අපි අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට කොතෙකුත් උත්සාහයන්, උපක්‍රමයන් යොදා තිබෙනවා. ව්‍යාපාර දියුණුකර ගැනීමට, එහෙම නැත්නම් තමන්ගේ පවුල් පරිසරය දියුණුකර ගැනීමට අප නොයෙක් අන්දමින් තම ධනය, ශ්‍රමය, කාලය කැප කරමින් මූලික අවධානයක් ලබා දුන් අවස්ථා එමටයි.

අප බොහෝ අවස්ථාවල දී දන් දීලා ඇති, හොඳට පොහොයට උපෝසථය රකින්නත් ඇති. මනා අලංකාර අන්දමින් පින්කම් කරන්නත් ඇති. ඒ ඒ දේවල් කිරීමේ දී අපට නොයෙකුත් වගකීම් ලැබෙන්නත් ඇති. අපි ඒ වගකීම් සාර්ථකව ඉටු කරන්නත් ඇති.

හැබැයි ඒ කිසිදු දෙයක් සාර්ථකව සිදුකර ගැනීමට නොහැකි අන්දමින් අපේ ජීවිතය තුළ කරුණු හතරක් පවතින බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මෙන්න මේ කරුණු හතර අපේ ජීවිතය තුළින් ප්‍රහාණය කිරීමට අප අපොහොසත් වූවෝතින් බොහෝ කරදර මධ්‍යයේ ජීවත්වීමටත් සමාජයෙන් නින්දා අපහාස ගැරහුම් ලැබීමටත් පරලොව දුගතිගාමී වීමටත් සිදුවනු ඇති. ඒ වගේ ම අප විසින් සිදු කරන පින්කම් බාහිරට අලංකාරවත් ලෙස පෙනුනත් එයින් රැස්වෙන පින මහත්ඵල මහානිශංස ද නොවනු ඇති.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා,

“ඡන්දා දෝසා භයා මෝහා – යෝ ධම්මං අතිවත්තති
නිහීයති තස්ස යසෝ – කාළපක්ඛේව චන්දිමා”

“යමෙක් කැමැත්ත හේතුවෙනුත්, ද්වේෂය හේතුවෙනුත්, භය හේතුවෙනුත්, මෝහය හේතුවෙනුත් සත්පුරුෂ ධර්මය ඉක්මවා යයි ද, කළුවර පක්ෂයෙහි සඳක් මෙන් ඔහුගේ කීර්තිය පිරිහී යයි.”
(අගති සූත්‍රය – අං.නි. 2)

මේ කරුණු හතර මුල් කරගෙන ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තුළ හතර ආකාරයකින් අකුසල් රැස් වනවා.

කොහොමද කෙනෙක් ඡන්දයෙන් අගතියට යන්නේ?

ඡන්දය කියන්නේ කැමැත්තට. හැබැයි ඒ කැමැත්ත තුළින් අප අගතිගාමී වුණොත් (කැමැත්තෙන් අගතියට ගියොත්) අපට නොයෙකුත් ප්‍රශ්න, අර්බුද, කම්කටොළු ඇති වනවා වගේ ම සතුටුදායක අවස්ථා එනකොට අපි කයෙන් වචනයෙන් සිතින් ක්‍රියා කරන ආකාරය අනුව අපට නොයෙකුත් පාපී අකුසල් රැස් වීමේ අවධානමක් තිබෙන බව අප වටහා ගත යුතුයි.

අපි උදාහරණයක් ගමු:- යම්කිසි කෙනෙකු අපට ප්‍රියමනාපයි. තවත් කෙනෙක් අපට අප්‍රියයි, අමනාපයි. මේ නිසා අපි ප්‍රියමනාප කෙනා මොනා කළත් අපි ඒ සෑම දෙයක් ම අනුමත කරනවා. ඔහුගේ යම් වැරැද්දක් ඇත්ද නිවැරදි විය යුතු තැනක් ඇත්ද හරියට වැලි අස්සේ දෙහි හංගනවා වගේ අපි ඒ වැරැද්ද යට ගහනවා. හැබැයි අපිට අප්‍රිය අමනාප පුද්ගලයා යහපත් දෙයක් කළත් අපට ඒක පෙනෙන්නේ බරපතළ වරදක් හැටියටයි. මේ විදිහට බොහෝ වෙලාවට එක ම කරුණක් මුල් කරගෙන පුද්ගලයන් දෙදෙනෙකුට අපි ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් වී තිබෙන්නේ (කෙනෙකුට යහපත් ලෙස කතා කරන්නේත්, කෙනෙකුට අයහපත් ලෙස කතා කරන්නේත්) අප ඡන්දයෙන් අගතියට ගොස් කටයුතු කරන නිසයි.

පිරිසක් සමඟ එකට වාසය කරන විට ඒ පිරිස ව සමසිතින් ඇසුරු කිරීමට අපට නොහැකි වනුයේ ඡන්දයෙන් අගතියට යෑම නිසයි.

ඡන්දයෙන් අගතියට ගොස් කටයුතු කිරීම නිසා කේළාම් කීමෙන්, සුදුස්සාට සුදුසු තැන නොදීමෙන්, නොයෙකුත් වංචනික ක්‍රමයන් අනුගමනය කිරීමෙන් අපේ ජීවිතයට නොයෙකුත් අපායගාමී පව් රැස්වෙනවා.

ද්වේෂයෙන් අගතියට යෑම

යම් යම් කරුණු මුල් කරගෙන අපට තරහ ගිය අවස්ථා ඔබට බොහෝ මතක ඇති. හැබැයි ඒ අවස්ථාවන් වැලිවල ඇඳපු ඉරක් වගේ, දියේ ඇඳපු ඉරක් වගේ අපට ප්‍රහාණය කර ගන්න බැරි වුණොත්, හරියට ගලේ කොටපු දෙයක් වගේ සටහන් වෙනවා. එසේ අපේ හිතට ක්‍රෝධය, බද්ධ වෛරය යන පාපී අකුසල් ඇතිවන්නේ ද්වේෂයෙන් අගතියට යෑම නිසයි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා:

“කුද්ධෝ අත්ථං න ජානාති – කුද්ධෝ අත්ථං න පස්සති
අන්ධන්තමං තදා හෝති – යං කෝධෝ සහතේ නරං”

“කිපෙන්නා යහපත නොදනියි. කිපෙන්නා ධර්මය නොදකියි. යම් ක්‍රෝධයක් මිනිසෙකු මැඩගෙන යයි ද, එකල්හී ඔහු අඳුරට පිවිසි අන්ධයෙක් වැනි ය.”
(කෝධන සූත්‍රය – අං. නි. 4)

සේරිවාණිජ ජාතකයේ සඳහන් වන අයුරින් එදා දේවදත්ත වැලි මිටක් අතට ගෙන දිවුරා සිටියේ උපදින උපදින ආත්මයක් ආත්මයක් පාසා බෝසතාණන් වහන්සේගෙන් පළිගන්නා බවයි. එහි විපාකය වූයේ දේවදත්තයන් නොයෙක් ආත්ම භවයන්හි පෙරුම් දම් පුරන්නා වූ බෝසතුන්ගෙන් පළිගැනීමයි. ඒ නිසා ඔහුට අද නිරයේ අනන්ත අප්‍රමාණ ලෙස දුක් විඳීමට සිදුව තිබෙනවා. එසේ ඔහු දුකට පත්ව තිබෙන්නේ ද්වේෂයෙන් අගතියට ගොස් කටයුතු කිරීම නිසයි.

මේ නිසා නොයෙකුත් අවස්ථාවන්හි දී අපේ සිතේ ඇති වන්නා වූ මේ තරහ සිතිවිලි අපට හඳුනාගෙන ප්‍රහාණය කිරීමට නොහැකි වුවහොත් එහි ප්‍රධාන ම හානිය සිදුවන්නේ අනුන්ට නොව තමන්ට ම බව අප තරයේ වටහා ගත යුතුයි.

භයෙන් අගතියට යෑම

‘තමන්ට තියෙන තැන නැතිවෙලා යයි, තමන්ට තියෙන කීර්තිය – ප්‍රශංසාව නැති වෙලා යයි, මගේ රස්සාව මට නැති වෙලා යයි’ යන ළාමක අකුසල් ස්වභාවයන් නිසා අපි භයෙන් අගතියට ගොස් කටයුතු කළ අවස්ථා කොතෙක් ද?

උදාහරණයක් ලෙස අපි හිතමු ඔබ කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක් කියලා. දවසක ඔබටත් වඩා පළපුරුදු ඇති, දක්ෂ සේවකයෙක් ඒ ආයතනයට බඳවා ගන්නවා. එතකොට අපේ හිතට විශාල භයක් ඇති වෙනවා, ‘මට තියෙන තනතුරු, ලාභ සත්කාර මේ පුද්ගලයා විනාශ කරාවී’ කියලා.

ඒ නිසා ම ඒ පුද්ගලයා කෙරෙහි ඇතිකර ගත් භයෙන් අගතිගාමී වීම නිසා අපේ ජීවිතයට වචනයෙන් පව් රැස්කර ගන්නවා. කයින් මෙන් ම සිතෙන් ද පව් කර ගන්නවා.

මෝහයෙන් අගතියට යෑම

මෝහය කියන්නේ මුළාව. මෝහයෙන් අගතියට ගියාට පස්සේ එයාට හරි වැරැද්ද තේරෙන්නෙ නෑ. යහපත – අයහපත තේරෙන්නෙ නෑ. ඒ වගේම මධ්‍යස්ථව නුවණින් යුක්තව කල්පනා කරලා තීරණ ගන්න හිත නැමෙන්නෙ නෑ. ඒ නිසාම තමන් හරි කියන මාන්නය එයා තුල ඇති වෙනවා. එතකොට තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන, ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ජීවිතයේ නිසි ආකාරව දියුණුවක් ලබා ගැනීමට අපොහොසත් වනවා.

ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා:

“ඡන්දා දෝසා භයා මෝහා – යෝ ධම්මං නාතිවත්තති
ආපූරති තස්ස යසෝ – සුක්කපක්ඛේව චන්දිමා”

“යමෙක් කැමැත්ත හේතුවෙනුත්, ද්වේෂය හේතුවෙනුත්, භය හේතුවෙනුත්, මෝහය හේතුවෙනුත් සත්පුරුෂ ධර්මය ඉක්මවා නොයයි ද, මෝරන පක්ෂයෙහි සඳක් මෙන් ඔහුගේ කීර්තිය පැතිරී යයි.”

දුර්ලභ මිනිසත් බව ලැබූ අප, දුර්ලභ ක්ෂණ සම්පත්තිය ද ලැබූ අප සතර අගතියට යට නොවී කටයුතු කරන්නේ නම් අපගේ ජීවිත සාර්ථකව ගත කිරීමට හැකියාව ලැබෙනවා. මේ නිසා ආර්ය ශ්‍රාවකයා කිසිදිනෙක සිව් තැනක පවු නොකරගනියි (සතර අගතියෙන් අගතියට නොයයි). ඒ සියලු දෙනා ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුනෙහි සැබෑ ම පිළිසරණ ලබා ගත්තෝ වනවා.

සටහන – තීක්ෂණ සඳරුවන්