නිමිත්ත – අඳුරට ශාප නොකොට එක පහනක් හෝ දැල්වීම වටනේ ය.

මේ ලෝකයේ තමන් ව මනින්නට, තමන් ව හඳුනාගන්නට උත්සුක වන්නෝ සිටිනුයේ අල්පයකි. අති බහුතරය අනුන් ව මැන බලන්නෝ ය; අනුන් ව හඳුනාගන්නට උත්සුක වන්නෝ ය. විශේෂයෙන් ම තමා තුළ පසුබෑමක් ඇති වන්නේ යම් තැනක දී ද ඒ තැන දී තමාට වඩා ඉදිරියෙන් සිටින අන්‍යයන් වෙත චෝදනා එල්ල කිරීම බොහෝ දෙනෙකුට පුරුද්දක් ව තිබේ. පොදුවේ ගත් විට ජාතියක් වශයෙන් අප සිටින්නේ ඒ පුරුද්දෙහි ලා පළපුරුදුකාරයන් බවට පත්ව යන්න අප පිළිගත යුතුව තිබෙන අමිහිරි යථාර්ථය යි.

අප මෙසේ කියන්නේ ඇයි?

දශක ගණනාවක් පුරා අප ජාතියක් වශයෙන් බොහෝ ක්ෂේත්‍රයන්ගේ පසුබෑමකට ලක්ව සිටින බව පැහැදිලි ව පෙනී යයි. ජාතික, සමාජයීය, ආර්ථික, දේශපාලනික යනාදී බොහෝ අංශ ඔස්සේ විමසා බලන විට සිංහල ජාතියට ඇත්තේ සතුටු විය හැකි ස්ථාවරයක් නො වේ. ජාතියක් ලෙසින් අප පිරිපුන් නැත. ක්‍රමයෙන් මහා ජාතියක් සුළු ජාතියක් බවට සංඛ්‍යාත්මක ව පත්වන ස්වභාවය සිංහල ජාතිය තුළ විද්‍යාමාන වේ. සමාජයීය හා ආර්ථික වශයෙන් සිංහල ජාතියේ අනාගත පැවැත්ම තර්ජනයට ලක්ව තිබෙන අයුරු ද ප්‍රකට ව පෙන්නුම් කෙරේ. දේශපාලනික වශයෙන් පාලක කාරකාදීන් බහුතරය සිංහල ජාතිය නියෝජනය කරන බව සත්‍යයක් වුව ද ඒ සියල්ලන්ගේ බල පැවැත්ම සහමුලින් ම රඳා පවත්නේ සුළු ජාතීන් මත බව ද බැහැර කළ නොහැකි සත්‍යයකි.

මේ සියලු පරිහානී ස්වභාවයන් නොයෙක් අවස්ථාවල, නොයෙක් වේදිකාවල, නොයෙක් අරමුණුවලින් කතිකාවතට ලක්වන බව ද අපට අසන්නට, දකින්නට ලැබේ. ඒ සියල්ල අභිමුව අප අබිබවා ආර්ථික, සමාජයීය හා සංඛ්‍යාත්මක වශයෙන් ද දේශපාලනික බලවත් භාවයෙන් ද නැගී සිටින සෙසු ජාතීන් වෙත චෝදනා මුඛයෙන් කථා කරන සිංහලයන් විරල නැත. සුලබ ඔවුන් ම ය. වසර ගණනාවක් පුරා අන්‍යයන්ට චෝදනා කළා කියා අප ජාතියක් වශයෙන් අත්පත් කර ගත් සාර්ථකත්වයක් නැත. ඉදිරියට ද කොපමණ කලක් අප මෙසේ චෝදනා කළ ද ලැබෙනා අභිවෘද්ධියක් නැත. මන්ද සාර්ථකත්වය යනු තමන් අබිබවා නැගී සිටින්නවුන්ට චෝදනා කිරීමෙන් මුදුන් පමුණුවා ගත හැකි ඉලක්කයක් නොවන නිසා ය. මෙහිලා කළ යුතුව තිබෙන්නේ අනුන් ව මැන බලන, අනුන් ව හඳුනා ගන්නට උත්සුක වන ස්වභාවය තමන් වෙත නැඹුරු කරවීම ය; ඒ වෙනුවෙන් තමන් ව මැන බැලිය යුතු ය, තමන් ව හඳුනාගත යුතු ය. ප්‍රධාන කාරණා තුනක් ඔස්සේ මේ පිළිබඳ අනුගමනය කිරීමට සුදුසු ක්‍රියා පිළිවෙත් හඳුන්වා දීම මේ ලිපියේ අරමුණ යි.

පළමුවැන්න සමාජයීය වශයෙන් අප ක්‍රමයෙන් කෙසඟ වෙමින් යන ජාතියක් බවට පත්ව තිබීම යි. ඉතා කලාතුරකින් මිස නූතන පවුලක දරුවන් සිව්දෙනෙකු දකින්නට නොලැබේ. බොහෝ පවුල්වල සිටින්නේ එක දරුවෙකි, නැති නම් දෙදෙනෙකි. එසේත් නැති නම් දරුවන් ඇත්තේ ම නැත. එකරුණෙහි ලා ළමා ළපටීන් බොහෝ කොට ඇති අනෙක් ජාතීන් වෙත බැණ වැදී ඵලක් තිබේ ද? දැන උගතෙක් වන්නට ද පරපුර ගෙන යන්නට ද මාපියනට සලකන්නට ද රට ජාතිය රකින්නට ද හරිහම්බ කරන්නට ද එක ම එක දරුවෙකු පමණක් උපදවා කවර සෙතක් ද? ඒ එක ම එක දරුවා හිතුවක්කාර වුවහොත්, අසනීප වුවහොත්, ආබාධිත වුවහොත්, රට ද හැර දමා අන් දේශයකට සංක්‍රමණය වුවහොත් රට ජාතිය තබා පවුල පරම්පරාව ගැන සොයා බලන්නටවත් අයෙකු කොහෙන් ද?

දරුවන් යනු මිනිසුන්ගේ වස්තුව යි. එකී වස්තුවට උරුමකරුවන් විය යුත්තේ දරුවන් අල්ප වූ කල්හි දරුවන් බොහෝ වූවන් හට දෙස් දෙවොල් තබා නො වේ; දරු සම්පතින් වැඩී යාම තුළිනි. ‘වැඩුණු පවුල ඉස්තරම්’ යන සංකල්පය අපට ජාතික තේමාවක් කර ගැනීමට තරම් අගනා දෙයකි. එනිසා, ගිහි ජීවිත ගත කරන සිංහලයෝ සම්බුදු දහම සුරක්නා මේ දේශයේ සිංහල බෞද්ධ උරුමය ගණනින් ද ගුණයෙන් ද උසස් වූ, උතුම් වූ, සුජාත වූ දරු පරපුරක ජන්ම ලාභයෙන් තිරසර කරත්වා!

අප මෙම ලිපියෙහිලා සලකා බලන දෙවැනි කරුණ දේශපාලනික වශයෙන් අප සිටින අස්ථාවර බව යි. ප්‍රධාන පෙළේ පක්ෂ තුනකට බෙදී ගත් සිංහල බෞද්ධ ජනතාව විසින් ඒ ඒ පක්ෂ පාට බලයට පත් කරලීම පිණිස පිල් බෙදී ඇප කැප වෙයි. ඒ හේතු කොටගෙන දශක හතක පමණ කාලයක් පුරා අවසාන ප්‍රතිඵලය වී තිබෙන්නේ එක ම දෙයකි. එනම්; එක් පක්ෂයක් ආණ්ඩු කරලීමේ බලය ලබයි, නමුත් එය ඉතා විශාල බහුතර බලයක් නො වේ. එනිසා, බල අස්ථාවරත්වය මැඩ පැවැත්වීම පිණිස පාර්ලිමේන්තු ආසන සීමිත සංඛ්‍යාවක් ඇති සුළු ජාතීන්ගේ සහයෝගය ඉල්වන්නට සිදු වේ. එකී සහයෝගය ඉල්වූ පමණින් ලැබෙන්නේ නැත; ඒ වෙනුවෙන් ඔවුනට යම් යම් වරප්‍රසාද ලබා දීම අනිවාර්ය අවශ්‍යතාවයකි. එය පාලකයන්ගේ වරද නො වේ; පක්ෂ පාට වශයෙන් බෙදී වෙන් වී සිටින මහ ජාතියේ වරද ය.

එහිලා අප නියෝජනය කළ යුත්තේ දේශපාලනික පක්ෂ නොව බෞද්ධ බලවේගය යි. දේශපාලනික ප්‍රතිපත්ති මත බෙදී වෙන් වීම වෙනුවට අප තෝරා ගත යුත්තේ බුද්ධ රාජ්‍යයේ ශ්‍රාවකයන් ලෙස සමඟි සම්පන්න ව ජාතික ඉලක්කයක් වෙනුවෙන් එක්සත් වීම යි. ඒ ජාතික ඉලක්කය නම් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය යි; මන්ද සිංහල ජාතිය නම් වූ ශිෂ්ට සම්පන්න සංස්කෘතික ප්‍රවාහයේ ශක්තිමත් පදනම සම්බුද්ධ ශාසනය ම වන නිසාවෙනි.

තුන්වැනි කාරණය ආර්ථික ස්ථාවරත්වය යි. මෙලොව නිසැක සාර්ථකත්වය පිණිස ද පරලොව සුගතිය පිණිස ද උපකාරක වන අයුරින් වෙළෙඳ ව්‍යාපාර දියුණු පමුණු කිරීමට සම්බුදුරජාණන් වහන්සේ තරමින් පරිපූර්ණ ව අවවාද අනුශාසනා කළ ශාස්තෘවරයෙකු ලොව නැත. උන්වහන්සේ වදහළ යම් ධර්ම පර්යායක් වේ ද එය සිදු වන්නේ ඒ අයුරින් ම ය; කිසිසේත් ම අන් අයුරකින් නොවන්නේ ම ය. සම්බුදුරජාණන් වහන්සේ වදහළ ආර්ථික න්‍යාය මත පිහිටමින් ව්‍යාපාර මෙහෙයවන්නෙකු අභිවෘද්ධියට නොපැමිණීම කිසි විටෙකත් සිදු නොවන්නකි. නිසැකව ම ඔවුන් සියලු දියුණුව අත්පත් කර ගනිති. (මෙම වර්ෂයේ මහාමේඝ දුරුතු පොහොය කලාපයේ පටන් ධර්මානුකූල ව ව්‍යාපාර දියුණු කර ගත හැකි අයුර ගැන ලිපි පෙළක් පළ විය) අසා දැන අනුගමනය කළ යුත්තේ ඒ ධර්ම පර්යායන් ය.

මෙරටේ වෙළඳ ව්‍යාපාරයන්ගේ වැඩි බලය වර්තමානයේ පවත්නේ අන්‍ය ජාතීන් සතුව ය. එසේ සිදුව පවතින්නේ ඇයි? මූලික ව ම බහුතරයක් සිංහලයන් ස්වකීය පාරිභෝගිකයනට සුහද ව සලකන්නේ නැත. ඔවුන් හැසිරෙන්නේ පාරිභෝගිකයන් ඔවුන්ට කරදර කරන්නට පැමිණියාක් මෙනි. එහෙත් අන්‍ය ජාතිකයන් ගරු සම්ප්‍රයුක්ත ව පාරිභෝගිකයන් හට සලකනවා පමණක් නොව ඔවුනගේ අවශ්‍යතාවය සපුරා දීමට වුවමනා ද්‍රව්‍යය තමා සතු නො වේ නම් අන් තැනකින් ගෙන්වා දීමට හෝ ලබා ගැනීමට හැකි තැනක් පෙන්වා දීමට හෝ කාරුණික ද වේ. මෙය අප බහුතරය අත්දැක ඇති සත්‍යයකි. සිංහල කඩයකින් තමන් ළඟ නොමැති දේ වෙනත් සිංහල කඩයක ඇතැයි පෙන්වා දුන් අවස්ථා වේ නම් ඒ ඉතා කලාතුරකිනි.

එසේ ම අන්‍ය සියලු ජාතිකයෝ සතියේ එක් දිනක් හෝ අනිවාර්යයෙන් ම ආගමික වතාවත්වල නියැළෙති. එහෙත් සිංහල බෞද්ධයනට පෝය දවසටවත් විහාරස්ථානය සිහිවන්නේ නැත. අනවින කොඩිවිණ ඇතැයි දේවාල ගාණේ පුදපඬුරු ඔසවාගෙන යන්නට ඕනෑ තරම් වේලාව තිබුණ ද සිංහල බෞද්ධයන් මෙතරම් ආරක්ෂක පිරිත් තිබිය දී නිවසේ සියල්ලන් එක්ව බුද්ධ වන්දනාව කොට පිරිත් සජ්ඣායනයෙන් සෙතක් සලසා ගන්නට වෙලාවක් ලබන්නේ නැත.

අන්‍ය ජාතීන් විමස විමසා බලමින් ව්‍යාපාර පිණිස යෝග්‍ය වූ භූමිභාගයන් තමන් සතු කර ගනු දකින සිංහලයන් ඒ ගැන ද ‍දොස් කියනු පෙනේ. එහෙත් ස්වකීය පාරම්පරික ඉඩකඩම් පවා අන්‍ය ජාතිකයන්ට විකුණා දමන්නේ ද සිංහලයන් ම ය. ඉදින් වෙනස් විය යුතු වන්නේ අප ය. මේ ගමන ආපසු හරවන්නට අන් මගක් නැත.

නිධානයක් මත අත්පා හකුළුවාගෙන, දෑස් වසාගෙන සිටින්නවුන් මෙන් උතුම් ධර්මයෙන් කාමභෝගී ගිහි ජීවිතය තුළ වුව ද ලද හැකි අපමණ සාර්ථකත්වය පසෙක තබා අප තවදුරටත් අනුන්ට චෝදනා කරන්නවුන් විය යුතු ද? ඔවුන්ගේ කටයුතු එසේ ම වෙත්වා, අප ශක්තිමත් ව නැගී සිටිය යුතු ම ය. ඒ වෙනුවෙන් අපි අප දෙස හැරී බලමු. අපේ ම දුර්වලකම් නිසාවෙන් හට ගත් මේ අඳුරට ශාප නොකරමු. සද්ධර්ම ප්‍රදීපය නිර්මල ව බබළනා ආනුභාවය ම පිහිට පිළිසරණ කොට ගනිමින් සම්බුද්ධ ශාසනය මුල් කොටගත් ආර්ය සිංහල ජාතිය යළිදු සෞභාග්‍යවත් ජාතියක් බවට පත් කරලීමට අපි අපේ යුතුකම නොපැකිලව ඉටු කරමු.

මහාමේඝ