු, ස්ත්‍රී පුරුෂ, රූපී විරූපී කිසිදු වෙන් කිරීමකින් තොරව තම ග්‍රහණයට නතු වූ කවරෙකු වුවත් අංගුලිමාලගේ අතින් මැරුම් කෑවා. එකල ඒ හදවතේ කිසිදු ළතෙත් බවක් – ළතෙත් බවක සේයාවක්වත් රැඳී තිබුණේ නැහැ.

ජීවිතය අයදිමින් දුක් අඳෝනා නැගූ මිනිසුන්… භීතියෙන් සිත උන්මාදයට පත් වූ මිනිසුන්… ද්වේෂයෙන් ශාප කළ මිනිසුන්… මේ සෑම සියලු දෙනා ම අංගුලිමාල ඉදිරියේ පැරදුනා. ඒ කිසිවෙකුටවත් ඔහුගෙන් අභය සැලසුනේ නෑ. කුණු වී නරක් වී ගිය, වන සතුන්ගෙන් හානි පැමිණුනු, නොයෙක් ආපදාවන්ට ලක් වුණු ඇඟිලි පසෙක තබාත් යථා තත්ත්වයේ තිබුණු ඇඟිලි නවසිය අනූනවයක් ඔහු සතුව තිබුණු මොහොතකයි සම්බුදුරජාණන් වහන්සේ ඒ වනයට වැඩම කළේ…

එක ම එක ඇඟිල්ලක් ලබන්නට යොදුන් තුනක් පුරා කඩුව ඔසවාගෙන ඒ ශ්‍රමණ රුව පසුපසින් බිහිසුණු රූ ඇතිව දුවගෙන පැමිණි අංගුලිමාල අවසානයේ ලැබූයේ නොනැවතී සැරිසරා පැමිණෙන බිහිසුණු සසර නවතන දහම් දායාදය යි. පාපී අකුසලයන්ගෙන් මුළුමනින්ම නිදහස් වුණ – අවිද්‍යාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී අනේක දුක් විඳිමින් යන සසර ගමන සදහට ම නවතා දමා සැබැවින් ම නැවතී සිටින මහ මුනිරජුන්ගෙන් ලද පළමු දහම් අවවාදයෙන් ම දහසක් පව් සෝදා දමමින් අංගුලිමාලයන් ද නවතින්නවුන්ගේ මගට එළඹුණා. ඒහිභික්ඛූ භාවයෙන් පැවිද්ද ලද අංගුලිමාල ස්වාමීන් වහන්සේ තම ජීවිතයට පැමිණුනු ශාන්ත භාවයෙන්, දැමුනු භාවයෙන් යුතුවමයි සම්බුදුරජාණන් වහන්සේ පසුපසින් දෙව්රම් වෙහෙරට වැඩම කළේ. ඒ අංගුලිමාල ස්වාමීන් වහන්සේ හුදෙක් සසුන්ගත වීමට සීමා නොවී හුදෙකලා වෙලා, අප්‍රමාදී ව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිතව සසුන් බඹසර හැසිරෙද්දී ඒ උතුම් අරහත්වය මේ ජීවිතයේ දී ම සාක්ෂාත් කොට ගත්තා…

මේ ජීවිතයේ දී ම මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමෙන් රැස් කළ බොහෝ පාපයන් සහිත වුණු අංගුලිමාලයන් වහන්සේ සිවුරු දරා ගත්තට පස්සේ අන් ස්වාමීන් වහන්සේලා වගේ ම මැටි පාත්‍රය අතට ගෙන පිණ්ඩපාතය පිණිස ගම්දනව්වලට වැඩම කළා. හැබැයි, අන් ස්වාමීන් වහන්සේලාට සාමාන්‍යයෙන් නොපැමිණි නොයෙක් උපද්‍රව අංගුලිමාලයන් වහන්සේ කරා නිතර එළඹුණා. කෙළිදෙලෙන් පසුවන කුඩා ළමුන් ගඩාගෙඩි කඩන්නට සිතා වීසි කරන ගල්, දඬුමුගුරු, කැටකැබිලිති කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයෙන් අංගුලිමාලයන් වහන්සේ කරා ම පැමිණියා. උන්වහන්සේ ආපසු විහාරයට වඩින්නේ බිඳී ගිය පාත්තරයක් ඇතිව, ඉරී ගිය සිවුරු පිරිකර ඇතිව, තැලීම් සීරීම් ඇතිව… ඒ දකින මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විදිහටයි.

“පින්වත් බ්‍රාහ්මණය, ඔබ ඉවසන්න.

පින්වත් බ්‍රාහ්මණය, ඔබ ඉවසන්න. ඔබ විසින් කරන ලද යම් කර්මයක විපාකය බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයේ පැසවන්නට තිබුණා ද පින්වත් බ්‍රාහ්මණය, ඔබට ඒ කර්මයේ විපාක මේ ජීවිතයේ දී විතරයි විඳවන්නට තියෙන්නේ…”

මෙපමණ පීඩා උපදිද්දීත් අංගුලිමාලයන් වහන්සේ තමන් වහන්සේට එළඹි පීඩා ගැන සම්බුදුරජාණන් වහන්සේට කිසිදිනෙක කියන්නට ගියේ නෑ. හැබැයි, උන්වහන්සේ එක දුකක් ගැන කියන්නට සම්බුදුරජාණන් වහන්සේ වෙත එළඹුණා. ඒ තමන්ට එළඹි දුකක් නෙමෙයි; මූඪගර්භ වූ මවකට එළඹි දුකක්… ඔය සිදුවීමෙනුයි, ගැබිණි මව්වරුනටද කුස ඔත් දරුවනට ද සියලු සත්වයනට ද කල්පයක් පුරා රැකවරණය, සෙත සලසන ආනුභාවයෙන් යුතුව අංගුලිමාල පිරිත ලෝකයට දායාද වුණේ.

සිතෙහි කුරිරු බව තුළ සිරගත වූ අංගුලිමාල… ජීවිතය ඉල්වා යදින මිනිසුනගේ කඳුළු සුසුම් හමුවේ දැඩි බවින් යුතුව ම හුන් අංගුලිමාල… දස මසක් කුස දරා හිඳ බිහි කොට කිරි පොවා පෝෂණය කොට, අතපය උස්මහත් කොට හැදූ ආදරණීය අම්මා වුව ද මරා ගුරු පඬුරු පිණිස ඇඟිල්ලක් වෙන් කර ගන්නට පසුබට නොවන සිතකින් යුතුව හුන් අංගුලිමාල… තමාගේ දුක කිය කියා නොයන – අනුන්ගේ දුකෙහි සිත කම්පා වී සෙත සලසන්නට සිතන, සැබෑ ම අහිංසක ජීවිතයක් ලැබුවේ කොහොමද? එය එක්තරා පෙළහරක් නොවෙයි ද?

ඒ තමයි සත්පුරුෂ ධර්මයේ අසිරිමත් පෙළහර. මේ ධර්මය අප ව පටු දෘෂ්ටි තුළ සිරගත කරන්නේ නැහැ. සම සිතින් – සම මෙතින් යුතුව නිවහල්, නිදහස් චින්තන ධාරාවක් කරා ශ්‍රාවකයා පමුණුවන ධර්මය යි සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට වදාළේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙන මෛත්‍රී චිත්ත ප්‍රවාහය කිසිදු සීමා මායිම් නැති උතුම් බලයක්. ඒ මෛත්‍රී චිත්තය බලවත් වන්නේ යම් යම් අයුරකින් ද ඒ ඒ අයුරින් ම අප සිරගත වී සිටින බොහෝ පටු සීමා මායිම් බිඳ වැටෙනවා.

අඩුපාඩු සහිත වූ, පටු ආකල්පයන්ගෙන් යුතු වූ මිනිසුන්ගේ හැසිරීම් හමුවේ අප ගැටෙනවා නම්, ඒ ගැටුනු බවින් යුතුව ම කය වචනය හසුරුවනවා නම් ඔවුනුත් අපත් අතර ලොකු වෙනසක් නැහැ නේ ද? අද අප පොදුවේ මුහුණපාන නොයෙක් දුෂ්කරතා, ආර්ථික අපහසුතා හමුවේ නිරායාසයෙන් ම පුද්ගලයෙකුට හෝ සමූහයකට හෝ තීන්දු තීරණ ප්‍රතිපත්තීන්ට හෝ දොස් පවරන්නට අප නැඹුරු වෙනවා. එය අතිශය ස්වභාවික සංසිද්ධියක් සේ පෙනී යනවා වුණත්, අප ඒ වෙලාවෙදි අපව ද අනතුරට ලක් කරමින් සිටිනා බවයි ඇත්ත. නොගැළපෙන – අදූරදර්ශී වැඩපිළිවෙළවල් කෙරෙහි සාධනීය විවේචනයන් පුරවැසියන් සතු වීමේ කිසි ම වරදක් නැහැ; හැබැයි අප එය කළ යුත්තේ අප ව රැකගෙන…

අඩුපාඩුවලින්, වැරදි සහගත භාවයන්ගෙන් නැගී සිටීවා යන සානුකම්පිත භාවයේ පිහිටා, මෙත් සිතින් යුතුව අපට අදහස් දක්වන්නට හැකි නම් එතැන දී අප නැසෙන්නේ නෑ.

බලන්න, අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ තුළ උන්වහන්සේගේ ලෙයින් උපන් පුත්‍ර වූ රාහුල මහරහතන් වහන්සේ කෙරෙහි යම් මෛත්‍රී සිතක් පැවතුණා ද ඒ මෛත්‍රී සහගත සිත ම යි උන්වහන්සේගේ ළයෙහි උපන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි පැවතියේ. කිසිම වෙනසක් නැතිව ඒ මෛත්‍රී චිත්තය ම යි දේවදත්ත කෙරෙහිත් පැවතියේ. පුහුදුන් ලෝකයට මේක අභව්‍ය දෙයක් වුණත් සත්පුරුෂ ලෝකයට මේක අරුමයක් නෙමෙයි. අප කැමති විය යුත්තේ ඒ සත්පුරුෂ ලෝකයටයි. අප උත්සාහවත් විය යුත්තේ ඒ සත්පුරුෂයන් අතර කෙනෙකු වීමට යි.

යථාවබෝධය නොලබා අඩුපාඩු සහිත ව සිටින්නවුන් වුණු අප, අඩුපාඩු සහිත ලෝකයාට ගැටි ගැටී යාම අනර්ථවත් දෙයක්. ජීවිතාවබෝධය තුළ පරිපූර්ණත්වයට පත් උතුමන් අඩුපාඩු සහිත ලෝකයට කොහෙත් ම ගැටුනේ නෑ. බැණ වදින්නට කලින්, දෙස් දෙවොල් තබන්නට කලින්, විවේචනය කරන්නට කලින්, කොටින් ම අදහස් දක්වන්නට කලින් අප ඉන්නේ අප ව රැකගෙන ද කියා සිහියෙන් සිතා බැලිය යුතුමයි. ඒ වෙලාවේ අප ඉන්නේ අකුසල මූලයක කියා දැනගන්න පුළුවන් නම්, නිහඬ බව තමයි හොඳම උත්තරය.

එලෙස නිහඬව තම සිතෙයි උපන් අකුසලය සිහි නුවණින් යුතුව බැහැර කරන්නේ නම් එයින් අපටත් අන් අයටත් යහපතක්ම සැලසෙන්නේය. ඒ තැනට එන්න පුළුවන් නම් ඒක පුදුමාකාර දක්ෂකමක්. ඒ දක්ෂකම තියෙනවා නම් ඔබ අප ඉන්නේ නිවන් මාර්ගයේ…!

පටු තැන්වල සිර නොවී, කර්මය නම් වූ කෙතෙහි මෛත්‍රී චිත්තය නම් වූ බිජුවට වපුරා නිදහස් නිවහල් චින්තන ධාරාවේ පින් අස්වනු නෙළන්නට අපට ද හැකි වේවා!

සටහන – උදුලා පද්මාවතී