ජීවිතේ සාර්ථකත්වයක් හොයන කෙනෙකුට ඇස් දෙකක් තියෙන්න ඕන. ඒ තමයි මෙලොව දියුණුවට හේතුවන කරුණු දකින ඇසත්, පරලොව දියුණුවට හේතුවන කරුණු දකින ඇසත්. මෙලොව ගැන විතරක් හිතන කෙනා හොඳින් හෝ නරකින් දියුණුව ලබන්න පව් රැස් කරගෙන පරලොව මහා දුකකට පත් වෙනවා. මෙලොව දියුණුවක් නොහිතන කෙනා දෙලොව නසාගන්නවා. පරලොව ගැනත් හිතන කෙනා තමයි මෙලොවත් සාර්ථක කර ගන්නේ.

රජගහ නුවර හිටපු කෝටිපතියෙක් තමයි මහධන සිටුතුමා. ඔහුගේ ආදරණීය පුතාව වෙහෙසන්ට අකමැතිකමට ඉගැන්නුවේ නැටුම් ගැයුම් විතරයි. සුදුසු කල වයසේ දී ඒ වගේ ම ධනවත් – නැටුම් ගැයුම් හැරුනුකොට වෙන කිසිවක් නොදන්නා, කාම සැපයට ඇළුණු ලස්සන සිටු කුමාරිකාවක් විවාහ කරලා දුන්නා.

ගුරුවරුන්ගේ මඟපෙන්වීමක් නැති, කිසි ශිල්පයක් නොදන්න, ජීවිතේ බරපතළක් කිසිදා නොසිතූ මේ සිටු යුවල පිනක් කරගන්න ඕනේ කියලා කිසිදාක හිතුවේ නෑ. ඒකටම හරියන පාපමිත්‍රයෝ එක්ක සුරා සූදුවට සල්ලාලකමට ඇබ්බැහි වුණා.

නරක පුරුද්දක් හදාගත්තට පස්සේ… ‘පුරුද්ද’ අපේ ජීවිතේ මෙහෙයවනවා. දෙමාපියෝ මිය ගියාට පස්සේ මේ දෙන්නා සකල සේසතම සිඳෙන තුරු විනෝද වුණා. අන්තිමට ණයකාරයන්ට ඉඩම් ලියල දීල පාරට වැටිලා හිඟමනේ ගියා. හිඟා කකා අනාථ ශාලාවක ඉන්න සිටුතුමා දැකපු හොර කල්ලියක් මොහු හොරකමට එකතු කරගත්තා. කිසි ශිල්පයක් නොදන්න, කිසි නුවණක් නැති, හොඳ නරක නොදන්න හිඟන සිටුතුමාට හොරු භාරදුන්නා ගෙවල් බින්දම බිඳපු දොර මුර කරගෙන ඉන්න. කවුරුහරි ආවොත් ගහන්න කියලා මුගුරක් අතට දීලා දැන් හොරු ගෙය බිඳිනවා.

දවසක් හොරු පැන්න වෙලාවේ ගේ අයිතිකාරයා ආවා. හොරු ටික මොහොතින් පැන ගත්තා. පැනලා යන්නවත්, ගහගන්නවත් නොදන්න නූගත් කුමාරයා ගෙහිමියන් අතට ම අහු වුණා. රජු ළඟට යද්දී අතට ම හොරු අහු වෙලා. මෙලොවක් පරලොවක් ගැන නොහිතූ සාපය බලන්න. කිසිදෙයක් නොතේරෙන කුමාරයාට මරණ දණ්ඩනය නියම වුණා.

ඔහුගේ ජීවිතයට වුණ දේ දකිද්දී ලෝකයා ඔහුට කාලකන්නියෙක්… පව්කාරයෙක්… අවාසනාවන්තයෙක් ය කියාවි. ඒත් මෙහෙම වැනසුණේ මහා පින්වන්තයෙක් බව ඔබ විශ්වාස කරනවා ද?

බුදුරජාණන් වහන්සේ වදාළා මේ සිටුවරයා තරුණ කාලේ මහන්සි වෙලා හම්බ කළා නම්, මධ්‍යම සිටු කෙනෙක් වෙනවා. අන්තිම කාලයේ උත්සාහ ගත්තා නම් සුළු සිටු කෙනෙක්වත් වෙනවා.

තරුණ කාලේ ඔය පව් අතඇරලා පැවිදි වුණා නම් රහත් වෙන්න පින තිබ්බා! ‘රහත් වෙන්න පින තිබ්බා!!!’ මැදි වියේ පැවිදි වුණා නම් සකදාගාමී හෝ අනාගාමී වෙන්න පින තිබ්බා. අන්තිම කාලෙ හරි පැවිදි වුණා නම් සෝවාන් වෙන්න පින තිබ්බා.

පාපමිත්‍ර ඇසුර නිසා, සල්ලාලකම නිසා, බේබදුකම නිසා රහත් වෙන්න තිබ්බ පිනයි මේ නැසුනේ…

එහෙනම් අපේ ජීවිතේ ආධ්‍යාත්මික දියුණුවක් කරා යන්න යම් සාංසාරික පිනක් තිබුණත් අපි ඊට නිසි උත්සාහයක්, ධර්මයේ හැසිරීමක්, කල්‍යාණමිත්‍ර ඇසුරක කැපවීමක් නොකළොත් ඒ පින සැඟවී යනවා. ඒ පිනට විපාක දෙන්න අවස්ථාව උදා කරන්නේ, ඊට උපකාරී විදිහට අපි ම කරන වීරිය ම යි. ඒ පින මෝරා යන විදිහට යළි යළි එබඳු ම පින් කිරීම ම යි, ධර්මයේ හැසිරීම ම යි.

කාලයක් හිඟා කාපු…, ඊට කලින් විනෝද වුණ මං මාවත් දිගේ වධකබෙර ගස ගසා, රතු මල් මාලාවක් පලන්දා, දම්වැල්වලින් බැඳගෙන, කසයෙන් තල තලා යන මොහුට දැන් කවර පිහිටක් ද? මිනිස්සුත් වටවෙලා “හොරා… හොරා…” කියලා බණිනවා. අපහාස කරනවා.

ප්‍රාසාදයක උඩුමහලේ ඉඳලා මේ සිදුවීම බලාගෙන හිටිය ‘සුලසා’ කියන නගර ශෝභිණිය ඔහු ව දැක්කා… “අහෝ! ඉස්සර මා සමඟ විනෝද වූ සිටුවරයාට ගිය කලදසාව. ඉස්සර කොච්චර ධනය තිබ්බ ද? යාළුවෝ හිටිය ද… දැන් කිසිම පිහිටක් නැති හැටි. ගැලවුමක් නැති ඔහුට අවසන් මොහොතේ කුස පිරෙන්න දෙයක්වත් දුන්නොත්…” කරුණාවෙන් කම්පිත සිතින් සුලසා අග්ගලා හතරකුත්, පැන් වීදුරුවකුත් සේවකයෙක් අතේ යැව්වා. මරණ මංචකයට පා තබන ඔහුට ආහාරය වෙනුවෙන් මොහොතක විරාමයක් ලැබුණා.

සාමාන්‍ය මනුෂ්‍යයෙකුට, මේ වගේ ව්‍යසනයකට පත් කෙනෙකුට මීට එහා කළ හැකි උදව්වක් නෑ.

ඒත් ඔහුගේ ම වාසනාව… සංසාරය ගැන දන්න…, චුතිය උපත දකින, මේ පවින් වැසුණ මනුෂ්‍යයා මරණයට වඩා භයානක නිරයේ උපත උරුම කරගෙන සිටින බව දකින මහා මුනිවරු ඒ කාලේ වැඩ සිටියා.

ඉන්ද්‍රනීල මාණික්‍යමය ප්‍රතිමාවක් බඳු, ඍද්ධි බලයෙන් අග්‍රප්‍රාප්ත, ධර්මපුරෝහිත මහා මොග්ගල්ලාන මහ මුනිඳුන් දිවැසින් මොහු ව දැක්කා. ඔහුගේ නිරය ගමනයි දැන් එළඹෙන භයංකාර ම දේ. ‘ඒ දුකින් ඔහුව ගලවා ගන්න ඕන’ කියලා නිකෙලෙස් සිතක උපන් කරුණාවෙන් වහා වෙහෙරෙන් අතුරුදහන් ව ඔහු ඉදිරියේ පහළ වුණා.

‘අනේ… මට ධනය තිබ්බ කාලේ මං සියල්ල වනසා ගත්තා. තව මොහොතකින් මං කොහොමටත් මැරෙනවා. මැරෙන්න යන මට මොන කෑම ද? මේ ජීවිතය ජය ගත් උත්තමයාට මේක පූජා කරන්න ඕනේ.’ කියලා සිතූ ඔහු පහන් සිතින් තමාට ලැබුණු සියල්ල පූජා කළා. ඔහුගේ සිත වඩාත් පහදවමින් කාරුණික සිත් ඇති මුගලන් මුනිඳුන් පේන මානේ ඉඳගෙන අග්ගලාත්, පැනුත් වැළඳුවා. ‘අහෝ මේ උත්තමයා මට අනුකම්පා කළා.’ කියලා හිතෙනවාත් සමඟම ඔහුට තව දෙයක් හිතුණා. ‘සුලසා නිසයි මං මේ පින කළේ. අනේ සුලසාට මේ වගේ වෙලාවක මාව මතක් වුණානේ…’ කියලා.

ශ්‍රද්ධාව නමැති උදක ප්‍රසාද මාණික්‍යයෙන් බොර වතුර පෑදෙන්නාක් මෙන් පැහැදුණු, ප්‍රසන්න හිතට ස්නේහය නැමැති කිළුටක් මුහු වුණා. රහතන් වහන්සේ නමැති මහත්ඵල පින්කෙත කෙරේ මසුරුකම දුරු කරලා දන් දීමෙන් ඉහළට ගිය සිත බන්ධනය විසින් පහළට ඇද්දා. නිරයේ ගමන වැළකිලා තව්තිසා උපදින පිනක් රැස් වුණාට, සුලසා ගැන බැඳීම නිසා භූමාටු දෙවියන් අතර එක්තරා උයනක මහා නුග රුකක වෘක්ෂ දේවතාවෙක් ව උපන්නා.

පස්සේ දවසක ඒ උයනට සුලසා යද්දී මේ දේවතාවා ඈව දැකලා ඈව තමන්ගේ විමානයට අරන් ගිහින් සතියක් ඇය සමඟ සතුටු වුණා.

සුලසාගේ අම්මට ඇයව හොයාගන්න බැරුව අඬ අඬා ඇවිදිද්දී මිනිස්සු ගිහින් කිව්වා “මුගලන් මහරහතන් වහන්සේගෙන් අහන්න. උන්වහන්සේ මහා ඍද්ධිමත්නේ.” කියලා. “අදින් සත් වන දවසේ ඈ ජේතවනේ බණ අහන පිරිස අතර ඉඳීවි.” කියලා උන්වහන්සේ අම්මව සැනසුවා.

සතියකට පස්සේ සුලසාගේ ඉල්ලීම මත දිව්‍ය පුත්‍රයා ඇයව දෙව්රම් වෙහෙරට අරන් ගියා. තමන් නොපෙනී පැත්තක හිටියා. සුලසා ව දැකපු මිනිස්සු ඈව වටකරගෙන විස්තර අහද්දී ඈ මේ සියලු අද්භූත සිදුවීම් හෙළි කළා. මේ පාපී මිනිසා මරණ මොහොතේ මුගලන් මුනිඳුට දුන් දානයේ පිනෙන් දෙවියන් අතර උපන් බව අහලා හැමෝටම හරිම පුදුමයි.
ඒ වෙලාවෙ බුදු නෙතින්, එතැන රැස්ව සිටි දෙව්මිනිසුන්ගේ සිත් දුටු භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළා;

බෙත්තූපමා අරහන්තෝ
දායකා කස්සකූපමා
බීජූපමං දෙය්‍යධම්මං
එත්තෝ නිබ්බත්තතේ ඵලං

“රහතන් වහන්සේලා සාරවත් කුඹුරක් වගේ. දන් දෙන දායකයො තමයි ගොවියො. දාන වස්තුව (පූජාව) බීජය වගේ. මේ තුන එකතු උනාම පින් ඵලය (අස්වැන්න) උපදිනවා.”

මේ තුන මිය ගිය අයටත්, දන් දෙන අයටත් හරිම පිහිටයි. පරලොව අයත් මේ පිනෙන් සැප ලබනවා. දන් දුන් කෙනත් දියුණු වෙනවා. ඒ දානපතීන් මෙහෙම කුසල් වඩලා යහපත සලසාගෙන දෙව්ලොව උපදිනවා.

සම්බුද්ධ බලය ආශ්චර්යයි…! සම්බුදු පිහිට අනුපමේයයි…! සම්බුදුරජාණන් වහන්සේනමක් ජීවමාන ව මුණගැසීම අසහාය පිළිසරණක් ම යි. දෙවියන් අතර උපන්නත් පසු ජීවිතයක හරි නිරයේ වින්ද යුතු පව් තිබුණ දෙව්පුතුත්, නිරය උරුම වූ ගණිකාවක් වූ සුලසාත්, දෙව්මිනිසුන් අසූහතර දාහකුත් එදා මග ඵල ලබලා සතර අපායෙන් සදහටම අත්මිදුණා.

දෙව් පුතුන්ගේ ජීවිතයේ සැඟවී තිබූ පින යළි ඉස්මතු කරලා පිහිට සලසන්න සම්බුදුවරුන් හිටි නිසා ඔහු බේරුනා…! ඒත් අපිව බේරන්න දැන් සම්බුදුවරුන් නෑ. අන්තිම දානය හරි පිළිගන්න ඍද්ධියෙන් මුගලන් මහරහතන් වහන්සේ වැඩි නිසයි ඒ ඉරණම වෙනස් වුණේ. අද එබඳු රහතන් වහන්සේලාත් නෑ…

හැබැයි පුංචි පිනක් කළත්…, සුලසාගේ බන්ධනය වගේ… ස්නේහ බන්ධන… ද්වේෂ බන්ධන… මෝහ බන්ධන… ඕන තරම් අදත් තියෙනවා… පින රැස් කරන්න කලින්, පින රැස් කරද්දි, පින රැස් කළාට පස්සෙ කියන අවස්ථා තුනේ දී උපදින සිත් තුන (තුන්සිත) ක්ලේශයකින් කිලිටි නොවී රැකගැනීම පරම දුෂ්කරයි. නමුත් ඒ විදිහට සිත රැක නොගත්තොත්, ඒ බැඳීම්, ගැටීම්, මාන්නය, තරඟය, එකට එක කිරීම්, ප්‍රධානත්වය සෙවීම්, අන් අය කරන දෙය අනුමෝදන් නොවීම, තමා කරන දෙයින් සතුටු නොවීම, ඉරිසියාව, සිත් පුරා කළ පිනේ වටිනාකම සිහි නොකිරීම, සුළු සුළු අඩුපාඩු ඉදිරියේ දුකට අමනාපයට පත් වීම, ආදී නොයෙක් කෙලෙස් අපේ පින බාල කරනවා. ලැබෙන්න තියෙන පුණ්‍ය විපාකය අඩු කරනවා. ඒ නිසා, සිත රැකගැනීමේ වටිනාකම දැන සියල්ලෝම සීරුවෙන් පින් කරත්වා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි