“මහරජ, සුන්දරී කියලා පරිබ්‍රාජිකාවක් හිටියා. ඈ දැන් පෙනෙන්න නෑ.”

“ඉතින් ඔබට මේ ගැන සැක කොහේ ද?”

“මහරජ, ජේතවනය ගැනයි.”

“එහෙනම් ජේතවනය පරීක්ෂා කරනු.”

එතකොට ඒ අන්‍යාගමික පිරිවැජියෝ ජේතවනය පුරා සොය සොය ඇවිද ගිහින් තමන් වැළලූ තැන වූ දිය අගලේ වළෙන් සුන්දරියගේ මිනිය ගොඩ අරගෙන ඇඳක තබාගෙන සැවත්නුවරට ඇතුළු වූවෝ ය. වීදියක් වීදියක් ගානේ, හතරමං හන්දියක් හතරමං හන්දියක් ගානේ ගිහින් මිනිසුන්ට මෙහෙම කිව්වෝ ය.

කටේ කෙටේරියක් ඇතිව උපන්නෝ

“ඒයි ආර්යවරුනි, මෙන්න බලාපල්ලා ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ගේ වැඩ. මේ ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ට ලැජ්ජාවක් නෑ, දුස්සීලයි. පවිටුයි. බොරු දොඩෝනවා. බඹසරක් නෑ. මේ උදවිය ධර්මයේ හැසිරෙනවා කියලා, සම සිතින් හැසිරෙනවා කියලා, බ්‍රහ්මචාරී කියලා, සත්‍යවාදී කියලා, සිල්වත් කියලා, කලණ දහම් තියෙනවා කියලා ප්‍රතිඥා දෙන්නේ. මොවුන්ට මහණකමක් නෑ. මොවුන්ට බඹසරක් නෑ. මොවුන්ගේ මහණකම ඉවරයි. මොවුන්ගේ බඹසර ඉවරයි. මොවුන්ට කොහෙන් ද මහණකමක්? මොවුන්ට කොහෙන් ද අකුසල් දුරුවීමක්. මොවුන් මහණකමෙන් පහවෙලා ගියා. මොවුන් බඹසරින් පහවෙලා ගියා. පිරිමියෙක් ස්ත්‍රියක දූෂණය කරලා මේ විදියට කොහොම නම් ඝාතනය කරන්න ද?”

අත්තටු ආ කට කතා

සැවත්නුවරවැසි ළාමක මිනිසුන් ද තීර්ථකයන්ගේ නිහීන අපකීර්ති හඬ රාව ප්‍රතිරාව කළෝ ය. පිඬුසිඟා වැඩි භික්ෂූන් දැක අසභ්‍ය වූ පරුෂ වචනවලින් ආක්‍රෝශ පරිභව කළෝ ය. දොස් කීවෝ ය. පීඩා කළෝ ය. සැවත්නුවර පුරා ලැව්ගින්නක් සේ මේ අඥාන මුසාව පැතිර යන්නට විය. මුලින් රහසේ එකිනෙකා කළ සතරකන් මන්ත්‍රණ දැන් දැන් එළිපිට මහත් ඝෝෂාවක් සේ රැව්දෙන්නට විය. නුවරවැසි සැදැහැවත් උපාසක උපාසිකාවෝ ශ්‍රද්ධාව ම පෙරටු කොට සිටියෝ ය.

පිඬුසිඟා වැඩි මුනිරජුන්ගේ ශ්‍රාවකයන් ඉවසීම ම බලය කරගෙන කිසිවක් මුවින් නොබැණ හිස් පාත්‍රා ඇතිව පෙරළා දෙව්රම් වෙහෙරට වැඩම කළහ. සවස් කාලයේදී භාග්‍යවතුන් වහන්සේ ව මුණගැසී මේ බව සැල කළෝ ය. ඒ මොහොතේ කිසිවකට කම්පා නොවන සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ දේශනා කළ සේක.

තුන් කල් දක්නා පැණවතාණෝ.

“පින්වත් මහණෙනි, ඔය සද්දේ වැඩිකල් තියෙන්නේ නෑ. සතියක් විතර ම යි ඕක පවතින්නේ. සතිය ඉවර වෙනකොට ඕක අතුරුදහන් වෙලා යනවා. මහණෙනි, එහෙම නම් මිනිස්සු භික්ෂූන් ව දැකලා පරිභව කළොත් ඔබ ඔවුන්ට මේ ගාථාවෙන් ප්‍රතිචෝදනා කරන්න.”

“අභූතවාදී නිරයං උපේති – යෝ චාපි කත්වා න කරෝමි’ති චාහ
උභෝපි තේ පෙච්ච සමා භවන්ති – නිහීන කම්මා මනුජා පරත්ථ”

“අභූත චෝදනා කරන අය නිරයට තමයි යන්නේ, යම් කෙනෙක් තමන් කරලා හිට කළේ නැතෙයි කියනවා නම්, ඒ අයත් නිරයට තමයි යන්නේ. තමන්ගේ පහත් වැඩ නිසා, ඔය මිනිස්සු මළාට පස්සේ පරලොව දී ඔය දෙගොල්ලො ම දුක් විපාකවලින් සමාන වෙනවා.”

නොවරදින සැබෑ ම විසඳුම

ඊට පස්සේ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයේ දී ඔය ගාථාව ඉගෙන ගත්හ. කවුරුහරි කෙනෙක් භික්ෂූන් ව දැක, අසභ්‍ය වූ පරුෂ වචනයෙන් පරිභව කළොත් ඒ මිනිසුන්ට මේ ගාථාවෙන් ප්‍රතිචෝදනා කළෝ ය.
එතකොට මිනිසුන්ට මෙසේ සිතුණි.

‘මේ පින්වත් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ නම් මේ පාපය කරලා නෑ, මේ වැඬේ මේ අය කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ අපට ශාප කරනවා නො වේ ද…’ කියලා. ඉතින් ඒ හඬ බොහෝ කල් පැවතුනේ නෑ. දින හතක් ම පමණයි තිබුණේ. දින හත ඉක්මවා ගියාට පසු අතුරුදහන් වුනා. මෙය දැනගත් මුනිරජාණන් වහන්සේ මෙය ද වදාළෝ ය.

“සංවරකමක් නැති අඥාන මිනිසුන් වචනවලින් විදිනවා. යුද්දෙට ගිය ඇත් රජෙකුට හතුරෝ එකතුවෙලා ඊතලවලින් විදිනවා වගෙයි. නමුත් තරහ සිත් නැති භික්ෂුව අනුන් කියන ඒ දරුණු කථා අහගෙන ඉවසාගෙන ඉන්නවා.”

බුද්ධානුශාසනාව සිදුකරන්නෝ ලොව දිනන්නෝ ය

මෙම සිදුවීම බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩසිටි කල සැදැහැවත් උපාසක උපාසිකාවන් පිරීගිය සැවත්නුවර සිදු වූ අවාසනාවන්ත සිදුවීමකි. බුදුසසුනට ලැබුණු ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උහුලනු නොහැකි වූ අන්‍යාගමිකයින් සසුනට අපකීර්තියක් ඇතිකිරීමට මෙය සිදු කළෝ ය. දින කිහිපයක් යන තුරු නින්දා අපහාසවල අතොරක් නො වී ය. ධර්මස්වාමී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපැද්ද ශ්‍රාවකයන් ඉවසීමෙන් යුතුව සිටිද්දී නිරායාසයෙන් ම සත්‍ය ප්‍රකට වී නිදොස් වූවන් වූවෝ ය. පෙරටත් වඩා බුදු සසුන වෙත සත්කාර සම්මාන ගලා ආවේ ය.

ලෝ තතු නොදන්නෝ – දුක් බිය වැළඳ ගත්තෝ ය

වර්තමානයේ ද ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක මෙවැනි අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණදීමට සිදුවනු ඇත. එහි දී ඇතැම් විට ඇතැම් අය නින්දා අපහාස විඳ දරා ගනු නොහැකිව සියදිවි නසා ගනිති, සිහිවිකල් කර ගනිති, මිනීමැරුම් කල කෝලාහලවල පැටලෙති, මත්වතුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙති, භයෙන් තැතිගැනීමෙන් පීඩාවෙන් ජීවත් වෙති.

ඉපදුණ සත්වයාට නින්දා අපහාස ජීවිතය කරා පැමිණීම සනාතන ලෝ දහමකි. එය ජාති, කුල, ආගම්, දුප්පත්, පෝසත්, උගත්, නූගත් භේදයකින් තොරව සියලු දෙනා කෙරෙහි කලින් කල පැමිණෙන උපද්‍රවයකි. එය භාග්‍යවත් බුදුවරුන්ට පවා සාධාරණ ය. මහරහතුන්ට පවා සාධාරණ ය. එසේ නම් සාමාන්‍ය සත්වයන් පිළිබඳ කවර පුදුමයක් ද? ඉහත කතා ප්‍රවෘත්තිය අපට යහපත් උපදේශ රාශියක් ලබා දෙයි. විශේෂයෙන් ම අපගේ භාග්‍යවතුන් වහන්සේ සසරේ අප්‍රමාණ පින් රැස්කළ සේක. රහසින්වත් පව් නොකළ සේක. සියලු පව් සෝදා හළ සේක. දෙවියන් බඹුන්ගෙන් ද උපස්ථාන ලද සේක. රාජරාජමහාමාත්‍යාදීන් ද සත්කාර සම්මාන දැක්වූ සේක. ඒ බුදුරජාණන් වහන්සේට පවා කළ චෝදනා නින්දා අපහාසවල තරම අපට මින් සිතාගත හැකි ය.

සියලු පරාජයන් හමුවේ ඍජු වන ශ්‍රාවකත්වය

මේ නිසා නින්දා අපහාස ආදිය ඕනෑම අවස්ථාවක කරුණු සහිත ව ද කරුණු රහිත ව ද අපගේ ජීවිතය කරා පැමිණිය හැකි බව කල් තියා අප තේරුම්ගෙන සිටිය යුතු ය. නිතර නිතර අෂ්ට ලෝක ධර්මයන්ගේ අනිත්‍යතාවය සිහි කළ යුතු ය. මරණ සතිය සිහි කළ යුතු ය. අතීතයේ ද වර්තමානයේ ද අනාගතයේ ද නින්දා අපහාස නොලැබූ අයෙක් ලොව නොමැති බව තේරුම් ගත යුතු ය. අනමතග්ග සංයුත්තයේ එන දිගු සසර පිළිබඳ ව කියවෙන සූත්‍ර දේශනා කියවා සසර පිළිබඳ නිතර සිහි කළ යුතු ය. සතර අපා බිය සිහි කළ යුතු ය. කලණ මිතුරන්ගේ අවවාද අනුශාසනා සිහි කළ යුතු ය. තිසරණ සරණ ගොස් තිසරණයට දිවි පුදා නිතර තිසරණය සිහි කළ යුතු ය.

මෙසේ ඒ බුදුරජුන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවකයා අටලෝ දහමින් කම්පා නො වී කිසිවකට නොඇලුණු සිත් ඇතිව මෙතෙරින් එතෙරට පිය මනිනු නොඅනුමාන ය.

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි