ලොව හඳුනාගත් චරිතයක් බවට පත් වීම දෙයාකාරයකින් සිදු විය හැකි ය. ඒ, හොඳින් හෝ නරකිනි. මේ දෙයාකාරයට ම ඉතිහාසගත වූවන් ගැන අපි අසා ඇත්තෙමු. ඔවුන් ලෝක ඉතිහාසයේ තීරණාත්මක බලපෑම් සිදු කළවුන් ය. අද පවා මේ දෙයාකාරයේ චර්යාවන් නිසා ම ඉතිහාසගත වන චරිත අප අතර සිටී.

ඇතැම්හු ලොවට බොහෝ යහපත සලසති. එතුළින් ම ලෝ ප්‍රකට වෙති. පැසසුම් ලබති. ලෝ වැඩ සලසා මෙලොව සේ ම පරලොව ජීවිතය ද යහපත් එකක් බවට පත් කර ගනිති. ඒ අතරේ ම ඇතැම්හු ලොවට බොහෝ අයහපත සලසති. ලොව කුප්‍රකට වෙති. ගැරහුම් ලබති. ලොවට අහිත කොට මෙලොව ද පරලොව ද පිරිහීමට පත් වෙති. මෙසේ වන්නේ ඇයි?

හොඳ සේ ම නරක ද මිනිසුන් තුළ ස්වභාවයෙන් ම පවතී. මන්ද, මෙලොව උපදින කල්හි කුසල් මුල් සේ ම අකුසල් මුල් ද ඔවුන් තුළ පවත්නා බැවිනි. කුසල් මුල් සහමුලින් නැසී නොයන තාක් කල් ම ඒ තැනැත්තා තුළ යහපත වැඩී යාමේ ඉඩ නොසිඳී පවතී. එසේ ම, අකුසල් මුල් සහමුලින් ම නැසී නොයන තාක් කල් ම කවරෙකු හෝ වේවා සිටින්නේ අයහපත වැඩී යාමේ ඉඩ ඇතිව ම ය.

එනිසා, බොහෝ අයහපත් චර්යා සහිත වූවෙකු පසු කලෙක අතිශය පාරිශුද්ධ චරිතයක් ඇත්තෙකු බවට පත් වීම හෝ බොහෝ යහපත් චර්යා සහිත වූවෙකු පසු කලෙක අතිශය පාපී චරිතයක් ඇත්තෙකු බවට පත් වීම සිදු විය හැක්කකි. මෙකරුණ පුරුෂ ඉන්ද්‍රිය ඤාණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දැක වදාරණ ලද්දකි.

හෙළදිව ද ලෝකයේ ද බිහි වූ උදාර රාජ්‍ය පාලකයන් ගැන දැනුදු කථා කෙරෙන්නේ ඔවුන් ලොවට යහපත සලසා ශ්‍රේෂ්ඨ මිනිසුන් වගට පත් වූවන් වූ නිසා ය. ඒ ඇතැමුන් ලෝකයා විසින් දේවත්වයෙන් පුදන ලද්දෝය. මානුෂීය ගුණධර්මයන් ඉක්මවන ආකාරයේ දිව්‍යමය ගුණ ශෝභාවකින් යුතු වූ එවැනි පාලකයෝ සෑමකල්හි ම ගරු බුහුමන්, කිත් පැසසුම් ලබන්නෝ ය.

නුහුගුණයෙන් ලොව කුප්‍රකට වූවන් ද සෑමකල්හි ම කථාබහට ලක් වන්නෝ ය. නමුදු, කවර කලෙකවත් කිත් පැසසුම් නොලබන්නෝ ය. යමෙකුට ඉතිහාසගත වන්නට ලැබෙනවා නම්, එය නුවණැති ලෝකයා විසින් ගරු බුහුමනින් පුදන ආකාරයෙන් සිදු වීම සසර ගමනේ ලාභයකි.

ලෝකයේ ලිඛිත ඉතිහාසය තුළ සිතක උපදනා සියලු ගුණයන්ගෙන් පරිපූර්ණත්වයට පැමිණ ඉතිහාසගත වූ යම් උතුම් පුරුෂයෙකු ගැන කියැවේ නම් ඒ පුරුෂ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ වනාහී අපගේ ශාස්තෘවර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. කෙලෙස් මල රහිත පරම පිවිතුරු හද මඬලකින් වැඩ සිටිමින් සියලු ලෝකයාට සියලු යහපත දන් දුන්නේ උන්වහන්සේ ය. ඒ හා සම කළ හැකි ශ්‍රේෂ්ඨත්වයට පත් වීමක් දෙවියන්, බඹුන් අතරේ ද නැත. අප වනාහී ඒ පුරුෂෝත්තමයාණන් වහන්සේ ව සරණ යන්නට පුණ්‍ය වාසනා ලද්දවුන් ය. අප කැමති විය යුත්තේ ද අනුන්ගේ චිත්ත ස්වභාව දකිනා ඍද්ධි ඇති ඍද්ධිමතුන් ද දෙවියන් ද බඹුන් ද විසින් ගුණයෙන් වැඩී යන, ධර්මයෙන් වැඩී යන සම්බුදු ශ්‍රාවකයන් ලෙසින් හඳුනා ගන්නවුන් වීමට ය.

ලොව කවරෙකු හෝ අප නොපසසන ලද්දේ වුව ද ගුණ නොකියන ලද්දේ වුව ද පිදුම් නොකරන ලද්දේ වුව ද කම් නැත. සත්පුරුෂයන්ගේ ධර්මය තුළ නුවණැති සත්පුරුෂයන් විසින් අප පිදුම් ලැබීමට සුදුසු චර්යා ඇත්තවුන් ලෙස හඳුනා ගැනෙන්නේ නම් එය ප්‍රමාණවත් ය. සිත ද කය ද වචනය ද හික්මවමින්, සංවර කර ගනිමින් සුචරිතයෙහි හැසිරෙන කල්හි අප සමීප වන්නේ එයට යි. ඒ අතරේ අප ඉතිහාසගත වුවහොත්, එය ද යහපතින් මිස අයහපතින් නම් නො වේ…!