‘නැති බැරි දේ’ නිසා තමන්ට බොහෝ පසුබැසීම් සිදු වූ බව කියා පෑම ලෝකයේ බොහෝ කොට දකින්නට පුළුවනි. බොහෝ විට ලෝකය තමන්ගේ අභියෝගය කියා සලකන්නේ ද ඒ නැති සහ බැරි දෙය යි. අහිමි දෙය ගැන දොස් නැගීම වෙනුවට, ඇති හැකි දෙයින් නැගී සිටීම අභියෝගය ලෙසින් ගෙන කටයුතු කරන මිනිසුන් විරලයි. එවන් මිනිසුන් ගැන කිව යුත්තේ ජීවිතය ජය ගනිමින් ලෝකය වෙනස් කරන්නවුන් කියා යි. එවැනි මිනිසුන් අප අතර ද සිටිනවා.

ශවිනි ප්‍රනාන්දු යනු 2015 වර්ෂයේ දී වෛද්‍යවරුන් නිර්දේශ කළ පරිදි දෙවසරක් තුළ මරණය නිසැක වූ හදවත් රෝගියෙක්. ඇගේ හදවතේ විශාල ප්‍රමාණයේ සිදුරක් පවත්නා බවත්, ඒ නිසාවෙන් සිරුරේ රුධිර සැපයුමේ ඔක්සිජනීකෘත වීම අවශ්‍ය ආකාරයෙන් සිදු නොවන බවත්, ශල්‍යකර්මයකින් යථා තත්ත්වයට පත් කරලන්නට නොහැකි තරමින් රෝගී තත්ත්වය බරපතළ බවත් වෛද්‍යවරුන් හඳුනාගත්තේ 2015 වර්ෂයේ දී ඇය තිස් දෙහැවිරිදිව සිටිය දී යි. 2017 වර්ෂයේ දී මරණය සිදුවන බවට වෛද්‍ය නිර්දේශ සහිත වූ ඇය එයින් පසුබට නො වී ඇමෙරිකාවේ සිටි තම සහෝදරිය වෙත ගියේ තම රෝගී තත්ත්වයට තවදුරටත් ප්‍රතිකාර කළ හැකි අයුරක් සොයමින්.

එහි දී ඇය රෝගයට ද මරණයට ද නොසැලෙමින් ජීවිත අභියෝගය භාර ගත්තා. ඇය මේ වනවිට ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් රෝහලේ අධීක්ෂණය යටතේ හදවත සහ පෙනහලු බද්ධ කිරීමේ සැත්කමක් පිණිස සූදානම් වනවා. ලෝකය ඇය හඳුන්වන්නේ ‘වොන්ඩර් වුමන්’ යන නමින්. ජෝජ්ටවුන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරිණියක ලෙස අධ්‍යයන කටයුතු සිදු කරන ශවිනි තමන් මුහුණ දෙන බරපතළ ජීවිත අවදානම සහිත වූ තවත් රෝගීන් වෙනුවෙන් කළ හැකි යමක් සිතන්නේ ඒ අතරවාරයේ යි. ඒ අනුව සිරුරේ රුධිරගත ඔක්සිජන් මට්ටම අඩු කෙරෙන විට එය අඟවන උපකරණයක් නිර්මාණය කිරීම ඇය විසින් අරඹනු ලැබුවා. ඇමෙරිකාවේ ‘බාර්ක් ටෑන්ක්’ නව නිර්මාණ තරගයට ඇය ඉදිරිපත් කළේ එසේ ඇය නිර්මාණය කළ ‘ඔක්සිවෙයා’ උපකරණය යි. එකී නව නිර්මාණ තරඟයේ ජය ලැබුණේ ශවිනිට. ඇමෙරිකාවේ ජෝජ්ටවුන් විශ්වවිද්‍යාලයේ 2018 – 2019 අධ්‍යයන වර්ෂවල විශිෂ්ටතම පශ්චාත් උපාධිධාරිණිය ලෙස ද ඇය ගෞරවයට පාත්‍ර වුණා.

හදවත සහ පෙනහලු බද්ධ කෙරෙන අදාළ සැත්කමින් පසුව වසර පහක ජීවිත කාලයක් ඇය ලබනු ඇති බව යි වෛද්‍ය මතය වී තිබෙන්නේ. ඒ වෙනුවෙන් වුවමනා මුදල සොයා ගන්නට කටයුතු කරන ශවිනි ජීවත් වන කාලය යහපතේ හැසිරෙමින්, යහපත් කර්ම රැස් කරමින්, ගෙනයන්නට යහපත් යමක් සකසා ගැනීම තම ජීවිත අරමුණ බව පවසනවා.

රශ්මි නිමේෂා පසුගිය වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දියණියක්. ඇය ඒ සාමාර්ථ අටක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් ඉහළින් ම සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණා. ඒ සාමාර්ථ නවයක් ම ලබා ගනිමින් සාමාන්‍ය පෙළ සමත් වූ නවදහස් හාරසිය දහතුනක සිසු ප්‍රජාව හමුවේ රශ්මි නිමේෂාගේ මේ ප්‍රතිඵලය විශේෂ කථාබහකට ලක් කෙරුණේ ඇය උපතින් ම වූ ආබාධිත බව හමුවේ නොපසුබට ව ලද දෙයින් ස්වකීය දක්ෂතා උපරිම තලයකට ගෙන ආ දිරිය දියණියක වීම නිසයි. රශ්මි නිමේෂා අත්පා අතරින් උපතින් ලැබුවේ වම් පාදය පමණයි. ඇය ලිවීමත්, චිත්‍ර ඇඳීමත් යන කටයුතු කරන්නේ ඒ පාදය උපයෝගී කරගෙන යි. 2012 වසරේ දී පහ වසර ශිෂ්‍යත්ව විභාගය ද සමත් වූ රශ්මි ඇහැළියගොඩ ජාතික පාසලේ දී සාමාන්‍ය පෙළ විභාගය දක්වා අධ්‍යාපනය ලැබුවා.

ඇයට මිහිරි වූ කටහඬක් හිමි ව තිබෙනවා. ගීත ගායන අංශයෙන් ඉදිරියට එමින් ඇය මේ වන විට ඒකපුද්ගල ගී ප්‍රසංග තුනක් පවත්වා අවසන්. 2017 වර්ෂයේ වියට්නාමයේ දී පැවති ‘ග්ලෝබල් අයි. ටී. චැලේන්ජ්’ තරගයේ දී රන් පදක්කම දිනා ගන්නට ද ඇය සමත් වුණා. අහිමි දෙයින් නොපසුබට ව හිමි දෙයින් ජීවිතය සාර්ථකත්වය කරා මෙහෙයවන ඇයගේ ධෛර්යය ද පුදුම සහගත යි.

තමන්ට අහිමි දේවල් හමුවේ සිතින් ද කයින් ද කඩා වැටීම කා හටත් ඉතා පහසුවෙන් සිදු කරන්නට පුළුවනි. එහෙත්, අහිමි දෙය ගැන සිතීම පසෙක තබා, හිමි දෙයින් සාර්ථකත්වය වෙත ගමන් කිරීමේ අභියෝගය භාර ගැනීම දුෂ්කර වූවක්. මේ දිරිය දියණියන් දෙදෙනා ම සිදු කර තිබෙන්නේ ඒ දුෂ්කර තෝරා ගැනීම යි.

මේ දෙදෙනා ගැන මාධ්‍ය තුළ වාර්තා කෙරෙද්දී අපට නික් වුජිසිස් ව ද සිහිපත් වුණා. උපතින් ම අත් පා සතර ම අහිමි නික් මේ වන විට ලෝකයේ සිටින අංක එකේ දිරි ගැන්වීම් දේශකයෙක්. එක් දරු පියෙකු ද වන ඔහු කවර අහිමි වීමක් හමුවේ වුව ද අපට සාර්ථක විය හැකි යමක් තිබෙන බව ලෝකයට පවසනවා. මේ ලාංකේය දියණියන් දෙදෙනා ද ලොවට ගෙන යන පණිවිඩය එය ම නො වේ ද?

කය යනු පැරණි කර්මයක් බව සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. අප මේ ලබා තිබෙන කායික ස්වභාවයනට අප කැමති වුවත්, අකැමැති වුවත් මේ වනාහි අප සසරේ රැස් කළ කර්මයක ප්‍රතිඵලයක්. ඒ වගේ ම යි ‘ලෙඩ නොවේවා! නොමැරේවා!’ යන්න ලෝකයේ ලැබිය නොහැකි දේවල්. එසේ තිබිය දී අප උපතින් ම ලද හෝ පසුකාලීන ව ලද ආබාධ, අහිමි වීම් හමුවේ ජීවිතය සම්පූර්ණයෙන් පරාජය වූවක් ලෙසින් භාර ගන්නවා නම් එය සැබැවින් ම පරාජයක්. මෙවැනි දිරිය මිනිසුන් අපට තහවුරු කරන්නේ එය යි. ඒ නිසා, නැති දේ ගැන නොවෙයි; තිබෙන දෙයින් කළ හැකි දේ ගැන සිතන්න. එයට උත්සාහවත් වෙන්න. එයට කිව යුත්තේ ‘අභියෝග ජය ගැනීම’ කියල යි…!

මහාමේඝ