දෙවිමිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සම්බුද්ධත්වය පිණිස සාරාසංඛය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පෙරුම් දම් සපුරා දෙතිස් මහාපුරිස ලක්ෂණයන්ගෙන් යුක්තවයි මෙලොව උපත ලැබුවේ.

එමෙන් ම ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට ගෙන, නව අරහාදී සම්බුදු ගුණ, දස බල ඤාණ, සිව් විශාරද ඤාණ, ෂඞ් අසාධාරණ ඤාණ ආදී අනන්ත ඤාණ සමුදායකින් යුක්තවයි වැඩසිටියේ. භාග්‍යවතුන් වහන්සේ සීලයෙන් සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඤාණ දර්ශනයෙන් තුන්ලෝකාග්‍රයි. එම නිසා යම් කෙනෙක් සම්බුදු ගුණ මහිමය ගැන සිත පහදවාගෙන බුද්ධානුස්සතිය වඩනවා නම්, සම්බුදු ගුණ සජ්ඣායනා කරමින් සත්‍යක්‍රියා කොට, මෙත් සිතින් කෙනෙකුට සෙත් පතනවා නම් එය ආශීර්වාදයක් ම යි.

මේ සඳහා උපකාර කර ගැනීමට සුදුසු ආකාරයෙන් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් ‘සම්මා සම්බුදු පිහිට ලැබේවා’ යන මැයෙන් නව අරහාදී බුදුගුණ කැටිකොට බුදුගුණ සෙත් ශාන්ති කවි පන්තියක් නිර්මාණය කොට තිබෙනවා. එමෙන් ම බුදුගුණ කැටි වූ සත්‍යක්‍රියාවක් ද සකසා තිබෙන අතර එය ‘ශ්‍රද්ධා ගුවන් විදුලි නාලිකාව’ ඔස්සේ විකාශය වෙනවා. එම නිසා තවත් කෙනෙකුට සෙත් පැතීමේ දී එම බුදුගුණ ශාන්තිය සහ බුදුගුණ සත්‍යක්‍රියාව භාවිත කළ හැකියි.