එදින කේසර ජයසිංහ වැටෙන හිරිපොද වැස්ස නොතකමින් වේදිකාව දිගේ ඉක්මන් ගමනින් ඇවිද ගියේ කලබලයෙනි. මිනිත්තු කිහිපයකදී ඔහු සෙවූ තැන ඔහුට හමු විය. තට්ටු ගොඩනැගිල්ලේ පළමු මහලට පඩිපෙළ නැග ගිය කේසර එහි දකුණු පස කෙළවරේ තිබූ පුවත්පත් දැන්වීම් භාරගන්නා කාර්යාලයට ඇතුල් විය.

​තරුණයාගේ කලබලය දුටු එහි සේවිකාව ද කලබලයෙන් මෙන් හිඳ සිටි අසුනෙන් නැගී සිට “මහත්මයා මොකද්ද දන්නෑ උවමනාව?” යැයි ඇසුවා ය.

“ඔව්… මගේ තාත්තා දින තුනක් ඉඳලා ආගිය අතක් නැහැ. සති අන්ත පත්තරේ කොහොමහරි දැන්වීමක් පළ කරන්න ඕන.” කේසර කීවේ කලබලයෙනි.

තරුණයා දෙස කෙටි වේලාවක් බලා සිටි සේවිකාව හිස සලා තමා ගත් නිගමනය නිවැරදියි සිතා, “මට මතක විදියට මහත්මයා මීට කලිනුත් ඔය වගේ දැන්වීමක් පළ කරා නේද?” යි විමසුවේ දැන්වීම් භාරගන්නා පෝරමය කේසරට දිගු කරමිනි.

“නෝනට මතකයි නේද? ඒ මගේ අම්මා අතුරුදහන් වෙලා. මේ පාර තාත්තා. දන්න හැම තැනම හෙව්වා. වැඩක් උනේ නෑ.”

“අම්මව හම්බවුණා ද ?” සේවිකාව ඇසුවේ අනුකම්පාවෙනි. “ඔව් ඒත් වැඩක් වුණේ නෑ. අම්මා මුණගැහෙනකොට එයා මැරිලා. රත්නපුර ඉස්පිරිතාලෙ මෝචරියේ සති ගාණක් තිබිලා. කොහොම වුණත් පත්තරේ දැන්වීම දැකලා තමයි ඉස්පිරිතාලෙන් පණිවිඩය ආවේ.” කේසර කීවේ ලිවීම නතර කරගෙන ය. සේවිකාවගේ දෑස් දෙබැම ඉහළට එසවිණි.

“මනුස්සයන්ට සිද්ධවෙන දේවල්? මොනවා වෙලා ද අම්මා මැරිලා තියෙන්නෙ?”

“වාහනයක හැප්පිලා කියලා තමයි කිව්වේ. නමුත් හප්පපු කෙනෙක් ගැන දන්නෙ නැහැ.”

“අම්මා ගෙදරින් ගියේ මොකක් හරි ආරවුලක් නිසා ද? නැත්නම්…?”

“ඒක දන්නෙ අම්මා විතරයි. උදේ බලද්දි තමයි දන්නේ ගෙදර අම්මා නැහැ කියලා. අදටත් ඒ දේවල් ගැන කවුරුත් මුකුත් දන්නෙම නැහැ. කොහොම උනත් තාත්තා කිව්වා අම්මා අන්තිම දවස් ටිකේ හිටියේ හිතේ මොකක් හරි දෙයක් හංගගෙන හරි බයෙන් කියලා. මට ඒ දේවල් ගැන තේරුමක් නැහැ.”

තරුණයාගේ ස්වරය තුළ පසුතැවිලි බවක් ගැබ්ව ඇතුවාක් මෙනි.

“අම්මගේ වයස?”

“හැටපහයි.”

“තාත්තගේ?”

“හැට අටයි.”

“සිහි කල්පනාව නැති වෙන්න තරම් වයසක් නෙමෙයි. කෝ දෙන්න ඕක මම පුරවන්නම්. මහත්තයා ටිකක් නොසන්සුන් වෙලානෙ ඉන්නේ.” සේවිකාව පෝරමය තමා වෙත ඇද ගනිමින් කීවා ය.

“ඇත්තටම ඒක ලොකු උදව්වක්. මං හොඳටම අවුල් වෙලා ඉන්නේ.” කේසර කීවේ තම අත තිබූ පෑන ද සේවිකාවට දෙමිනි.

“මේ තියෙන්නෙ තාත්තගේ ළඟදි ගත්ත පින්තූරයක්.”

කමිස සාක්කුවෙන් ගත් සිය පියාගේ ඡායාරූපයක් මේසය මත තබද්දී කේසරගේ හඬ බිඳී තිබුණි. සේවිකාව ඔහු දෙස බලා පෝරමය සම්පූර්ණ කරන්නට වූවා ය.

“පුදුම වැඩේ කියන්නේ මිනිස්සු පාරතොටේ මැරිල යන්නෙ බල්ලො බළල්ලු ගාණට. මහත්තය තරහ වෙන්න එපා. අන්තිම දවස් ටිකේ තාත්තගේ හැසිරීම වෙනස් උනේ නැද්ද?”

“තාත්තගේ වෙනසක් මට පෙනුණේ නැහැ. තාත්තා දවසක් කිව්වා අම්මත් මැරුණු එකේ මටත් වැඩි කල් ජීවත් වෙන්න ලැබෙයි කියලා කියන්න බෑ. කොහොම වුණත් උඹ පරිස්සං වෙයං. අපේ පවුලට මොකක්දෝ වේගෙන එනවා කියල මගේ හිත කියනවා.” කියල.

“මටත් හිතෙන්නේ මහත්තයත් පරිස්සම් වෙන එක නම් හොඳයි කියලා. මෙතන අත්සන් කරලා හැඳුනුම්පත් අංකය දෙන්න.” සේවිකාව පෝරමය කේසර අතට දෙමින් කීවා ය.

“සමහර දේවල් සිද්ධ වෙන්නේ අපි හීනෙකින්වත් නොහිතපු කාරණා මුල් වෙලා වෙන්න පුළුවන්. කවුද වෙන ගෙදර ඉන්නේ.”

“මං විතරයි. කීය ද ගාස්තුව?”

“තුන්දහස් දෙසිය පණහයි. කොහොම හරි මේ සති අන්ත පත්තරේට දාන්න මම උත්සාහ කරනවා. බැරි වුණොත් සඳුදා පත්තරේට ෂුවර්.”

කේසර මුදල් ගෙවා ලදුපත අතට ගත්තේ සැනසීමකින් නොවේ. කෙළවරක් නොපෙනෙන මහා සාගරයක තමා අතරමංව ඇති බවක්ය ඔහුට සිතුණේ.

කේසර යතුරුපැදිය පැද්දේ වේගයෙන් වුවත් දැඩි සැලකිල්ලෙනි. ඔහු ගමට සමීප වෙද්දී වැහි අන්ධකාරය නිසා පරිසරය ගුප්ත අඳුරු බවක් විසින් ගිලගෙන තිබුණි. පන්සල් වත්ත කෙළවර වංගුවේ දී කේසරගේ යතුරුපැදියට බැල්ලියක් බුරාගෙන පැන්නා ය. කේසරගේ පපුව එක්වරම ගැස්සී ගිය ද යතුරුපැදිය පාලනය කරගන්නට ඔහු සමත් විය. අනතුරක් නොවුණත් පසුපස නොබලාම යතුරුපැදිය පැදවූ කේසර නිවස ඉදිරිපිට යතුරුපැදිය නවතා එයින් බහිද්දී බැල්ලියගේ ඡායාව ඈතින් ඔහුට පෙනී නොපෙනී ගියේ ය.

“බල්ලො හදලා අවලමේ අතෑරලා. මනුස්සයෙක්ට පාරේ යන්න නෑ.” කේසර තමාටම කියා ගත්තෙ කෝපයෙනි. මහන්සිය නිසාත්, සිතේ ඇති සන්තාපය නිසාත් රාත්‍රී ආහාරය ගැන නොසිතාම ඔහු නිදන්නට ඇඳට ගියේ ය. කේසරට නිදන්නට අවකාශ නොලැබුණි. ළඟ ළඟම නොකඩවා ඇසෙන බැල්ලියකගේ බිරීම ඔහු තුළ බලවත් නොසන්සුන් හැඟීමක් ඇති කරන්නට විය. බැල්ලියගේ බිරීම විලාපයක් වැනි වුව ද කේසර තුළ කෝපය බලවත්ව නැගුණි. ඔහු කාමරයේ ජනෙල් පියන් විවර කර වටපිට බැලී ය. පැහැදිලිව හඳුනාගත නොහැකිමුත් වත්ත කෙළවරේ කළු ඡායාවක් ඔහුට පෙනී නොපෙනී ගියේ ය. ඒ සමඟම බිරුම් හඬ ද නැවතුනි. කේසර නිදන්නට ආයෙම ඇඳට ගියා පමණි. බැල්ලියගේ බිරුම් හඬ නිවස අසලින්ම ඇසෙන්නට විය. නැගිට කුස්සියට ගිය කේසර කුරුඳු දර පොල්ලකුත් රැගෙන නිවසේ පිටුපස දොරින් එළියට බැස්සේ නිවසේ හතර දිසාවේ ම ලයිට් දැල්වීමෙන් පසුව ය. කිසියම් චකිතයක් ඔහු තුළ ද ඉපදී තිබුණි. බිරුම් හඬ නතර විය. පරීක්ෂාකාරී බවින් යුතුව කේසර නිවස වටා ගමන් කළේ ය. කිසිදු දෙයක් සිදු නොවුණි.

ඔහු නිවසේ ඉදිරිපසට යද්දි මාර්ගයේ ඉදිරියට ගිය යතුරුපැදිකරුවෙකු මඳ දුරක දී යතුරුපැදිය හරවාගෙන කේසරගේ නිවස දෙසට එන්නට විය.

“මොකද මේ පොල්ලකුත් අරගෙන?” කේසර දෙස බලාගෙනම යතුරු පැදිකරු විමසුවේ සැහැල්ලුවෙනි.

“කවීන් නේද?”

“ඔව්. මං මේ ගෙදර යන ගමන්. උඹ අමුතු සීන් එකක ඉන්නවා දැකලයි ආවේ.”

“හදිස්සියක් නැත්නම් ගෙට වරෙන්. අපිට ලොකු කරදරයක් වෙලා.” කේසර කිව්වේ පොල්ල විසි කරමිනි.

කවීන් යතුරු පැදියෙන් බැස නිවසේ ඉස්තෝප්පුවට ඇතුළු විය.

“ඉඳගනින්.” කියා කවීන්ට පුටුවක් ළං කර දුන් කේසර සියලු දේ කවීන් සමඟ පැවසීය.

“උඹට තනියම ඉන්න බය නම් යමං අපේ ගෙදර.”

අවසානයට කවීන් කීවේ ය. කේසරට සිනා ඉපදින.

“විකාර ද? ටිකක් හිටපං මං දොර අරින්නම්. දවල් උයාපු බත් තියෙනවා උඹ කනවනං.”

“එපා තේ එකක් බොමු.” කවීන් කීවේ අලස හැඟීමෙනි.

කේසර කවීන් සමඟ නිවසේ පිටුපස දොරින් නිවසට ඇතුල්ව තේ කෝප්ප දෙකක් පිළියෙල කරගෙන විත් ඇතුළේ සිට නිවසේ ඉදිරිපස දොර විවෘත කළේ ය.

කවීන් සිටියේ බිම වාඩිගෙන ය. බලවත් දුගඳක් හාත්පස පැතිරී ඇත.

“තේ එක බීපන්. මොකක්ද මේ එන ගඳ? බයිසිකලේට බල්ලෙක්ගෙ ජරාගොඩක්වත් යට වෙලා ද කොහෙද?” කවීන් තේ කෝප්පය ගත්තේ නැත.

“ඇයි උඹ තේ හදන්න කිව්වේ?” කේසර කීවේ කවීන් අසල බිම තේ එක තබමිනි.

“මං කවීන් නෙවෙයි. අම්මා.” කවීන්ගේ මුවින් පිට විය. කේසර හිටිවනම ගල් ගැසුනාක් මෙන් නතරව කවීන් දෙස බියෙන් බැලී ය. කටහඬ සිය මවගේ බව ඔහු හඳුනාගත්තේ ය.

“අම්මා… අම්ම මොකද කවීන්ගේ ඇඟේ?” කේසර ඇසුවා නොවේ; ඔහුට ඇසුණි.

“මම කවීන්ගෙ ඇඟට ආවේ පුතාට පණිවිඩය කියාගන්න. අරකි අපේ පවුලෙන් පළිගන්නවා.”

“කවුද?”

“ලැසී. අපේ ගෙදර හිටපු බැල්ලි.”

කේසර තුළ සම්පූර්ණ බිය පහව නොගියත් කිසියම් ධෛර්යයක් ඉපදුණි. ඔහු කවීන් දෙසම බලාගෙන පුටුවක හිඳ ගත්තේ ය.

“මට මුකුත් තේරෙන්නෙ නෑ. අම්මට මොකද උනේ? තාත්තට මොකද වෙන්නේ?” කේසර ඇසුවේ සන්සුන් ලෙසිනි.

“පුතේ ලැසී දෙවැනි පාර පැටව් දාපු වෙලාවේ මායි තාත්තයි මේ වගේ කළුවර රාත්‍රියක ලැසීවයි, පැටවු ටිකයි පන්සලේ බණ මඩුවට ගිහින් දැම්මා. ලැසීව අල්ලලා කටත් ගැට ගහගෙනයි අරන් ගියේ. පැටව් එකා දෙන්නා පාරේ ගිය වාහනවලට යට වෙලා මැරුණා කියලා පස්සේ ආරංචි උනා. අපි ගිහින් දැම්මෙ පන්සලේ කන්න තියෙනවා කියලා හිතාගෙන වුණත් බලු පැටව් පන්සල් වත්ත පුරාම කැත කරලා. ඒවා අරන් දාල තියෙන්නෙ පන්සලේ හාමුදුරුවෝ. අන්තිමට ලැසීත් වාහනයකට යට වෙලා මැරිලා. පන්සලේම බැල්ලියෙක් වෙලා ඉපදිලා ඉන්නවා. භූත බැල්ලියෙක් වෙලා.

එදා රාත්‍රියේ ලැසී මගේ කාමරේට ආවා. මාව කන්න පැන්නා. මං ලැසීගෙන් බේරෙන්න ගෙයින් එළියට පැනලා පාර දිගේ දිව්වා. ලැසී දිගටම පස්සෙන් ආවා. මං දන්නෑ මං කොහෙද යන්නේ කියලා. බස් එකක් ආවා. මං ලැසීගෙන් බේරෙන්න බස් එකට නැග්ගා. ලැසීත් නැග්ගා. අන්තිමට මං රත්නපුරෙන් බැහැලා පාර මාරුවෙද්දි ලැසී මගේ ඇඟට පැන්නා. මං බේරෙන්න ආපිටට පනිද්දි තමයි ලොරියට හැප්පුනේ. මමත් දැන් ඉන්නේ පන්සලේ.”

“පන්සලේ? පන්සලේ මොකද කරන්නේ?” කේසර ඇසුවේ සංවේගයෙනි.

“රැයක් දවාලක් නෑ. පන්සල් වත්තේ හැම තැනම මට බල්ලන්ගෙ ජරාව පේනවා. ඒවා අරන් දාන එක තමයි. මගෙ මුළු ඇඟේම බලු ජරාව ගෑවිලා. උඹටත් එනවා නේද ගඳ?”

කේසර කවීන් දෙස බලන්නට තරම් ශක්තියක් නැතිව බිම බලා ගත්තේ ය.

“එතකොට තාත්තට මොකද උනේ?”

“තාත්තටත් ඒ ටිකම තමයි. තාත්තාව පාන්දර වැලි ලොරියකට හැප්පුණා. ලොරියෙ අය තාත්තා ඉස්පිරිතාලෙට අරන් යද්දි අතරමගදී තමයි මැරුනේ. උන් මිනිය නාරගල පාලමින් ගඟට දැම්මා.” කේසර අසීරුවෙන් මෙන් කවීන් දෙස බලා තාත්තත් පන්සලේ දැයි ඇසුවේ ය.

“ඔව්. තාත්තාගේ ඉරණම මට වඩා නරකයි. ලැසී සැරින් සැරේ තාත්තගේ මස් කඩාගෙන කනවා. ඒකි දැන් අද හවස ඉඳලා උඹ පස්සේ වැටිලා ඉන්නේ. පුතේ උඹ මෙහෙන් පලයන්
ඒකි උඹවත් මරන්න කලින්. මං මේ ඒක කියන්න ආවෙ. මං දැන් පන්සලට යනවා.”

කේසරට දිගු සුසුම් වැලක් පිට වුණි. ඔහු දෑස් පියාගෙන පුටුවට බර විය. පරිසරය පුරා පැතිර තිබූ බලවත් දුගඳ නැති විය.

“උඹ පුදුම මිනිහෙක්නේ බං. තේ අරන් ඇවිත් නිදියනව ද?”

කවීන් සිය හඬින් කේසරගෙන් ඇසුවේ ය.

කේසර දෑස හැර බැලුවා පමණි.

“මොකද උනේ උඹට? බය වෙලා වගේ.” කවීන් ආයෙම ඇසී ය.

“මොකුත් නෑ. මතක තියා ගනින්. බල්ලෝ බළල්ලු හදලා පන්සල්වල ගිහින් දාන්න එපා. ඒ සත්තුත් අමාරුවෙ, ගිහින් දාපු එවුනුත් අනතුරේ.” කේසර කීවා නොව ඔහුට කියැවිණි.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.