සැබෑ ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි එයාගේ හිතේ ඇතිවුණු ශ්‍රද්ධාව වෙනස් කරන්න බෑ. ඒක එයාගේ ඇඟේ තියෙන ලේ වගේ. ශරීරයේ ඇට අස්සේ තියෙන ඇට මිදුළු වගේ. එතකොට එයාගේ ජීවිතයත් එක්ක ඒ ශ්‍රද්ධාව සම්බන්ධයි. සැබෑ ශ්‍රද්ධාව ඇතිවුණාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි නො සෙල්වෙන පැහැදීම ඇතිවෙනවා. ඒ වගේ ම උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය කෙරෙහි නො සෙල්වෙන පැහැදීම ඇතිවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නො සෙල්වෙන පැහැදීම ඇතිවෙනවා.

සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ දට්ඨබ්බ සූත්‍රයේ මේ විදිහට සඳහන් වෙනවා. (කත්ථ ච භික්ඛවේ සද්ධින්ද්‍රියං දට්ඨබ්බං? චතුසු සෝතාපත්තිඅංගේසු) මහණෙනි, ශ්‍රද්ධා ඉන්ද්‍රිය දැක්ක යුත්තේ කොහේ ද? එනම් සෝතාපත්ති අංග සතර තුළ ය.

ඒ අනුව අපට පෙනී යනවා නියම ශ්‍රද්ධාව ඇතිවෙන්නේ සෝතාපන්න වූ කෙනෙකු තුළ බව. ඒ ශ්‍රද්ධාව තමයි තෙරුවන් කෙරෙහි ඇති නො සෙල්වෙන ප්‍රසාදයත්, සිල්පද රැකීමත්.