අවිද්‍යා අන්ධකාරයේ ගිලී, ඉපදීමත් මරණයත් අතර මංමුළා වූ ලෝ සතුන්ගේ අඳුරු ලෝක එළිය කරන එක ම හිරු මඬල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම වන සේක. අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පුරා දිවි පුදා රැස්කළ අපරිමිත පුණ්‍යානුභාවයෙන් අලංකෘත වූ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු රූපකාය මිනිස්සුන්ට තබා දෙවියන්ටවත් සිතා ගැනීමට බැරි තරම් ම ආශ්චර්යය යි. ලොවේ සිටි නුවණැති දෙවි මිනිසුන් ඒ සුගතයන් වහන්සේගේ අසිරිමත් දිවිපෙවෙත දැක උන්වහන්සේගේ පා පියුම් සිඹිමින් වැඳ වැටුණා. දිවි තිබෙනතුරා භාග්‍යවතුන් වහන්සේව ම සරණ ගියා. ඒ නිසා ම ඔවුන් මේ ඉපදෙන මැරෙන සසර සැඩ පහරෙනුත් එතෙරට පැන ගත්තා.

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිසිදු නිකෙලෙස් ජීවිතය ගැන දැන ගත්තු නුවණැති කෙනෙක් කොහොම නම් බුදු සමිඳුන් හැර වෙන පිහිටක් පිළිසරණක් සොයන්න ද? සැබැවින්.ම යමෙක් නුවණැති නම් පොඩි වන ගොමුවක් අත හැරලා බොහෝ දලු මල් ඵල දරා සිටින මහා වනයකට එන කුරුලු පැටියෙක් වගේ ලොවේ අනෙක් සියලු මිසදිටු අතහැර භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. මේ ලෝකයේ යම් දෙවියෙක් හෝ මිනිසෙක් හෝ සසර දුක ඉක්මවා ගියා නම් ඒ සියලු දෙනා භාග්‍යවතුන් වහන්සේගෙන් මොහොතක් හෝ වෙන් නොවුණු සිතෙන් ම යි ජීවිතය ගත කළේ. දිවා රෑ දෙකේ ම බුදු ගුණ සිත සිතා ඒ උත්තම මුනිඳුන්ට වඳිමිනුයි ජීවත් වුණේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සොඳුරු දිවිපෙවෙත ගැන දැන ගන්නට දැන ගන්නට හිතේ පැහැදීම ඇති වෙනවා. කෙලෙස් මලකඩ ටික ටික දුරුවෙලා යනවා.

ඒ භාග්‍යවතුන් වහන්සේට තිබුණේ සුන්දර ගමනක්. සොඳුරු ආර්ය මාර්ගයේ ගමන් කොට බිය රහිත බවට පත් වූ හෙයින් ද අන් අයව ද ඒ සොඳුරු මඟට පමුණුවන හෙයින් ද උන්වහන්සේ සුගත වන සේක.

“උජුකෝ නාම සෝ මග්ගෝ – අභයා නාම සා දිසා
රථෝ අකූජනෝ නාම – ධම්මචක්කේහි සංයුතෝ
හිරි තස්ස අපාලම්බෝ – සතස්ස පරිවාරණං
ධම්මාහං සාරථිං බ්‍රෑමි – සම්මාදිට්ඨිපුරේජවං”

(අච්චරා සූත්‍රය – සං. නි. 1)

“බිය රහිත වූ අමා නිවන දිශාවට විහිදුණු ආර්ය අෂ්ටාංගික මාර්ගය නම්.වූ උතුම් ඍජු මාර්ගයක් තියෙනවා.

ඒ වගේ ම කොපමණ පිරිසක් නැග ගත්තත් කිසිම අබලන් හඬක් එන්නේ නැති ධර්මය නම් වූ සොඳුරු රථයකුත් තියෙනවා. ඒ රථයට තියෙනවා කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට හෝ ආපස්සට කරකැවිය නොහැකි ධර්මචක්‍ර නම් වූ රථ රෝද. ඒ රථයේ පවට ලැජ්ජාව හා පවට බය නම් වූ සුවපහසු ආසන තියෙනවා. සිහිය නම් වූ සැරසිල්ලකින් මුළු රථය ම අලංකාර කරලා තියෙනවා. මේ රථය ඉදිරියට ඇදගෙන යන ජවය තමයි සම්මා දිට්ඨිය. මේ ඍජු මාර්ගය ඔස්සේ ධර්මය නම් වූ රථය පදවාගෙන ලෝ සතුන් අමා නිවන නම් වූ බිය රහිත දිශාවට රැගෙන යන රියදුරා මම වෙමි.”

අපගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය නම් වූ සොඳුරු රථයට නැගගෙන අමා නිවන කරා ඍජු මාර්ගයේ ගමන් කළ දෙව්මිනිස් ප්‍රජාව ගණනින් කිව නොහැකි තරම්. කුසල් පිරිහී ගිය, පාපී දේවල් ම බලවත් වූ මෙකල සිටින අබල දුබල මිනිසුන්ට ඒ උත්තම රථයට නැග ගැනීමට තරම් සවියක් නොමැති වීම විනා කොතරම් පිරිසක් නැග ගත්තද ධර්මය නම් වූ සුවපහසු රථය සත්වයාව සසර දුක් ගිනි නිවා අමා නිවන කරා ගෙන යන්නේ ම ය.

බුදුරජාණන් වහන්සේගේ ආර්ය මාර්ගයේ ගමන පමණක් නොවේ පියවි ලෝකයේ පා ගමනද අතිශයින් ම සුන්දරයි. දෙව් මිනිස් ප්‍රජාව තුළ උස්ව නැගී ගිය අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ඝෝෂාව ඇසූ බ්‍රහ්මායු නම් බ්‍රාහ්මණ ආචාර්යතුමා ඒ ගැන විමසීම පිණිස තම ශිෂ්‍යයකු වූ උත්තර නම් තරුණයාව භාග්‍යවතුන් වහන්සේ වෙත පිටත් කොට හැරියා. භාග්‍යවතුන් වහන්සේව මුණගැසුන උත්තර, මේ ලෝකයේ පරම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට පමණක් උරුම වන මහා පුරිස ලක්ෂණ තිස්දෙක ම සම්බුදු සිරුරේ මනාව පිහිටා ඇති බව හඳුනාගත්තා. එපමණකින් සෑහීමකට පත්නොවුණු උත්තර මානවකයා භාග්‍යවතුන් වහන්සේගේ අනෙකුත් හැසිරීම් කොයි ආකාරයෙන් ඇත්දැයි විමසමින් මාස හතක් පුරා උන්වහන්සේගේ පිටුපසින් සෙවණැල්ලක් මෙන් ගියා. ඇත්තට ම පරම පිවිතුරු ජීවිතයක් ගත කළ ලෝකනාථ අප මුනිඳුන් ගැන කුමන කරුණක් නිසා නම් උත්තර මානවකයා අපහදින්න ද? භාග්‍යවතුන් වහන්සේ ගැන අපමණ පහන් සිතින් උත්තර මානවක නැවත තම ආචාර්ය වූ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා සමීපයට ගොස් මෙසේ පැවසුවා.

“ආචාර්යපාදයෙනි, ඒ භවත් ගෞතමයන්ගේ යම් කීර්ති ඝෝෂාවක් උස්ව පැන නැගී ඇත්ද එය නම් සත්‍යයක් ම යි. ඒ භාග්‍යවතුන් වහන්සේ කියන ගුණයන්ගේ ආකාරයෙන් ම යි දිවි ගෙවන්නේ. වෙන විදියකට නම් නෙමේ. ඒ භවත් ගෞතමයන් වහන්සේ උත්තම පුරුෂයෙකුට පමණක් හිමිවන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ පින් සිරුරක් දරාගෙන වැඩ ඉන්නේ.”

ඒ උත්තර මානවකයා තමා දුටු මහා පුරිස ලක්ෂණ තිස්දෙක ම එකින් එක තම ආචාර්ය වූ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට විස්තර කළා. මාස හතක් පුරා තමන් දුටු භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර දිවි පෙවෙත ගැනත් විස්තර කළා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නම් අපට සිතාගත නොහැකි තරම් අසිරිමත්. කෙලෙස් මඩ ගොහොරුවේ ගිලී සිටින වත්මන් ලෝකයේ මිනිසුන් මෙබඳු විස්තරයකින් තොරව කෙසේ නම් පරම නිකෙලෙස් වූ අපගේ ශාස්තෘන් වහන්සේගේ සොඳුරු ඉරියව් පැවැත්ම ගැන සිතින් සිතා ගන්න ද? ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ ගමන් වඩින විට දකුණු ශ්‍රී පාදය ම පෙරට තබා ගමන් අරඹනවා.

ඉතා ඈතින් පියවර තියන්නෙත් නෑ. ඉතා ළඟින් පියවර තියන්නෙත් නෑ. ඉතා වේගයෙන් පියවර තියන්නෙත් නෑ. ඉතා සෙමින් පියවර තියන්නෙත් නෑ. දණහිසින් දණහිස වද්දවමින් වඩින්නෙත් නෑ. ගොප් ඇටයෙන් ගොප් ඇටය වද්දවමින් වඩින්නෙත් නෑ. උන්වහන්සේ වඩිනවිට කලවය උඩට නවන්නෙත් නෑ. යටට නවන්නෙත් නෑ. පාදයන් තදකොට තබන්නෙත් නෑ. සිරුර එහාට මෙහාට සොලවන්නෙත් නෑ. භාග්‍යවතුන් වහන්සේ වඩින විට දී සෙලවෙන්නේ යටි කය පමණි. උන්වහන්සේ ආයාසයක් ගෙන වඩින්නෙත් නෑ. උන්වහන්සේ යමක් දෙස බලනවා නම් මුළු කයම හරවා බලනවා.

උන්වහන්සේ උඩ බලන්නෙත් නෑ. කලබලයෙන් වටපිට බලන්නෙත් නෑ. වික්ෂේපයෙන් බලන්නෙත් නෑ. විය දණ්ඩක දුර පමණක් බලනවා. භාග්‍යවතුන් වහන්සේගේ පියවි ඇසින් බැලීම එසේ වුවත් ඤාණ දර්ශනය නම් කිසිම දෙයකින් වැසිලා නෑ. හාත්පස දකින ඇසින් යුතු වූ අපගේ ශාස්තෘන් වහන්සේ හතලිස් පස් වසක් පුරා ම මෙසේ ශාන්ත සන්සුන් ගමනින් ලෝ සතුන්ගේ සිත් පහන් කරමින් මිහිමඬල මත පා පියුම් තබ තබා වැඩම කළ සේක.

පිදිය යුත්තන් අතර උත්තම වූ බුදුරජාණන් වහන්සේට රජ සිටු මැදුරුවල ආසන පැනවුණා. දුගී දුප්පත් පැල්පත්වලත් අසුන් පැනවුනා. ඇතැම් විට භාග්‍යවතුන් වහන්සේ ම ගසක් පාමුල වැටුන වේළී ගිය කොළ එකතු කරලා ඒ මත සඟල සිවුර එළාගෙන ආසනයක් පනවා ගන්නවා. නමුත් ඒ සෑම අසුනක ම වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ විවේකයට නැමුණු සිතින් ම යි සිටියේ. උන්වහන්සේ ඉතා දුර සිට හෝ ළඟ සිට අසුන මත වේගයෙන්, කලබලයෙන් වාඩි වෙන්නේ නෑ. අසුනේ වාඩි වුණාට පස්සේ කය බර කරන්නෙත් නෑ. උන්වහන්සේ අත් පා මනා සිහි නුවණින් ම යි හසුරුවන්නේ. සාමාන්‍ය මිනිස්සු වගේ අත් පාවලින් නොයෙක් විප්‍රකාර දක්වන්නේ නෑ. දණහිස උඩින් අනෙක් දණහිස තබා වාඩිවෙන්නෙත් නෑ. එක් පාදයක් මත අනෙක් පාදය තබාගෙන වාඩිවෙන්නෙත් නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේ රාජ මහාමාත්‍ය ආදී පිරිස් පිරිවරාගෙන වැඩ සිටියත්, හුදෙකලාවේ නිහඬ වන පෙතක වැඩ සිටියත් කිසිම තැති ගැනීමක් නම් නෑ. කම්පා වීමකුත් නෑ. බිය වී සැලීමකුත් නෑ.

ලොමුඩැහැගැනීමක් නැතිවම වැඩ ඉන්නවා. කෙලෙසුන්ගෙන් කැළඹී ගිය ලෝ සතුන් අතරේ අපට මෙසේ පරම නිකෙලෙස් වූ විහරණ ඇති, සැබෑ ලෙසම විමුක්තියට පත් භාග්‍යවතුන් වහන්සේ ව සරණ යන්නට ලැබීම කෙතරම් භාග්‍යයක් ද?

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දන්පැන් පිළිගැනීම ද හරිම අසිරිමත් දෙයක්. උන්වහන්සේ පාත්‍රයට පැන් පිළිගනිද්දී පාත්‍රය උඩට ඔසවන්නෙත් නෑ. යටට පහත් කරන්නෙත් නෑ. පාත්‍රය තද කොට ගන්නෙත් නෑ. පාත්‍රය එහාට මෙහාට සොලවන්නෙත් නෑ. දිය පිළිගනිද්දී ඉතා ස්වල්පයක් පිළිගන්නෙත් නෑ. ඉතා ගොඩක් පිළිගන්නෙත් නෑ. කිසිම හඬක් නොනැගෙන ලෙසට මනා සිහි නුවණින් ම යි පාත්‍රය සෝදන්නේ.

උන්වහන්සේ පාත්‍රය සෝදා බිම තබා අත් සෝදන්නේ නැහැ. පාත්‍රය සෝදන විට ම දෑත ද සේදී යන සේ පාත්‍රය සෝදන්නේ. පාත්‍රය සේදූ දිය ඉතා ඈතට දමන්නේ නෑ. ඉතා ළඟ දමන්නෙත් නෑ. වතුර විසිරෙන පරිදි දමන්නෙත් නෑ. භාග්‍යවතුන් වහන්සේ යැපීමට අවශ්‍ය ප්‍රමාණයට ම යි දානය පිළිගන්නේ. උන්වහන්සේ හොඳ සිහිනුවණින් බත් පිඬ මුවෙහි ඇතුළු කොට දෙතුන්වරක් සපා ගිලින සේක. එසේ වළඳන විට ව්‍යංජන බත සමඟ මනාව මිශ්‍ර වීමෙන් පසුව ම භාග්‍යවතුන් වහන්සේගේ කයට ඇතුළු වෙයි. එසේ ම සමසතලිස් දන්තයන්ගෙන් සුසැදි උන්වහන්සේගේ මුවෙහි හෝ හක්කෙහි හෝ ආහාර රැඳෙන්නේ නෑ. උන්වහන්සේ අනෙක් බත් පිඬ මුවට නගන්නේ ඉන්පසුවයි. උන්වහන්සේ දන් වළඳන්නේ ජවය ඇතිකර ගැනීමේ හෝ සවි ශක්තිය ඇතිකර ගැනීමේ අදහසින් නොවේ. තම ශරීරයේ මස් අඩු තැන් පුරවා ලස්සන කර ගන්නත් නොවේ. කයෙහි පැවැත්ම පිණිස, යැපීම පිණිස පමණයි දන් වළඳන්නේ. කයෙහි වෙහෙස දුරු කර ගැනීම පිණිස.ම.යි දන් වළඳන්නේ. ‘කුසගින්නෙන් හටගත් වේදනා දුරු කොට බඹසර ජීවිතය පහසුවෙන් ගත කරමි.’ යන අදහසිනුයි දන් වළඳන්නේ.

දන් වළඳා මොහොතක් නිහඬව වැඩ සිටින උන්වහන්සේ දන්පැන් පූජා කළ සැදැහැතියන්ට අනුමෝදනා දේශනාවක් පවත්වනවා. එහිදී උන්වහන්සේ වැළඳූ දානයට ගරහන්නෙත් නෑ. වෙනත් දානයක් පතන්නෙත් නෑ. දහම් කතාවෙන් ම පිරිස සතුටු කරනවා. ධර්මයේ ම සමාදන් කරවනවා. ධර්මයට ම උනන්දු කරවලා වැඩ සිටි අසුනෙන් නැගී සිට ආපසු වඩිනවා.

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු පෙරවීම ද දුටුවන්ගේ සිත් පහන් කරවනවා. දූවිලි කුණු නොතැවරෙන රන්වන් සිරුරක් තිබූ උන්වහන්සේ රත් පැහැ සිවුර දරා වැඩ සිටින විට හරියට රතු පලසක් මත තැබූ දඹ රන් නික වඩාත් බබළනවා වගේ සියලු දෙව් මිනිස් ප්‍රජාව අතර රූසිරියෙන් බබළමින් වැඩ සිටියා. උන්වහන්සේගේ ශරීරයේ සිවුර උඩට ඉස්සෙන පරිදි පොරවන්නේ නෑ. සිවුර එල්ලා වැටෙන පරිදි පොරවන්නෙත් නෑ. කයට තදින් සිරවන සේ පොරවන්නෙත් නෑ.

කයට බුරුල්ව සිටින සේ පොරවන්නෙත් නෑ. උන්වහන්සේ පොරවා සිටින සිවුර කොයි වෙලේවත් සුළඟින් ගසාගෙන යන්නෙත් නෑ. මනාකොට පෙරවූ සිවුරෙන් යුතුව ශාන්ත සන්සුන් ගමනින් විවේක තැනකට වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳීමෙන් පසු කය ඍජු කරගෙන භාවනා අරමුණේ සිහිය යොදවා සමාධි සුවයෙන් වැඩ සිටිනවා.

දහම් දෙසීම පිණිස කරුණක් යෙදෙනවා නම් උන්වහන්සේ බ්‍රහ්ම ස්වරය විහිදා ධර්මය දේශනා කරනවා. ධර්ම දේශනාව අවසන් වූ විගසම නැවතත් කලින් සිටි භාවනා අරමුණට.ම සිත යොමු කරනවා. සැබැවින්ම භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ජීවිතය සාමාන්‍ය ලෝකයාගෙන් කෙතරම් දුරස් ද? උන්වහන්සේගෙන් දහම් අසා ඔද වැඩුණු සිත් ඇති මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ දෙස නැවත නැවතත් හැරී බලමින් නැවත නැවතත් වන්දනා කරමින් පිටත්ව යනවා. ‘අනේ අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වඩින ආකාරය දැක ගත්තානේ. ඒ උත්තම මුනිඳුන් වාඩි වී සිටින අයුරුත් දැක ගත්තානේ. උන්වහන්සේ ගෙන් දහම් අසන්නට තරම් අපිත් වාසනාවන්ත වුණානේ.’ කියමින් නොයෙක් ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේට ම ප්‍රශංසා කරමින් භාග්‍යවතුන්.වහන්සේගේ.ම ගුණ ගයමින් සතුටු සිතින් නික්ම යනවා.

උත්තර මානවකයාගෙන් මේ තොරතුරු අසා දැනගත් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා තමන් සිටි අසුනෙන් නැගිට තුන් වතාවක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි දිශාවට වැඳ නමස්කාර කළා. භාග්‍යවතුන් වහන්සේව සොයාගෙන ගොස් උන්වහන්සේව සරණ ගියා. යළි කිසිදා සතර අපා දුකට නොවැටෙන සේ ජීවිතයට රැකවරණය සදා ගත්තා.

අද පවා අපට ඒ භාග්‍යවතුන් වහන්සේගේ අපමණ ගුණ ගැන අසා දැනගෙන සිත පහදවා ගන්න ඇත්නම් ජීවිතයට කොයිතරම් රැකවරණයක් සැලසෙනවා ද? ‘අපගේ බුදුරජාණන් වහන්සේ කොයි තරම් නිකෙලෙස් සිතින් යුතු.වූ සේක් ද? රාග ද්වේෂ මෝහ රහිත වූ සිතින් යුතු උන්වහන්සේ මොනතරම් සතුටින් වැඩ සිටින්නට ඇත්ද?’ යැයි සිතමින් අපේ ජීවිතත් බුද්ධානුස්සතියෙන් පුරවා ගතහොත් ඒ අමා නිවන කරා ටිකෙන් ටික හෝ ළං වෙනවාමයි.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.