ගැමි වහරේ අපූරු කියමනක් තිබේ. මෙය හැමෝම පාහේ හොඳින් අසා ඇති කියමනකි. එනම් ‘හොඳට නරකට දෙකට කටමය.’ යන්න යි. මේත් සමඟම බැඳී ඇති තවත් කියමනකි, ‘රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බැහැ.’යි කීම. මෙය ද ඔබට නුහුරු කියමනක් නම් නොවේ. මුල් කියමන නම් සත්‍ය කියමනකි. නමුත් දෙවැන්න නම් සත්‍යයක් නොවේ. හේතුව, කට වට කර වැට බඳින්න අමාරු වුවත් බැඳිය හැකි වැටක් තිබීම යි. ඒ සඳහා නිසි පිළිතුරක් පසුව ඔබට ලැබේවි. මෙම ලිපිය ගිහි පැවිදි කා හටත් ඉතා අගනා දහම් පඬුරකි. හේතුව, මෙහි සඳහන් වන්නේ කාට කාටත් දැනුවත්ව හෝ නොදැනුවත්ව වරදින තැනක් ගැනයි.

බොහෝ දෙනෙක් දන් පැන් පුදති. සිල් ද ගනිති. (ගත් පමණින් නොරැකෙන බව සිහි කළ යුතු ය.) හැකි අයුරින් බණ භාවනාත් පුරුදු කරන්නට මහන්සි ගනිති. නමුත් ඔය ගිහි පැවිදි බොහෝ අයට අත්හරින්නට අසීරු ම පුරුද්ද නම් ‘කයිවාරුවයි’. කයිවාරුව කියූ සැණින් සියලු‍ දෙනාටම වචන මාත්‍රයෙන් ම මේ කුමක්ද කියා වැටහෙයි. අමුතු අර්ථ දැක්වීමක් නම් අනවශ්‍ය ය. එහි සරල ම අරුත නම් කිසිදු වැඩකට නැති, අරුත්සුන් වූ, අල්ප වූ හෝ ප්‍රයෝජනයක් නැති, වටිනා කාලය විනාශ කර දමන දේ ගැන කතා කරමින් සිටීම යි. ‘දෙතිස් කතා’ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ කතාවන් ය. ඒවා නම්; රජුන්, සොරුන්, රජ ඇමතියන්, සේනාවන්, භය, යුද්ධ, කෑම බීම, ඇඳුම්, යහන්, මල්මාලා, සුවඳ, නෑයන්, රථවාහන, ගම් නියම්ගම්, නගර, ජනපද, ස්ත්‍රීන්, ශූරයන්, මංමාවත්, වැව් පොකුණු, ජලස්ථාන, මියගිය නෑයන්, මුහුද, ශාස්වත වාදය, උච්ඡේදවාදය, දියුණුව, පිරිහීම, පස්කම් සැප යනාදිය පිළිබඳ කතා ද නොකියවුණ නොයෙක් දේ පිළිබඳ නිර්ථක කතා ද නුවණැතියන්ගේ සිත් තැලෙන කතා ද යන කතාවනු යි.

බැලූ බැල්මට අපට කතා කරන්නට දෙයක් ඇත්තේ ම නැතුවා සේ ය. නමුත් කතා කරනවා නම් කතා කරන්නට දේවල් ද තිබේ. ඒවාට කියන්නේ ‘දස කතා’ කියා ය. සාමාන්‍යයෙන් කා හටත් මේ කයිවාරුවෙන්, එහෙමත් නැත්නම් මේ දෙතිස් කතාවෙන් නිදහස් වීම නම් ලේසි පහසු දෙයක් නො වේ. හේතුව, එය සසර පුරාවට මුල් බැස ගත් දෙයක් නිසාවෙනි. වචනයෙන්, එහෙමත් නැතිනම් කට නිසා වන අකුසල් ප්‍රධාන වශයෙන් ම හතරකි. බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම ය. කට වට කර වැට ගහන්න නම් මෙන්න මේ කරුණු සතරින් වැළකිය යුතු ය. ඒ සඳහා සිහිය නම් වූ නුවණැති දොරටුපාලයා උපකාර කර ගත යුතු ය. එසේ නොමැති වූ විට වැට කඩාගෙන සොර සතුරෝ රිංගති.

කයිවාරු ගසන්නට විශේෂ තැනක් වුවමනා නැත. නිවස, මඟතොට, පැන් තොට ආදී ඕනෑම තැනක් මෙයට තෝතැන්නක් වෙයි. කොටින්ම කියතොත් බණ මඩුවත් සමහර ඇත්තෝ උපකාර කර ගනිති. කයිවාරුව ආරම්භ වූ විට එහි ඉමක් කොණක් නොවැටහෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ පරිමුට්ඨා පණ්ඩිතාභාසා වාචාගෝචරභාණිනෝ,
යාවිච්ඡන්ති මුඛායාමං, යේන නීතා න තං විදූ”ති.

“මුළා වෙච්ච සිහියෙන් යුක්තව වැදගත් ය කියලා හිතාගෙන කටට එන දේවල් කියනවා. කට අරින්න පුළුවන් පුළුවන් තරමට කියෝනවා. තමන් කියන්නේ මොනවද කියලා තමන්වත් දන්නේ නෑ.”

සැබැවින්ම මෙය ම නොවේ ද සිදු වන්නේ? ඔබට මේ ගැන අවබෝධයක් නොමැති වූවත් මෙය ඉතා ම බරපතළ අකුසලයකි. කොයිතරම් ද කියතොත් ‘අපාය සංවත්තනික’ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ වචනය සංවර නොවීම සතර අපායේ උපතට හේතු වන බවයි. එහි සැහැල්ලු‍ විපාක නම් මිනිස් ලොව ඉපදුණු විට කරුණු රහිතව නින්දා අපහාස විඳින්නට සිදු වීම යි. හිතමිත්‍රයන් බිඳී යයි. තමා අසතුටු වචන අසන්නට සිදු වෙයි. ඒ වගේ ම ඔහුගේ වචන ද කිසිවෙක් විශ්වාස නොකරයි.

දෙතිස් කතාව නිසා අපට සිදු වන තවත් බරපතළ අනතුරක් නම් ‘ධර්මාවබෝධය පිණිස සිත මෝරා නොයෑම’ ය. එහි අරුත දෙතිස් කතාව තිබෙන තාක් ධර්මාවබෝධය සඳහා සිත සකස් නොවීම යි. කෙලෙස් උල්පත දෝරෙ ගලා යන බවයි. මෙහි ගිහි පැවිදි කියා භේදයක් නැත්තේ ය. පැවිද්දා හටත්, ගිහියා හටත් එක සේ උපකාර වන්නේ දස කතාව ම ය. ඒ බව ‘මේඝීය සූත්‍රයේ’ මේ අයුරින් සඳහන් වේ.

“පින්වත් මේඝිය, මෙන්න මේ විදියේ කතාවක් තියෙනවා. ඒ කතාවලින් කෙලෙස් තුනී කරනවා. සමථ විදර්ශනාවලට උපකාරී වෙනවා. අවබෝධයෙන් යුතුව කලකිරීම පිණිස උපකාරී වෙනවා. විරාගය ඇති වෙනවා. ඇල්ම නිරුද්ධ වෙනවා. සන්සිඳීම ඇති වෙනවා. ආර්ය සත්‍යාවබෝධය ඇති වෙනවා. නිවන පිණිස පවතිනවා.

මෙන්න මේවා තමයි ඒ කතා. අල්පේච්ඡ ජීවිතය ගැන කතාව. ලද දෙයින් සතුටු වීම ගැන කතාව. පිරිසට ඇලී ගැලී නොසිට පිරිසෙන් වෙන් වී සිටීම ගැන කතාව. හුදෙකලා විවේකයෙන් වාසය කිරීම ගැන කතාව. පටන් ගත් වීරිය ගැන කතාව. සීලය ගැන කතාව. සමාධිය ගැන කතාව. ප්‍රඥාව ගැන කතාව. විමුක්තිය ගැන කතාව. විමුක්ති ඤාණ දර්ශන ගැන කතාව. මෙවැනි උතුම් කතාවන් තමන්ට කැමති පරිද්දෙන් අහන්ට ලැබෙනවා. පහසුවෙන් අහන්ට ලැබෙනවා. නිතර නිතර අහන්ට ලැබෙනවා.

පින්වත් මේඝිය, මේ කරුණ නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙනවා.”

තවත් අවස්ථාවල දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ, “කතා කරනවා නම් කතා කරන්න මේක තමා දුක, මේක තමා දුක හට ගැනීමට හේතුව, මේක තමා දුක නැති කිරීම, මේක තමා දුක නැති කිරීමේ මාර්ගය.” යනුවෙනි. හේතුව මේ තුළින් සසර නොඇල්ම ඇති කිරීම යි. භාග්‍යවතුන් වහන්සේ අපට නිරන්තරයෙන් ම අනුශාසනා කළේ, ‘සන්නිපතිතානං වෝ භික්ඛවේ ද්වයං කරණීයං. ධම්මීවා කථා ආරියෝවා තුණ්හීභාවෝති.’ “පින්වත් මහණෙනි, ඔබ එක් වූ විට කරන්න තියෙන්නේ කරුණු දෙකකි. එක්කෝ සද්ධර්මය කතා කරන්නට ඕන. එසේ නැති නම් ආර්ය වූ නිශ්ශබ්දතාවය වන භාවනාවක යෙදී සිටින්ට ඕන.” යනුවෙනි.

කතා කිරීම සම්බන්ධව භාග්‍යවතුන් වහන්සේ තවත් අපූර්ව විස්තරයක් ‘කතා වත්ථු’ සූත්‍රයේ දේශනා කොට තිබේ. ඒ මෙසේ ය.

“ඒතදත්ථා භික්ඛවේ කථා, ඒතදත්ථා මන්තනා, ඒතදත්ථා උපනිසා, ඒතදත්ථං සෝතාවධානං යදිදං අනුපාදා චිත්තස්ස විමොක්ඛෝති.”

“පින්වත් මහණෙනි, උපාදාන රහිතව ඇතිවෙන සිතේ යම් මේ අරහත්ඵල විමුක්තියක් ඇද්ද, කතාව තියෙන්නේ ඔය අර්ථයට ම ය. සාකච්ඡාව තිබෙන්නේ ඔය අර්ථයට ම ය. හේතු සම්පත් තිබෙන්නේ ඔය අර්ථයට ම ය. ධර්ම ශ්‍රවණයට සවන් යොමු කිරීම තිබෙන්නේ ඔය අර්ථයට ම ය.”

“යේ විරුද්ධා සල්ලපන්ති විනිවිට්ඨා සමුස්සිතා,
අනරියගුණමාසජ්ජ අඤ්ඤමඤ්ඤවිවරේසිනෝ.”

“යම් කෙනෙක් ද්වේෂයෙන් යුක්තව, අධික මාන්නයෙහි බැසගෙන, විරුද්ධව කතා කරයි නම් එකිනෙකාගේ සිදුරු සොය සොයා ගුණ නසමින් අනාර්ය වූ කතාව කරයි නම්,”

“දුබ්භාසිතං වික්ඛලිතං සම්පමෝහං පරාජයං,
අඤඤමඤ්ඤස්සාභිනන්දන්ති තදරියෝ කථනාචරේ.”

“එබඳු පුද්ගලයා එකිනෙකාගේ දුර්භාෂිතයන්, අසභ්‍ය කතා, අඩුපාඩු, පරාජය ආදිය හුවා දක්වමින් සතුටු වෙනවා. නමුත් ආර්ය පුද්ගලයා එවැනි දේ කියන්න යන්නේ නෑ.”

“සචේ චස්ස කථාකාමෝ කාලමඤ්ඤාය පණ්ඩිතෝ,
ධම්මට්ඨපටිසංයුත්තා යා අරියාචරිතා කථා.”

“ඉඳින් නුවණැති පුද්ගලයා කතා බස් කරන්න කැමති වන්නේ නම් එයට කල් දන්නවා. ධර්මයෙහි පිහිටි ධර්මානුකූල බවෙන් යුතු වූ, ආර්ය වූ කතා මාර්ගයක් ඇද්ද,”

“තං කථං කථයේ ධීරෝ අවිරුද්ධෝ අනුස්සිතෝ,
අනුපාදින්නේන මනසා අපළාසෝ අසාහසෝ.”

“ඒ ප්‍රඥාවන්තයා කරන්නේ අන්න එවැනි කතාවෙහි යෙදීමයි. එහි විරුද්ධ දේවල් නෑ. හුවා දැක්වීම් නෑ. කෙලෙස්වලට බැඳීමුත් නෑ. හෙළා දැකීම් නෑ. එකට එක කීම් නෑ.”

“අනුසූයායමානෝ සෝ සම්මදඤ්ඤාය භාසති,
සුභාසිතං අනුමෝදෙය්‍ය දුබ්භට්ඨේ නාපසාදයේ ”

“ඒ නුවණැති සත්පුරුෂයන් ඊර්ෂ්‍යා රහිත වූ සිතින් ඉතා හොඳ අවබෝධයකින් යුක්තව ම යි කථා කරන්නේ. සුභාෂිත අනුමෝදන් වෙනවා. දුර්භාෂිතයෙහි බැස ගන්නේ නෑ.”

“උපාරම්භං න සික්බෙය්‍ය ඛලිතඤ්ච න ගාහයේ,
නාභිහරේ නාභිමද්දේ න වාචං පයුතං භණේ.”

“ඇද සොයමින් කතා කිරීමට පුරුදු නොවිය යුතුයි. අඩුපාඩු අල්ල ගන්නේ නෑ. අදාළ නැති දේ ඇද ගන්නේ නෑ. බාහිර දේ කියමින් මඬින්නේ නෑ. ඇත්ත නැත්ත පටලවා කියන්නේ නෑ.”

“අඤ්ඤාතත්ථං පසාදත්ථං සතං වේ හෝති මන්තනා,
ඒවං ඛෝ අරියා මන්තෙන්ති ඒසා අරියාන මන්තනා,
ඒතදඤ්ඤාය මේධාවී න සමුස්සෙය්‍ය මන්තයේති”

“සත්පුරුෂයන්ගේ සාකච්ඡාව අවබෝධය පිණිසත්, ප්‍රසාදය පිණිසත්, ඒකාන්තයෙන් ම හේතු වෙනවා. ආර්යයන් වහන්සේලා ඒ විදිහටයි සාකච්ඡා කරන්නේ. මෙය තමයි ආර්යයන් වහන්සේලාගේ සාකච්ඡාව. ඒ ප්‍රඥාවන්ත සත්පුරුෂයන් මේ අර්ථය දැනගෙන අවබෝධයෙන් ම සාකච්ඡා කරද්දී තමාව හුවා දක්වා ගන්නේ නෑ.”

එසේ නම් රට වට කර වැට නොබැන්දාට කම් නැත. නමුත්, කට වට කර නම් සවිශක්තිමත් වැටක් බැඳ ගත යුත්තේ ය. ඒ අයුරින් නොකළහොත් ආයෙත් මේ සංසාරයේ නවාතැන් සකසන්නට සිදුවෙනු නොඅනුමාන ය. එබැවින් කයිවාරුව නවතා දමා දස කතාවෙහි පමණක් යෙදීමට වීරිය කරන්න. එවිට නොමේරූ චිත්ත විමුක්තිය මේරීමට පටන් ගනු ඇත.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.