සිංහල ගීත සාහිත්‍යයේ මතු නොව ලෝක සාහිත්‍යයේ ම අග්‍රගණ්‍ය ගීත නිර්මාණයක් ලෙස සැලකිය හැකි ‘බුද්ධ දිවාකරයාණෝ’ නම් වූ ගීතය බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ කඳ අලලා රචනා වී ඇති විශිෂ්ටතම බොදු බැති ගීතය ලෙස සැලකිය හැකි ය. 1962 වසරේ තිරගත වූ ‘රන්මුතුදූව’ සිනමා සිත්තමෙහි එන මෙම ගීතය, එදා සිට හැට දෙවසරක් පුරා උතුම් සම්බුදු තෙමඟුල අනුස්මරණය කරමින් හැම වෙසක් පොහොය සමයකම සිරිලක ගුවන් ගැබ සිසාරා රැව් පිළිරැව් නඟන්නේ ය.

“සාධු… සාධු… සාධු…
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ

සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ

සනසා මුළු ලොව නිවන් ලබා දී
පුණ්‍ය මහෝදදි ශාන්ත සමාධි
සනරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ

මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරුණා සීතල මෙත් ධාරා
ගලා බසී තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා අම සෙත සාදා
බුදු රැස් කැටි වී නැඟි ආලෝකේ
පිස යයි දුඟදුරු මුළු තුන් ලෝකේ…”

2500 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ‘පාතුරහෝසි බුද්ධ ජයන්ති – ධම්ම සමය උදපාදි’ නමැති තේමා ගීතය රචනා කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයෝ ම මෙම ගීත සංකල්පනාවෙහි නිර්මාතෘවරයා වූහ. විශාරද පණ්ඩිත් අමරදේවයන් ම සංගීතය සපයා ගැයූ ‘බුද්ධ දිවාකරයාණෝ’ ගීතය ආරම්භ වන්නේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව නිතර දෙවේලේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන නමස්කාර පාඨයෙනි.

මධුර ඡල ලාලිත ගීත ස්වරයෙන් බුදු ගුණ සජ්ඣායනාවට ම ඇලුණ කටහඬක් උරුම කොට ගත් පණ්ඩිත් අමරදේවයන් හා එක්වුණු ගායක පිරිස, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණ මහිමය හා ඉන් ලෝ සතුන් නිවී සැනහී ගිය ආකාරය ඉදිරිපත් කරන්නේ අසන සියලුම ජනයා ද බුදු ගුණ සයුරේ ගිල්වා සනසාලමිනි.

ගීතයේ සමාරම්භක ස්ථායි ගායන ඛණ්ඩය විහිදුවන්නේ දස පෙරුම් දම් පුරා උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කොට මුළු ලෝවාසීන්ගෙන් පිදුම් ලැබීමට සුදුසු වූ බුදුරජාණන් වහන්සේ වෙසක් මාසයෙහි පුන් පොහොය දිනයක මහ බෝසත් කුමරුන් ලෙස උපත ලැබූ අසිරියයි. එහි ගැයෙන ‘දිනූ සේක’ යන දෙවදනින් බුද්ධාංකුර උතුමෙකුගේ ජන්ම ලාභය ද උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කොට ගැනීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේනමක් ලෝකයාට පහළ වීම ද යන දෙඅරුතම ගම්‍ය වෙයි. ගීතයේ පුන පුනා ගැයෙන ‘බුද්ධ දිවාකරයාණෝ’ යන යෙදුම සමස්ත ගීත පද නිර්මාණය පුරා විහිද පැතිර යන බුදුරැස් මාලාවක් වැන්න. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශ්‍රේෂ්ඨත්වය ධ්වනිත කරන ඒ දෙවදන, මුළු තුන් ලොව එළිය කළ හිරු මඬලක පහළ වීම ද සංකේතවත් කරයි.

වෙසක් පුන් පොහොය දිනයෙහි දී බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වීමේ අසිරිය සිහිපත් කරවමින් ඇරඹෙන මෙම ගීතය නංවන ප්‍රසාදජනක බැතිබර සංචේතනාව ඊළඟ දෙපාදයෙන් කුළු ගැන්වෙන්නේ ලෝ වාසීන් නිවාලන මහා සැනසිල්ලක් – අස්වැසිල්ලක් උදා වූ බව පළ කරමිනි. මුනි සිරිපා වන්දනයෙන් ලබන අධ්‍යාත්ම සොම්නස සිත කය පුරා ඉතිර පැතිර යන්නා සේ ය. ‘පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ’ අනන්ත වූ සම්බුදු ගුණ සමුදාය නමැති මහ මුහුදේ ආස්වාදය විඳ ගැනීමට ගී පද රචකයා, ගායක පිරිස හා සහෘද ශ්‍රාවක ජනකාය යන තුන් ඈඳුතු සත්ජනයින්ට ඉස්පාසුවක් නැතුවා සේ ය. එම අසමසම ලොව්තුරා සැපත අත්පත් කරගනු පිණිස සකල ලෝ වාසීන් වෙත ඇරයුම් කරන්නේ ‘පිහිනමු, සැනසෙමු’ යනාදී හෘදයංගම ඇමතුම් මගිනි.

ඉනික්බිතිව ඇසෙන අන්තරා ගී ඛණ්ඩය, ශ්‍රාවක සිත් සතන් නිවා සනසාලන ප්‍රණීත වූ ආස්වාදජනක හැඟුමන් ජනිත කරලයි. නිවන් මඟට යොමු කරවන, ශාන්ත සමාධිය උදා කර දෙන්නා වූ පින් ගඟුලැල්ලක් (පුණ්‍ය මහෝදදි) මුළු ලෝකය තෙමා ගලා බසින්නා සේ ය. පරම ශාන්තිය (ශිවංකර) සලසා දෙන බුද්ධ දිවාකරයාණන් වහන්සේ මිනිසුන්ගේත්, දෙවියන්ගේත් (සනරාමර) ගුරුවරයාණන් වන සේක.

දෙවියන්, මිනිසුන්, මරුන්, බඹුන් හා අනේකවිධ සත්ව ගණා ගැවසී ගත් ලෝකයේ අදාන්තයන් හා නොහික්මුණවුන් හා ප්‍රචණ්ඩයන් දමනය කළ හැක්කේ බාහු බලය හෝ අවි බලය සහිත පුහුදුනවුනට පමණි. එබඳු වූ සේනා සහිත මාරයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පරාජය කරන ලද්දේ බාහු බලයෙන් හෝ අවි බලයෙන් හෝ නොව ‘කරුණා සීතල මෙත් ධාරා’ බලයෙනි. ලෝකයේ අන් කිසි අයකු සතු නොවන ඒ ආශ්චර්යවත් ගුණ මහිමය, ගීතයෙහි අවසන් ඛණ්ඩයෙහි ලා ඉස්මතු කොට දක්වන්නේ කරුණා මෙත් ධාරා සිහිල් දිය පොදක් තුන් ලෝ දුක් ගිම් නිවා විහිද පැතිර යන අයුරු විදහමිනි.

“මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරුණා සීතල මෙත් ධාරා
ගලා බසී තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා අම සෙත සාදා”

ගී පාද සතරක් නැඟූ සංධ්වනිය කවර නම් අසිරියක් ද? අකුරක්, වදනක් වදනක් පාසා නැඟෙන නින්නාදය, සවන් පතින් හද පත්ලට පිවිස අධ්‍යාත්මය නිවා සුවපත් කළා සේ ය. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය, සූවාසූ දහසක් ධර්මස්කන්ධය තුළ ගැබ්ව ඇති අනන්ත ගුණ මහිමය ගීතය අවසානයේ කැටි කොට දක්වා ඇති ආකාරය වෙනත් බුද්ධානුස්සති නිර්මාණයක නොවූ විරූ ය. එය වූ කලී ගීත රචකයා, ගායක පිරිස හා සංගීතඥයා යන තුන් ඈඳුතු සහෘද පිරිස බුද්ධානුස්සති භාවනාවට සමවැදීමේ ඵල වශයෙන් අත්පත් කොටගත් නිර්මාණාවේශයකින් අවස්ථාවෝචිත ස්වර, ධ්වනි රටා මවා ගැයූ ගායක වෘන්දයේ මියුරු ගීත ස්වරය, පද රචනය ඉක්මවා නොයාමේ ප්‍රතිඵලයකි.

“බුදු රැස් කැටි වී නැඟි ආලෝකේ
පිස යයි දුඟදුරු මුළු තුන් ලෝකේ”

බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් හදින් නැඟුණ කරුණා සීතල මෙත් දහරා ගලා බැස සසර ගමනේ ගිමන් නිවාලන්නේ ය. තුන් ලෝකයේ මෝහාන්ධකාරය පහව යනුයේ බුදු රැස් කැටි වී නැඟෙන ආලෝකයෙනි. එනම් බුද්ධානුස්සති භාවනාවෙන් පහන් කරගන්නා සිත් සතන් තුළිනි. මෙම ගීතයේ වදනක් වදනක් පාසා මැවි මැවී මතුවන උතුම් සම්බුදු රූපකාය, අනන්ත වූ සීල සමාධි ගුණය, සකල ලෝක සත්වයා වෙත පතල මහා කරුණාව ආදිය සිහි කිරීම බුද්ධානුස්සති භාවනාවක් වැන්න. සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රාතිහාර්යක් වැනි මේ අසිරිමත් ගී පද ගෙත්තම වෙසක් පොහොය සමයෙහි පමණක් නොව දිනපතාම සවන් දිය යුතු, වදනක් පාසා මෙනෙහි කළ යුතු සදාතනික නිර්මාණයකි.

මෙම විශිෂ්ට ගීතය අරභයා සිය අදහස ඉදිරිපත් කළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ මෙසේ පළ කළහ.

“මෙම ගීතයේ එන නමස්කාර පාඨය අත්‍යන්ත දේශජ බෞද්ධ පඨන පාඨන රීතියට සමීප වෙයි. මහා සංඝයා වහන්සේගේ මුවිනුත් සැදැහැවත් බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ මුවිනුත් උසුරුවනු ලබන නමස්කාර පාඨයේ ධ්වනි සාම්‍යය මේ ගීතය පුරාම අසන්ට ලැබේ. පදමාලාවට උචිත නාදමාලාවත්, නාද මාලාවට උචිත පද මාලාවත් හේතු කොටගෙන මෙම බෞද්ධ භක්ති ගීතය ශ්‍රාවකයන්ගේ ප්‍රසාදයට ලක් වී ඇත්තේ ය.”

(ශ්‍රද්ධා භක්ති සූචක විශිෂ්ට බෞද්ධ ගීත – බෙල්ලන්විල විමලරතන හිමි)

මෙම අපූර්ව ගීතයේ තනු නිර්මාණය ගැන පණ්ඩිත් අමරදේවයෝ මෙසේ පැවසූහ:

“මා මැන්ඩලීනය වයමින් ‘පාරමිතා බල පූරිත පූජිත’ නමැති ගීතයෙහි තනුව නිර්මාණය කරද්දී මගේ අම්මා ගැන ඇති වූ මාතෘ සෙනේහය ඊට බල පෑවා. අමා මෑණී හිමියන් වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ගීතයෙන් බුදු ගුණ ගැන සිතද්දී මට මගේ මවගේ ගුණයත් සිහියට නැඟුණා. අම්මා වගේ තමයි මට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණේ. බුදුරජාණන් වහන්සේට සේ ම මව තුළ තිබූ මහා කරුණාව මේ ගීතයෙන් පිළිබිඹු වෙනවා.”

අමරදේව-මහා ගාන්ධර්ව විබුධයාණෝ

(නුවන් නයනජිත් කුමාර – 136 පිටුව)

සංගීතයෙහි පවත්නා ස්වර සියල්ල සංගත වූ භෛරවී රාගය මෙම ගීතයට ආත්ම වූවා සේ ම බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ කඳ, ගීත පද මාලාවේ මෙන්ම ගායනයෙහි ද සුසංගතව තිබීම අසිරියක් ම වන්නේ ය.

සටහන – දයාපාල ජයනෙත්ති