මානවයා ශිෂ්ටාචාරයට පා තැබූ අවධියේ සිට ආධ්‍යාත්ම ගුණධර්ම පෝෂණයෙන් සිය දිවි පෙවෙත යහමගට යොමු කොටගත් ජාතීන් අතර සිංහල ජාතිය උසස් තැනක පවත්නා බව පැවසීම අතිශයෝක්තියක් නො වේ. සිය දේශයේ හා ජාතියේ ස්වායක්ත භාවය රැකගෙන සිටි ලොව ඉපැරණි ශිෂ්ටාචාර නැසී වැනසී ගියේ අධිරාජ්‍යවාදී ධන වැද්දන්ගේ ආක්‍රමණ හා සැහැසි ක්‍රියා හේතුකොටගෙන ය. උතුරු ඇමෙරිකානු ගෝත්‍රික නායකයකු වූ සියැටල් නම් ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියා සිය මාතෘභූමිය පිළිබඳ ව පළ කළ ඓතිහාසික ප්‍රකාශනය වූ කලී ජාතියක් විසින් තම උපන් දේශය අරභයා ආක්‍රමණිකයා වෙත ලියා යැවූ මහරු උදානයකි. මහ පොළොවේ හා එහි නිවැසි ජනයාගේ ආධ්‍යාත්ම උරුමය වෙනත් ජාතියකට පවරා දෙන්නේ කෙසේ ද? සියැටල් දේශප්‍රේමියාගේ ප්‍රකාශයට සමකාලීන යුගයේ; එනම් වසරකට පෙර, සිංහල දේශය හා එහි නිවැසි ජනකාය පිළිබඳ ව ඉංග්‍රීසි ජාතිකයකු වූ රොබට් නොක්ස් තැබූ සටහනකින් – ආධ්‍යාත්ම ගුණධර්ම හා ජීවිත පැවැත්ම අතින් සිංහල ජාතිය එවක ලොව ජීවත් වූ ජාතීන් අතර ශ්‍රේෂ්ඨ ජනකායක් බවට ශපත කෙරිණි. රටක සිරකරුවකු වශයෙන් සිටි විදේශිකයකු වෙතින් එබඳු බුහුමනක් ලබන්ට තරම් සිංහල ජාතිය 17 වැනි සියවසේ දී පවා ලොව ඉහළ තැනකට නැඟ තිබිණ.

ඉන් සියවස් එකහමාරකට පසු සිංහලයන් සතුව පැවති ඒ මහා උරුමය හා අභිමානය රදළ නායකයන්ගේ කුලල් ගා ගැනීම් නිසා නිසා නැසී වැනසී ගියේ සිංහල දේශයේ රාජාවලිය ද අවසන් කර ගනිමිනි. අවසන් රජු ලෙස පත්ව සිටි නායක්කාර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පැරණි රාජ සම්ප්‍රදාය අනුව යමින් සංඝයා වහන්සේගේ අනුශාසනා මත මනා සැලසුමකින් යුතුව පූජා නගරය ඉදි කොට පත්තිරිප්පුව, ක්ෂීර සාගරය හෙවත් මහනුවර වැව, දිය අගල, මහ මළුව, මල් වතු ආදිය තනවා පාලන තන්ත්‍රය සුරක්ෂිත කළ සමයේ; එනම් 1803 දී කන්ද උඩරටට එරෙහිව බි්‍රතාන්‍යයන් මෙහෙයවූ ආක්‍රමණය, සංග්‍රාමෝපක්‍රම යොදා දරුණු ලෙස පරාජය කළ අයුරු මහනුවර යුගයේ රචිත ‘ඉංග්‍රීසි හටන’ නම් ග්‍රන්ථයේ විස්තර වෙයි. ඉන් අනතුරුව ගෙවී ගිය දසවසක් පමණ කාලයේ රජතුමාට සහාය දී බි්‍රතාන්‍යයන් ලක්දිවින් පළවා හරිනු වෙනුවට තමන්ට රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ පවිටු අරමුණින් ක්‍රියා කළ රදළ ප්‍රභූන් රජුට විරුද්ධව කුමන්ත්‍රණ කිරීමේ විපාක වශයෙන් රජු කුපිත කොට බේබද්දෙකු බව පත් කරනු ලැබී ය. රොබට් නොක්ස් කියන පරිදි මත්පැන් බිඳක් තොල නොගා සිටි ජාතිය ඊට ඇබ්බැහි කිරීමේ ක්‍රියාව සිංහලේ රජුගෙන් ආරම්භ කෙරිණි. ඇඳුමින්, පැලඳුමින්, කතාබහින් අනුකාරක පිරිසක් බෝකොට දුරාචාර පුරුදු කරවා සිංහල ජාතිය ආධ්‍යාත්මික අතින් විනාශ කිරීමේ විපාකය එදා මෙදාතුර අප අත්දැක තිබේ. අතීතයේ සිට වරින්වර අප රටට පැමිණි උවදුරුවලින් සිංහල ජාතිය මුදාගැනීමේ මහ මෙහෙයට උර දෙන ලද්දේ සුපින්වත් මහ සඟරුවන විසිනි. එම මහ මෙහෙවරට මුල පිරුණේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ දී ය.

වන සතුන් දඩයම් කිරීමත් සැණකෙළියක අංගයක් ලෙස සැලකූ රටක රාජ්‍ය පාලකයා ඇතුළු සමස්ත ජනකායට සදහම් අමා මී පොවා යහපත් දැහැමි පාලනයක් සිංහල දේශයේ ස්ථාපිත කරන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. එදා සිට මහ සඟරුවන සිංහල ජාතියේ මුරදේවතාවුන් වහන්සේ බවට පත් වූහ. සිංහලේ අන්තිම රජු අහිමි වීමේ වේදනාව එදා මහ සඟරුවන වෙනුවෙන් පළ කළේ කුංකුණාවේ හිමියන් ය. නායකයකු පෙරටු කොට ඇදෙන කූඹි රැලක් දුටු කුංකුණාවේ හිමියෝ මෙසේ පැවසූහ.

අනේ කූඹින්නේ
තොපටත් රජෙක් ඉන්නේ
මොකදෑ කරන්නේ
අපේ කරුමේ අපට වන් නේ

රජෙක් ලැබුණෝතින්
කැවුම් කිරිබත් කඤ්ඤං
පෙරහැර කරඤ්ඤං
සාධු නාදෙන් ගිගුම් දෙඤ්ඤං

දෙදහස් තුන්සිය වසරක් මුළුල්ලේ සංඝයා වහන්සේ, මේ රටේ පාලකයන්ටත් මහජනතාවටත් දැහැමි පාලනයක් හා දිවි පෙවෙතක් ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබාදුන්හ. මේ බව, ඉතිහාසයක් නොදන්නා ජනතාව වෙත වරින් වර මතක් කර දිය යුත්තේ ය.

ලක්වැසි ජනතාවගේ දරුවන්ගේ සිත් තුළ ළදරු අවධියේ සිට ම ජාතිකාභිමානය දැනවීම සඳහා ඔවුන්ගේ මහරු අතීතය සිහිපත් කරවන ළමා කාව්‍ය සාහිත්‍යයක් අප සතුව ඇත. මින් දශක නවයකට පෙර යුගයේ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් විසින් පබඳින ලද පද්‍ය අනූ පහකින් යුතු ‘දරු නැළැවිල්ල හෙවත් ජාතික තොටිල්ල’ ඒ අතර උසස් තැනක් ගනියි. ඒ පද්‍ය සංග්‍රහයෙන් තෝරාගත් පද්‍ය අටක් විසාරද සුනිල් එදිරිසිංහයන්ගේ මධුර හඬින් සිංහල ගීත සාහිත්‍යයට එකතු වී ඇත. එහි පළමු පද්‍යය මෙසේ ය:

ලක්වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමී
පෙව්වේ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එමී

ඇස්. මහින්ද හිමියන්ගේ ජාතික තොටිල්ල කාව්‍ය සංග්‍රහයේ දසවැනි පද්‍යයෙන් ආරම්භ වන එම ගීතය සනාතන වටිනාකමින් යුතු වන අතර අද යුගයට එය අතිශයින් ම වැදගත් වෙයි. මිහිඳු මහරහතන් වහන්සේ සදහම් අම මී පොවා වැඩූ සිංහල සභ්‍යත්වය වර්තමාන යුගය වන විට මිසදිටු ඇදහිලි විශ්වාසයන්ගෙන් ආකූල ව්‍යාකූල වී පවතී. ඒ විසකුරු දෘෂ්ටි හා පුද්ගලයන් හඳුනාගෙන එයින් මිදී අරහත් මහ මිහිඳු හිමිපාණන් එදවස ලක්වැසියන් හට පෙවූ සදහම් මී යළි අප දරුවන් වෙත පෙවිය යුතු කාලය එළඹ තිබේ.

මවුබිමේ ඉතිහාසය නොදන්නා- අධ්‍යාත්ම ශක්තියෙන් පිරිහුණු ජනකායකගේ දරුවන්ගේ සිත් තුළට බුදු දහමින් පෝෂණය වූ අතීත සභ්‍යත්වයේ මහිමය අනුක්‍රමයෙන් පිවිස වන ආකාරයට, ‘දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල’ කාව්‍යයේ කවි තෝරාගෙන ගීතයට එක් කොටගෙන තිබේ.

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

සිංහල ජාතිය නමැති රන් විමානයේ දැල්වූ මිණි පහන නම් සම්බුද්ධ ශාසනය යි. එම රූපකය සුනිල් එදිරිසිංහයන් ගයන වෙනත් ගීතයකින් කියැවුණේ ‘රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ’ යනුවෙනි. ඒ පින්බිමට විපත් පත් හැම විට ම එය රැක ගැනීම සඳහා වීර පුරුෂයෙකු බිහි වූ අයුරු සිංහල මහාවංශයේ ලියැවී ඇත. ඒ යුගය දැන් උදා වී ඇති බැවින් පුතණුවනි මේ ඔබට අවස්ථාව යි.

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝ වේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ

පසුගිය අවුරුදු හතළිහකට වැඩි කාලයක් මුළුල්ලේ රට ගැන නොසිතා බලයට පොර වැදුණ හෙයින් අප රට කෙමෙන් පරිහානියට පත් වූ අයුරු සෑම අංශයක් දෙස ම බලන විට පෙනී යයි. රට කරවන පාර්ලිමේන්තුවේ සිට අන් හැම තැනක ම විනය බරපතළ ලෙස පිරිහී තිබෙයි. ඉතිහාසය, සාහිත්‍යය පාසැල් විෂය මාලාවෙන් ඉවත් කිරීම නිසා දරුවන් තුළ ගුණධර්ම ගැන හැඟීමක් නැත. බුදු දහමේ මිණි පහනින් එළිය වූ උතුම් ලංකාද්වීපය දුසිරිත් ආකාරයක් බවට පත්ව තිබේ. එය වළකා රට නැඟුවොත් පුතණුවනි, ඔබගේ නම රන් අකුරින් ලියැවෙනු ඇත.

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්

කලක් මිසදිටු ඇදහිලිවලට, දුසිරිතට, නිවට ගැති පිළිවෙතට යොමුව සිටි රටක් නැගුම ලෙහෙසි පහසු කාරියක් නො වේ. දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීම, වර්ග බෙදුම්වාදීන් මැඩීම ලොවෙත් ගැරහුම් ලැබීමට හේතුවන ක්‍රියා වෙයි. ඒවා ඉවසා රට නැගුමේ පිළිවෙතට උර දීම උතුම් ලක් පුතෙකුගේ කාරිය වන්නේ ය.

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොළොත් උඹෙන් පුතේ
මෙලොවට කිසි ඵලක් නැතේ

අප උපන්දා සිට වැඩුණේ මේ රන් දිවයිනේ සාරය උරා බීමෙනි. දෙරණ ලිය දෙන භව භෝග සම්පත් භුක්ති විඳිමින්, මුනි සිරිපා, සිරි දළදා, සිරිමහබෝ, රන්වැලි සෑ දාගැබ් පිසගෙන හමන සුළං රැල් උරමින් අපි හැදී වැඩුණෙමු. එබඳු අනුප්‍රාණයක් ලබා දුන් රටට අප දිවි පෙවෙතින් කොටසක් – එනම් මෙහෙවරක් අප ලබා දිය යුතු ය. එය කළ හැක්කේ ශ්‍රම ශක්තියෙන් හා නැණ නුවණ මෙහෙයා කරන සේවයෙනි.

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකත් හිරිහැරයත්
නිවනට සම කොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

තමන් උපන් රටට, ජාතියට, ආගමට ළැදිව සේවය කිරීමෙන් අප ලබන තෘප්තිය ඉමහත් ය. අප ඉන් ලබන වෙහෙස, දුක්ගැහැට, හෙළන දහදිය බිඳු අපගේ මෙන් ම සියලු රටවැසියන්ගේ යහපත උදෙසා ය. එම නිස්සරණාධ්‍යාශ මෙහෙවර නිවන් මඟට අප යොමු කරවන කුසලාරම්මණයක් ද වනු ඇත.

කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරවිරුකම්

අටලෝ දහම හුරු දිවි පෙවෙතකට උරුමකම් කියන හෙළදිව ජනතාව, තමන්ට මුහුණ පෑමට සිදුවන හිඟපාඩුකම් – අවහිරකම් විඳ දරා ගැනීමට ශක්තිය ඇත්තෝ ය.

එම හැකියාව අප ලැබුවේ බුදු දහම විසින් අප ජාතියට උරුම කොට දෙන ලද නොසැලෙන අධිෂ්ඨාන වීර්යය නිසාවෙනි. එය වූ කලී අප්‍රමාදයෙන් ප්‍රමාදය ජය ගැනීම පිළිබඳ ධීරයකු සතු ගුණය යි.

උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ආදී සිංහල ජනයා කවර ම බලවේගයක් හමුවේ වුව ද නිවටුන් ලෙස හැකිළුණේ නැත. ජාතිය නිසා හෝ ආගම නිසා හෝ පුතුන් නිසා හෝ ධනය නිසා හෝ අධර්මයෙන් ජයග්‍රහණයක් නොපැතූ ඔවුහු කිසිදු කරුණක් නිසාවත් අසරණයන් නොපෙළුෑහ. තමන් අබිමුව වැටුණ පරාජිතයින්ට පවා ගෞරව කළහ. එසේ කටයුතු කිරීමෙන් ඉහළ තැනකට නැඟෙන පුතා අන් ජාතීන්ට ද සුව සෙත සලසමින් සිංහල ජාතිය බබුළුවන්නේ ය. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ ය.

සටහන – දයාපාල ජයනෙත්ති