අනගාරික ධර්මපාලතුමා යන නාමයෙහි ම අරුත ගත් විට එතුමාට ස්ථිර නිවසක් නො තිබූ බව අපට පසක් වේ. අනගාරික ධර්මපාලතුමන් ඍජු ජීවිතයක් ගත කිරීමට සුදුසු සොඳුරු අවිය ලෙස භාවිත කළේ බ්‍රහ්මචාරී සීලය ඇතුළත් පංච සීලයටත් එහාට විහිදුණු සීලයකි. අප එසේ පවසන්නේ එතුමන්ගේ ජීවිතයේ දී ඔහු සතුන් නොමරා ඇති බව, කිසිත් සොරකමක් සිදු නොකර ඇති බව, පිරිසිදු බඹසර ආරක්ෂා කළ බව, බොරු නො කී බව, මත්පැන් මත්ද්‍රව්‍යය පානය නොකළ බව හා කේළාම්, හිස් වචන හා පරුෂ වචන නොපැවසූ බව එතුමන්ගේ චරිතාපදානය දෙස බලන විට සක් සුදක් සේ පැහැදිලි නිසා ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ සීලයේ අනුසස් ලෙස ඕනෑම පිරිසක් හමුවේ විශාරද ව පිවිසෙන්න හැකි බවයි. එතුමාගේ ජීවිත කතාව පිළිබඳ අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ මෙතරම් සමාජ මෙහෙවරක් කරන්නට පිරිස මැද අභීතව සත්‍යයේ හඬ නඟන්නට එක එල්ලේ ම අසත්‍යයට විරුද්ධව පහර දෙන්නට අවිය වුණේ බ්‍රහ්මචාරී සීලය පෙරටු කර ගත් සීලයත්, නුවණත්, දහම් දැනුමත් බව ය.

එතුමන්ට සත්‍යවාදී අරුත්බර, ශ්‍රේෂ්ඨ, ඍජු ජීවිතයක් ගත කිරීමට මග පෙන්වූයේ උතුම් ශ්‍රී සද්ධර්මය යි. ඔහු දඹදිව නිරපරාදයේ සිරගතව සිටින සමයේ ඔහුගේ අන්තේවාසිකයෙක් බඳු වූ ‘ලුවිස්’ නැමැති වෛද්‍යවරයාට මෙසේ ලියා එවන ලදී.

“උඹ විවේක කාලයේ ධර්මය අසා කීකරුව වැඩ කරපන්, දිවි යතත් බොරු කියන්න එපා, සෝවාන් මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයා පස් පව් කරන්නේ නෑ, පස් පවින් බේරී වැඩ කරපන්, පරදාර සේවනය කරන්න එපා, බොන්න එපා, සොරකම් කරන්න එපා, සතුන් මරන්ට එපා, මැරී අපායට ගියාම ඔය කිසිවක් කරන්න බෑ, සිංහල බණ පොත් බලාපන්, පෝයට අට සිල් ගන්ට නියම කරපන්, මේ කාලයේ අධර්මයට බලය වැඩියි. භික්ෂූන් ධ්‍යාන භාවනාවෙන් විරහිතව, දුස්සීල අලගද්ද ප්‍රතිපත්තියෙන් ජීවිකාව ගත කරති. වීරිය කරලා පාලි භාෂාව ටිකක් ඉගෙන ගනින්. ධර්මයට කීකරුව ක්‍රියා කරන පුද්ගලයා නරකාදියට යන්නේ නෑ.”

තව ද එතුමන් වෙනත් ලිපියක මේ ආකාරයෙනුත් සඳහන් කොට තිබේ. “ධර්මයට ගරු කරන්නේ නැත්තේ හොඳින් ධර්මය නොලබන නිසයි. හොඳින් ධර්මය ඉගෙන ගන්නවා නම් ශ්‍රද්ධාව උපදිනවා. සැකයක් නැත. මම දිවා රෑ දෙකෙහි ම ධර්ම ප්‍රකරණ භාවිත කරන නිසා දවසින් දවස මගේ ශ්‍රද්ධාව දියුණු වන්නේ ය. සියලු දුකට මුල අඥානකම යි. සියලු පව් කිරීමට මුල මිත්‍යාදෘෂ්ටිය යි. ප්‍රඥාව ලබා ගැනීමට බලවත් වීරිය ඇති කර ගත යුතුයි. කුසීත හීන වීරිය ඇති පුද්ගලයාට ප්‍රඥාව කිසි කලෙක ලබා ගන්නට නො හැකියි. තව ද ධර්මය දැනගෙන බණ භාවනා කළ යුතුයි. දැන ගත යුතු ධර්මය කුමක් ද?

‘සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඍද්ධිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පංච උපාදානස්කන්ධය, සතර අගති, සත්ත අනුශය, චරිත, අකුසල චිත්ත උත්පාද’ යන ආදී ධර්මයන් දැන ගත් කළ කිසි කලෙක අලසකමින් සිටින්නට සිත නූපදී.

මෛත්‍රී භාවනාව නොකරන නිසා ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛර සිතේ උපදී. උඹ යට කී ධර්මයන් අරුත් අසා තේරුම් ගන්නට වීරිය කරපන්, හීන වීරිය අතහැර ආරද්ධ වීරිය වඩාපන්, පවිත්‍රකම දියුණු කරපන්, බාහිර වස්තු පවිත්‍ර ව තබා ගනින්.”

මෙවැනි උපදෙස් අපට අහන්නට ඇත්තේ නිකෙලෙස් මුනිවරුන්ගෙනි. එහෙමත් නැත්නම් නිවන් මග ගමන් කරන උතුමන්ගෙන් පමණි.

එතුමන්ට අවුරුදු 17 සම්පූර්ණ වනවාත් සමඟ ම තමාගේ සිඟිති නැගණිය මිය යාමෙන් තම මව්තුමිය හඬනා අයුරු දැක මාගෙන් කිසිම කාන්තාවකට මෙබඳු දුකක් නොදෙන්නෙමි’යි අධිෂ්ඨාන කර ගත් අතර තමා විසින් සුරක්ෂිතව රැගෙන ආ ‘කුමර බඹසර’ ඒ අයුරින් ම ඉදිරියටත් ආරක්ෂා කරගෙන යාමට තරම් ප්‍රබල පුණ්‍ය මහිමයක් එතුමන් සතු විය.

ධර්මපාලතුමන් හට ඇසුරු කිරීම පිණිස හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්, ඕල්කට්තුමන්, බ්ලැංකි මැතිණිය වැනි කල්‍යාණමිත්‍ර ඇසුරක් නිබඳව ලැබුණු හෙයින් ද කුඩා කල සිටම බොහොම සිල්වත්, ගුණවත් මාපිය ඇසුරක් නිබඳව ලැබුණු හෙයින් ද ඔහුට සීලයෙන් ද නුවණින් ද මුහුකුරා යන්න අවස්ථාව උදා විය. එසේ ම එතුමා නව යොවුන් වියට පා තබනා විට පිරිසිදු බ්‍රහ්මචාරී දිවි පෙවෙතක් ගත කරන්නට අවස්ථාව ද එතුළින් උදා විය.

තමා විසින් ගෞතම බුදු සසුන නඟා සිටුවීම උදෙසා තම මෑණියන්ගෙන් අවසර ඉල්ලා සිටින මොහොතේ ඇය කියා සිටියේ “පුතේ, නුඹ ගිහින් ජනතාවට සේවය කරන්න” කියා ය. එතුමාණන්ගේ පියාණන් කියා සිටියේ “පුතේ, නුඹ ගිහින් බෝධිසත්වයෙකු වෙන්න වැඩ කරන්න” කියා ය.

එතුමන් නිකරුණේ සිරකරුවෙකු ලෙස දුක් විඳින කාලයේ ‘ලුවිස්’ නමැති වෛද්‍යවරයාට එවූ ලිපියේ මේ විදියට සඳහන් කර තිබුණි. “මා නැති කරන්න මේ රජය විශාල උත්සාහයක් දරනවා. නමුත් මා ධර්මයට අනුව ක්‍රියා කරන නිසා මගේ සිතට ලොකු සැනසීමක් දැනෙනවා. අපගේ බෝසතාණන් වහන්සේ ශාන්තිවාදී තාපසයාණන් ලෙස සිටින කාලයේ නිරපරාදේ තම අත්පා කපා දමන විට පවා කේන්ති නො ගෙන ඉවසූ ආකාරයත්, මෛත්‍රී වැඩූ ආකාරයත් මා නිතර සිහි කරනවා. නමුත් මා කිසිවෙකුට හෝ යාඥා කිරීම හෝ උපකාර ඉල්ලා සිටීම හෝ කරන්නේ නෑ. ඒක මගේ හිතට රුචි දෙයක් නො වේ. කෝටි වතාවක් සසර දුක් විඳ ඇති මට ධර්මය මුණගැසුණ වෙලාවේ ඒ ධර්මයට ගරු කරනවා මිසක් බාහිර උපකාර අයැද සිටීම මහත් නින්දාවක්.”

මෙසේ එතුමන් තුළ තිබූ අසීමිත දහම් ගෞරවයත්, අසීමිත වූ සීල ගෞරවයත්, අපරිමිත වීර්යයත්, මනා ලෙස පුහුණු කළ ඉවසීමත්, සසරේ බොහෝ සේ දුක් විඳින සත්වයන් කෙරෙහි තිබූ ඉමහත් අනුකම්පාවත්, අපමණ මෙත් සිතත් නිසා ශ්‍රී ලංකාව සහ දඹදිව තුළත් මුළු ලෝකය පුරා ඕනෑම රටක වුවත් එඩිතරව කේසර සිංහයෙකු සේ භාග්‍යවතුන් වහන්සේගේ මුව මඬලෙන් වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පුරා ප්‍රචලිත කොට යළිත් ගෞතම බුද්ධ ශාසනය ලොව පුරා බබුළුවන්නට, රැව් පිළිරැව් නංවන්නට ධර්මපාලතුමන්ට ඉඩ ප්‍රස්තා උදා විය.

අනගාරික ධර්මපාලතුමනි, ඔබතුමන්ගේ මඟ පෙන්වීම, උපකාරය, අවවාදය, එදාටත් වඩා ගැළපෙන්නේ අදට යි. ඔබතුමන් අනාවැකි පළ කළ පරිදි ම ගොයුම් ගොත් සසුන බේරා ගන්නට, හෙළයා බේරා ගන්නට සිටි දියසෙන් කුමාරයා තිඹිරිගෙයි දී ම මරා දමන කෲර සමාජයකට අප ළඟා වී අවසන් ය. මිත්‍යාදෘෂ්ටිය, අසත්‍යය, අසාධාරණය රජයන යුගයකට මුහුණ දී සිටින අපට බිහි වී සිටින වීරපුරුෂයන්ට ද ධර්මය උස් හඬින් කියන්නට ඉඩප්‍රස්තාව අහිමි වී ගොස් ඇති අතර එම අවස්ථාව ඇත්තේත් අධර්මයට යි.

ඔබතුමන්ගේ ජන්ම දිනය සමරන මේ මොහොතේ අප විසින් රැස් කළ සියලු ම පුණ්‍ය ධර්මයන් ඔබතුමන්ගේ දිව්‍යමය ජීවිතය සැපයෙන් සැපයට පත්වෙන්නට උපකාර වේවා! යන ප්‍රාර්ථනාව කරන්නෙමු. ඔබතුමන්ට ද ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!

(අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතාපදානය ඇසුරෙනි.)

සටහන – විහඟ පරාක්‍රම