නිර්මල ථේරවාදී බුදුදහම සුරක්ෂිත කළ රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ලෝකය තුළ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මහින්දාගමනය සමඟ ලංකාවේ එතෙක් පැවති සමාජ සංස්කෘතික වටපිටාවට නව්‍ය මුහුණුවරක් ලැබීමත්, එහි හරපද්ධතීන් අඛණ්ඩව පවත්වාගෙන යාමත් එයට පසුබිම් වන කරුණු යි. ‘මහින්දාගමනයත් සමඟ අප රටට සිදු වූ අසිරිමත් වෙනස කුමක් ද?’ කියා මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ කළ සාකච්ඡාවකි මේ.

සසරේ සැරිසරන ඉපදෙමින්, මැරෙමින් යන මේ ගමන පටන් ගත් කෙළවරක් නැහැ කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එහෙම සසර ගමනකට වැටී දුකෙන් දුකට, නිරයෙන් නිරයට, තිරිසන් ලෝකයෙන් තිරිසන් ලෝකයට මාරු වෙවී අනන්ත දුක් විඳිමින් අපි ගමන් කරන්නේ. එසේ යන සසරක අපි ඌරන්, කුකුළන්, ගවයන් වෙලා බෙලිකැපුම් කද්දී ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගරයේ ජලයට වැඩියි. එනිසා අපි මේ සියලු සංස්කාරයන් ගැනම කලකිරෙන්නට ම යි වටින්නේ, අත් හරින්නමයි ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මෙසේ බිහිසුණු සසරක යන අපට සම්බුදු සසුනක් මුණගැහෙනවා කියන්නේ, බුද්ධ ශාසනයක අසිරිය විඳ ගන්නට ලැබෙනවා කියන්නේ මොනතරම් වාසනාවක් ද?

ලක්දිව උපන් අප හැම දෙනාට ම මේ මහඟු වාසනාව උදාකර දෙමින් ගෞතම බුදු සසුන අපට මුණගැස්සූ උතුම් මනුෂ්‍ය රත්නය මීට වසර 2331කට පෙර මේ ලක්දිවට වැඩම කළා. සසර නම් වූ මහා සැඩ පහරේ පරඬැලක් වගේ එහෙට මෙහෙට ගසාගෙන යන ජීවිතවලට එදා ඉලක්කයක් ලැබුණා. ඒ අපගේ පරම පූජනීය වූ, තථාගත අනුජාත පුත්‍ර වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය තුළිනුයි. පොසොන් පෝය කියන්නේ ලක්වාසී බෞද්ධ අප සියලු දෙනාට කෙළෙහිගුණ නම් වූ උදාර සත්පුරුෂ ගුණය දියුණු කර ගන්න තිබෙන දවසක්.

මේ මහා භද්‍ර කල්පයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හතරනමක් ලෝකයට පහළ වුණා. ඒ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා සහ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ අතරින් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන සම්බුදුරජාණන් වහන්සේලා විසින් ම ඒ උතුම් සම්බුද්ධ ශාසන ලක්දිව පිහිටුවා වදාළා. අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මේ ලක් ධරණීතලයේ පිහිටුවීම පිණිස ඒ උතුම් බාරදූර වගකීම පැවරුණේ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට යි. සසරේ පුරන ලද පින් බලයෙන්, මහා නැණ බලයෙන් වගේ ම අරහත් තේජසිනුත් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ බැබළී ගියා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රවර්තනය කළ ඒ අසිරිමත් දහම්සක ලක්වාසී දෙවියන්ගේත්, ලක්වාසී මිනිසුන්ගේත් සියලු ශෝක, දුක් තැවුල් නිමාකරමින් කැරකී ගියා. ඒ උතුම් ධර්ම ප්‍රචාරය කොතරම් අසිරිමත් ද කියා කියනවා නම් එය දෙවැනි වන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ධර්ම ප්‍රචාරයට පමණ ම යි. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ව ‘අනුබුදු’ කියන ශ්‍රේෂ්ඨ නාමයෙන් හඳුන්වන්නේ එනිසා යි.

ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන්, පරම පූජනීය මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කළ තුන්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව නැණවත් වූ මිහිඳු තෙරුන් සුදුසු කාලය බලා අප ලක්දිවට වැඩම කළා. ඒ දෙවැනි පෑතිස් රජුගේ රාජාභිෂේකයෙන් සුළු කලකට පසුව යි. රජු ඇතුළු ඒ සියලුම පිරිසට සම්බුදු ශාසනයේ අසිරිය පහදා දෙමින් ඇත් පියවර උපමා කර දෙසූ කුඩා දෙසුම වූ චූලහත්ථිපදෝපම සූත්‍රය වදාළා. ඒ දේශනය ඇසූ රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිස ගෞතම බුදු සසුනට පැහැදුනා. තෙරුවන් සරණ ගොස් උතුම් තිසරණ දායාදය ලබා ගත්තා. ඉන්පසු දින කිහිපයක් ඇතුළත උන්වහන්සේ පරම ගම්භීර වූ බුද්ධ දේශනා රාශියක් රජු ඇතුළු ලක්වාසී ජනයාට, දෙවියන්ට දේශනා කොට වදාළා. ඒ අතරට සමචිත්තපරියාය සූත්‍රය, ප්‍රේතවත්ථු, විමානවත්ථු ආදී දේශනා ඇතුළත් වෙනවා. උන්වහන්සේ ප්‍රේතවත්ථු දේශනා ඇසුරෙන් ලක්වාසී ජනයාට පෙන්වා දුන්නා තමන්ගේ ජීවිතයට පව් කරගත්තොත් තමන් පාපී ව කරන, කියන, සිතන දේවලට අනුව කර්ම සකස් වෙලා ඒ අනුව ප්‍රේත ලෝකවල දුක් විඳින්න වෙනවා කියලා. හොඳින් සිත පහදවාගෙන පින් කර ගත්තොත් දෙවියන් අතර ඉපදෙන්න පුළුවන් බව විමානවත්ථුවෙන් කියා දුන්නා. ඒ වගේම ආර්ය සත්‍යය ගැන කියැවෙන සච්ච සංයුත්තය මහත් කරුණාවෙන් වදාළා. පින්වතුනි, මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සච්ච සංයුත්තයෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී ඒ දහම් අසා අවසාන් වෙනවාත් සමඟ ඒ රජ මැදුරේ සිටි අනුලා දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන් සෝවාන් ඵලයට පත් වුණා.

ඉන්පසුව ලක්වැසි මිනිසුන්ට සතර අපා භය ගැන කියවෙන දේවදූත සූත්‍රය ඇසුරෙන් ධර්මය වදාළා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වදාළ ඒ උතුම් දේශනය අසා ඒ පිරිස සෝතාපන්න වුණා. ඒ පිරිස දාහකට අධිකයි. දේවදූත සූත්‍රයේ සඳහන් වන කරුණු තමාගේ ජීවිතයට ගළපමින් මිනිසුන් පස්පව් දස අකුසල් දුරලන්නට උත්සාහය, සිහිය, නුවණ, වීර්යය වැඩුවා. නිරයට යන මාර්ගයේ ගමන් කරමින් සිටි ලක්වාසී ජනී ජනයා නිරයෙන් ගලවා සුගතිය කරා යන මග දෙසුවේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ යි.

අධර්මයෙන් මුදවා ධර්මයට මිනිසුන් පමුණුවන්නට ශාස්තෘන් වහන්සේ හා සමාන වූ අප මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වුණා. ඒ හැම අවස්ථාවක ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මහත් අනුකම්පාවෙන් දීප භාෂාවෙන් ම ධර්මය වදාළා. මේ ලක් ධරණීතලයට සැබෑම පිළිසරණක් වූ අපගේ මිහිඳු හිමියෝ ලක්වැසි ජනී ජනයාට සද්ධර්ම මාර්ගයට බැසගන්නට සියලු උපකාර කොට වදාළා.

මින් අනතුරුව ගෞතම බුදු සසුනේ වන්දනාවට පාත්‍ර වන ජය සිරි මහා බෝධින් වහන්සේ මේ ලක් දෙරණේ රෝපණය කරන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ පූර්ණ මැදිහත් වීමෙන්. අපගේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ ව ලක්දිවට වැඩම කරවූවා. එනිසාම ලක්දිව කාන්තාවන්ට උතුම් බුදු සසුනේ පැවිදි වීමේ මහා භාග්‍යය උදා වුණා. ලක්වාසී බෞද්ධ අපට මිහිඳු මහරහතන් වහන්සේ තරම් ධර්මයෙන් උපකාර කළ වෙන උතුමෙක් නැති තරම්. සතුන් දඩයම් කරමින් දුසිල්වත් දිවියක් ගත කළ සිංහලයන්ට සීලය නම් වූ උතුම් දායාදය ලබාදුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේයි. මසුරු මල බැහැර කර සත්පුරුෂ දානය තුළ අපව හික්මවූයේ ද සිහිය, නුවණ දියුණු කරන්නට දහම් දෙසුවේ ද ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සදහම් සන්දේශය අපට ලබා දුන්නේ ද අපගේ මිහිඳු මහරහතන් වහන්සේ යි.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමෙන් පසු ඉතිරි වූ ධාතුන් වහන්සේලා ලක්දිවට වැඩමවා මහ ස්ථූප බැඳ අපට වන්දනා කිරීමට සැලැස්සුවේත්, ගස්, ගල්, වන පර්වතවලට වන්දනා කරමින් සිටි පිරිසට මහා ස්ථූප බන්දවා මහා බෝධින් වහන්සේ රෝපණය කර ජීවමාන බුදුරජාණන් වහන්සේට මෙන් වන්දනා කරගෙන පින් රැස්කර ගන්නට අවස්ථාව ලබා දුන්නේත් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ම යි. සිංහලයන්ට ගෞතම බුද්ධ ශාසනයේ කසාවත හිමිකර දුන්නේත්, උතුම් උපසම්පදා සීලය ආදී ඒ උතුම් නිවනට යොමු වුණු කෝටියක් සංවර සීලයේ හික්මෙන්නට සිංහලයන්ට අවස්ථාව ලබා දුන්නේත් අපගේ මිහිදු මහරහතන් වහන්සේ යි. සමාජයේ කොන් වෙමින් දුක් විඳිමින් සිටි සිංහල කතුන්ට කසාවතක් පොරවන්නටත්, සියලු සසර දුකෙන් මිදෙන්නටත් මඟ කියා දුන්නේත් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ම යි. උපෝසථාගාරවල සීමා ලකුණු කරමින්, රුවන්වැලි මහා සෑය ආදී උතුම් මහා සෑ රජුන් පිහිටුවන ස්ථාන පෙන්වමින්, විනය සජ්ඣායනා කරමින් ගෞතම බුද්ධ ශාසනය මේ ලක්දීපයේ ස්ථාපිත කළේත් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ම යි. කරුණාව, ඉවසීම, මෛත්‍රිය, අනුකම්පාව, අන් අයගේ සැපයේ දී සතුටු වීම, කෙළෙහිගුණ සැලකීම ආදී උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම වඩන්නට උපකාර කළේත් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ යි.

අද අපි දන් දී පින් රැස් කරනවා නම්, සිල් රැකලා කය වචනය රැකගන්නවා නම්, ඉඳුරන් සංවර කරගෙන කුසල් වඩනවා නම්, මෙත් සිත පතුරුවනවා නම්, අනිත්‍යය මෙනෙහි කරමින් විදසුන් වඩනවා නම්, මේ ආයතනයන්ගේ, පංච උපාදානස්කන්ධයේ, ඇති තතු විමසමින් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩනවා නම් ඒ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලබා දුන් ධර්ම දායාදය නිසා ම යි. ශ්‍රී සද්ධර්මය තමන් වහන්සේගේ නිකෙලෙස් හදවතේ දරාගෙන, ඒ දහම් පද විවරණය කරමින්, නැවත නැවත විග්‍රහ කරමින්, ඒවාට අටුවා කතා කියාදෙමින් අපට ඒ දහම් පද මැනවින් කියා දුන්නේත්, උතුම් සද්ධර්මය කෙරෙහි සිත පහදා ගන්නට උපකාර කළේත්, උතුම් මහරහතන් වහන්සේලා ගැන, මග ඵලලාභී දෙවි, මිනිසුන් ගැන අපට කියා දුන්නේත් මිහිඳු මහරහතන් වහන්සේ යි.

නොයෙක් මිසදිටු මතවලින් කිලිටි වෙලා, කාමයන් පසුපසම හඹා යමින්, කිසි දිනක තෘප්තියට පත් නොවන පැතුම්වලින් පිරී ගිය හිත් තිබුණ – සතර අපායට යන්නට දොරටු හැරගෙන සිටි ලක්වාසී ජනයාගේ සිත් සතන් දහමින් සනසා, දහමින් පෝෂණය වූ ලෞකික ජීවිතයක් ගොඩනගා ගන්නා හැටිත්, සුගති රැකවරණය සලසා ගන්නා හැටිත්, ලෝකෝත්තර වූ ඒ අමා මහා නිවන් දකිනා හැටිත් වදාළේ දීපප්පසාදක අපගේ ආදී ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ යි. මෙවන් උතුම් පොසොන් පෝ දිනක අප දක්වන උතුම් උපහාර පූජාව වන්නේ කෙළෙහිගුණ සිහිකරමින්, අපට ලබා දුන් ඒ ධර්ම දායාදය සජීවකරණය කිරීම යි. අපට තිසරණ දායාදය ලබාදුන් අපගේ මිහිඳු මහරහතන් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා!

නයනා නිල්මිණී.