සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් මාස තුනක් ගත වීමෙන් එළඹුණු නිකිණි පුන් පොහොය දිනයේ දී ශාසන භාරධාරී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පළමු ධර්ම සංගායනාව සිදු කෙරුණේ ගෞතම සම්මා සම්බුද්ධ රාජ්‍යය බොහෝ කාලයක් ලොව පවතිනු පිණිස පිළියම් යොදමින්… දඹදිව සිදු කෙරුණු ධර්ම සංගායනාවන් ත්‍රිත්වයෙන් සහ ලක්දිව ථූපාරාම භූමියේ දී සිදු කෙරුණු ධර්ම සංගායනාවෙනුත්, වළගම්බා රජ දවස ත්‍රිපිටක දේශනා ග්‍රන්ථාරූඪ කිරීමෙනුත් සංඝයා වහන්සේලා විසින් සලසන ලද ශාසනික චිරස්ථිතිය නිසාවෙනුයි අද දක්වා ම සම්බුදුරජුන්ගේ සිරි සදහම් ලොව ජීවමානව වැඩ වෙසෙන්නේ. දෙව්මිනිස් ලෝකයාගේ යහපත පිණිස, හිතසුව පිණිස සසුන්මල සුරැකි උත්තම ශ්‍රාවක සඟරුවනට අපගේ නමස්කාරය වේවා!

කාමාශක්ත භාවයන්ගේ ඇලී ගැලී වෙසෙනා ලෝකයා කාමයන් බැහැර කරමින් අමා දහමේ නිවී සැනසෙන උත්තම භාවයට පමුණුවන ලද ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය තමයි මිනිස් සිතක ඉපදුණු ශ්‍රේෂ්ඨතම විප්ලවය. ලොව ජනිත වූ පරමෝත්තම පුරුෂ වීරයාණන් වහන්සේගේ පුණ්‍ය පාරමී බලයෙන් නිපන් ඒ පරම සත්‍යාවබෝධය උන්වහන්සේ විසින් හතලිස් පස් වසරක් පුරා දේශනා කොට වදාළා. කෙලෙස් නසන, වීතරාගී, අමා නිවන යුතු වූ ඒ දහමට සම කළ හැකි කිසිවක් ම ලොව නැති බව පරම සත්‍යයක්…! සම්බුදුරජාණන් වහන්සේ ව සරණ ගිය ශ්‍රාවකයන් තම ජීවිත තුළට පමුණුවා ගත යුත්තේ ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්මය යි.

මේ පිළිබඳ ව සුන්දර කාරණාවක් මහා හත්ථිපදෝපම සූත්‍රයේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ පෙන්වා වදාළා.

“ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. පොළොවේ ඇවිදගෙන යන පා ඇති සතුන් අතර ඇතෙකුගේ පියවර සටහනක් තුළ අනෙක් සියලු ම පා සටහන් දමන්න පුළුවනි. ඒ නිසා හැම පියවර සටහනකට ම වඩා විශාලත්වයෙන් අග්‍ර වන්නේ ඇත් පියවර සටහන යි.

ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහමයි, යම්තාක් කුසල්දහම් තියෙනවා නම් ඒ සියල්ල ම චතුරාර්ය සත්‍යයට ඇතුළත් වෙනවා.”

හොඳින් මතක තබා ගනිමු, ‘කුසල්දහම් සියල්ල’ අයත් වන පර්යාය තමයි ‘චතුරාර්ය සත්‍යය ධර්මය’. අප ධර්මය ඇසුරු කළ යුත්තේ ඒ හතරක් වූ ආර්ය සත්‍යයන් අපේ ජීවිත තුළින් ම අවබෝධ කර ගැනීමේ වුවමනාවෙන් ම යි.

ධර්ම කාරණා, ධර්ම දේශකයාණන් වහන්සේලා, ධර්මය වැනි ම වූ ස්වරූප ඇති නොයෙක් මතිමතාන්තර නිරන්තරයෙන් ඔබ අප කරා සුලබව පැමිණෙන අධිවේගී විද්‍යුත් යුගයක් තමයි මේ ගෙවී යන්නේ. බැලූ බැල්මට මේ ධර්මය ද අධර්මය ද කියා වෙන් කරගන්නටත් බැරිතරමට තර්කයෙන් තර්කය ගළප ගළපා, කරුණු කාරණා ගෙනහැර පෑමෙහිලා දක්ෂතා ඇති – කුසලතා ඇති බොහෝ පිරිසක් අප ජනසමාජයේ බොහෝසෙයින් ජනප්‍රිය වීත් සිටිනවා. ධර්මය බොහෝකොට අසන්නට ලැබීම හොඳ දෙයක් තමයි; හැබැයි බොහෝකොට අසන්නට ලැබුණු පමණින් ඒ ධර්මය ම යි කියා පිළිගත යුතු නැහැ. සෑමවිට ම අප යථෝක්ත කාරණය තුළ පිහිටලයි ධර්මය ඇසුරු කළ යුත්තේ. ඒ තමයි, ‘ධර්මය යනු චතුරාර්ය සත්‍යාවබෝධය ම ඉලක්ක කර ගත් ශ්‍රේෂ්ඨ චින්තන ධාරාවක්’ කියන කාරණය…!

සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව පාරමී පූරණය කරමින් පැමිණි සසර ගමනේ දී පවා තමන්වත්, අන් පිරිසවත් දිව්‍ය බ්‍රහ්මතලයන්හි උපත් කරා ගෙනයන්නට සමත් වුණා. කල්ප ගණනින් ආයුෂ ඇති බ්‍රහ්මතලයන්හි උපතක් කරා ගෙන යන මට්ටමේ මානසික දියුණුවක් වෙත ගෙන ගියා වුණත් අන් අය ව තබා තමන් වහන්සේවවත් සතර අපායෙන් මුදවන්නට ඒ බෝසතාණන් වහන්සේට හැකි වුණේ නැහැ. හැබැයි, යම් දිනෙක සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කොට වදාළා ද එදින පටන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්මිනිස් ලෝකයාට විවෘත කොට වදාළේ සතර අපා දුකින් මිදෙන, සුගති රැකවරණ ලබන, අමා නිවනින් නිවී සැනසෙන ඒකායන මාර්ගය යි. සම්මා සම්බුද්ධ රාජ්‍යයක පුරවැසියන්ගේ එක ම ඉලක්කය විය යුත්තේත් එය ම යි.

ඒ නිසා, එක ම එක කාරණයක් වෙනුවෙන් ම ධර්මය ඇසුරු කරන්න, ධර්මය පුරුදු පුහුණු කරන්න, ධර්මයේ හැසිරෙන්න… ඒ තමයි, ‘සතර අපා දුකින් මිදී, සුගති රැකවරණ ලබමින් අමා නිවනින් නිවී සැනසීම…’

ඔබට, අපට ඒ වාසනාව මඟ නොහැරේවා!