ලො​ව මිනිස් ජනගහනය බිලියන 7.8ක් ලෙස සැලකේ. සත්ත්ව ප්‍රජාව තුළ එක් සත්ව විශේෂයකට අයත් වර්ග ගණන ද සමහර විට දහස් ගණනකි. නැතිනම් ලක්ෂ ගණනකි. එසේ නම් සත්ව ගහනය ගැන කවර කතා ද? ගණනය කළ නොහැකි තරම් ය.

මිනිස් ලොව උපත ලැබූ අපට පියවි ඇසින් දැකිය හැක්කේ මෙම මිනිසුන් හා තිරිසන් සතුන් යන දෙකොට්ඨාසය පමණි. එසේ නමුත් තමන් වහන්සේගේ අවබෝධය ඉක්මවූ අවබෝධ කළ යුතු යමක් මෙලොව නැත්තා වූ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තම අනාවරණ ඥානයෙන් දැක වදාරන ලද්දේ තවත් බොහෝ සත්වයින් මෙලොව වසන බවයි. උන්වහන්සේගේ ප්‍රඥා බල මහිමය සැදැහෙන් ම අදහා ගත්තෙකු හැරුණු කොට වෙනත් කවරෙකු නම් මේ කරුණ අදහා ගන්න ද?

අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ පරිදි බ්‍රහ්මයෝ, දෙවියෝ, ගාන්ධර්වයෝ, නාගයෝ, නිරි සත්තු, ප්‍රේතයෝ, අසුරයෝ ආදී බොහෝ සත්ත්වයෝ සිටිත්. මේ කවර ආකාරයේ වුවද උපතක් ලැබූ සත්වයින් අපගේ ශාස්තෘන්ව හන්සේ විසින් කොටස් දෙකකට බෙදා දැක්වූ සේක. එනම් නියත ගති ඇති සත්ත්වයන් හා අනියත ගති ඇති සත්ත්වයන් ලෙස ය. නියත ගති ඇති සත්ත්වයින් යනු මරණින් මතු උපත ලබන ස්ථානය ස්ථිර වශයෙන් ම කිව හැකි අයයි. පංචානන්තරීය පාපකර්ම කළ අය අතරක් නොතබා ම මෙලොවින් චුත වී නිරයෙහි උපදිති. එබැවින් ඔවුනට ඇත්තේ නියත ගතියකි. එමෙන් ම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී උතුමෝ සදහට ම සතර අපායෙන් නිදහස් වූ, සුගතියෙහි පමණක් උපදින ස්වභාවයෙන් යුතු වෙති. අනාගාමී උතුමෝ වනාහී කාම ලෝකයෙන් ද සදහට ම නිදහස් වූවෝය. උන්වහන්සේලාගේ මරණින් මතු උපත ඒකාන්තයෙන් ම සුද්ධාවාස බ්‍රහ්ම ලෝක තුළ සිදුවන්නේය. උතුම් රහතන් වහන්සේලා සියලු ම භවයන්ගෙන් නිදහස් වී වදාළ සේක. මෙසේ උන්වහන්සේලා නියත ගතියක් උරුම කොට සිටින සේක.

ඒ හැරුණු කොට අනෙකුත් සියල්ලෝ ම අනියත ගති ඇති සත්ත්වයෝ වෙති. එනම් ඔවුන්ට මරණින් මතු මෙබඳු උපතක් ඇත්තේ යැයි ස්ථිර වශයෙන් ම කිව නොහැකිය. එසේ ම වරක් අපගේ ශාස්තෘන් වහන්සේ උන්වහන්සේගේ පුරුෂ ඉන්ද්‍රිය ඥානයෙන් දැක වදාරන ලද්දේ මාර්ගඵලලාභීන් හැරුණු කොට දස කුසලයෙන් යුක්ත ව සිටි අයෙකු වුව ද පෙර කරන ලද අකුසලයක් ඉස්මතු වීමෙන් හෝ අවසන් කාලයේ මිථ්‍යා දෘෂ්ටියෙන් යුතුව වාසය කිරීමෙන් හෝ නිරයගාමී විය හැකි බවයි. එමෙන් ම උන්වහන්සේ වදාළේ සෝතාපන්න ශ්‍රාවකයාගේ සිට ඉහළ මාර්ගඵලලාභී උතුමන් හැරුණු කොට වෙනත් කිසිම කෙනෙකු ඒකාන්තයෙන් ම සතර අපායේ නොවැටෙන ස්වභාවයෙන් යුතුයැයි තමන් වහන්සේ සහතික නොවන බවයි. එසේ නම් අනියත ගති ඇති සත්ත්වයන් මේ සසර ගමන තුළ අතිශයින් ම අනාරක්ෂිත බව, අසරණ බව, අස්වැසිලි රහිත බව මනාව පැහැදිලි ය.

එසේ නමුත් පරිපූර්ණ ශාස්තෘත්වයක් දරා වැඩ සිටි මහා කාරුණික සිත් ඇති අපගේ ශාස්තෘන් වහන්සේ අනියත ගති ස්වභාව කොට ඇති තම ශ්‍රාවකයින්ට පවා පිළිසරණ ලබා දුන් සේක.

වරක් මහානාම ශාක්‍ය රජු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මේ පිළිබඳ විමසා සිටියේය. එනම් භාග්‍යවතුන් වහන්සේත්, මනෝභාවනීය භික්ෂූන් වහන්සේලාවත් ඇසුරු කොට සවස් යාමයේ කලබලකාරී ස්වභාවයෙන් යුතු නගරයට පිවිසෙන තමන්ගේ සිහිය ඒ මොහොතේ මුළා වන බවත්, එවන් අවස්ථාවක තම මරණය සිදු වුවහොත් තමාගේ උපත කෙබඳු තැනක සිදුවේදැයි තමන්ට බියක් උපදින බවත් ය. ඒ අවස්ථාවේ අපගේ ශාස්තෘන් වහන්සේ මහානාම ශාක්‍ය රජුට මෙසේ වදාළ සේක.

“මහානාමයෙනි, බිය වන්නට එපා! මහානාමයෙනි, බිය වන්නට එපා. මහානාමයෙනි, ඔබගේ මරණය අලාමක දෙයක් වන්නේය, අලාමක කළුරිය කිරීමක් වන්නේය. මහානාමයෙනි, යම්කිසිවෙකු තුළ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්නම්, සීලය මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්නම්, ශ්‍රැතය මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්නම්, ත්‍යාගය මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්නම්, ප්‍රඥාව මැනැවින් පුරුදු කරන ලද සිතක් ඇත්නම් රූපී වූ, සතර මහා ධාතූන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, ආහාරපානයන්ගෙන් පෝෂණය ලැබූ, අනිත්‍ය වූ, ඉලීම් පිරිමැදීම් ආදිය පවත්වමින්, බිඳෙන වැනසෙන ස්වභාවයෙන් යුක්ත වූ යම් මේ කයක් ඔහුට ඇත්තේ ද, එය මෙහි ම කපුටෝ හෝ කා දමති. ගිජුලිහිණියෝ හෝ කා දමති. සුනඛයෝ හෝ කා දමති. සිවල්ලු හෝ කා දමති. විවිධ ප්‍රාණීහු හෝ කා දමති. ඔහු තුළ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව හොඳින් පුරුදු කළ, සීලය හොඳින් පුරුදු කළ, ශ්‍රැතය හොඳින් පුරුදු කළ, ත්‍යාගය හොඳින් පුරුදු කළ, ප්‍රඥාව හොඳින් පුරුදු කළ යම් සිතක් ඇත්ද එය උඩු අතට යන්නේ වෙයි. විශේෂගාමී වෙයි.

මහානාමයෙනි, එය මෙබඳු දෙයකි. බලවත් පුරුෂයෙකු ගිතෙල් පිරවූ මැටි කළයක් හෝ තෙල් පිරවූ මැටි කළයක් හෝ ගැඹුරු දිය විලකට බස්වා බිඳින්නේ නම්, ඒ කළයෙහි යම් කැට හෝ කැබලිති හෝ වෙත් ද ඒවා යටට බසින්නේය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ ඇද්ද, එය එහි උඩට මතු වන්නේය. විශේෂගාමී වන්නේය.”

එනම් අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ ගිතෙල් හෝ තෙල් හෝ පිරවූ කළයේ කැට හෝ කැබලිති හෝ යටට බසින්නාක් මෙන් බාහිර ශරීරය වැනසී ගිය ද මැටි කළයේ තිබූ ගිතෙල හෝ තෙල දියේ උඩට මතු වන්නාක් මෙන් පංච සේඛබලයන් මැනැවින් වැඩූ සිත විශේෂගාමී වන බවයි. එනම් මරණින් මතු සුගති උපතක් කරා එසවෙන බවයි. අහෝ! මහා කරුණාවෙන් තෙත් වී ගිය හදමඬලක් දරා වැඩ සිටි අපගේ ශාස්තෘන් වහන්සේ අප කෙරෙහි කෙතරම් නම් අනුකම්පා කළ සේක් ද?

එසේනම් අප විසින් ද මැනවින් වැඩිය යුත්තේ ද බහුල වශයෙන් ප්‍රගුණ කළ යුත්තේ ද ඒ සේඛබල ධර්මයන් ම ය. එනම් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ පැහැදීමයි. සීලයයි. දහම් දැනුමයි. ත්‍යාගයයි. ප්‍රඥාවයි. එම සේඛබල ධර්මයන් සම කරමින් මැනැවින් වඩනා ශ්‍රාවකයාට ඊළඟ උපත පිළිබඳ බිය වීමට කරුණක් නොමැත. සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේලාගේ වදන් කිසිම දිනක වෙනස් නොවේ. මිනිස් ලොව තුළ අප ගත කරනා සුළු ආයුෂයේදී තෙරුවන් සරණේ මනා ව පිහිටා සේඛබල දියුණු කොට අනියත ගති ඇති ස්වභාවයට පිහිට සලසා ගන්නටත්, මරණින් මතු සත්පුරුෂ ඇසුරේ ධර්මාවබෝධය ලබන්නටත් අප සෑමදෙනාට ම වාසනාව ලැබේවා!

සටහන – යූ. කේ. ගුණතිලක