“තමන්ට මේ සමාජයේ කෙළින් හිටගන්ට බැරි වුණේ හොඳ ආර්ථිකයක් නැතිකම නිසා යයි තීරණය කළ අපේ ගුරු පරපුරෙන් කොටසක් කළේ අධ්‍යාපන කඩ දමා ගෙන ගණිතය, සත්ව විද්‍යාව, භෞතික විද්‍යාව වැනි ගණන් වැඩි භාණ්ඩ පමණක් නොව සිංහල, බුද්ධාගම වැනි සිල්ලර බඩු ද විකුණන්ට පටන් ගැනීම ය. මේ අධ්‍යාපන වෙළඳාමට අන්තිමේ දී හාමුදුරුවරු ද එකතු වූහ. මේ වනවිට ඇතැම් විශ්වවිද්‍යාල මහාචාර්ය හාමුදුරුවරු ද නගරවල හන්දි ගානේ පෝස්ටර් ගසාගෙන ම වෙළඳාම ඕසෙට කරති.”

මුළු මහත් ගුරු පරපුරේ අභිමානය විනාශ කර දමා ගුරු වෘත්තිය ජාවාරමක් කර ගැනීම පිළිබඳව එසේ සඳහන් කළේ ‘සිංහල ගීතයේ සාහිත්‍ය සමාජ අර්ථ කථනය’ යන මැයෙන් අගනා ග්‍රන්ථයක් රචනා කළ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන් ය. නූතන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පැතිර යන මේ ව්‍යසනයේ තරම දිවයින පුරා මංසන්ධි ගානේ දක්නට ලැබෙන දැවැන්ත බැනර් හා පෝස්ටර්වලින් හෙළි වෙයි. පහත දැක්වෙන්නේ අප ඇස ගැසුණු පෝස්ටර් කිහිපයක දක්නට ලැබුණු වගන්ති කිහිපයකි:

“විසිල් නෑ – බල්ටි නෑ. ගුස්පි නෑ. වැඩ කිඩ විතරයි. අපේ ගණිත පන්තිය”

“උසස් පෙළ ගොඩ යන්න ගොඩ වෙන්න අප රසායන විද්‍යා පන්තියට”

“තද්ධිත – කෘදන්ත – හලන්ත – නලන්ත” (ගුරුවරයාගේ නම)

සිනමා නළුවන්ගේ බඳු විවිධ මාදිලියේ ඡායාරූප ද ඇතුළත් ඉහත වගන්තිවලින් යුත් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ද රූපවාහිනි නාලිකා ඔස්සේ දශලක්ෂ ගණන් මුදල් වැය කොට තම ප්‍රතිරූපය පුම්බා ගනිමින් ද ප්‍රචාර කරන මේ අධ්‍යාපන වෙළෙන්දන්ගේ තරාතිරම කවරේදැයි සොයා බලන්නට කෙනෙකු නොමැති වීම නූතන දරු පරපුරේ මහා අවාසනාවකි. ටියුෂන් කඩවලට යන ඇතැම් දරුවන් කතාබහින් ඇවතුම් පැවතුමින්, විනයෙන් දිනෙන් දින පිරිහෙමින් විවිධ කාමාචාරවලට හසුවී විනාශ වන අයුරු පිළිබඳව තොරතුරුද වරින් වර පුවත්පත්වල පළවෙනු දක්නට ලැබේ. කලකට ඉහත දී පා පැදියක්වත් දක්නට නොලැබුණු ඇතැම් පාසැල් මිදුල් නවීන සුඛෝපභෝගී වාහනවලින් පිරී යනු බලමින් දරුවන්ට ආදරයෙන් සිප්කිරි පොවන තවත් ගුරුවරුන් කොටසක් කරබාගෙන තම උතුම් මෙහෙවර ඉටු කොට සිය නිවෙස් බලා පියමං කරන්නේ මනා සැහැල්ලුවකිනි.

ගෙවී ගිය විසිවැනි සියවසේ අවසන් භාගය (1950-2000) තුළ මෙරට අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන, ඉංජිනේරු, වෛද්‍ය ආදී ක්ෂේත්‍රයන්හි ඉහළ ම තනතුරුවලට පත්ව සිටි ශාස්ත්‍රවන්තයන්ගෙන් වැඩි දෙනෙකු කිසිදු පහසුකමක් නැති ගම් දනව්වල ජීවත් වුණු පවුල්වලින් පැමිණි අය වූහ. මාර්ග, ගමනාගමන, විදුලිය, පුස්තකාල, සන්නිවේදන ක්‍රම ආදී පහසුකම් කිසිවක් නොමැති ප්‍රදේශවල පිහිටි පාසැල්වල ඉගෙනගත් ඔවුන් අධ්‍යාපනය ලැබුවේ, තම ඉගැන්නුම් මෙහෙවර දේවකාරියක් සේ සැලකූ ගුරු දෙවිවරුන්ගෙනි. එක්දහස් නවසිය හතළිය-පනහ දශකයන්හි අපට සිප් සතර කියා දුන් ඒ අභිෂ්ට ගුරු රූපකායන් මේ ලියන මොහොතේ දී ද මට මැවී පෙනෙයි. පටු මංමාවත් දිගේ සැතපුම් ගණන් පයින් ඇවිදගෙන පාසැලට ආ ගිය ඒ මහා ගුරු පරපුර සිසු දරුවන්ගෙන් පමණක් නොව මුළු ගම්වාසීන්ගෙන් ම පිදුම් ලැබූහ. ඒ ගුරු දෙවිවරු හරි හම්බ කළ ධනය වූ කලී විෂය දැනුමෙන්, සාහිත්‍ය කලා ආදියෙන් පෙර කී ශික්ෂණය ලද ශාස්ත්‍රවන්තයන්ගේ පරපුරක් බිහි කිරීමේ අභිමානය යි. එක්තරා පාසැලක සාහිත්‍ය දේශනයකට ගිය අවස්ථාවේ එහි ගුරු කාමරයේ පුවරුවක ලියා තිබී මගේ ඇස ගැසුණු කවියක් මෙහි දී මට මතක් වෙයි:

“දෙවියන් ළඟින් සමසුන් කොට තැබිය හැකී
උත්තමයකු වෙතොත් ගුණ පූරණය රැකී
ඒ ගුරුතුමා පමණයි දුන්මි
හිරි වැකී
එතුමා දිවැස් නැති මුත්ජී
විතය දකී.

එම වටිනා කවිය ද සිහිපත් කරවන මෙම නිබන්ධයට නිමිත්ත වූයේ තම ගුරු වෘත්තික ජීවිත කාලය තුළ මිල මුදල් නොව වටිනා දරු පරපුරක් හරි හම්බ කොට දැයට දායාද කළ, විශ්‍රාම ගිය පසුත් ජීවිතය හදාරන උතුම් ගුරු පියකු අරභයා ලියැවුණු ‘අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ’ නමැති ගීතය යි. එම ගීතය රචනා කරන ලද්දේ ගුරුවරයෙකු, කවියෙකු මෙන්ම ප්‍රවීණ ගී පද රචකයෙකු ද වන මහින්ද චන්ද්‍රසේකරයන් විසිනි. විශාරද සුනිල් එදිරිසිංහයන් ගයන එම ගීතයට සංගීතය සපයන ලද්දේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසිනි.

ගී පද රචනයට නිමිත්ත වූ ගුරුතුමා පිළිබඳව මහින්ද චන්ද්‍රසේකරයන්ගේ බසට අප සිත් යොමු කළ යුත්තේ පැරණි ගුරු පරපුරේ නිස්සරණාධ්‍යාශ මෙහෙවර ඉන් අනාවරණය වන හෙයිනි:

“මම තුනේ පන්තියේ සිටිද්දී අපේ ඉස්කෝලෙ මුල් ගුරුතුමා විශ්‍රාම ගිය දවස මට මතකයි. එදා අහල ගම් හතක මිනිස්සු ඇවිත් හඬා වැළපුණා. මුල් ගුරුතුමා ඉස්කෝලෙට ආවේ සැතපුම් දොළහක් පමණ ඈත ගමක ඉඳල බයිසිකලේ පැදගෙන. වතුර ගලල මහවැව වාන් දමනකොට ඒදණ්ඩ කඩාගෙන ගිය ඔයට බැහැල පීනගෙන ඉස්කෝලෙට ඇවිත් උගන්නපු ගුරුවරයෙක් එතුමා.

ඉන්පසු කාලයක, එනම් අසූව දශකය මුල දී මම ගුරු පත්වීමක් ලැබිල අම්පාර දිස්ත්‍රික්කයේ ඈත කොණේ පානම මහා විද්‍යාලයට ගියා. එක දවසක් හැන්දෑවේ අපි බුදු මැදුර ළඟ වාඩිවෙලා ඉන්නවා. කවුදෝ වයසක මනුස්සයෙක් සරමක් හැඳ බෑග් එකක් එල්ලගෙන ඉස්කෝලේ ඇතුළට එනවා. අපි හිතුවේ තෙල් බේත් වෙළෙන්දෙක් කියල. පස්සෙ බැලුවම දඬුවම් මාරුවකට එවපු ගුරුවරයෙක්. එතුමා ඇවිදින පුස්තකාලයක්. අපි හැමෝම එයාට කිව්වේ ලොකු සර් කියලා. ලොකු සර් කැමති නෑ මාරුව ගැන කතා කරන්න. ලොකු සර් එයාගේ කතාව පසුව මට කිව්වා. එදා හිටපු උප ඇමති කෙනෙක් තමාගේ ගෝලයකු බවත්, ඔහුවත් මේ ස්ථාන මාරුව අවලංගු නොකළ බවත් කියනකොටම ලොකු සර්ගෙ කටහඬ බිඳුණා. ලොකු සර් එක්ක පානම වෙරලෙ වැලි පාරෙ ඇවිදගෙන එන ගමන් මගේ හිතේ පද පේළියක් ඇඳුණා. ඊට පස්සෙ ගංවතුරෙ පීනාගෙන ආ අපේ මුල් ගුරුතුමා සිහිපත් වුණා. ඒ අනුව තමයි මේ ගීතය ලියැවුණේ.”

(2021-11-21 අරුණ පුවත්පත)

“පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයන්
උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සාමා අමර විකුණති බස්
පොළේ කජූ
කුමාරෝද පිටු දන් දෙති
එයින මතූ
උගත මනා ශිල්පය පිල්
කඩ නොපැතූ
වේවැල වටා ඉකි බිඳ
දඬුවමක් පැතූ
රන්මසු පටපිළී අබරණ
උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි
මිලින වෙලා
ගුරු නිවහනේ කඳුළට
උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු
සිතුවමක් වෙලා”

ලාභාපේක්ෂාවෙන් තොරව දරුවන් නිසි මඟ යවන්නට පැරණි යුගයේ ගුරුවරයන් ගත් වෙහෙස මේ ගීතයේ ස්ථායි ගායන ඛණ්ඩයේ මුල් දෙපාදයෙන් කියැවෙයි. වැහි කාලයේ මඩ කඩිති ද වැව් තාවුලු ද ඔස්සේ ඇවිදගෙන දුක් ගැහැට විඳ ගුරුතුමා පාසැලට පැමිණියේ දුක සේ ය. ඒ, දරුවන්ට මඟ නොවැටී, ඉගෙනුම කඩාකප්පල් කර නොගෙන සමාජයේ ඉහළට ගමන් කිරීමට මඟ කියා දෙන්ට ය. එතුමා සිප්කිරි පෙවූ දරුවන් අද ඉන්නේ සමාජයේ ඉහළ තැන්වල ය. එසේ වුව ද ගුරුතුමා වෙනස් වී නැත. ඔහු තවමත් උගෙනිමින් සිටියි. අතීත ගුරුපරපුරේ අභිමානය කවියා ඉදිරිපත් කළ ආකාරය ප්‍රශස්ත ය. පිටු ගණනකින් කිය හැකි දිවි අරුතක් ‘අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ’ යන ගී පාදයෙන් ගම්‍ය වෙයි. මුළු මහත් සමාජ ක්‍රමය ම, අධ්‍යාපන ක්‍රමය ම එය මෙහෙයවන්නවුන්ගේ වරදින් පසුගිය අඩ සියවසක කාලයක් තුළ උඩුයටිකුරු වී ගියේ ය. පොතට වැඳ අතට ගෙන පාඩම් කියවා ආපසු වැඳ එය නියමිත තැන තබන දරුවන් අද සිටින්නේ ද යනු විමතියකි. පාඩම් කළ පරණ පොත් සුරැකිව තබා මතු පරපුරට දෙනු වෙනුවට පරණ පත්තර මෙන් කඩවලට විකුණා දමන යුගයකි අප අද පසු කරමින් සිටින්නේ. ඒ පොත්වල පිටු රටකජු ගොටු සමඟ ආපසු නිවසටම ලැබෙයි. අධ්‍යාපනය අද පිල්කඩවල ලගින තත්ත්වයට පත්ව ඇත.

“උගතමනා ශිල්පය පිල්කඩ     නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක්      පැතූ”

දරු පරපුර මතු රකිනා උගතමනා ශිල්පය හඬ ගා පවසන්නේ මේ ව්‍යසනය වහා තුරන් කළ යුතු බව නොවේ ද?

“රන්මසු පට පිළී අබරණ උරණ      වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින     වෙලා”

ගුරුතුමා සිය ජීවිත කාලයෙන් උපයාගත් සම්පත වූ කලී ඔහුගෙන් ඉගෙන සමාජයේ ඉහළ තැන්වල වැජඹෙන ගෝල පිරිසයි. ඔහු නොතකන එපිරිස හැර වෙනත් භෞතික සම්පතක් ඔහු සතුව නැත.

ඔහුගේ දියණියට දෑවැදි දෙන්නට මිල මුදල් අබරණ නොමැත. එහෙයින් ඇය ගෙතුළට වී මිලිනව සිටින්නී ය.

“ගුරු නිවහනේ කඳුළට උල්පතක්       වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා”

තමන් පසුපස සෙවණැල්ලක් මෙන් ආ ගිය ලොකුහාමිනේද ඔවුන් කෙරෙන් වෙන්ව ගොසිනි. බිත්තියෙහි එල්ලෙමින් තිබෙන ඇගේ පින්තූරය දකින හැම මොහොතක ම ඔවුන්ගේ දෙනෙත් කඳුළින් තෙමී යයි.

රජරට නුවර කලාවියේ ගම්තුලානවල අකුරු කරන සමයේ ලද අත්දැකීමකුත්, රෝහණ රාජධානියේ පානම් පත්තුවේ විදුහලක ගුරුවරයකු වශයෙන් සේවය කරන සමයේ ලද අත්දැකීමත් අලලා මහින්ද චන්ද්‍රසේකරයන් ලියූ මෙම අපූරු ගී පදවැල් ගැමි වහරද පුර වහර ද සංකලනයෙන් දෙයුගයක අත්දැකීම් හා මුසු වෙමින් ශ්‍රාවක අධ්‍යාත්මය සසල කරවන ආකාරය අපූරුය. අතීත උරුමය අකාමකා දමන නූතන ගිරා පෝතක අධ්‍යාපනයේ දුර්විපාකත්, සිය දිවි මඟ දරුවන්ගේ  නුවණ කැකුළු පොබයන්ට නිස්සරණාධ්‍යාශයෙන් කැප කළ පැරණි ගුරු පරපුරේ ශෝචනීය ඉරණමත් ගී පදවැල් සොළොසකින් ඉදිරිපත් කිරීම ම ප්‍රාතිහාර්යයක් නොවන්නේ ද?
සටහන – දයාපාල ජයනෙත්ති.