නමෝ බුද්ධාය!

අරහත් ධජය දරාගෙන, නිස්සරණාධ්‍යාශය පෙරටු කොටගෙන සසුන් බඹසරෙහි හැසිරෙන ශ්‍රාවක සඟරුවන වනාහී සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලොව පහළ වී අමා මහ නිවන ඉලක්ක කොට පිහිටුවාලන කල්‍යාණ වැට නොසිඳ පවත්වන්නා වූ සත්පුරුෂයන් වහන්සේලාගෙන් සුසැඳි අනුත්තර පින්කෙත යි. නිවන කැමැත්තෙන් දහමෙහි හැසිරෙන්නා වූ, ලොවෙහි යහපත කැමැත්තෙන් දහම දන් දෙන්නා වූ ඒ උත්තම සඟරුවනේ අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධයෙන් බිඳක් වදන් පෙළකට නගා කෙරෙන පාදාභිවන්දනාවකි මේ…

● සාරිපුත්ත, මොග්ගල්ලාන, නන්ද, රාහුල, ආනන්ද, මහාකස්සප ආදී මහරහතන් වහන්සේලාගෙන් පැවත එන ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමීචිපටිපන්න ආදී ගුණ දරන අෂ්ට ආර්ය පුද්ගල මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● ආර්යයන් වහන්සේලා උදෙසා මාගේ උපස්ථානය වේවා!

● “ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා වේවා!”

● සුපේශල ශික්ෂාකාමී සඟරුවනට මාගේ නමස්කාරය වේවා!

● සත්පුරුෂ උත්තමයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● කල්‍යාණමිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● අවංක හදවත් ඇති උතුමන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● ප්‍රඥාවෙන් අග්‍රේෂ්වර උත්තමයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● අරහත් ධජය දරන, සංඝ ගෞරවය රකින උත්තමයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● අනුන්ව පීඩාවට පත් නොකරන, පුරාණ ආචාර්ය ප්‍රතිපදාවේ ගමන් කරන, ඒ අමා මහ නිවන බලා වඩින, බඹසර සිල් සුරකින ඒ ආර්ය මහා සඟරුවනට මාගේ නමස්කාරය වේවා!

● රාග ද්වේෂ මෝහ දුරු කරන්නට පිළිපන් නිකෙලෙස් ප්‍රතිපදාවේ වඩින, දිවි දෙවැනි කොට සිල් රකින ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● සටකපට මායා නැති, අනුන්ගේ ගුණ මකන්නේ නැති, අවංක, ඍජු, අරිඅටඟි මගෙහි ගමන් කරන බුදු පිරිසට මාගේ නමස්කාරය වේවා!

● පටිච්ච සමුප්පාද න්‍යාය තුළ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන, ශාන්ත භාවයට පත් වුණ, නිහඬ ගැඹුරු නුවණ තියෙන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● කිසිවකට ඇලෙන්නේ නැති, කිසිවකට ගැටෙන්නේ නැති, ගැඹුරු නිහඬතාවයකින් යුත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● සෝතාපන්න මාර්ගයේ ගමන් කරන – සෝතාපන්න ඵලයට පත්, සකදාගාමී මාර්ගයේ ගමන් කරන – සකදාගාමී ඵලයට පත්, අනාගාමී මාර්ගයේ ගමන් කරන – අනාගාමී ඵලයට පත්, අරහත් මාර්ගයේ ගමන් කරන – අරහත් ඵලයට පත් අට්ඨ පුරුෂ පුද්ගලයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● නිවීම ම සොයන, නිවනෙහි ඇළුන, ප්‍රතිපදාව තුළ හික්මෙන, කුඩා වරදෙත් බිය දකින, රහසින්වත් පව් නොකරන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දිවි පිදූ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● නොපසුබසින වීරියෙන් යුතු, කාය ජීවිත අපේක්ෂා අත් හල සිතින් යුතු, අමා නිවන උදෙසා ම දිවි පිදූ වීරයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● ඉදිරියෙනුත් පසුපසිනුත් ඇති මරණය දැක අප්‍රමාදීව වර්තමානය තුළ අමෘතය සොයන, සමථ විදර්ශනා වඩනා සඟරුවනට මාගේ නමස්කාරය වේවා!

● නිවනට ඇති එකම මාර්ගය වන සතර සතිපට්ඨානයේ සිත අලවා වාසය කරන, පිළිවෙළින් ධර්මයේ හික්මෙන, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උතුම් සඟරුවනට මාගේ නමස්කාරය වේවා!

● ඇස, කන, නාසය, දිව, කය, මනස සංවර කරගෙන කිසිදු අකුසල කර්මයකට ඉඩ නොතබා, හටගත් සියලු කෙලෙස් විදර්ශනාවෙන් ප්‍රහාණය කරන, කෙලෙස් යුද්ධය ජයගන්නා උත්තම සඟරුවනට මාගේ නමස්කාරය වේවා!

● සිව්පසයට ණය නැති උතුමන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● තාවකාලික ජීවිතයෙන් සදාකාලික සැප කරා යන උත්තම පුරුෂයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● අලස නැති, ආරද්ධ වීරිය ඇති, සිහිය නුවණ දියුණු කරන ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● සති සම්පජඤ්ඤය පුරුදු කරන, තමා තුළටම සිහිය යොමු කරගෙන කෙලෙස් මළ සිඳින, කුසල් වඩන, අකුසල් දුරු කරන ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● දෙතිස් කථාවෙන් බැහැර වුණ, දසකතාවේ ම යෙදෙන, ධර්මය ම පෙරටු කරගෙන වඩින, අරහත් ධජයේ ගෞරවය රකින, ගුණ නුවණ දියුණු කරන ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● තමන්ව හුවා දැක්වීම පිණිස ධර්මය නොපවසන, බුද්ධ වචනය පමණක්ම ඉස්මතු කරන, ප්‍රතිපත්තියේ හැසිරෙන රහසින්වත් පව් නොකරන ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● චණ්ඩිකමින් ගෞරවය ලබා නොගෙන, අවංකව ධර්මයේ හැසිරෙන තමා හුවාදක්වා නොගන්නා, අනුන් හෙළා නොදකින සුපේෂල ශික්ෂාකාමී ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● උඩින් හොඳට කතා කර – යටින් උගුල් අටවන දුර්ගුණය බැහැර කළ, ධර්මයේ හැසිරීමෙන් සතුටු වන බුදු පිරිසට මාගේ නමස්කාරය වේවා!

● වෛර ක්‍රෝධ මද මාන මුල් කරගෙන අනුන්ව පීඩාවට පත් නොකරන, ධර්ම ගෞරවයෙන් යුතු සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● බාහිරින් එක චරිතයකුත් අභ්‍යන්තරයෙහි තවත් චරිතයක්ද ඇතිව වංකව වාසය නොකොට, මාර්ගයට ප්‍රතිපදාවට නොගැළපෙන සියලු හැසිරීම් බැහැර කොට, තම හෘද සාක්ෂියට අවංකව ම දිවි ගෙවන, තථාගත ධර්මය ම ජීවන දර්ශනය කර ගත් ශ්‍රේෂ්ඨ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!

● කය වටා රැස්කරන සියල්ල අහිමි වෙද්දී සිතට රැස්වෙන දේ ගෙනියන්න සිද්ධවෙන බව දැනගෙන, කර්ම කර්මඵල විශ්වාසයෙන් ශාස්තෘන් වහන්සේ පෙන්නා දුන් මාර්ගයේ ගමන් කරන, සුන්දර හදවතක් ඇති සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● දුකේදීත් සැපේදීත් නොඇලෙන නොගැටෙන සඟරුවනට මාගේ නමස්කාරය වේවා!

● උඩඟු නැති, බොරු ශෝබන නැති, ගැඹුරු නුවණින් යුතු, ස්වාභාවික ඇවැතුම් පැවතුම් ඇති සඟරුවනට නමස්කාර වේවා!

● නොදැන දන්නා ලෙස නොහැසිරෙන, ඇත්ත ඇති ලෙස දකින, සත්‍යයට ගරු කරන, ආත්මාර්ථකාමී නැති සඟරුවනට මාගේ නමස්කාරය වේවා!

● නිහඬ බවට කැමති, හුදෙකලාවෙහි වෙසෙන, අර්ථවත් දේ කථා කරන, නුවණින් විමසන, සිහි නුවණ පවත්වන ආර්ය සඟරුවනට මාගේ නමස්කාරය වේවා!

● නින්දට ඇලුම් නොකරන, දහම් මනසිකාරයේ ම යෙදෙන, සිතට එන හැම අකුසල් බැහැර කරන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● කිසිවකට කලබල නැති, ඉවසීමත් උපේක්ෂාවත් ආරක්ෂිත භූමිය කරගත්, නුවණත් සිහියත් ප්‍රඥාවත් දියුණු කරන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට නොවන, අත්හැරීමටම නැඹුරු වූ සිතින් වාසය කරන, තුන්සිවුරත් පාත්‍රයත් පමණක් දරා සිටින, සසුන් බඹසර සුරකින උත්තම සංඝයා වහන්සේට මාගේ නමස්කාරය වේවා!

● ගුරු දෙවිඳුන්ට ගෞරව කරන, ගුරු පියාණන් කළ උපකාර සිහි කරන, ගුරුවරයාට ම ජීවිතේ පුදන, ගුරු භක්තියෙන් යුතු ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට නමස්කාරය වේවා!

● වත පිළිවෙතෙහි යෙදෙන, ශාසනික දියුණුවට උර දෙන, නිවැරදි දහම් පවසන – ඒ දහම් පිළිපදින උතුම් සංඝයා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● අනුන්ගේ වැරදි නොව තමන්ගේම වරද දකින, අවවාදයට පෙර ආදර්ශයේ පිහිටන, කියන දේ කරන – කරන දේ කියන උත්තම සඟ ගණ හට මාගේ නමස්කාරය වේවා!

● ගුණ දහම් සඟවන, අගුණ දුර්වලකම් ප්‍රකට කරන, කුඩා වරදේ ද බිය දකින, වැරදි නිවැරදි කරගන්නට උත්සුක වන, සම මෙත පතුරුවන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● ඉන්ද්‍රජාලිකයන්ගේ මායා මන්දිරයක් වන් මේ සිත විශ්වාස නොකරන, තථාගත ධර්මයම විශ්වාස කරන, සද්ධර්මයෙන් ම සිත පිරිසිදු කරන ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● මාරයා ඇටවූ උගුල වන පස්කම් සුව භයානක සර්ප විෂක් ලෙස දකින, ගිනි අඟුරු වළකට සම කරන, නින්දේ දුටු සිහිනයක් මෙන් බව දැන, ඇටසැකිල්ලක් බව දැන, මස් කුට්ටියක් බව දැන, පස්කම් සුව අත්හරින, අසුභ සංඥාවෙන් යුතුව නෙක්ඛම්මය පුරුදු කරන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● තණ්හාව හටගන්නා සියලු තැන් දැක, ඒ ඒ තැන සිදුවන ඇතිවීමත් නැතිවීමත් හේතුඵල වශයෙන් දැක, නොඇලෙන නොගැටෙන තැන වන නිස්සරණයට පැමිණෙන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● නවදොරකින් අසූචි වෑහෙන අසූචි පිරවූ මල්ලක් වැනි, අනුන් යැයි සලකන රූපවලත් තමා යැයි සලකන රූපවලත් යථාර්ථය වන සතර මහා ධාතූන්ගෙන් හටගත් ස්වභාවය දකින සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● කාමයේ ආදීනව දකින, නෙක්ඛම්මයේ ආනිශංස දකින, බඹසර සුරකින, නිමිති අනුනිමිති නොගන්නා, සෑම දෙයක ම අනියත බව දකින, නිතර සිත් පිරිසිදු කරන ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● බාහිර රූපවල තිබෙන ඇටසැකිල්ලත් – තමා යැයි සලකන රූපයේ තිබෙන ඇටසැකිල්ලත් ප්‍රඥාවෙන් දකින, විරාගී සිත පවත්වන ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● අතීතය අත්හරින, අනාගතය නොපතන, වර්තමානයේ ඇති තතු දකින, අනියත බව අවබෝධ කරන, සියල්ල දුකක් බව තේරුම් ගන්න, තමාගේ වසඟයේ කිසිවක් පවත්වන්නට නොහැකි හේතු ඵල දහම දකින ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● නුසුදුසු දේ දකින තැන අන්ධයෙකු මෙන් ද නොඇසිය යුතු දේ ඇසෙන විට බිහිරෙකු මෙන් ද නුසුදුසු දේ කථා කරන තැන ගොළුවෙකු මෙන් ද ප්‍රඥාවන්ත වුණත් කිසිවක් නොදන්නෙකු සේ ද වසන, ශාන්ත පැවතුම් ඇති බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● දුර්වලයන් ඉදිරියේත් – බලවතුන් ඉදිරියේත් සම සේ ඉවසන, නින්දා අපහාස ගැරහිලි ඉදිරියේත් ශාන්තව වසන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● ඇහුන චෝදනා ඉදිරියේ දී නිවැරදි වන්නට පමණට වඩා කරුණු ඉදිරිපත් නොකොට තනිවම ඉවසන, තමන් තුළම සිත සංසිඳවා ගන්නා, අහිංසකබවත් සංවරබවත් පුරුදු කරන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● හිරිහැර කරන කෙනා ඉදිරියේත් – මිත්‍රශීලී කෙනා ඉදිරියේත් සම මෙත් පෙරදැරිව උපේක්ෂාව පවත්වන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● අෂ්ට ලෝක ධර්මයට කම්පා නොවන, ප්‍රතිචාර නොදක්වන, වෙනස් වන නැසෙන වැනසෙන බව දකින, සතුරාටත් මිතුරාටත් සම සේ සලකන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● අත්නොහැර කායගතාසතිය පුරුදු කරන, දුවන සිත කයටම නතු කරන, බුදුබණ පදයට අනුව හැසිරෙන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● සානුකම්පිත සිතක් පෙරදැරි කරගෙන ධර්මානුකූලව අන් අයට උපකාර කරන, වැඩිහිටි බව හේතුවෙන් මාන්නයෙන් හිතට ගත් ජීවිත අත්හළ සුන්දර හදවත් ඇති සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● වරද දුටු තැන අවවාද කරන, ‘යහපතට පැමිණෙත්වා’ කියන අදහසින් උපදෙස් දෙන, නොකිපුණ සිතින් වාසය කරන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● වක්‍ර ගති දුරු කරන, උපක්‍රමශීලී ව ධර්මයෙහි සිත යොදවන, වරදෙහි නො බැඳෙන, බොරු චෝදනා නොකරන අවංක සඟරුවනට මාගේ නමස්කාරය වේවා!

● මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව දියුණු කරන, ඒ ගුණධර්ම ක්‍රියාව තුළ දකින්න ලැබෙන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● අපක්ෂපාතී ව හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත් තේරුම් ගත හැකි පුළුල් මනසකින් යුතු, ඉවසීමෙන් සැනසෙන සංඝ පීතෘන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● ක්‍රෝධ නොකරන, පළි නොගන්නා, අහිංසකයන් තලා පෙළා කටයුතු නොකරන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● සතිපට්ඨානය තුළ සිහිය පවත්වන, නිතර ම සිත සංවර කරන, වරදින් සිත මුදවන, යෝනිසෝ මනසිකාරයෙහි ම යෙදෙන සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

● ඊර්ෂ්‍යා නොකරන, ධර්මයේ නාමයෙන් අධර්මය නොපතුරවන, ද්වේශයෙන් නොව මෙත් සිතින්ම අවවාද කරන, ශාන්ත සිත් ඇති සඟරුවනට මාගේ නමස්කාරය වේවා!

● ධර්මය කුමක් ද අධර්මය කුමක්ද, යහපත කුමක් ද අයහපත කුමක්ද, යෝනිසෝ මනසිකාරය කුමක්ද අයෝනිසෝ මනසිකාරය කුමක්ද, කළ යුතු දේ කුමක් ද නොකළ යුතු දේ කුමක් ද හඳුනන සංඝයා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

● ක්‍රෝධයට නොව ධර්මයට ගරු කරන, නායකත්වයට නොව ගුණධර්මවලට ගරු කරන, අධිපති බවට ඇලුම් නොකරන චිත්ත දමනයටම වෙහෙසෙන, සංසුන් පැවැතුම් ඇති සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!