අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිනිස්සු හරි ම වාසනාවන්තයි, පින්වන්තයි. හැබැයි ඒ වාසනාව, පින මතුකර ගන්න ඒ අය බොහෝ දෙනෙක් දන්නේ නෑ. මිනිසුන් හිතන්නේ, තමන්ගේ වාසනා මහිමය, පින තමන්ව හොයාගෙන එයි කියලයි. ඒ අතර ඉතා සුළු පිරිසක් ඉන්නවා ලද අවස්ථාවේ තම තමන්ගේ ජීවිතවලට පින් රැස් කර ගන්න උදවිය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය ඇහෙන යුගයක, ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන උතුම් ආර්ය මහා සංඝරත්නය අපේ නෙත ගැටෙන යුගයක ඇත්තට ම අපට මොන තරම් පින් රැස්කර ගන්න අවස්ථාව තියෙනවා ද?

අද කාලේ වගේ නො වෙයි, භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලේ නුවණැති මිනිසුන් තමන් ලද අවස්ථාවේ බොහෝ පින් රැස්කර ගත්තා. තවත් කෙනෙක් කරන පින දැකලා සතුටු වුණා, ඒ පින අනුමෝදන් වුණා. ඒ තුළින් සුගති සැප සලසාගත්තා.

අද සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගෙනුත් තමාට සැප සතුට ලබාගන්න පින උපකාර වන බව දන්නා උදවිය තමාට පුළුවන් විදිහට පින් කර ගන්නවා. හොය හොයා පින් කර ගන්නවා. උදේ සවස භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා. ලද අවස්ථාවන්හි දී තථාගත ශ්‍රාවක වූ ආර්ය මහා සංඝරත්නය උදෙසා උපස්ථාන කරනවා. දුගී දුප්පත් අසරණ අයට උදව් උපකාර කරනවා. මං මාවත් ඉදිකරනවා. ඒ දඬු පාලම් ඉදිකරනවා. මේ ආකාරයෙන් නොයෙකුත් වූ පින් රැස්කර ගන්නවා. ලද අවස්ථාවෙන් බුද්ධිමත්ව ප්‍රයෝජනය ගන්නවා. අන්න ඒ පිරිසට හොඳට හිතන්න නුවණ තියෙනවා. තමන් නැවත නැවත පින් රැස් කොට පිනෙන් දියුණු වෙන්න බලනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලේ අන්න ඒ වගේ නුවණ තියන මිනිසුන් සිටියා.

ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. මේ ජේතවනාරාමය පූජා කළේ අනේපිඬු සිටුතමා. ඒ ඉඩම ගන්න අනේපිඬු සිටුතුමාට පනස් හතර කෝටියක රන් කහවණු ගෙවන්න සිදු වුනා. භාග්‍යවතුන් වහන්සේ මේ අපූරු සිදුවීම සිදුවන විට වැඩ සිටියේ ඒ ජේතවනාරාමයේ.

මේ සැවැත් නුවර ම සිටියා එක්තරා බ්‍රාහ්මණයෙක්. මෙයා හරි ම අහිංසකයි. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි මහත් වූ සිතේ පැහැදීමකින් සිටිය කෙනෙක්. මනුස්සකම පිරී තිබුණා. මොහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයත් ටිකෙන් ටික තේරුම් ගන්න මහන්සි ගත්තා. මේ අතරවාරයේ ම තමයි, මොහු තමන්ගේ ජීවිතයට පින් රැස්කර ගන්න මහන්සි ගත්තේ.
බුදුරජාණන් වහන්සේ පින ගැන වදාළ උතුම් ගාථාවක් නිතර මොහුගේ මතකයේ තිබුණා.

යථා’පි පුප්ඵරාසිම්හා – කයිරා මාලා ගුණේ බහූ
ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං

“දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා මල් මාලා ගොඩක් ගොතනවා වගේ, මිනිස් ලෝකෙ ඉපදිච්ච කෙනා ඒ විදිහටම පුළුවන් තරම් කුසල් ම යි කරගන්න ඕනෙ.”

ඒ උතුම් බණ පදයේ සඳහන්ව ඇති ආකාරයට මේ පුද්ගලයාත් තමාගේ පින් මල් මාලාවට, කුසල් සිත මුල්කරගෙන පුංචි පුංචි පින් මල් එකතු කරගන්න පටන් ගත්තා.
මොහු දවසක් නිවසින් පිටව තමන්ගේ වුවමනාවකට බැහැරට යන අතරවාරයේ විහාරයටත් සුළු වෙලාවකට ගොඩ වුණා. ඒ උදේ කාලයක්. ස්වාමීන් වහන්සේලා දානය සඳහා පිණ්ඩපාතයේ වඩින්න සූදානම් වෙනවා. මොහු සංඝරත්නය කෙරෙහි චිත්තප්‍රසාදයෙන් සිටිය කෙනෙක් නිසා ස්වාමීන් වහන්සේලා සිවුරු පොරවන ආකාරය දෙස ඉතා සතුටින් බලා සිටියා. එය එළිමහන් ප්‍රදේශයක්. එහි තණකොළ වැවිලා ඒ මත වැටුණු පිණි බිඳු දිලිසෙමින් තිබුණා. ස්වාමීන් වහන්සේලා සිවුරු පොරොවන විට ඒ සිවුරුවල පිණි බිඳු වැදිලා සිවුරු තෙත් වුණා. මේ බ්‍රාහ්මණයාට හරියට දුක හිතුණා. මෙයට පිළියමක් ගත යුතු බව හොඳින් සිතේ තබාගත්තා. ඔහුට මේ පිළිබඳ ව කවුරුත් කිව්වේ නෑ. යම් පුද්ගලයෙක් පිනට කැමති නම් ඒ පින කර ගන්නා තුරු ඉවසිල්ලක් නෑ. මේ පුද්ගලයාත් නොඉවසිල්ලෙන් සිටිනා විට අපූරු අදහසක් මතු වුණා. ඔහු පසුවදා උදැල්ලක් අරගෙන මේ ප්‍රදේශය පුරා තිබුණ තණකොළ ඉවත් කොට පිරිසිදු කළා. ඔහුට හරි ම සතුටුයි. ඔහු එතැනින් නැවතුනේ නෑ. පසුවදාත් එතනට ගියා. එදිනත් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින්න සිවුරු පොරවනවා. එදා සිවුරුවල වදින්න පිණි බිංදු තිබුණේ නෑ. එහෙත් සිවුරුවල අග පස් තැවරුණා. මේ බ්‍රාහ්මණයාට එදාත් හරි ම දුකක් හිතුණා. මෙයටත් පිළියමක් ගන්න ඔහු තීරණය කළා. ලද අවස්ථාවේ පින් කර ගන්න ඔහුට හැකි වුණා. එදින ම සුදු වැලි ගෙනැවිත් ඒ ප්‍රදේශය පුරාවට ඇතිරුවා. ඉතාමත් ලස්සනයි. ඔහු සතුටු වුණා. චිත්තප්‍රසාදයට පත්වුණා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ,

ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති

“පින් කරන කෙනා මෙලොවත් සතුටුවෙනවා. ඒ වගේ ම ඔහු පරලොවත් සතුටු වෙනවා. දෙලොව දී ම සතුටු වෙන්නේ ඔහු තමයි” කියලයි.
මේ ආකාරයට ඔහු මෙලොව දී ඉතාමත් සතුටින් පින් රැස්කර ගත්තා.

මෙහෙම සිටිය මේ පුද්ගලයා තවත් දිනක් ස්වාමීන් වහන්සේලා සිවුරු පොරවන තැනට ආවා. ඇවිත් සතුටින් බලාගෙන සිටියා. එදා තදට අව්ව ඇති දවසක්, ස්වාමීන් වහන්සේලා සිවුරු පොරවද්දි ශරීරයෙන් දහඩිය ගලන්න පටන් ගත්තා. මේ අවු රශ්මියට පිච්චෙන පින්වත් ස්වාමීන් වහන්සේලා ගැන මේ බ්‍රාහ්මණයාට දුක හිතුණා. මොහුගේ සිතේ පින් සිතුවිල්ලක් ද පැන නැගුනා. අනේ මට මෙතන මණ්ඩපයක් කරවන්නට ඇත්නම් කියලා හිතුණා.

එදා තණකොළ ගැවසීගත් ප්‍රදේශය පිරිසිදු කොට පින්රැස් කරගෙන, ඒ ස්ථානයේ වැලි අතුරා සතුටු වුණා. මේ පින්වන්තයා සිවුරු පොරවන තැන පුංචිවට ඔහුට හැකි අයුරින් මණ්ඩපයක් කෙරෙව්වා. ඔහු ඒ තුළින් ද අප්‍රමාණ සතුටක් විඳිමින් වාසය කළා.

බලන්න මේ පින්වන්ත පුද්ගලයා තමන්ගේ නුවණ මෙහෙයවලා තමන්ගේ ජීවිතයට පින් රැස් කර ගත් ආකාරය. හරි ම අපූරුයි. අපිටත් මේ වගේ පුණ්‍ය ධර්මයන්හි නියැලෙන්නට හැකියාවක් තියෙන්න ඕන. එවිට අපිටත් මේ ජීවිතයේ දී මෙන් ම පරලොවදීත් සැප උදා කර ගන්න හැකියාව තියෙනවා.

ඉතින් අර බ්‍රාහ්මණයා තව දවසක් අර ස්වාමීන් වහන්සේලාට සිවුරු පොරවන්න සැකසූ මණ්ඩපය අසලට ආවා. එදා වැසි දවසක්. පාන්දර සිට ම වහින්න පටන් ගත්තා. වැස්සට තෙමෙන ස්වාමීන් වහන්සේලා දුටු මොහුගේ සිත තුළ බලවත් සංකාවක් උපන්නා. කාරුණික හදින් යුතු මොහු කල්පනා කළේ මොහු නො තෙමී ඉන්නේ කෙසේද කියා නෙවෙයි. ඔහුට සිදු කරන්න ඇති ඊ ළඟ පින්කම ගැනයි. ‘අනේ… පින්වත් ස්වාමීන් වහන්සේලා තෙමෙනවා. මට මෙතන ශාලාවක් කරවන්නට ඇත්නම්…’ කියන පුණ්‍ය සිතුවිල්ලෙන් මේ බ්‍රාහ්මණයාගේ සිත බර වුණා.

ඔහු කැලේ ගොස් දැව දඬු කපා ගෙනැවිත් ඉතා අපූරු ශාලාවක් කරවූවා. එහි සංඝරත්නයට අවශ්‍ය සියලු පහසුකම් සැපයූවා. ඔහු බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට දානයක් සූදානම් කළා. ඒ දානය පූජා කරන්න අර ශාලාව ලස්සනට සැරසුවා. දානය පූජා කළා. ඉතාමත් සතුටු සිතින් යුතුව උපස්ථාන කළා.
ඉන් පසුව තණකොළ සහිත ව තිබූ ඒ බිම් ප්‍රදේශය මනරම් ශාලාවක් බවට පත් වූ අයුරු ගැන තථාගතයන් වහන්සේට හෙළි කළා.

මේ බ්‍රාහ්මණයාගේ අපමණ පින් බලය, ඒ ආර්ය මහා සංඝරත්නයට කෙමෙක් කෙමෙන් සැලසූ පහසුව ගැන සතුටු වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාරත්නය දේශනා කොට වදාළා.

අනුපුබ්බේන මේධාවී – ථෝක ථෝකං ඛණේ ඛණේ
කම්මාරෝ රජතස්සේ’ව – නිද්ධමේ මලමත්තනෝ

“ප්‍රඥාවන්ත පුද්ගලයා ක්‍රම ක්‍රමයෙන්, ටිකෙන් ටික ලද අවසරයෙන් සිත නිකෙලෙස් කර ගන්න ඕන. රන්කරුවෙක් රත්තරන්වල මලකඩ ටිකෙන් ටික අයින් කරලා පිරිසිදු කර ගන්නවා වගේ”.

එහෙනම් අපිත් අපේ සිත් තුළ තියෙන අකුසල් නැමැති මලකඩ කඩා දැමීම ම යි හොඳ. නැත්නම් අපේ සිත් දූෂිත වෙනවා. දූෂිත වූ සිතින් සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය ආදි අකුසල් කරනවා. ඒ තුළින් අපේ සිතේ අගුණයක් මිස ගුණයක් වැඩෙන්නේ නෑ. ඒ නිසා අපි අපේ සිත පිරිසිදු කර ගන්න ඕන. පිරිසිදු වූ සිතින් පින් රැස්කර ගන්න ඕන. පින පුංචි ය කියලා අත්හරින්න හොඳ නෑ. එසේ වුවහොත් වෙන්නේ අපිට පසු තැවි තැවී ඉන්නයි. අපි පින් රැස්කරනවා මෙන් ම අන් අයට ද පින් රැස් කරන්න අවස්ථාව සලසලා දෙන්න ඕන. එයයි සත්පුරුෂයාගේ ලක්ෂණය. සත්පුරුෂයා නිතර ම අන් අය ගැන ද සොයා බලනවා. හරි ම යහපත්. ඒ නිසා අපිත් සත්පුරුෂ ගුණ ඇතිකර ගන්න ඕන.

න පුප්ඵගන්ධෝ පටිවාතමේති
න චන්දනං තගරමල්ලිකා වා
සතං ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති

“මල් සුවඳ උඩු සුළඟේ හමා යන්නේ නෑ. සඳුන්, තුවරලා, සීනිද්ද, බෝලිද්ද කොච්චර සුවඳ වුණත් උඩු සුළඟේ හමන්නේ නෑ. නමුත් සත්පුරුෂයාගේ ගුණ සුවඳ උඩු සුළඟේ පවා හමනවා. සත්පුරුෂයා සෑම දිසාව ම සුවඳවත් කරනවා.”

මල් සුවඳ උඩු සුළඟට පාවී නො ගියත්, සත්පුරුෂයාගේ ගුණ සුවඳ උඩු සුළඟට පවා හමා යනවා. එයයි සත්‍යය. මේ බ්‍රාහ්මණයා කෙතරම් සත්පුරුෂයෙක් ද? අපටත් එසේ වීමට නො හැකි ද? පිළිතුර අපි ළඟ ම යි. එසේ නම් උඩු සුළඟේ හමා යන සත්පුරුෂ ගුණ සුවඳ ඇති උතුම් සත්පුරුෂයෙක් වෙන්න, පිනෙන් පිරුණ දිවියක් ගොඩ නගා ගන්න අපිත් මහන්සි ගන්න ඕන. ප්‍රමාද වෙන්න හොඳ නෑ.

උතුම් සත්පුරුෂ ගුණ ඇතිකර ගන්න, පින් පුරවපු ජීවිතයක් ඇතිකර ගන්න අපටත් වාසනාව උදාවේවා!

සටහන – සංජීව ධර්මදාස