සොබාවික පරිසරයේ අනේකවිධ වෘක්ෂලතාවන්හි අතු පතර මත ඔබ මොබ සරන පක්ෂි සමූහයාගේ සංචලන රිද්මය ස්වභාව ධර්මයෙහි ම ප්‍රතිනිර්මාණයකි. විහඟ තුඩින් නිකුත්වන තියුණු නාද මාලාව වූ කලී ඔවුන් එකිනෙකා කෙරෙහි සංජාත ප්‍රහර්ෂයන්හි හා සන්තාපයන්හි සන්නිවේදන ක්‍රියාවලියයි. ස්වභාව ධර්මය කෙරේ එතරම් සංවේදී නොවූවකුගේ මනසෙහි විහඟ නද කිසිදු අරුතක්, හැඟුමක් නොදනවන්නක් විය හැකි ය. එසේ වුවද වීතරාගී මහරහත් උතුමන් ඉන් ලද අප්‍රමාණ වින්දනය ස්වකීය භව ගමනේ නැවතුම උදෙසා උපයෝගී කොටගත් ආකාරය, ජගත් මානව සන්තතියේ අපූර්වතර සනාතන අත්දැකීමක් වන්නේ ය.

වන සම්පත තරම් වටිනා සජීව ස්වාභාවික උරුමයක් වෙනත් නොමැති බව සමස්ත ලෝකවාසීන්ට ම පෙන්වා දුන්නේ එතෙක් මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසරවේදියාණන් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.

එම සනාතන පණිවුඩය ද ඇතුළත් සම්බුදු දහම රැගෙන සිරිලක් දිවයිනට වැඩමවා වදාළ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහ සඟරුවන මිහින්තලා වන අරණේ අටසැට ලෙන්වල වැඩ වාසය කරමින් රජ දරුවන් ඇතුළු රටවාසීන්ට පහදා දෙන ලද්දේ පරිසරය ආරක්ෂා කර ගැනීමේ වටිනාකමයි.

“මහරජතුමනි, මේ ගස්කොළන් ඇතුළු සකල ජීවි හා අජීවි වස්තූන්ගේ භාරකරුවා ඔබයි. එය රැකගැනීමේ පරම වගකීම ඔබ සතු ය.”

එදා සිට දහනව වැනි සියවසේ මැද භාගය ඉක්මෙන තුරුම අවුරුදු දෙදහසකට අධික කාලයක් රටේ පාලකයන් ඇතුළු රටවැසියන් වනරොද ඇතුළුව ගෘහාශ්‍රිත පරිසරයේ ගහකොළ ආරක්ෂා කොට පවත්වාගෙන ආවේ මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ උතුම් අවවාදයේ පිහිටා කටයුතු කරමිනි. එදවස අපට අසන්ට ලැබුණු කවි ගීවල පවා කියැවුණේ නිෂ්කාමී පරිසරය විසින් මිනිසා ඇතුළු සියලුම සත්ව වර්ගයාට ලබා දෙනු ලබන ආස්වාදයයි. එක්දහස් නවසිය හතළිස් එක වසරේ දී ‘නිල් සීනය’ මැයෙන් පරිසරය අරභයා පද්‍ය එකසිය තිස්තුනක දීර්ඝ කාව්‍ය නිර්මාණයක් රචනා කළ විමලරත්න කුමාරගම කවියා පැවසුවේ පරිසරය තමන්ට දහම් දේශනාවක් කරන බව ය.

“සෙවණැලි පෑය නව නිල්බිම නමා හළ
සිහිලැල් අරුණු පිනි මුතු මුව සමා කුල
වනමල් සිනේහැති මට නම නමා ගෙල
වදහළ බණකි මගෙ ගමන ද පමා කළ”

1970 දශකයේ අග භාගයෙන් පසුව පැතිර ගිය ගෝලීයකරණයේ ඵල වශයෙන් පැරණි යුගයේ සිට අවිච්ඡින්නව පැවත ආ අපගේ සමාජ ආර්ථික පැවැත්ම මිසදිටු ආකල්ප කුණාටුවකට හසුව සුන්බුන්ව විසිර ගියේ ය. එහි විපාක ලෙස පරිසරය හා ජීවින්ගේ පැවැත්ම නොතකන, හුදු ආත්මාර්ථකාමිත්වය ම තකන උදරම්භරියන්ගේ යුගයක් පහළ විය. ඉන්පසුව ලියැවුණු ගැයුණු ඇතැම් කවි ගීවල ඇතුළත් වූයේ මිහිතලයේ සම්පත පවා කොල්ල කන ස්වාර්ථකාමීන්ගේ ඝෝෂාවකි.

“කුරුල්ලනේ නුඹලගෙ සංගීතය
මඳකට අපට දියව්
විසල් වනේ සොඳ ලස්සන තැනකට
පිවිසෙන අයුරු කියව්”

විහඟ කැල නිබඳ තුටුරැව් නැඟූ ගහකොළ වනසමින් වනපෙත්වල සොඳුරු බිම්පෙත් සොයාගොස් ජනපද, ගොඩනැඟිලි, නිවාඩු නිකේතන, ලැගුම්හල් තනා ගනිමින් සතුන්ට පමණක් නොව අසල ගම්වාසීන්ට ද හුස්මක් කටක් අරින්ට නොහැකි තැනට අප සොඳුරු දිවයින පත් කිරීමේ ඛේදවාචකය නොවේ ද එබඳු ගීවලින් පවා කියැවෙන්නේ? නූතන ළමා පරපුර පවා හරසුන් ජීවනාස්වාදයකට යොමු කරවන වියරු රංගන සහිත ඝෝෂාකාරී ගීත බහුලව අසන්ට ලැබෙන මෙම අවදියේ, මෙයින් දශක හතකට අටකට පෙර පරිසරය අරභයා අපට අසන්ට ලැබුණු ගීතයක ආකර්ෂණීය වදන් පෙළක් කරා මසිත දිව යයි. එම අත්දැකීම පිළිබඳ පෙර කියුම මෙසේ ය.

එදවස ළමා වියේ සිටි අප අකුරු කරන්නට පාසල් ගිය කාලය අද අප සිහිපත් කරනුයේ අපමණ ආස්වාදයක් භුක්ති විඳිමිනි. එකල අප ඉගෙනුම ලැබූ ගමේ පාසලට යද්දී, ටුවිඩ් රෙද්දක් හැඳ, කර පියවූ කෝට් එකක් ඇඟලාගෙන, සමහර දිනවල සෙරෙප්පු දෙකක්වත් පය නොලා අකුරු උගන්වන්නට පාසලට පැමිණි ගුරුතුමා අප තුළ දැනවූයේ ගෞරව සම්ප්‍රයුක්ත බියකි. එහෙත් සිප් කිරි පොවන මවක මෙන් එතුමා අපට ඉගැන්වූයේ අකුරු පමණක් නොවේ. ආගම දහමට ගරු කරන, ගුරු දෙගුරුන් කෙරෙහි කීකරුව හැසිරෙන, සමාජයට වැඩදායක අයකු ලෙස ගමට, පුරවරට, රටට ස්වකීය අභිමානය රැගෙන යාමේ මඟ ද එතුමා අපට කියා දුන්නේ ය.

වරෙක භාෂාවේදියකු වූ අපේ ගුරුතුමා තව වරෙක ගණිතඥයකු විය. තවත් අවස්ථාවක ඉතිහාසඥයෙකි. ඒ සියලු දැනුම් ඉක්මවා යන සංගීත ඥානයක් ද අප ගුරුතුමා සතු විය. අද යුගයේ මෙන් ‘දණ ගාන වියේ පසුවන කිරිසප්පයින්’ ද සුපර් ස්ටාර්ලා වන්නට මඟ පෙන්වන විගඩමුන් ගැන හීනෙකින්වත් නොසිතූ එම අවදියේ අප පාසලේ ඒ ගුරුතුමා හඬ නඟා ගයා පළ කළ ගායන පෞරුෂය අප පැටිවියේ පසු වූ සිසුන් මනෝ රංජනය කළ අයුරු දැනුදු ඇසෙන්නා සේ ය. අපේ ගුරුතුමා අපට ඉගැන්නූ ඒ පරිසර ගීතය මෙසේ ය.

“අඹ දඹ නාරං කෙසෙල් දෙල්
පනා කකා මේ වනා සැපා ලබනෙම්…
ගංගාවේ ඕලු ඇත්තේ
ඒවාගේ කෑම නැත්තේ
ඇත්තෙ පුෂ්ප
අත්තෙ ඉත්තෙ ඒවා පිපේ…
අඹ දඹ නාරං…
පක්ෂි නාදේ රෑත් ඇසේවී
හීන් හඬ ම දෙත්මැයි…//
මල්ලිකා වැල් බෝ තිබෙන්නා//
විශාල මේ වනේ මම්
ප්‍රවේශම් බොහොම වෙලා ඉන්නෙම්…//
වාසෙ සොඳා බැද්දෙ මෙදා
ප්‍රීති සදා වෙයි නිබඳා
බෝ මාදං ඇත්තේ මේ ගසේ…//”

අදින් සියක් වසරකට ඉහත ටවර් හෝල් නාටක යුගයේ දී සිංහල නාටකය උදෙසා ලාංකික පරිසරය උත්කර්ෂයට නංවමින් බෞද්ධ හා ඓතිහාසික කථාවස්තු තේමා කොටගෙන සිංහල ජාතිකත්වය හා බෞද්ධ උරුමය පණ ගැන්වීමට කටයුතු කළ දේශ හිතෛෂී ජෝන් ද සිල්වා මහතාණන් විසින් ස්වකීය ‘රාමායණය’ නාටකය සඳහා රචනා කරන ලද ඉහත දැක්වූ නූර්ති ගීතය සිංහල ගීත සාහිත්‍යයේ අපූර්වතම නිර්මාණයක් වෙයි. භාරතීය කීර්තිධර සංගීතඥ විශ්වනාත් ලව්ජි ශූරීහු රාමායණය නාටකයට සංගීතය සැපයූහ.

සුපුෂ්පිත මලින් හා පැසී ඉදුණු පලතුරින් හෙබි තුරුලිය ගොමුවලින් සුසැඳි වන අරණක සුන්දරත්වය උත්කර්ෂයට නංවන මෙම ගීතය ආරම්භයේ සිට අවසානය දක්වා නිරූපණය කෙරෙනුයේ සොබාවික පාරිසරික සංදර්ශනයට මැදි වූවකු ඉන් විඳින නොහිම් ප්‍රීති ප්‍රමෝදයයි. ගීතයෙන් ඉදිරිපත් කෙරෙන අවස්ථා ත්‍රිත්වය එකිනෙකව වෙනස් නාද මාලා සහිත රාග තුනකින් ඉදිරිපත් කර තිබීම මේ ගීතයේ ඇති විශේෂත්වයයි. පේළි හතරකින් යුතු ස්ථායී ගී ඛණ්ඩය, වන සෞන්දර්යය විඳින රසිකයාගේ කායික හා මානසික සංතෘප්තිය ධ්වනිත කෙරෙන අයුරින් ගැයෙයි. තුරු මත පැසී ඉදී ලඹ දෙන ප්‍රණීතවත් පලතුරු හා දෙල් කොස් ආදී ඵල වර්ග කායික සැපය උදෙසා ය. ගං ඉවුරුබඩ අතු ඉතිවල පිපී වැනෙන පුෂ්පයන් මානසික ප්‍රබෝධය එළවයි. වනසිරි විඳින පරිසරකාමියාගේ ඉහවහා ගිය ප්‍රමෝදය එකී ගී පද සංවිධානය තුළින් මතු වී පොපියන අයුරු කදිම ය. ගීතයෙහි අන්තර්ඛණ්ඩයෙන් නිරූපණය වන්නේ ඵල රස අනුභවයෙන් තෘප්තිමත් වූ පරිසරකාමියාගේ කායික මානසික ප්‍රීතියයි. එය ලෞකික වූත්, ආධ්‍යාත්මික වූත් සතුටක් බව සමාප්ත ගී පද සරණිය තහවුරු කරයි.

“වාසෙ සොඳා බැද්දෙ මෙදා ප්‍රීති සදා වෙයි නිබඳා” අනුප්‍රාසවත් වදන් පෙළකින් යුතු වේග රිද්ම රාගයකට යොමු කරන ගීතයේ සමාප්තිය, පරිසරකාමියාගේ පූර්ණ තෘප්තියත් ප්‍රමුදිත භාවයත් පළ කරනු වැන්න.

වදනක් වදනක් පාසා නැඟෙන රංගන ධ්වනිය, පරිසරයේ ආස්වාදය විඳින රසකාමියාගේ හැසිරීම් රටාව ද නිරූපණය කෙරෙන අයුරින් නැඟී මතු වෙයි. පරිසරයේ පැවැත්මට කිසිදු බාධාවක් නොකොට විසල් වනපෙතක නිෂ්කාමී දිවි පෙවෙතක් දිවා රෑ ගත කරන පරිසරකාමියකුගේ ආවේශය, මේ ගීතය රචනා කිරීමේ දී ජෝන් ද සිල්වා දෑ හිතැතියාණන් ලබා ඇති බව කිය හැකි ය.

සටහන – දයාපාල ජයනෙත්ති