බුදුරජාණන් වහන්සේනමක් බිහි නො වූ යුගයක දී, නොඑසේ නම් බුද්ධාංකුර බෝධිසත්වයෙකු පිළිබඳ හැඟුම් මාත්‍රයක් පමණකුදු නොපැවති අවදියේ මිනිස් වර්ගයා, කෙබඳු අන්දමේ ඉරණමකට හසුව මංමුළා වී කලදවස ගෙවන්නට ඇත්දැයි සිතා ගත නොහැකි තරම් ය. එය වඩාත් පැහැදිලි වනුයේ මේ ගෞතම බුද්ධෝත්පාද යුගයේ බුදු වදනින් මග ඵල සඵල කොට ගත් ආර්ය ශ්‍රාවක පිරිසගේ සුගතිගාමී ජීවන පුවත් හා බුදු දහමට පිටුපා ක්‍රියා කළ අයට අත් වූ ඉරණම පිළිබඳ ව මෙනෙහි කරන කල්හි ය.

ලොව උපදින සෑම මනුෂ්‍යයකු ම තුළ ඇතිවන පොදු හැඟීම නම් රැකවරණය හා පිළිසරණ පිළිබඳ ව ඇති බලාපොරොත්තුව ය. උපද්‍රවයකින් තොරව ජීවිතය ගත කිරීම පිළිබඳ හැඟීම උපතේ සිට මරණය දක්වා ජීවිතය වෙලාගෙන පවතී. වර්තමාන යුගයේ මනුෂ්‍යයා අපේක්ෂා කරන මේ රැකවරණය හා පිළිසරණය හුදු භෞතික වුවමනාවක් මිස ආධ්‍යාත්මික වූවක් නො වේ. එකී භෞතික අවශ්‍යතාවයන් කෙසේ හෝ පිරිමසා ගනිමින් මානව වර්ගයා අපාර වූ සංසාරයේ අසංඛෙය්‍ය යුගයන් ගෙවාගෙන ආ ජීවිතය කෙළවර වුයේ දුකකින් ම ය.

දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වී ගෙවී ගිය දෙදහස් හයසිය වසරක කාලය මුළුල්ලේ ලෝකවාසී සත්වයා උන්වහන්සේගේ උතුම් ධර්මානුශාසනයන්හි පිහිට පිළිසරණ විවිධ ආකාරයෙන් ලබා මෙලොව පරලොව ජීවිතය සමෘද්ධිමත් කොට ගත් ආකාරය බෞද්ධ ඉතිහාසයේ නොයෙක් ආකාරයෙන් සනිටුහන් වී තිබේ.

මුදු වදනක, බුදු සිසිලක, නෙතු කැල්මක ආස්වාදය ඉත සිතින් අපේක්ෂා කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයක්, ශ්‍රද්ධාවක් සිත තුළ ඇතිකර ගන්නා සත්පුරුෂ ජනකායක් විසිනි. කවර විපාකයක් හේතු කොටගෙන හෝ භවයෙන් භවයේ, යුගයෙන් යුගයේ බුදු වදනකින් ජීවිතයට එළියක් ලබන්නට වාසනාව නොලද අයකු තමාගේ පමාව නිසා විඳි දුක් තැවුල් අනාවරණය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ අයැදීමක් ඉදිරිපත් කරන බොදු ගීයක රස භාව විමසුම සත්පුරුෂ ජනකායගේ ප්‍රසාද සංවේගය සඳහා ම හේතු වන්නේ ය. මානව භාවයන් සුනිශිත කිරීමට සමත් පද රචනා රැසක් සහෘද ජනකායගේ සිත් පහන් කරනු වස් ගීත සාහිත්‍යයට පිරිනමා ඇති කුමාරදාස සපුතන්ත්‍රි හා විසාරද සුනිල් එදිරිසිංහ සුලවතුන්ගේ සුසංයෝගය, බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ සොයා යන සත්පුරුෂ පැනවතුන්ගේ වන්දනා ගමනට එක් වූ අපූරුව ආස්වාදනය කිරීම ප්‍රසාදජනක වේ යැයි අදහස් කරමි.

“සොයා පිළිසරණක් – ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආවෙමි
හිමියනේ…. ඔබේ මුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් භව කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ
යුගෙන් යුගයේ පතා ආවෙමි
හිමියනේ…. ඔබේ බුදු සිහිලක්

මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ
පහන් වැට සේ සොයා ආවෙමි
හිමියනේ…. ඔබේ නෙතු කැල්මක්”

සසර කතරේ අතරමං වූවකු බුදු කරුණා මෙත් සිසිලසින් තෙමුනු දහමින් ලැබූ අප්‍රමාණ අස්වැසිල්ල මේ ගීතය පුරා නින්නාද වනුයේ ශ්‍රාවක දනන්ගේ හදවත් ද නිවා සනසමිනි.

එක් භවයකින් තවත් භවයකට උපතක් ලබා කෙළවරක් නොමැති දුක් පීඩා විඳිමින් අපාර වූ සංසාර ගමනක යෙදී සිටින මානව වර්ගයා නිරතුරුව පිරිවර රැකවරණයක් අපේක්ෂා කරනුයේ ඔවුන් ඒකචාරී සත්ව ගණයාට අයත් නොවන බැවිනි. කුඩා අවදියේ මව්පිය වැඩිහිටි රැකවරණ මැද ඇති දැඩි වී වැඩී පිරිපුන් මිනිසෙකු වූ පසුව ද පවුලේ අයගේ, අසල්වාසීන්ගේ හා නෑ හිත මිතුරන් ඇසුරේ වාසය ඔහු පාරම්පරික උරුමයක් සේ අපේක්ෂා කරයි. කොතෙක් නෑදෑ හිත මිතුරන් හා දැසි දස්සන් පිරිවරාගෙන සිටිය ද තමන්ට තමන්වත් නැති බව ඔහුට වැටහෙන්නේ වියපත් ව බෙලහීන ව මරණ මංචකයේ වැතිරී සිටීමට සිදු වූ කල්හි ය. මෙම සත්‍යය ලොවට පැහැදිලි ලෙස අවබෝධ කොට දෙන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි.

“පුත්තාමත්ථි ධනම්මත්ථි – ඉති බාලෝ විහඤ්ඤති
අත්තාහි අත්තනෝ නත්ථී – කුතෝ පුත්තා කුතෝ ධනං”

“දරුමල්ලන්ගෙන් හා ධනධාන්‍යාදියෙන් මට අඩුවක් නැතැ’යි කියමින් අනුවණ ජනයා භව බෝග රැස් කිරීමෙහි ලා වෙහෙසෙති. තමන්ට තමන්වත් නැති කල්හි පුතුන්ගෙන් හා රැස්කොට ගත් ධනයෙන් කවර ඵලයක් ද?”

මෙම සනාතනික සත්‍යය ලෝ වැසියාට අවබෝධ කොට දුන් උත්තර මනුෂ්‍ය රත්නයකගේ පහළ වීම සමස්ත ලෝකවාසී ජනතාවට ම ශාන්තියක් වූයේ ය. තමන් අතපත් සක්විති රජ සැපත හා පිරිවර භවභෝග සම්පත් ඇතුළු සියලු ලෝක විෂය කෙරෙහි පැවති භව බැදුම් සිඳ හළ බුදුරජාණන් වහන්සේගේ පිළිසරණය ලැබූ අප්‍රමාණ ආර්ය ශ්‍රාවක පිරිසක්, ගෙවී ගිය දෙදහස් හයසිය වසරක කාල පරිච්ඡේදයක් තුළ උතුම් මාර්ග ඵලාවබෝධය සාක්ෂාත් කොට ගත්හ. එය විඳීම් මාත්‍රයකින් හෝ ලබන්නට පින් මහිමය ලද බුද්ධ ශ්‍රාවකයෙකුගේ උදානයක් රස භාවපූර්ණ ගී පදවැල් ගෙත්තමකට ඇමිනුණු අයුරු ආස්වාදජනක ය.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරණ ලද මුදු වදනක, උන්වහන්සේගේ සදහම් අමා දියෙන් ගලා යන බුදු සිහිලක, උතුම් නිවන් මඟ එළිය කළ නෙතු කැල්මක පිළිසරණය පැතූ අවස්ථා තුනක් ‘සොයා පිළිසරණක්’ යන ගී පද බැඳුම තුළින් ප්‍රතිරාව නංවයි. මැරි මැරී උපනූපන් ආත්ම භවයන්හී දී කොතෙකුත් දෙනා පිරිවරා සිටිය ද තමා අසරණ ව සිටින බව, ආර්ය මාර්ගය සොයා යන්නාට අවබෝධ වූයේ බුදු වදනක ආස්වාදය ලැබීමෙන් පසුව ය. ‘පතා ආවෙමි හිමියනේ’ යන යෙදුම ආරම්භක ගී ඛණ්ඩයේත්, අන්තරා ගී ඛණ්ඩයේත් දෙවරක් යෙදී තිබීමෙන් ඔහුගේ අධිෂ්ඨානය හා පරිශ්‍රමය මනාව පැහැදිලි වෙයි.

සුවහස් යොදුන් ගෙවාගෙන දිවි කතරේ, අඳුරේ ගමන් කරන්නෙකු අපේක්ෂා කරනුයේ බුදු සිසිලසක් හා ආලෝකයකි.

“ගෙවා සුවහස් යොදුන් භව කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ”

තම දීර්ඝ වූ සංසාරයේ ගත කළ ජීවිතය කොතරම් ගොරතර එකක් ද යන්නත්, තමන් මංමුළා වී සැරිසරා ඇත්තේ අන්ධකාරයේ බවත් ඔහුට පසක් වන්නේ බුදු වදනට සවන් දීමෙන් පසුව ය. ඉන් ඔහුගේ සිත නිවී සැනසී ගිය අයුරු ‘පතා ආවෙමි, හිමියනේ… ඔබේ මුදු සිහිලක්’ යන අධිෂ්ඨාන පූර්වක ආයාචනයෙන් හෙළි වෙයි.

බුදු වදනින් බුදු සිසිලක් ලබාගෙන සැනසුණු සත්‍ය ගවේෂකයා, අවසානයේ දහම තුළින් බුදුරජාණන් වහන්සේ දැක ගනී. අනතුරුව උන්වහන්සේගේ මහා කරුණා ගඟුලේ සිහිල් දියෙන් සැනහී සසර දුක නිවාගෙන ඉසිඹුවක් ලබයි.

“මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ…”

‘කරුණා නුවන් දිය ගැඹර’ යන යෙදුම තුළින් ගම්‍ය වනුයේ බුදු නෙතින් හෙළන එක් බැලුමසක් (බැලීම් මාත්‍රයක්) වුව ද සසර දුක් නිවාලීමට සමත් වන බවයි.

සසර කතරේ අතරමං වූවකු පිළිසරණක් සොයා යන ආධ්‍යාත්ම ගවේෂී තේමාවක් රැගත් මෙම ගීතයේ ස්ථායි, අන්තරා සහ සමාප්ති ගී ඛණ්ඩයන් වූ කලී ආර්ය භූමිය හෙවත් ප්‍රඥා ප්‍රාසාදය කරා නැඟ යන හිණිපෙළක් වැන්න. බුදු වදනින් සුපෝෂිත විමුක්ති මාර්ගය සොයා යාම, සිරි සදහම් මඟට පිවිසීම, ඒ මග ඔස්සේ ගමන් කොට දහම් අමා දියරින් සසර ගිනි නිවාගෙන ජීවිතාලෝකය උදාකර ගැනීම යනු ප්‍රඥා ප්‍රාසාදය කරා නගින හිණිපෙළ තුන යි.

“පඤ්ඤා පාසාදමරුය්හ – අසෝකෝ සෝකිනිං පජං”
“ප්‍රඥා ප්‍රාසාදයට නැඟුණු ධීරයා, නිස්සෝකී ව සෝකී ජනයා දෙස මෙත් සිතින් බලයි.”

සංසාරගත දීර්ඝ කථා පුවතක දිග හැරුමක් පාද දොළොසකින් යුත් ගීතයකට කැටි කොට ඉදිරිපත් කිරීම ගීත ප්‍රාතිහාර්යයක් හෙවත් ගී පෙළහරක් වශයෙන් හඳුන්වා දිය හැකි ය.

සටහන – මා(ර්)ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති