මේ මහා භද්‍ර කල්පයේ පහළ වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප,ගෞතම යන සිව් බුදුරජාණන් වහන්සේලාගේ සම්බුද්ධ පාද ස්පර්ශයෙන් සුපූජිත වූ, එම බුදුරජාණන් වහන්සේලාගේ ම සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් වූ උත්තම පුණ්‍ය භූමියක් වේ ද එය ස්වර්ණමාලි මහා සෑ පින්බිම යි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා දරා වැඩසිටින ජීවමාන ශාස්තෘන් වහන්සේ බඳු ස්වර්ණමාලී මහා සෑය පිළිබඳ සුවිශේෂී බුද්ධ අධිෂ්ඨානයක් ද ඇත්තේ ය. එනම්, “ලංකාදීපයට මහත් අලංකාරයක් වූ ස්වර්ණමාලි මහා චෛත්‍යයේ ද්‍රෝණයක් පමණ වූ මාගේ නිර්මල ධාතූන් වහන්සේලා පිහිටන කල්හි තථාගතයන් වහන්සේගේ ජීවමාන වේශය ගෙන අහසට පැන නැගී වැඩ සිට යමා මහා ප්‍රාතිහාර්යය දැක්වීමෙන් පසු ඒ ධාතූන් වහන්සේලා මහා සෑයෙහි පිහිටත්වා” කියා ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් වනයෙහි දී පිරිනිවන් පෑම පිණිස සැතපී සිටිය දී ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් ලොවට යහපත සැලසීම ගැන සක් දෙවිඳුන් හට මෙසේ වදාළ සේක.

“දේවේන්ද්‍රයෙනි, මාගේ ශාරීරික ධාතු ද්‍රෝණ අටක් ලැබෙනු ඇත. එයින් එක් ද්‍රෝණයක් රාම ගමෙහි කෝලියවරුන් විසින් පූජා පවත්වනු ලබන්නේ ය. එතනින් නාග ලෝකයට ගෙන ගොස් නාගයින් විසින් ඒ ධාතූන්ට පුද සත්කාර කරනු ලබන්නේ ය. ඉන්පසු ලංකාදීපයෙහි ස්වර්ණමාලී නමින් ඉදිවන මහා ස්ථූපයෙහි නිදන්ගත වන්නේ ය” යනුවෙනි.

මහා ප්‍රඥාවෙන් යුක්ත වූ, අනාගතයෙහි සිදුවෙන දේ පැහැදිලිව දකින්නා වූ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ද්‍රෝණයක් වූ ධාතූන් වහන්සේලා රාම ගමෙහිම වඩා හිඳවූහ.

එසේම, ලංකාදීපය තුනුරුවන් කෙරෙහි පැහැදවූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට මෙසේ පැවසූ සේක. “මහරජුනි, ඔබගේ මුණුපුරෙකු වන දුටුගැමුණු නමැති මහා පින්වත් රජු අනාගතයෙහි ඉතා මනරම් වූ ස්වර්ණමාලි නම් මහා ස්ථූපයක් එක්සිය විසි රියනක් උසට කරවන්නේ ය” කියා ය. ඒ විස්මිත අනාවැකි එලෙසින්ම සඵල වූයේ ආශ්චර්යවත් අයුරිනි.

ස්වර්ණමාලි මහා සෑයේ උතුම් ධාතු ගර්භයේ සියලු කටයුතු භාරව වැඩ සිටි ෂඩ් අභිඤ්ඤාලාභී, මහා නුවණැති ඉන්දගුප්ත මහරහතන් වහන්සේ සියල්ල මැනවින් සම්පූර්ණ කළ සේක. ධාතු ගර්භයේ සියලු නිර්මාණ, පුද පූජා ද්‍රව්‍යයන් ආදී සෑම දෙයක් ම මහා පින් ඇති අපගේ දුටුගැමුණු රජුගේ රාජ ඉර්ධියෙනුත්, දෙවියන්ගේ දිව්‍ය ඉර්ධියෙනුත්, රහතන් වහන්සේලාගේ අරහත් ඉර්ධියෙනුත් කිසි බාධාවකින් තොරව සම්පූර්ණත්වයට පත් විය.

ධාතූන් වහන්සේලා වැඩමවාගෙන එන කටයුත්ත සංඝයා විසින් පූජා පිරිවෙන්වාසි සෝණුත්තර නම් ෂඩ් අභිඤ්ඤාලාභී රහතන් වහන්සේට පවරනු ලැබිණ. මහාකාල නා රජුගේ භවනට වැඩම කළ සෝණුත්තර තෙරණුවෝ නා ලොව මහත් පුද සත්කාර මැද වැඩ සිටි සර්වඥ ධාතූන් වහන්සේලා ඉර්ධියෙන් රැගෙන මනුලොවට වැඩම කළේ නා රජුට මෙසේ පවසමිනි. “නා රජුනේ, චතුරාර්ය සත්‍යාවබෝධය නාග ලෝකයෙහි ඇති දෙයක් නොවේ. සත්‍යාවබෝධ කළ ජනයා සිටින තැනකට ධාතූන් වහන්සේලා වැඩමවාගෙන යාම අයුතු දෙයක් නොවේ. ලෝකයට තථාගතයන් වහන්සේලා පහළ වන්නේ දෙවි මිනිසුන් සංසාර දුකින් මිදවීම පිණිසයි. බුදුරජාණන් වහන්සේගේ අදහස වූයේ ලංකාදීපයේ ඉදිවන මහා සෑයෙහි ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා නිදන් කරවීම ය. එනිසා අපි ධාතූන් වහන්සේලා රැගෙන යන්නෙමු.” සක්දෙවිඳු මැණික් ආසනයකුත්, රන් කරඬුවකුත් රැගෙන දෙවියන් පිරිවරාගෙන පැමිණ සෝණුත්තර තෙරුන් පොළොවෙන් මතු වූ තැන විස්කම් දෙවි පුතු ලවා සුන්දර රුවන් මණ්ඩපයක් කරවා එහි ආසනය තැන්පත් කළේ ය. සෝණුත්තර අරහත් මුනිඳුන් වඩමවාගෙන ආ ධාතු කරඬුව සියතින් ම පිළිගත් සක්දෙවිඳු තමන් ගෙනා රන් කරඬුවේ එය තැන්පත් කොට උතුම් ආසනයෙහි වඩා හිඳුවී ය. ඉන්පසු දුටුගැමුණු රජතුමා ධාතු කරඬුව හිස මත තබාගෙන ධාතු ගර්භයට පිවිසෙද්දී, කරඬුව ඉබේ ම විවෘත වී ධාතූන් වහන්සේලා අහසට වැඩම කොට මහා පුරුෂ ලක්ෂණයෙන්, අසූවක් අනුව්‍යංජනයෙන් බැබළෙන බුදුරජාණන් වහන්සේගේ ස්වරූපයක් ගත්තේ ය. ගන්ඪබ්බ රුක් මුල යමක මහා ප්‍රාතිහාර්ය දැක්වූ අපගේ බුදුරජාණන් වහන්සේ ලෙසින්ම ඒ සර්වඥ ධාතූන් වහන්සේලා සම්බුද්ධ අධිෂ්ඨානය පරිදි අහස් තලයෙහි යමා මහා පෙළහර දක්වා වදාළහ. ඒ පෙළහර දැකීමෙන් බුද්ධානුස්සතිය වඩා එකඟ සිතැතිව එහි සිටි දෙව් මිනිසුන් දොළොස් කෝටියක් අරහත් ඵලයට පත් විය. අනතුරුව අහසින් පහළට වැඩි ධාතු කරඬුව රජුගේ හිස මත පිහිටි අතර කරඬුව විවෘත කොට ඒ ධාතූන් වහන්සේලා ගත් රජතුමා උතුම් ධාතූන් වහන්සේලා සයනයෙහි වඩා හිඳුවීම සිදු කරද්දී ධාතූන් වහන්සේලා ද එදා අපගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී සිටි ආකාරයෙන් ම පෙනී සිටිමින් උතුම් සයනයෙහි සැතපී වැතිර වදාළහ. එතැන් පටන් දිව්‍ය-බ්‍රහ්මයෝ ද නාගයෝ ද රජවරු ප්‍රධාන අපමණ මිනිසුන් ද ස්වර්ණමාලි මහා සෑයට අපමණ පුද පූජා පැවැත්වූහ. මහත් වූ සැදැහැ සිතින් වන්දනාමාන කළහ.

පරසතුරු උවදුරු නිසා අනුරාධපුරය අත්හැර පොළොන්නරුව ලක්දිව අගනුවර කර ගත් පසු මහා සෑයට කෙරුණ වන්දනාමාන පුද පූජා ආදිය ක්‍රමයෙන් අඩු වී ගියේ ය. පොළොන්නරු යුගයේ ප්‍රතාපවත් මහා පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවේ අභිනව සොළොස්මස්ථානයක් තැනවූ අතර, රුවන්වැලි මහා සෑය ආදී අනුරාධපුර අටමස්ථානය ප්‍රතිසංස්කරණය කොට නොයෙකුත් ආකාරයෙන් අසිරිමත් පුද පූජා පවත්වන ලද්දේ ය. මේ වනාහි අවසන් වරට කරන ලද සම්පූර්ණ ප්‍රතිසංස්කරණය යි.
මෙතැන් සිට ලක්දිව දෙමළ බලය අධික විය. සිංහල රජවරු රජරට අතහැර මායාරටට සංක්‍රමණය වූහ. කුරුණෑගල, දඹදෙණිය, ගම්පළ, කෝට්ටේ, නුවර ආදී වශයෙන් රාජධානි මාරුවෙමින් රජ පරපුර නිරිත දිගට සංක්‍රමණය වෙද්දී ස්වර්ණමාලී මහා චෛත්‍යය ආදී සිද්ධස්ථාන වල් බිහි වී ගියහ. පරසතුරන් විසින් බිඳ හෙළා වටිනා වස්තුව ද පැහැර ගන්නා ලදී. ස්වර්ණමාලී මහා සෑය ද විශාල ගස් වැවුණු පස් කන්දක් බවට පත් විය. විශේෂයෙන් ම කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසු මිනිස් වාසයෙන් තොර වී පුද පූජාවන්ගෙන් බැහැරව වසර අටසියයක පමණ කාලයක් අනුරාධපුර පුණ්‍යභූමි එසේ පැවතියේ ය. ලන්දේසි-පෘතුගීසි- ඉංග්‍රීසි පාලන යුගවල දී ද අනුරාධපුර පැරණි රාජධානි ගැන වැඩි සැලකිල්ලක් දක්වා නැත.

මේ අතර බි්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයේ හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරතුමාගේ යුගය උදා විය. එකල ගම්පළ නාරංවිට ගම්මානයේ විසූ රත්නායක කෝරළේ මහතාගේ මුණුබුරෙකු ගල්ලන්ගොල්ලේ ආරණ්‍ය සේනාසනයේ විසූ අත්ථදස්සී නම් මහ තෙරුන් වහන්සේ ළඟ පැවිදිව විසුයේ ය. නාරංවිට සුමනසාර නම් වූ උන්වහන්සේ ධෛර්යවත්, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න භික්ෂුවක් බව කුඩා අවදියේ ම ප්‍රකට විය. මේ අතර අත්ථදස්සී මහතෙරුන් වහන්සේ ප්‍රමුඛ සැදැහැති ගිහි- පැවිදි පිරිසක් අනුරාධපුර අටමස්ථානය වන්දනා කිරීමට ගිය අතර යට කී සුමනසාරයන් වහන්සේ ද ඒ පිරිසට අයත් විය. එකල අටමස්ථාන වන්දනාවට යා යුත්තේ පා ගමනින් වන අතර එය ඉතා දුෂ්කර සහ වෙහෙසකර ගමනක් විය. මේ සැදැහැති පිරිස අනුරාධපුරයට පැමිණ කිහිප දිනක් නැවතී කැලෑවෙන් වැසී තිබුණු සිද්ධස්ථාන සංවේගයෙන් නමුත් සැදැහැ සිතින් වැඳපුදා ගත්හ. ස්වර්ණමාලී චෛත්‍යරාජයා වන්දනා කරද්දී එහි ශාසනික වටිනාකමත්, ඉතිහාස කතාවත් මහා ස්ථවිරයන් වහන්සේ පහදා දුන් පසු සුමනසාර සාමණේරයන් වහන්සේ කොතරම් ප්‍රමුදිත වී ද යත් ‘දිවි තිබෙන තුරාවට වීරිය කොට මම මේ චෛත්‍යරාජයා ප්‍රතිසංස්කරණය කරන්නෙමි’ යයි බලවත් අධිෂ්ඨානයක් ඇති කරගෙන සිය ගුරු දේවයන් වහන්සේට ඒ බව කියා සිටියේ ය. සම්‍යයක් වීර්යට බාධා කිරීමට අසතුටු වූ අත්ථදස්සී ස්ථවිරයන් වහන්සේ ද ඊට හදවතින්ම ආශීර්වාද කරමින් කැමැත්ත දුන් සේක. යටත්විජිත යුගයේ කාත් කවුරුත් නොමැතිව වනාන්තරගත ව තිබූ මහ සෑය ප්‍රතිසංස්කරණය කිරීමට සිතීම තුළ නාරංවිට සුමනසාර හිමියන්ගේ චිත්ත ධෛර්යයත්, අධිෂ්ඨානශීලී බවත් , ශ්‍රද්ධා-භක්තියත් කෙතරම් දැයි කියා සිතාගත හැකි ය. සැබවින්ම උන්වහන්සේ මනුලොව උපත ලබා සසුන්ගත වූයේ මේ මහා ශාසනික මෙහෙවර ඉටු කරලීම පිණිස ම යැයි සිතේ..

කලින් පැමිණි වන්දනා පිරිසක් අත්හැර දමා තිබූ බර කරත්ත අඹරාවක් ලැගුම් ගෙය කරගෙන සුමනසාර ස්වාමීන් වහන්සේ තවත් දෙතුන් දෙනෙකුත් සමඟ අනුරාධපුරයේ නතර වූහ. ගල්ලන්ගොල්ලේ අත්ථදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගම්පළින් ගිය වන්දනා නඩය පෙරලා පැමිණි අතර සුමනසාර ස්වාමීන් වහන්සේට මාස්පතා ආධාර මුදලක් එවනු ලැබිණ. එවකට කුඩා ගම්මානයක් මෙන් පැවති අනුරාධපුරයෙන් ලබා ගන්නා මෙහෙකරුවනුත් සමඟ සුමනසාරයන් වහන්සේ මහා සෑයේ දකුණු පස ගස් ඉවත් කරමින් එළිපෙහෙළි කරන්නට පටන් ගත්හ. ලක් ඉතිහාසය හොඳින් හැදෑරූ හෙන්රි ග්‍රෙගරි නම් එවකට ආණ්ඩුකාරතුමා ඇතුළු පිරිසක් අනුරාධපුරයට පැමිණි විට එය දැක මවිත වී මෙසේ ඇසුවේය. “ඔබ වහන්සේ මේ මොකක්ද කරන්නේ?” “අපි අපේ සෑ රජුන් පිළිසකර කරනවා” යැයි සුමනසාර හිමියෝ පිළිතුරු දුන්හ. “මහ සෑය තියා මළුවේ දකුණු පැත්ත පිළිසකර කිරීමටවත් ඔබ වහන්සේට තව හය වතාවක් මැරී උපදින්නට වේවි” යැයි ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා පැවසීය.

එම ප්‍රකාශයත් සමඟ වඩාත් ධෛර්යවත් වූ උන්වහන්සේ වසර දෙකකින් මහ සෑ මළුවේ සිව්දිසාවම එළිපෙහෙළි කරවන ලදහ. ඉන් මතු වූ සෑයේ පේසා වළලු තුන, මල් ආසන ආදිය දැක බලවත් ප්‍රීතියෙන් චෛත්‍යය කර්මය ආරම්භ කරන ලදී. ශ්‍රී බු. ව. 2416 බක් මස පුරපසළොස්වක දින (ව්‍ය. ව. 1872) මහ සෑයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කරන බව නුවර-ගම්පළ ආදී පළාත්වල ප්‍රසිද්ධ කළ විට බොහෝ ගිහි-පැවිදි පිරිස් පැමිණියහ. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ බෑණා වන සූර්ය කුමාරයාගේ පරපුරෙන් පැවත එන, නුවර වැව බුලන්කුලමේ මහබණ්ඩාර මැතිඳුන්ගේ මැතිනියවූ (බුලන්කුලමේ දිසාපතිතුමාගේ මිත්තනිය) ඕවිල්ලේ ටිකිරි කුමාරි මැතිනිය විසින් මහා සංඝරත්නයේ සෙත්-පිරිත් සජ්ඣායනා මැද මහාසෑයේ ප්‍රතිසංස්කරණය උදෙසා මංගල ශිලා ප්‍රතිස්ථාපනය සිදු කරන ලදී. ඒ ශ්‍රද්ධාවන්ත උතුමිය සභාවේ දී මහා චෛත්‍යය උදෙසා මුදලින් රුපියල් දාහක් ද (එකල විශාල මුදලකි) ආහාර පූජාව සඳහා සාරවත් කුඹුරක් ද පරිත්‍යාග කළා ය.

මහ සෑ ප්‍රතිසංස්කරණයත් සමඟම අනුරාධපුරය එළිපෙහෙළි වී උතුරුමැද පළාතේ ප්‍රධාන නගරය බවට ද පත් විය.
වසර දෙකකට පසු ලංකාණ්ඩුකාර හෙන්රි ග්‍රෙගරි මහතා අනුරාධපුරයට පැමිණ, නාරංවිට සුමනසාරයන් වහන්සේ සිදුකොට ඇති සුවිශාල කර්තව්‍යය දැක මවිත වී රන් පවුම් සියයක් හෙවත් රුපියල් එක්දහස් පන්සියයක් පරිත්‍යාග කළේ මෙවන් සටහනක් ද තබමිනි.

වර්ෂ 1876 ක් වූ පෙබරවාරි මස 15 දින අනුරාධපුරයේ දී ය.

“රුවන්වැලි දාගැබ වෙත මම පැමිණියෙමි. එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නාරංවිට සුමනසාර උන්නාන්සේ විසින් කරවා තිබෙන වැඩ ප්‍රමාණය දැක අතිශයින් ම පුදුම වීමි. වසර තුනකට ප්‍රථම එය ගඩොල් ගොඩැල්ලක් මෙන් පෙනිණි. දැන් වනාහි එහි කැලේ එළි කර තුන්මාල් පේසාවේ වැඩි කොටසක් අලුත්වැඩියා කර තිබේ. නාරංවිට සුමනසාර උන්නාන්සේගේ දෘඩතර වීර්යය ලක්වැසි ස්වදේශ සමූහයා උතුම් කොට සලකා උන්වහන්සේට ආධාර දෙනවා ඇතැ’යි මම විශ්වාස කරමි. මේ වැඩේට මම සම්මාදම් දුනිමි. එසේ කළේ ආගමානුකූල ගොඩනැගිල්ලක් මෙන් සලකා නොව (සිංහල) ජාතිය සිහිපත් වීමට හේතු වූ අනගි ගොඩනැගිල්ලක් මෙන් සලකාගෙන බව දත යුතු ය. මේ දාගැබ වනාහි පුරාතන සිංහලයන්ගේ උසස් ශිල්ප ශාස්ත්‍ර දැනීමේ උතුම් ප්‍රතිඵලයක් මෙන්ද ලක්දිව රාජාභිෂේකය ගත් ඉතා බලසම්පන්න ශ්‍රේෂ්ඨ රජතුමා සිහිපත් වීමේ ලකුණක් මෙන් ද පවතියි”

ඩබ්. එච්. ග්‍රෙගරි ලංකාණ්ඩුකාර.

ඉන්පසු චෛත්‍යය කර්මාන්තයට නදී ගලන්නා සේ ආධාර උපකාර ගලා ආවේ ය. සුමනසාරයන් වහන්සේ වරක් බුරුම රටට ද වැඩම කොට විශාල අරමුදලක් සම්මාදම් ලෙස ලබාගන්නට සමත් වූහ. ව්‍ය. ව. 1903 වසරේ දී අනුරාධපුරයට දුම්රිය මාර්ගයක් ද තැනවූ හෙයින් වෙසක්, පොසොන්, ඇසළ සමයේ දී විසි තිස් දහස් ගණන් වන්දනාකරුවන් එහි පැමිණියහ. තවද 1902 වසරේ නිකිණි මස දී බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතාගේ සභාපතීත්වයෙන් ‘ස්වර්ණමාලී මහා චෛත්‍යය වර්ධන සමිතිය’ ආරම්භ කරන ලදී. එතැන් සිට සුමනසාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් චෛත්‍යය වර්ධන සමිතිය මගින් චෛත්‍යය කර්මාන්තය කෙරුණි. වර්ෂ 1911 දෙසැම්බර් මස දී දැඩි වර්ෂාව පවතිද්දී මහාසෑයේ ප්‍රතිසංස්කරණ බැම්ම සම්පූර්ණයෙන්ම කඩා වැටුනේ අනපේක්ෂිත ලෙස ය. තිස්අට වසරක් මුළුල්ලේ රුපියල් විසිලක්ෂයකට වඩා වියදම් කොට අපමණ වෙහෙස ගෙන කරන ලද ප්‍රතිසංස්කරණය එසේ කඩා වැටුණ නමුත් සුමනසාර හිමියන් සහ සමිතිය කිසිසේත්ම අධෛර්යයට පත් වූයේ නැත. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්ෂ, පලපුරුදු ඉංජිනේරුවන්ගේ ද ඉදිකිරීම් ශිල්පීන්ගේ ද උපදෙස් සහ මඟ පෙන්වීම් ඇතිව නැවතත් මහසෑයේ වැඩ ආරම්භ කරන ලදී. මීගමුව ප්‍රදේශයේ ඇවරිවත්ත නම් ගමේ ප්‍රධානියකු වූ රන්සිරිනෙල් පෙරේරා කුමාරසිංහ වෛද්‍යාචාර්යතුමා චෛත්‍යය සංවර්ධන සමාගමේ සභාපතිත්වය භාර ගත්තේ ය. එතුමා සිය පුද්ගලික ධනයෙන් රුපියල් පනස්දහසක් මහසෑය උදෙසා පරිත්‍යාග කරන්නට යෙදුණි. එමෙන්ම දකුණු පළාතේ අකුරැස්සේ හේනේගම සිටුගේ දොන් හෙන්ද්‍රික් ද සිල්වා රාළහාමි රුපියල් දෙලක්ෂ පනස්දහසක් චෛත්‍යය කර්මාන්තයට පරිත්‍යාග කළේ ය. සිංහල රජවරුන්ගෙන් පසු මෙතරම් විශාල ධනයක් පුණ්‍යකර්මයක් සඳහා පරිත්‍යාග කළ පළමු පින්වතා මෙම රාළහාමි මහතා බව සඳහන් කරන්නේ ඔහුට සැබෑම වූ ගෞරවය හිමිකර දීම පිණිස ය.

රුපියල් දසදහස් ගණනක් ද අනෙකුත් ආධාර ද ලැබීම නිසා, රුපියල් හතලිස් ලක්ෂයකට වඩා වියදම් කිරීමෙන් අභිනව ප්‍රතිසංස්කරණ කටයුතු නිමා විය. ශ්‍රී බුද්ධ වර්ෂ 2476 (1932) උඳුවප් මස ස්වර්ණමාලී මහා සෑයේ සතරැස් කොටුවේ පූජනීය වස්තු නිදන් පුණ්‍යෝත්සවය පවත්වන ලදී. මෙම උත්තම පින්කම සඳහා ලක්දිව සිව්දෙසින් ලක්ෂ තුනකට වැඩි ජනකායක් අනුරාධපුරයට පැමිණියහ.

ඉන් පසු කොත්කැරැල්ල දක්වා බැඳ සමාප්ත කොට කොත් පැලඳවීමේ උත්සවය පවත්වන ලදී. මහ සෑයට පැලඳවූ කොත් වහන්සේ රුපියල් 36,800ක් වියදම් කොට වෝකර් සහ පුත්‍ර සමාගමේ කර්මාන්ත ශාලාවේ දී වාත්තු කරන ලදී. එහි රත්තරන් ආලේප කිරීම සඳහා තවත් රුපියල් 50,000ක් වැය කරන ලද්දේය. කොත් කැරැල්ලේ මුදුනට සවි කළ වජ්‍ර මාණික්‍යය රුපියල් ලක්ෂයක් අගනේ ය. එම වටිනා මාණික්‍යය බුරුමයේ විනයාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුරුම රට බෞද්ධයන් ලවා පූජා කරවන ලද්දකි.

අවිද්‍යා අන්ධකාරය නසා ප්‍රඥාවෙන් යුක්ත වූ, ලෝකයෙහි උත්තම වූ, දෙව් මිනිසුන් අතර අතිශයින් පිදීමට යෝග්‍ය වූ අපගේ සුගත වූ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී උන්වහන්සේට වන්දනා කිරීමෙන් රැස්වන යම් පිනක් ඇත් ද ඒ පිනත්, ජනතාවගේ හිතසුව පිණිස උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ඉතිරි වූ ධාතූන් වහන්සේලා පිහිටි ස්වර්ණමාලි මහා සෑය වැනි ස්ථූප පිදීමෙන් රැස් කරන්නා වූ යම් පිනක් ඇත් ද ඒ පිනත් පුණ්‍යානුභාවයෙන් එක සමාන ය. එනිසා, ශ්‍රද්ධා ගුණධර්මයෙන් යුතු තැනැත්තා ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන සෙයින් ධාතූන් වහන්සේලාට පුද පූජා පැවැත්විය යුත්තේ ය. අපමණ සැදැහැ සිතින් ශාසනික උරුමය ලැබ ස්වර්ණමාලි මහා සෑ රදුන් ඉදි කළ දුටුගැමුණු රජුට අපගේ උත්තමාචාරය වේවා! මහත් වූ චිත්ත ධෛර්යයෙන්, බුද්ධාලම්භන ප්‍රීතියෙන් මෑත භාගයේ මහා සෑය ප්‍රතිසංස්කරණය කළ නාරංවිට සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා!