අනන්ත වූ සම්බුද්ධ ගුණ මහිමය මෙතෙකැයි දැක්විය හැකි ප්‍රඥාවන්තයකු මේ තාක් ලෝකයේ පහළ වී ඇති නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක්ම පමණි. වෙනත් අයෙකු බුදු ගුණය කල්ප ගණනක් පැවසුව ද ඒ කල්ප ගණන ගෙවෙනු විනා බුදු ගුණය පවසා අවසන් කළ නොහැකි වෙයි. මේ වග සෝතබ්බමාලිනී අටුවා ග්‍රන්ථයෙහි දැක්වෙන්නේ මෙසේ ය:

බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ
ඛීයේථ කප්පෝ චිරදීඝමන්තරේ
වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස

මේ බව ඉතා පැහැදිලි ලෙස දේශනා කොට වදාරන ලද්දේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසිනි. අංගුත්තර නිකායේ ඒකපුද්ගල වග්ගයෙහි එන එකී බුදු වදනේ සිංහල භාවය මෙසේ ය:

“පින්වත් මහණෙනි, ලෝකයෙහි පහළ වන එකම එක පුද්ගලයෙක් කිසිවකුට නොදෙවෙනිව, අසහායව, අප්පටිමව අප්පටිසමව, අප්පටිභාගව, අප්පටි පුද්ගලව, අසමව අසමසමව, දෙපා ඇත්තවුනට අග්‍රව උපදින්නේ ය. ඒ එකම වූ පුද්ගලයා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. පින්වත් මහණෙනි මේ එකම පුද්ගලයා අදුතියව, අසහායව, අප්පටිමව, අප්පටිභාගව, අප්පටි පුද්ගලව, අසමව, අසමසමව, දෙපා ඇත්තවුනට අග්‍රව උපදින්නේ ය.”

ඒ ආකාර වූ සම්බුදු ගුණ මහ ගල්කුළක් බිඳගෙන එන තරමට ම බලසම්පන්න වු ප්‍රවාහයක් වූයේ කවර නම් බල මහිමයකින් ද? ඒ වූ කලී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ අප මහා බෝසතාණන් වහන්සේ විසින් සසරේ නොයෙක් ජාතීන්හි ඉපිද පුරන ලද දාන සීලාදී පාරමිතා ගුණ බල මහිමයෙනි. දෙපා සහිත වූ සකල ලෝක මානව වර්ගයා අතරින් ඉහත දැක්වූ ගුණයන්ගෙන් අග්‍ර වූ බුදුරජාණන් වහන්සේනමක් පහළ වනුයේ අසංඛ්‍ය වූ කල්පයන් ගණනාවකට පසුව ය. එබඳු අග්‍ර වූ, අනුත්තර වූ බුදුරජාණන් වහන්සේනමක බිහි වූ බුද්ධෝත්පාද කාලයෙහි එනම් වර්තමාන යුගයේ ලොව උපතක් ලබා සිටින මනුෂ්‍ය වර්ගයා කොතරම් වාසනාවන්ත ද? පෙර කළ පිනකින් මනුෂ්‍යාත්ම භාවයක් උරුම කොටගත් ලෝකවාසීන් අතුරෙන් මෙම භද්‍ර කල්පයෙහි පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික හා උද්දේශික ධාතූන් වහන්සේලා පිහිටා තිබෙන, උන්වහන්සේ දේශනා කොට වදාළ නිර්මල ධර්මය දෙදහස් තුන්සිය වසරකට අධික කාලයක් මුළුල්ලේ නොනැසී බබළමින් පවත්නා සිරි ලක්දිව වාසභූමි කොට ගත් ජනකාය මොනතරම් භාග්‍යවන්ත පිරිසක් ද යන්න මෙරටට වරින් වර පැමිණි විදේශික වියතුන් විසින් ද නන් අයුරින් ප්‍රකාශ කරන ලදී.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිබඳ සැදැහැ සිතින් බැඳුණ සිරිලක්වාසී බෞද්ධ ජනතාවට වෙසක් පුන් පොහොය තරම් උතුම් දිනයක් තවත් නොමැත්තේ ය. වෙසඟ මස සොළොස් කලා පිරි පුන්සඳ අහසේ බබළමින් පැවති දිනයක උපත ලැබීම, උතුම් සම්බුද්ධත්වයට පත් වීම දහම් අමා රසින් තුන් ලෝවාසීන්ගේ භවගිම් නිවීම හා පිරිනිවනට වැඩීම යන අසිරිමත් සංසිද්ධීන්ට උරුමකම් කියන ලොව එකම ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය වූ කලී බුදුරජාණන් වහන්සේ ය. මේ බව මැනැවින් පසක් කොටගත් ලංකාවාසී ජනතාව අතීත යුගයේ සිට නන් ලෙසින් සම්බුද්ධ පූජා පැවැත්වූහ. භාණක පරපුර මගින් හෙවත් වාචනා මාර්ගයෙන් රැකගෙන ආ උතුම් ශ්‍රී සද්ධර්මය ලේඛනාරූඪ කළෝ ලංකාවාසී මහරහත් තෙරුන් වහන්සේලා ය. එතැන් සිට බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී ගිය සිත් ඇති ලක්වැසි ජනකාය පන්හිඳෙන්, තල්පතින් දහම් රසය මතුකොට සැදැහැතියන් තුළ බුද්ධානුස්සතිය දැනවීම, මහ සඟන උදෙසා ලෙන් ආරාම සකසා පූජා කිරීම, සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට මහා ස්තූපයන් තැනවීම, දැඩි කළුගලකට පවා සම්බුදු ගුණ කඳ ආරෝපණය කිරීම ආදිය මගින් ලක්දිව සම්බුදු සසුනේ පැවැත්ම උදෙසා මහ මෙහෙයක් ඉටු කළහ-

පැරැණ්නන්ගේ ඒ මහා මෙහෙවර අනුස්මරණය කරන මෙදවස වෙසෙන වියතුන්, කවියන්, කලාකරුවන් බැති ගී කව් රචනා කරමින් විවිධාකාරයෙන් විමුක්ති රස උද්දීපනය කරමින් අනන්ත බුදු ගුණය, සම්බුදු මහිමය ලක්වැසි ජනකාය වෙත ඉදිරිපත් කළ අයුරු වරින් වර සිහිපත් කිරීම වර්තමාන යුගයට අතිශයින් ම වැදගත් වෙයි. අතීත යුගයේ සිටම භික්ෂූන් වහන්සේ සහ වියත් පඬිවරුන් අනන්ත වූ බුදු ගුණ මහිමයෙන් බින්දු මාත්‍රයක් හෝ කියනු සඳහා ස්වකීය නිර්මාණ ඉදිරිපත් කළ අයුරින් මෙදවස, ‘බුද්ධ දිවාකරයාණෝ’ ආදී බොදු ගී රැසක් නිමැයූ අග්‍රගණ්‍ය කිවිසුරකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචනා කරන ලද තවත් අපූර්ව වෙසක් ගීතයක ආස්වාදය, මහාමේඝ සත්පුරුෂ රසික පාඨක ජන සමූහයා වෙත ඉදිරිපත් කරමි. බුදු පිළිම නෙළන්නකු ගල් කටුවකින් බුද්ධ ප්‍රතිමාවක් නෙළන අවස්ථාවකුත්, කවියකු පන්හිඳකින් තල්පතක දහම් පොතක් නිමවන අවස්ථාවකුත්, නිබඳ බුදු ගුණ මුව රඳන මහ සඟ රුවන බුදු සසුන බබළවන ආකාරයත් කියැවෙන මේ ගීතයේ සංගීත නිර්මාණය හා ගායනය හෙළයේ මහා ගාන්ධර්ව විසාරද පණ්ඩිත් අමරදේවයන්ගෙන් විභූෂණය විය.

“ඇඟිලි තුඩුයි ගල් කටුවයි
බුදු බැතියයි එක්වෙලා
මහ ගල්කුළු බිඳගෙන එයි
සම්බුදු ගුණ ගල ගලා
පාරමිතා රැලි දිදී – සලකුණු එයි ඇදි ඇදී”

ගීතයේ ආරම්භක පද පෙළ කියවන, අසන සහෘද සැදැහැතියන්ගේ සිත සැණෙකින් ඇදී යන්නේ අනුරපුර මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමය වෙත හා අවුකන විසල් හිටි බුදු පිළිමය වෙත ය. උතුම් සම්බුද්ධ කාය මූර්තිමත් කරන එබඳු ප්‍රතිමාවක්, ඇඟේ ශක්තියෙන් හා ගල්කටුවකින් පමණක් නිර්මාණය කළ නොහැකි ය. ඊට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිතෙහි පිළිසිඳගත් අප්‍රමාණ සැදැහැ බැති පෙම තිබිය යුතු ය. ඒ බුද්ධානුස්සති බැති පෙම, මහ ගල්කුළු බිඳගෙන සම්බුදු ගුණ ගලා යාමට තරම් මහානුභාව සම්පන්න වූවක් වෙයි. ප්‍රතිමාවේ සිවුරු සලකුණු මතුවන්නේ පාරමිතා රැළි නැඟෙන්නාක් මෙනි. දහම් රසයත්, කලා රසයත් එක්තැන් වුණු මහිමය කදිම ය.

“පන්හිඳකුයි තල්පතකුයි
හුරු අතකුයි එක් වුණා
කෝටි ගණන් නෙක් හදවත්
නිවන් මඟට යොමු වුණා
දහම් රසය හා වෙලී – කලා රසය දෙයි රැළි”

වාචනා මාර්ගයෙන් හෙවත් භාණක පරපුරින් පරපුරට පන්සිය වසරක පමණ දිගු කලක් පැවතගෙන ආ සම්බුද්ධ භාෂිතය, පන්හිඳක් – තල්පතක් හා හුරු අතක් එක්වීමෙන් ලේඛනගත වීම බුදු සසුන පන්දහසක් වසක් සුරැක පැවතීමට හේතු වාසනා විය.

සිරිලක්දිවෙන් ලොවට ගිය ඒ සදහම් අමා ගඟුල, කෝටි ගණන් ලෝකවාසීන් නිවන් මඟට යොමු කරවීමට සමත් වූවකි. දහම් රසයත්, කලා රසයත් ප්‍රතිරාව නංවන කව්ලැකිය හා ලෙව්ලැකිය විකසිත වී මහා දහම් කාව්‍ය නිර්මාණය වූයේ එහි ඵල වශයෙනි.

“කහ සිවුරයි පහන් බවයි
බුදු ගුණයයි එති එතී
පිළිවෙත් මග ගඟකි ගලන
මොක් සයුරට නොනැවතී
මහ සඟ පෙළ පා සෙනේ – හොබවති බුදු සාසනේ”

බුදුගුණ හා දැවටී පවත්නා පහන් බව හෙවත් ප්‍රසාද ගුණය, කහ සිවුරට උරුම වූවකි. මහ සඟ පෙළ වූ කලී මොක් සයුරට නොනැවතී ගලන්නා වූ මහ ගඟක් සෙයින් උවම් කිරීම, දෙදහස් හයසිය වසක් අවිච්ඡින්නව පවත්නා වූ සම්බුද්ධ ශාසනය රැකගත් බුදු පුතුන්ට දැක් වූ ගෞරවයකි. ‘පිළිවෙත් සරු මහ සඟ ගණ මුනිඳු පුත’ යයි අලගියවන්න මුකවෙටි පඬිතුමා සුභාෂිත වදනක් පැවසුවේ සංඝයා වහන්සේට ය. ඒ මහ සඟ පෙළ දැනුදු මහත් සෙනෙහසින් යුතුව බුදු සසුන හොබවන්නාහු ය.

“ජීවිතයයි මල් පොකුරයි
පහන් සිළයි වටවෙලා
බුදු මැදුරයි බෝ මළුවයි
හඳපානට ඔද වෙලා
වෙසක් දිනය මේ ලොවේ
දෙයි සිත සැනසිලි සුවේ”

‘ජීවිතයයි මල් පොකුරයි පහන් සිළයි වටවෙලා’ යන්න අපූර්ව කාව්‍යෝක්තියකි. අනාදිමත් කාලයක් මුළුල්ලේ සිංහල බෞද්ධ ජනකාය තම පවුල්වල සියලු දෙනා සමඟ වෙසක් පොහොය දිනයේ විහාරස්ථානයට ගොස් මල් පහන් පුදන්නේ මහ ගල්කුළු බිඳගෙන මතු කළ සම්බුදු ගුණයට, නිවන් මඟට ජනතාව යොමු කළ ධර්මස්කන්ධයට, බුදු සසුන හොබවන මහ සඟරුවනට දක්වන පරමෝත්තම පූජෝපහාරයක් පරිද්දෙනි. බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය හා පිරිනිවීම යන තෙමඟුල සිහිපත් කරන වෙසක් පොහොය දිනයෙහි පරම සුන්දර ආශ්චර්යය උද්දීපනය කරමින් ගීතය නිමාවට පත් වෙයි- බොදු බැති ගී අතර, බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයත්, උපාසක උපාසිකාවනුත්, වෙසඟ දිනයත් එකම ගීතයකට හසු කොට ගත් නිර්මාණයක් වශයෙන් මෙම ගී මල් පොකුර අගය කළ හැක්කේ ය

සටහන – දයාපාල ජයනෙත්ති