(1 වන කොටස)

නවමු යුගයක බලාපොරොත්තුවත් සමඟින් රෑ අහස් කුසේ මෝදු වුණු වෙසක් පුන් සඳේ රැස් දහරා මිහිමඬල සිපගනිද්දී, බෝසතුන් පහසින් උදම් වූ නේරංජනා නදී තොමෝ අභිමානවත් ලීලාවෙන් නිහඬව ගලා බසින්නට වූවා ය. මඳ පවන නැවුම් වූ සිහිල් සුවය සදමින් හමා යයි. තුරුගොමු අග නේක පුෂ්පයෝ දසත සුවඳවත් කරමින් විකසිත වන්නට සැරසෙන්නේ සකල ලෝ වසා සිටින අවිදු අඳුර දුරලමින් පායන එක ම හිරු මඬල පිළිගන්නට මෙනි. කිනම් අසිරියක්දෝ මේ… සක්වළ පුරා දෙවිවරු රැස්වී නෙත් අයා බලා සිටිද්දී වජිරාසනය මත ජය ශ්‍රී මහා බෝ මුල වැඩ සිටි අප මහා බෝසතාණන් වහන්සේ ලොව බිහිසුණු ම යුද්ධය වූ මාර යුදය පාරමී බලයෙන් දිනා සම්මා සම්බුදු බවට පත්වී වදාළා. අස්වැසිලි රහිත ලෝකයට අස්වැසිල්ලක් ලබාදෙන, නොසන්සිඳුණු ලෝකයට සන්සිඳීම ලබාදෙන, දුකින් පිරුනු ලෝකයට සදා සැප ලබාදෙන, අමෘතය ලබාදෙන, විමුක්තිය ලබාදෙන, සසර කතරින් ලෝ සතුන් එතෙර කරවන මහා ගැල්කරුවාණන් වහන්සේ ලොවට බිහි වුණා. ලෝ සතුන් සසර දුකින් එතෙර කරවීමේ පරම පිවිතුරු අදහසින් නොවෙනස් වූ තිරසර අදිටනින්, වදනින් කිව නො හැකි තරම් අප්‍රමාණ වූ දුක් පීඩා විඳිමින් පින් පුරාගෙන පැමිණි අති දීර්ඝ සංසාර චාරිකාව නිමා කරමින් දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වී වදාළා. අසංඛ්‍යෙය කල්ප ලක්ෂ 4ක් පුරාවට පාරමී දම් පිරුවත් මේ ගමනේ මූලාරම්භය ඊටත් එහා ඈතට දිව ගියා.

මින් අසංඛ්‍යෙය කල්ප ලක්ෂ 20කට පෙර දී පින්වන්ත පියෙකුට දාව පින්බර මව්කුසකින් පුත් රුවනක් බිහිවුණා. පුන්සඳ මෝරන්නා සේ පුංචි පුතා කෙමෙන් කෙමෙන් වැඩෙන අතරේ නො සිතූ මොහොතක පියාණන් මරු වසඟයට ගියා. තුරුණු වියට පත් පුතා මෑණියන් ව දිවි සම කොට ආරක්ෂා කළා. ජීවනෝපාය පිණිස නැව් නඟින්ට සුදානම් වුණු පුතුගේ අදහස වුණේ මෑණියන්වත් කැටුව යාමයි. පුතු අමතා මෑණියන් මෙසේ පැවසුවා.

“පුතේ මං දැන් වයසයි. මං එක්කන් ගියොත් පුතාට වෙළඳාම හරියට කර ගන්න බැරිවෙනවා. ඒ හින්දා මං ගෙදර හිටවලා පුතා යන්න.”

මෑණියන් එහෙම කිව්වත් ජීවිතයේ කිසිදාක තමාව තනි නො කළ, මව්පිය දෙදෙනාගේ ම බර කරට අරගෙන තමා ව හැදූ වැඩූ, තමන් වෙනුවෙන් අනේකවිධ දුක්පීඩා විඳිමින් මුළු ජීවිතය ම කැප කළ මෑණියන් තනිකර යන්න පුතා කැමති වුණේ නෑ. මහලු මවත් සමඟින් ම නැව් නැංගා. සයුරේ රැළි අතරේ සෙමෙන් ඉදිරියට ඇදුණු නැව හදිසියේ මතු වූ කුණාටුවකට හසු වී මුහුදුබත් වුණා. නැවේ සිටි සියලු දෙනා ද සයුරට වැටුණා. සිය දිවි රකින්නට දිවි පරදුවට තබා කටයුතු කළ මෑණියන්ගේ මව් ගුණය හොඳින් දත් මේ තරුණ පුතා සැණෙකින් දියට පැන මෑණියන් ව සොයා තම කර පිටට නංවා ගත්තා. ගොඩබිමක් පේනා තෙක් සයුරේ රළ අතර පොර බදමින් පීනන්නට වුණා. හිරු මඬල බැස ගිහින් රාත්‍රිය එළඹුණා. මුළු රෑ පුරාමත් සීතලේ ගැහි ගැහී සයුරු රැළි අතරේ දිවි ගලවා ගැනීමේ සටනක යෙදුණා. දිවා රෑ ගෙවමින් සත් දිනක් ම මොහොතකදු නො නැවතී පරක් තෙරක් නොපෙනෙන සයුරේ රළ අතර සටනේ යෙදුණා…

ආශ්චර්යයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්බුද්ධත්වයට නියත විවරණ ලබන්නටත් පෙරාතුව, පාරමී දම් පුරන්ටත් පෙරාතුව, අසංඛ්‍යෙය කල්ප ලක්ෂ 20කට පෙර දී සම්බුද්ධත්වය පිළිබඳ සිතුවිලි මාත්‍රයකුදු චිත්ත සන්තානයේ පහළ වෙන්ටත් පෙරාතුව ඒ ජීවිතයේ දී පවා ඔබ වහන්සේ තුළ පැවති සත්පුරුෂකම මොන තරම් ද? වීර්යය මොන තරම් ද? අසාමාන්‍යයි. ඒ සත්පුරුෂකම, ඒ වීර්යය මොනතරම් විස්මිත ද? ඒ ගැන කෙතරම් ලෝකයට සංවේදී වූවා ද යත් සක් දෙවිඳුගේ පාණ්ඩුකම්බල සෛලාසනය උණුසුම් වී ගියා. පඬුපුල් අසුන උණුසුම් කරවූ මනුලොව සිදුවන අරුමය කුමක්දැයි බැලූ සක් දෙවිඳුට පෙනී ගියේ උත්තරීතර මව් ගුණයට දිවි පුදමින් සෙනෙහෙ වඩන මහා සත්පුරුෂයෙකුගේ අසාමාන්‍ය විර්ය පරාක්‍රමය යි. දේවානුභාවයෙන් සක් දෙවිඳු මව් පුතු දෙදෙනා ගොඩබිමට ළං කළා. මේ තරුණයා තුළ පැවති සැඟවුණු උදාර ගුණ දුටු සක් දෙවිඳු මෙසේ ඇයැද සිටියා.

“පුත්‍රය, මෑණියන් ව සයුරෙන් එතෙර කළ පරිද්දෙන් ලෝ සතුන් සසර කතරින් එතෙර කරවනු පිණිස උතුම් සම්බුද්ධත්වය පතන්න.”

ඒ ඇරැයුම පිළිගත් යොවුන් පුතා ලෝ සතුන් දුකින් එතෙර කරවීමේ අදිටනින්, ලෝ සතුන්ට සෙත සැලසීමේ පරම පිවිතුරු චේතනාවෙන් දුකින් පිරුණු සසරේ පින් පුරමින් යන ගමනකට එක්වුණා.

අසංඛ්‍යෙ කල්ප ලක්ෂ 16ක් ගෙවී ගියා. මින් අසංඛ්‍යෙය කල්ප ලක්ෂ 4කට පෙර දී දඹදිව අමරාවතී නම් මනහර, දැකුම්කළු වූ සමෘද්ධිමත් නගරයක් තිබුණා. ඇත්, අස්, රිය, බෙර, මිහිඟු බෙර, වීනා හඬ, ගී නාදය, සක් නාදය, තාලම් හඬ හා “එන්න කන්න බොන්න” ආදි වූ මේ දසවිධ ශබ්ද නිරන්තරයෙන් පිළිරැව් දුන්නා. ඒ නගරයේ ‘සුමේධ’ නමින් කුලවත්, ධනවත්, බමුණු පවුලක ඉතාමත් රූප ශෝභා සම්පන්න ව අප මහා බෝසතාණෝ උපත ලැබුවා. තරුණ වියට පත්වෙත් ම මන්ත්‍ර ශාස්ත්‍රයේ, ත්‍රිවේදයේ පරතෙරට ගියා. ලක්ඛන ශාස්ත්‍රයේ ද ඉතිහාසයේ ද බ්‍රාහ්මණ ධර්මයේ ද පරතෙරට ගියා. මව්පියනගේ අභාවයෙන් කෝටි ගණන් ධනයට උරුමකම් කිවූ සුමේධ බ්‍රාහ්මණතුමා දිනක් භාණ්ඩාගාරය විවෘත කළ පසු දක්නට ලැබුනේ රන් රිදී මුතු මැණික්වලින් පිරීගිය හත්මුතු පරම්පරාවක මහා ධනස්කන්ධය යි. මහා අසිරියක්! රන් රුවනින් පිරී ගිය ඒ සා මහත් වූ ධනස්කන්ධය දුටු සුමේධ බ්‍රාහ්මණතුමාගේ සිත ඒවට ඇලුණේ නෑ. මුළා වුණේ නෑ. ප්‍රඥාව ම මතු වී ආවා. සුමේධ පඬිතුමා කල්පනා කළා…

‘අහෝ! මාගේ මාපියන් මේ කිසිවක් රැගෙන ගියේ නෑ. මුතුන් මිත්තන් ද කිසිවක් රැගෙන ගිහින් නෑ. මට ද පරලොව යනවිට මේ කිසිවක් රැගෙන යන්න බෑ. ඒ නිසා මා මේ ධනයෙන් පරලොවට ගෙන යා හැකි දෙයක් කළ යුත්තේ…”
මෙසේ සිතා රජුට දන්වා නුවර අඬ බෙර පතුරුවා සියලු ධනය හා වස්තුව දුගී මඟී යාචකාදීන්ට බෙදා දුන්නා.

දිනක් උඩුමහල් තලයෙහි පළඟක් බැඳගෙන සිටි අප මහ බෝසතාණන් වහන්සේට මෙබඳු විතර්කයක් ඉපදුණා.

“නැවත නැවත ඉපදීම නම් දුකක් ම ය. ඉපදුණු සියල්ලෝ ම මරණයට පත්වෙනවා. මරණයත් දුකක් ම ය. මම ද ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක්. මහලු වීම, රෝගී වීම, මරණය ඉක්මවා නො ගිය කෙනෙක්. ඒ නිසා මම ඉපදීමක් නැති, මහලු වීම නැති, ලෙඩ වීම නැති, සැප දුක් නැති සිසිල් වූ අමා මහ නිවන සෙවිය යුතුයි. නොයෙක් අශූචියෙන් පිරුණු මේ පිළිකුල් ශරීරය පිළිබඳ ඇති ආසාව, බලාපොරොත්තුව අත්හැර ගත යුතුයි. මේ දුක්වලින් නිදහස් වන මඟක් සෙවිය යුතුයි.”

දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්ටත් පෙරාතුව, නියත විවරණ ලබන්ටත් පෙරාතුව, පාරමී දම් පුරන්ටත් පෙරාතුව පවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ විමසුම් නුවණ නම් අසිරිමත් ම යි. ජීවිතයේ අසාර බව, දුක් ස්වභාවය විනිවිද දුටු ආකාරය විස්මිතයි. අප මහා බෝසතාණන් වහන්සේ තව දුරටත් මෙසේ විමසන්න වුණා.

‘ලොවේ දුකට ප්‍රතිපක්ෂ වූ සැප නම් සංකල්පයක් තිබේ. ඒ වගේ භවය තියෙන කල්හි විභවයක් හෙවත් නිවනක් තිබිය යුතුයි. උණුසුම ඇති විට ඊට ප්‍රතිපක්ෂ වූ සීතල ද පවතී. ඒ වගේ රාග, ද්වේෂ, මෝහ ආදි ගිනි ඇති කල්හි ඒවා සන්සිඳවන නිවන ද තිබිය යුතුයි. ලෝකයේ පවිටු, ළාමක ධර්මයන්ට විරුද්ධ වූ යහපත ඇත්තේ ය. ඒ වගේ පවිටු පුනර්භවය ඇති කල්හි ඊට ප්‍රතිපක්ෂ වූ උපතක් නැති නිවන ද තිබිය යුතුයි.’

බෝසතාණන් වහන්සේ තවදුරටත් මෙසේ නුවණින් කල්පනා කළා.

‘අශූචියෙහි ගිලුණු මිනිසෙක් පිරුණු ජලාශයක් දැක එයට ළඟා වන මාර්ගය සොයන්නේ නැති නම් ඒක ජලාශයේ දෝෂයක් නො වේ. එසේ ම කෙලෙස් මල සෝදාහරින නිවන නම් ජලාශය හොයන්නේ නැත්නම් එය ජලාශයේ වරදක් නො වේ. සතුරන් විසින් වට කරන ලද පුරුෂයා පැන යාමට මාර්ගයක් තිබිය දී පැන යන්නේ නැත්නම් එය මාර්ගයේ වරදක් නො වේ. රෝගී වූ කෙනෙක් රෝගය සුව කළ හැකි වෛද්‍යවරෙයක් සිටිය දී ඒ රෝගයට පිළියම් කරවා ගන්නේ නැත්නම් එය වෛද්‍යවරයාගේ වරදක් නො වේ. ඒ වගේ කෙලෙස් රෝ දුකින් පෙළෙන කෙනා කෙලෙස් සන්සිඳවන්න මඟ පෙන්වන ගුරුවරයා ව හොයන්නේ නැත්නම් ඒ වරද ගුරුවරයාගේ නො වේ. සිරුර සරසන්න කැමති පුරුෂයෙකුගේ බෙල්ලෙහි මළකුණක් බැන්දොත් ඉක්මනින් මළකුණ ඉවත දමා පිරිසිදු වන්නේ යම් සේ ද ඒ වගේ මම ද මේ අපිරිසිදු ශරීරය අපේක්ෂා රහිත ව අතහැර නිවනට යා යුතුයි. මිනිසුන් මළපහ කරලා ඒ මළ මුත්‍රා ඇඳිවතෙහි දවටා රැගෙන යන්නේ නෑ. පිළිකුල් කරලා අතහැර දමා යනවා. ඒ වගේ මමත් මේ අපිරිසිදු ශරීරයට ඇති ඇල්ම අතහැර නිවනට යා යුතුයි. නැවියන් දිරා ගිය නැව අපේක්ෂාවක් නැතිව හැරදමා යන්නාක් මෙන් මම ද නව දොරකින් අශූචි වෑහෙන මේ කය අතහැර දමා නිවන් පුරට යා යුතුයි. යම් කෙනෙක් රත්තරන් අතැතිව සොරුන් සමඟ එක්ව මහ මඟ යන්න සිදු වූ විටක සොරුන් මඟහැර බිය නැති මඟකින් යන්නේ යම් සේ ද එසේ ම සොරෙකු හා සමාන වූ මේ කය කුසල් බිඳ දමාවී යන බියෙන් කය අතහැර දමා නිවන් පුරට යාම වටින්නේ ය.’

මහා දාර්ශනික වූ මහා නුවණැති වූ සුමේධ පඬිතුමා මේ විදියට ජීවිතය ගැන නොයෙක් උපමා ඇසුරෙන් විමසා බැලුවා. මෙසේ තියුණු නුවණකින් සසරේ අසාර බව විනිවිද දුටු අපගේ මහ බෝසතාණන් වහන්සේ බට දඬුවලින් කළ ගෙයක් සුණුවිසුණු කොට දමා යන හස්තිරාජයෙකු මෙන් සියලු සැප සම්පත් හැර දමා අභිනික්මන් කළා. විවරණ ලබන්ටත් පෙර දී පවා බෝසතාණන් වහන්සේට ජීවිතය විනිවිද දකින මෙබඳු වූ දැක්මක්, මෙබඳු වූ තියුණු විමසුම් නුවණක් තිබුණා. එසේ නම් පාරමී දම් පුරා සකල ක්ලේෂයන් ප්‍රහාණය කොට සම්මා සම්බුද්ධත්වයට පත් වී ප්‍රඥාවේ පරතෙරට පත් අපගේ ශාස්තෘන් වහන්සේගේ විමසුම් නුවණ කෙබඳු වන්නට ඇත්ද? අපට නම් සිතින් සිතාගතවත් නො හැකියි. ඒකාන්තයෙන් ම බුදුරජාණන් වහන්සේ අචින්තනීයයි. ඒකාන්තයෙන් ම බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. ඒ අපගේ ශාස්තා වූ භාග්‍යවතුන් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා!

ඉතිරි කොටස ලබන කලාපයෙන්…

ඇසුර – බුද්ධ වංශ පාළි / ජාතකට්ඨ කතා

(මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)