උපන් සියලු සත්වයන්, උපන් මොහොතේ සිට ම ජරා මරණ කරා ගමන් කරමින් සිටී. එනිසා අපට මහලු වූවන්ගේ දසුන විරල නැත. රෝගීන්ගේ දසුන විරල නැත. මළවුන්ගේ දසුන ද විරල නැත.

උපන් සත්වයන් මේ දුක් රැස කරා ම අඛණ්ඩ ගමනක යෙදෙන බව දුටු නුවණැත්තෝ අතීතයේ ද දුකින් නිදහස් ව ලබන විමුක්තියක් සොයා ගිහිගෙය අත්හැර ශ්‍රමණ භූමියට පැමිණියහ. අද දක්වා ම එසේ දුකින් නිදහස් වීම ජීවිත ඉලක්කය කරගෙන ගිහිගෙය හැර ගිය පිරිස් ජීවමාන ව සිටින නිසා අපට ඒ ශ්‍රමණ රුව ද දක්නට විරල නැත. නමුත්, සුලබ ව ඒ රූපකායන් දුටුවා කියා අප සිත්හි අවබෝධාත්මක වෙනසක් සිදු වී ද නැත.

අතිශයින් ජරපත් ව කෙස් පැසී ගිය, හම රැලි වැටී එල්ලා වැටුණු, කබ පිරි – සුද වැසී ගත් දෑස් සහිත, සිරුරෙන් නැගෙන මල මුත්‍ර ගඳ සහිත මහල්ලන් අපට ඇති කරන්නේ පිළිකුළකි. බොහෝ රෝගී බවට පැමිණ දුගඳ හමනා සිරුරු සහිත වූ රෝගීන්ගේ දැක්ම අපට ඒ අයුරින් ම මහා පිළිකුළක් ඇති කරවන්නකි. මළමිනී යනු අපට බියක් හෝ සෝ සුසුම් නික්මෙන බලවත් දුකක් හෝ ඇති කරවන්නකි. ඒ අයුරින් ඇති වන පිළිකුළ නිසා හෝ බිය නිසා හෝ හද පාරවන දුක නිසා හෝ අවබෝධය ඇති වන්නේ නම් මේ තාක් අප ජීවිත තුළ එසේ පිළිකුළෙන්, නොදැකිය යුත්තක් දැක්කාක් මෙන් ඉවතට යොමු වෙමින් දැක්වූ ප්‍රතිචාරයන් අප ව අවබෝධය කරා ගෙන ගොස් තිබිය යුතු ය. නමුත්, සිදු වී තිබෙන්නේ ජීවිතයේ යථා ස්වභාවය ගැන සිහිනුවණින් සලකා බැලීමට ලැබුණු අවස්ථාවන් අප තුළ අනවබෝධයෙන් හට ගත් පිළිකුළට යටපත් වීම පමණි.

තමන් වහන්සේ ද දුකින් නිදහස් ව ලෝ සතට දුකින් නිදහස් වීම පිණිස මඟ විවර කරලන්නට මනුලොව වැඩි අප මහා බෝසතාණන් වහන්සේ දුකින් නිදහස් වනු පිණිස ගිහිගෙය හැරපියා ශ්‍රමණ භූමියට පැමිණියේ මේ සතරක් වූ පෙරනිමිති දැකීමෙන් දියුණු වූ සිහිනුවණ නිසාවෙනි. උන්වහන්සේගේ ජීවිතයේ අතිශය තීරණාත්මක සන්ධිස්ථානයක් බවට එසේ පත් වූයේ අප අද පිළිකුළෙන් බැහැර කරන දෙය යි.

තමනුත් ඒකාන්තයෙන් ම ජරා ව්‍යාධි මරණ උරුමය ඇතිව සිටිද්දී තමන් වැනි ම වූ ඒ උරුමය ම ඇති අයෙකු තමන්ට පෙර එම ඉරණමට ගොදුරු වූවා කියා හට ගත යුත්තේ පිළිකුළක් නො වේ; මේ වනාහී අවබෝධය උපදවාගෙන නිමා කළ යුතු ගමනක් ය යන සිහිනුවණ යි.
සම්බුදුරජාණන් වහන්සේ විසින් නිතර සිහි කළ යුතු කාරණාවන් ලෙස මේ ජරා ව්‍යාධි මරණ ධර්මයන් ද වදාළ සේක. එසේ සිහි කරන්නට කිව්වේ අවබෝධයක් කරා අප ගෙන නොයන පිළිකුළක් උපදවා ගැනීම පිණිස නම් නො වේ.

ඒ අයුරින් නිරන්තරයෙන් සිහි කරන කල්හි යෞවන මදය, ආරෝග්‍ය මදය හා ජීවිත මදය නම් වූ සසර ප්‍රමාදයට අප ඇද දමා කාමයන්ගේ නිස්සාර ස්වභාවයට ම බැඳ තබන ප්‍රමාදයන් දුරු කිරීමට එය උපකාරයකි. නැතහොත් සිදු වන්නේ තරුණ ජීවිතය තුළ කාමයන්ට ම මත්ව, ඒ තුළින් ම ආස්වාදය ලබමින් ප්‍රමාදී ව වාසය කිරීම යි. පින ද කුසලය ද මඟ හැරී ගත් ඒ ජීවිත අප ව සුගතිය කරා ගෙන යන්නේ නැත; එහෙයින් ඒ ජීවිත අප ව සත්‍යාවබෝධය කරා ගෙන නොයාම ගැන කථා කරන්නට දෙයක් නැත.

අප සියල්ලන්ට ම සසර උරුමය වූ ජරා ව්‍යාධි මරණ දකිනා කල්හි එයින් නිදහස් වීමේ බලවත් කැමැත්තත්, ඒ වෙනුවෙන් පිළිපන් ශ්‍රාවක සංඝරත්නය විෂයෙහි ගෞරවාදරයත් උපදවාගෙන මේ නිමිති සසර නවතන නිමිති කොට ගැනීමට අපිදු දක්ෂ වෙමු.