ලෙඩරෝග යනු කිසිසේත් ම සුව කළ නොහැකි ඒවා නොවේ. බොහෝමයක් ලෙඩරෝග සුව කරන්නට වුවමනා වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් ලෝකයේ තිබේ. ලෙඩක් නොහැදුනු අයවලුන් හෝ එසේ හැදුනු එකදු ලෙඩක් හෝ සුව නොවූ අයවලුන් ලෝකයේ නැත. එහෙත්, ලෙඩ වන ස්වභාවය කිසිවෙකුගෙන් බැහැර වන්නේ නැත. උපන්නා වූ සියලු සත්වයන් ලෙඩ වන බව සනාතන ධර්මතාවයකි. ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනගහනයක් වසරක් පුරා මේ මුහුණ දී සිටින්නේ ඒ ඉරණමට ය.

කොවිඞ් 19 වසංගත රෝග තත්ත්වයේ පැතිර යාම නිසා මේ වන විට මිනිස් ජීවිත මිලියනයකට වඩා අහිමි වී ඇත. වරෙක පසුබසින බවක් පෙන්වූව ද පෙරටත් වඩා ශීඝ්‍රයෙන් ආසාදිතයන් බිහි කරමින් වේගවත් ව පැතිරී යන ස්වභාවයන් සහිත ව නව කොරෝනා වෛරසය හිස ඔසවනු අපි දු අත්දැක්කෙමු. කොපමණ කාලයක් මේ පීඩාකාරී වටපිටාවේ දිවි ගෙවන්නට සිදුවනු ඇතිදැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. එනිසා, මේ එළඹ තිබෙන මොහොත අන් කවරදාටවත් වඩා තනි තනි වශයෙන් තම තමන් විසින් සමාජ වගකීමක් දරා ගත යුතු කාලසීමාවක් බව අප සිහි තබා ගත යුතු ය.

මෙම වෛරස් රෝගී තත්ත්වය නිධන්ගත රෝගයන්ගෙන් පීඩා විඳින හා වයස්ගත පිරිසට වඩාත් මාරාන්තික බලපෑමක් එල්ල කරන බව පැහැදිලි ව පෙනෙන්නට තිබේ. අන් බොහෝ රටවලට වඩා අප රටේ සංස්කෘතිය වැඩිහිටි ජනයා සමීප ව ඇසුරු කරනා පවුල් සංස්ථාවක් තුළට කේන්ද්‍ර වී තිබේ. සෑම නිවසකම පාහේ වැඩිහටියන් වසන අතර ඔවුන් බොහෝ දෙනෙකු කලාතුරකින් මිස සමාජයේ නොගැවසෙන්නවුන් බවට පවතින වටපිටාව තුළ පත්ව තිබේ. එසේ ම ළමා ප්‍රජාව ද නිවෙස්ගත ව සිටින අතර ඔවුන් ද බාහිර සමාජයට නිරාවරණය වන්නේ නැත. රැකියාවල නියුතු සහ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් නිවසින් පිටට පැමිණෙන තරුණ හා මැදිවයස් කාණ්ඩයන් මේ මොහොතේ බාහිර සමාජය හා නිවස යා කරන්නවුන් බවට පත්ව තිබේ. මේ තත්ත්වය පාලනයෙහි ලා ප්‍රමුඛතම කාර්යභාරය පැවරෙන්නේ ඔවුන්ට ය.

තම නිවසට රෝගකාරක ගෙනයන්නා බවට පත් නොවන වගකීම ඔබ දරා ගත යුතු ය. ඒ වෙනුවෙන්, කොතරම් පීඩාකාරී වූව ද නාසය හා මුඛය මැනැවින් ආවරණය වන පරිදි මුහුණු ආවරණ පැලඳීම ද හැකි සෑම විට ම සබන් යොදා අත් සේදීම ද එයට අවකාශ නොමැතිනම් සැනිටයිෂර් භාවිත කොට දෑත් පිරිසිදු කිරීම ද අනිවාර්යයෙන් ම කළ යුතු ය. ඔබ එයට මැලි වන්නේ යම් පමණකින් ද එපමණකින් ම ඔබ ඔබේත්, ඔබේ සමීපතමයන්ගේත් ජීවිත අනතුරට ඇද දමන බව අමතක නොකළ යුතු ය.
සම්බුද්ධ ශාසනයේ පවා ආයුෂය ලෙස දැක්වෙන්නේ විනය යි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් තුළින් අතික්‍රමණය කළ යුතුව තිබෙන මේ ව්‍යාධි බිය හමුවේ ද ජීවිත ඉන්ද්‍රිය සුරක්නා මූලිකාංගය බවට පත් වන්නේ විනය යි. මුහුණු ආවරණ, අත් ආවරණ, දෑත් සේදීම, සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම ආදී සෑම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ම මුල් බැස ගන්නේ ද ඵල දරන්නේ ද එයට ආවේණික විනය පද්ධතිය තුළ අප පිහිටි විට ය. රෝගකාරකයනට නිසැකවම නිරාවරණය වන පිරිසෙන් සිදුවන සෑම අතපසුවීමක් ම, නොසැලකිලිමත් හැසිරීමක් ම මෙම රෝගයේ සමස්ත සමාජ සම්ප්‍රේෂණය ඉහළ දමන අතර පුද්ගලික ව ඔවුනගේ සමීපතමයන්ව ජීවිත අවදානමට ලක් කරයි. එනිසා, නිවසින් පිට වන සෑම අවස්ථාවක ම මේ භාරදූර සමාජ වගකීම පරිපූර්ණව ඉටු කරන්නට ඔබ බැඳී සිටින බව සිහිපත් කළ යුතුව තිබේ.

ඔබ, නොසැලකිලිමත් බව හේතුවෙන් ජීවිත අවදානමකට ලක් කරන රෝග සම්ප්‍රේෂකයෙකු බවට කිසි විටෙකත් පත් නොවන්න. ඒ වෙනුවෙන්, වගකීම් සහගත වන්න.