මහද ගඳකිළි කැරැ – සව්නේ ගෙවා දත්හට
දුහුනන් දැනුම් සඳහා – කරනෙමි සිදත් සඟරා

සිදත් සඟරාව දැනට අප සතුව පවත්නා පැරණි ම ව්‍යාකරණ ග්‍රන්ථය යි. එහෙත් මෙයට පෙර තවත් ව්‍යාකරණ ග්‍රන්ථ පැවති බවට සාක්ෂි සිදත් සඟරාවෙන් ද සිදත් සඟරා පුරාණ සන්නයෙන් ද හෙළි වෙයි. දීර්ඝ ස්වර හා බින්දු වර්ණය සිදත් සඟරා අක්ෂර මාලාවට ඇතුළත් කිරීමට, නිදසුන් ඉදිරිපත් කරමින් කතුවරයා ප්‍රයත්න දැරුවේ පැරණි වියරණ ග්‍රන්ථවල එම අක්ෂර, අක්ෂර මාලාවට ඇතුළත් නොකොට තිබූ බැවින් විය යුතු ය.

සිදත් සඟරාව පතිරාජ පරිවේනාධිපති හිමි කෙනෙකුගේ කෘතියක් බව විභක්ත්‍යාධිකාරයේ අවසාන පද්‍යයෙන් ද ග්‍රන්ථාවසානයේ එන පද්‍යයකින් ද හෙළිවෙයි. “මෙසිදත පතිරජ පිරුවන පතිරජ පිරුවනගේ සිදත” මෙම පතිරාජ පිරුවෙන්පති හිමි කවරෙක් ද යන්න පිළිබඳ උගතුන් අතර අදහස් කීපයක් පවතී. පතිරාජ පිරුවෙන්පති හිමියන් අනෝමදස්සී නම් හිමිනමක බව හික්කඩුවේ සුමංගල හිමි, බටුවන්තුඩාවේ පඬිතුමා, ඩබ්. එෆ්. ගුණවර්ධන, කුමාරතුංග මුනිදාස, සී. ඊ. ගොඩකුඹුර ආදී විද්වතුන්ගේ අදහස යි.

මහාවංශයට අනුව පණ්ඩිත දෙවන පැරකුම් රජුගේ නියමයෙන් දේවපතිරාජ ඇමතියා විසින් බොහෝ ධනය වියදම් කොට අත්තනගල්ල විහාරයේ තුන්මහල් පහයක් කරවා එය අනවමදර්ශී නම් ප්‍රඥා සම්පන්න මහා ස්වාමීන් වහන්සේට පූජා කොට දන් පිළිවෙළ ද සලස්වා ශිලා ලේඛනයක් ද කරවා ඇත. ඉතිහාසගත කරුණුවලට අනුව අනවමදර්ශී හිමියන් කව්සිළුමිණ කර්තෘ දෙවන පණ්ඩිත පැරකුම්බාවන්ගේ සමයේ ජීවත් වූ බව නිසැක ය. කව්සිළුමිණෙන් ගත් නිදසුන් පාඨ කීපයක් සිදතෙහි දක්නට ඇති බැවින් සිදත කව්සිළුමිණට වඩා අවුරුදු කීපයකට පසුකාලීන ව ලියවුණ බව පෙනේ.

සිදත් සඟරාව දැනට අප සතුව පවතින පැරණි ම ව්‍යාකරණ ග්‍රන්ථය වුවද එය පද්‍යකරණයෙහි නියුක්ත ආධුනිකයින්ට ද ව්‍යාකරණ පිළිබඳ උපදෙස් සපයන කෘතියක් ලෙස සැලකිය හැකි ය. ගද්‍ය නිර්මාණයන්ට ද සිදත යොදා ගත හැකි ය. එහෙත් මෙහි වියරණ ඉගැන්වීම් අමිශ්‍ර සිංහලය සඳහා ම සකස් වූවක් බව අමතක නොකළ යුත්තකි. කෙසේ වුව ද සිදත සම්පාදනය වූ දඹදෙනි යුගයේ සිට මෑතක් වන තුරු ම සම්ප්‍රදායික සිංහල ව්‍යාකරණ ඉගෙනීම් පාඨ ග්‍රන්ථයක් ලෙස සිදත් සඟරාව පැවතිණි. වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයෙහි ද විශ්වවිද්‍යාල ආදී උසස් අධ්‍යාපන ආයතනවල ද පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස භාවිත වෙයි.

සිදත් සඟරාවේ ප්‍රථම පරිච්ඡේදය ‘සන් අදියර’ නමින් හැඳින්වෙයි. කතුවරයා තමන් විස්තර කිරීමට අපේක්ෂා කරන ව්‍යාකරණ විෂයෙහි මූලික අංග හඳුන්වාදීමට මෙම අදියර උපයෝගී කරගෙන ඇත.

ග්‍රන්ථ කතුවරයෙකු තම කෘතියෙහි සංඥාපනයෙන් ගෙවත් හැඳින්වීමෙන් කෘතිය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙන්නාක් මෙන් සිදත් කතුවරයා ද ‘සන්’ අදියරෙන් වියරණ විදි විස්සක් පිළිබඳ කරුණු දක්වයි.

“එබැවින් සන් සඳ – ලිඟු විබත් සමස් පියවි
පස් කිරිය ලොපදෙසගම් – පෙරරූ දෙරූ පෙරැළී
වැඩි අඩු නිසා නියම් – අනියම් අවිදුමන්විදි
වී විසි වැදෑරුම් – වියරණ විදි සපයා”

සංඥා, සන්ධි, ලිංග, විභක්ති, සමාස, ප්‍රකෘති, ප්‍රත්‍ය, ක්‍රියා, ලෝප, ආදේශ, ආගම, පුවිරූප, ද්විරූප, විපර්යාස, වෘද්ධි, හුස්ම, නිපා, නිත්‍ය, අනිත්‍ය, අවිද්‍යමාන, විධි වශයෙනි. සිදත් සඟරාවෙහි සංස්කෘත, පාලි, සිංහල වචන බෙදී යන අයුරු මෙසේ දැක්වෙයි.

“අත් රුක් සමන්බහදුරු ඇදුරු කන් ඇඹුල්
ඈතබව සඳ පියවි නම්.”

සංස්කෘත පාලි සිංහල
හස්ත හත්ථ අත්
වෘක්ෂ රුක්ඛ රුක්
සමන්තභද්‍ සමන්තභද්ද සමන්බහදුරු
ආචාර්ය ආචරිය ඇදුරු
කර්ණ කණ්ණ කන්
අම්ල අම්බිල ඇඹුල්

 

සිංහල භාෂාවෙහි ප්‍රකෘති, ධාතු ප්‍රකෘති, ශබ්ද ප්‍රකෘති වශයෙන් හා නැවත ඒවා නිෂ්පන්න, තත්සම, තත්භව වශයෙන් සිදත් කතුවරයා ප්‍රභේද කොට දැක්වුව ද එය ඉතා අසීරු කටයුත්තක් වන්නේ සිංහල භාෂාව පාලි සංස්කෘත මාතෘ භාෂාවලින් පමණක් නොව වංග, හින්දි, මහාරාෂ්ටි, ගුජරාටි, ද්‍රවිඩ ආදී භාෂාවන්ගෙන් ද පෝෂණය වූ භාෂාවක් බැවිනි. සිදත් කතුවරයා “විමසා දනු එහි පියෝ” යනුවෙන්

ප්‍රකාශ කළේ ද එබැවිනි. ශබ්ද නමැති සාගරයේ පරතෙරට හෙවත් ශබ්ද පිළිබඳ සම්පූර්ණ විනිශ්චයකට ඉන්ද්‍රාදී දෙවිවරුන්ට පවා යා නොහැකි බව සංස්කෘත වියරණ ඇදුරෝ ද පවසති.

සන් නම් – සංඥා නාම
කළ පණත සන් නම් දෙව්දත් බඹදත් ඈ

කරන ලද ප්‍රඥප්තිය හෙවත් පැනවීම හෙවත් සම්මුතිය සංඥා නම් වෙයි. දෙව්දත් බඹදත් ඊට නිදසුන් ය. ජාති නාමයට අයත් සත්ව පුද්ගල ආදීන්ගේ ද ද්‍රව්‍ය නාමයට අයත් වස්තු ස්ථාන ආදිය ද වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට භාෂිත විශේෂිත නාම සංඥා නාම නමින් හැඳින්වෙයි. ඉහත සඳහන් ජාති, ද්‍රව්‍ය, ගුණ, ක්‍රියා හා සංඥා යන නාමයන් (පස් බේ) සිදත් කතුවරයා එක් වැකියකට නගා ඇත්තේ මෙසේ ය.

“හැළි සිඟුවන් දුවන ගොන් දෙව්දත් නම් වී”
හැළි – (සුදු) ගුණනාම, සිඟුමන් – (අං ඇති) ද්‍රව්‍ය නාම,
දුවන – ක්‍රියානාම, ගොන් – ජාති නාම, දෙව්දත් – සංඥා නාම

සිදත් සඟරාවේ අක්ෂර මාලාව
පණකුරු පසෙකි එද – ලුහු ගුරු බෙයින් දසවේ
ගතකුරු ද වේ විස්සෙක් – වහරට යුහු සියබස

ඉහත සඳහන් සිදත් සඟරා ගීයට අනුව ස්වකීය භාෂාවෙහි ව්‍යවහාරයට යෝග්‍ය ප්‍රාණාක්ෂර පහක් බවත්, ඒවා ලුහු ගුරු වශයෙන් දහයක් හා ගතකුරු විස්සක් බවත් කියවෙයි. මෙහි දී වහරට යුහු සියබස යන්නෙහි අදහස වූයේ ගද්‍ය ව්‍යවහාරය ඇතුළු මිශ්‍ර සිංහලය නොව පද්‍ය භාෂාව සම්බන්ධයෙනි. සිදත් සඟරාව රස විඳීමට නම් එය කියවා බැලිය යුතු ම ය.

දේශපාලනික අස්ථාවර භාවය හා නිරන්තර යුද ගැටුම් පැවති දඹදෙනි අවධියෙහි දී මෙබඳු කෘතියක් ජාතියට දායාද කිරීම පිළිබඳ සිදත් කතු හිමි බුහුමන් ලැබිය යුතු වෙයි.
උන්වහන්සේ සතුව පැවති භාෂාන්තර ඥානය, ව්‍යාකරණය පිළිබඳ අවබෝධය හා චින්තන ශක්තිය ප්‍රශංසාත්මක ය.

සිදත් සඟරාව සිංහල භාෂාව සඳහා පුරාණයෙන් පැවත එන එක ම වියරණය යි. වර්තමාන බොහෝ වියරණ ඇදුරෝ බොහෝ දුරට එයින් ප්‍රයෝජන ගත්හ. සිදත් සඟරාව පුරාණ සිංහල ව්‍යවහාරය, විශේෂයෙන් පද්‍ය ව්‍යවහාරය හැදෑරීම සඳහා මහත් සේ ඉවහල් වන බව කිව යුතු ම ය. වර්තමාන දූ දරුවන්ගේ භාෂා ඥානය දුර්වල ව පවතින මෙවන් යුගයක සිදත් සඟරාව නම් උතුම් ග්‍රන්ථය පරිශීලනය කිරීමට කාලය පැමිණ ඇත. ඊට උපකාර කිරීම වැඩිහිටියන්ගේ යුතුකමකි.

(පොතපත ඇසුරිනි)

සටහන – ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ