අප්‍රමාදී බව කියන එක ම වදන තුළට…

මේ ලෝකයේ හැසිරෙන දෙපා, සිවුපා, බහුපා සියලු ම සත්වයන්ගේ පියවර සටහන් ඇතාගේ පියවර සටහන තුළට ඇතුළත් කළ හැකි ය. එමෙන් ම යම්තාක් කුසල් දහම් ඇද්ද, ඒ සියල්ල ම අප්‍රමාදී බව කියන එක ම එක කරුණ තුළට ඇතුළු කළ හැකි බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

පිනට භය වෙන්න එපා!

අප්‍රමාදී බව ජීවිතයට රැකවරණ සලසා දෙයි. සැප සතුට උදා කර දෙයි. අපි සියලු දෙනාම කරුණු දෙකක් මුල් කරගෙන අප්‍රමාදී විය යුතු ය. එකක් නම් ජීවිතයට පින් දහම් එකතු කර ගැනීම පිණිස අප්‍රමාදී විය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ පිනට භය වෙන්න එපා කියලයි (මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ). නිරතුරුව ම කුසල් දහම් වඩන්න (කත්තබ්බං කුසලං බහුං) කියලයි. මේ ජීවිතය තුළ අපි රැස්කර ගන්නා කුසල් දහම් අපගේ සංසාරික ජීවිතය සැපවත් කරයි. මේ ජීවිතයේ යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලැබීමට හේතුව අනිකක් නොව සසර දී කරන ලද පින් දහම් ය. දිව්‍ය මනුෂ්‍ය ආදී සුගති ලෝකවල උපත ලබන්නේ පින නිසා ම ය. ධර්මාවබෝධයට සුදුසු පරිසරයක් සකස් කර දෙන්නේ ද පින් නිසා ම ය.

එදිනෙදා ජීවිතයට අප්‍රමාදය…

අප අප්‍රමාදී විය යුතු දෙවන කරුණ නම් මේ සංසාර දුකින් නිදහස් වීම යි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අසුරු සැණක් ගසන තරම් කාලයක්වත් භවය වර්ණනා නොකරන බවයි. ඒ නිසා ඉතා ඉක්මනින් මේ සංසාර දුකින් නිදහස් වීමට අප වීරිය කළ යුතු ය. එදිනෙදා ජීවිතයේ ඇති බොහෝ වැඩකටයුතු නිසා අපි ධර්මයේ හැසිරීම පසුවට කල් තබමු. බොහෝ විට අපි සිතන්නේ රැකියාවක් ලබාගැනීම, ගෙයක් දොරක් හදා ගැනීම, දරුවන්ට ඉගැන්වීම ආදිය අපට තිබෙන ප්‍රධාන ගැටළු, ප්‍රශ්න විදිහට යි. නමුත් වයසට යාම, ලෙඩ වීම, මරණයට පත් වීම යන කරුණු අපි සෑම දෙනාටම උරුම වී ඇති ඉතා ම බරපතළ ප්‍රශ්න බව හඳුනාගැනීමට තරම් අප ඒ ගැන සිතීමට පෙළඹී නැත. ගෙදර දොර කටයුතුවලින් නිදහස් වෙලා ජීවිතයේ අවසාන කාලයේ ධර්මයේ හැසිරීමට බොහෝ දෙනෙකු සිතා සිටිති. එයට හේතුව නම් ඕනෑම මොහොතක අපට මරණයට මුහුණදීමට සිදු වේ යැයි නොසිතීම ය. මේ නිසා ප්‍රමාදී පුද්ගලයාට අප්‍රමාදී බව පිණිස නිතර ම මරණසති භාවනාව පුරුදු කළ යුතු යැයි බුදු සමිඳාණෝ දේශනා කොට වදාළහ. ඉහළට ගත් ආශ්වාස වාතය පහළට හෙළන තරම් කාලයක්වත් අපට ජීවත් වීමට හැකි වේ දැයි කිසිවෙකුට කිව නොහැක. මේ ජීවිතය ඒ තරමට ම අස්ථිර වූ දෙයකි.

එනමුත් බොහෝ විට අපි කරන්නේ අනාගතයේ සිදු කරන්නට බලාපොරොත්තු වන දේවල් පිළිබඳ ව සැලසුම් කරමින් ඒවාට ම වෙහෙස වීමයි. බොහෝ විට ඒ සැලසුම් සිත ඇතුළේ තබාගෙන ම මිය යන්නට සිදු වේ. මරණසති භාවනාව පුරුදු කරන කෙනා ඉතා ඉක්මනින් මේ සංසාර දුකින් නිදහස් වීම පිණිස වීරිය කරයි. නිරතුරුව ම සමථ විදර්ශනා දියුණු කිරීමට උත්සාහ කරයි. ඒ නිසා ධර්මාවබෝධ කිරීම පසුවට කල් තබා ප්‍රමාදී වන අය අප්‍රමාදී බව ඇති කර ගැනීම පිණිස නිතර නිතර මරණසතිය වැඩීම පුරුදුකර ගත යුතු ය.

– මරණානුස්සති භාවනාව –

ඉපදුණා වූ සියලු ම සත්වයෝ මරණයට පත්වන්නෝ ය. දෙව්ලොවෙහි දෙවියන් ද බඹලොවෙහි බ්‍රහ්මයන් ද සතර අපා වැසි සත්වයන් ද සියලු මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය. ඉපදුණා වූ කිසිම සත්වයෙකුට මරණයෙන් ගැලවිය නොහැක. සියලු දෙනාම මරණයට මුහුණ දිය යුතු ය. කුමන මොහොතක කුමන කරුණකින් කෙසේ මරණය සිදුවේදැයි කිසිවෙකුට කිව නොහැක.
මවු කුස තුළදී ද මවු කුසින් බිහිවන මොහොතේ දී ද ළදරු කාලයේ දී ද ළමා කාලයේ දී ද තරුණ කාලයේ දී ද මැදි වයසේ දී ද මහලු වයසේ දී ද ඕනෑම කෙනෙකු මරණයට පත් විය හැකි ය. ඉපදුණා වූ කෙනෙකු මේ කාලයේ දී මේ අයුරින් මරණයට පත් වේ යැයි කිසිවෙකුට කිව නොහැක. මරණයට පත් වීම කෙරෙහි වයස් භේදයක් නැත.

ධනවත් පුද්ගලයෝ ද දුප්පත් පුද්ගලයෝ ද උගත් පුද්ගලයෝ ද නූගත් පුද්ගලයෝ ද බලවත් පුද්ගලයෝ ද දුබල පුද්ගලයෝ ද කුලවත් පුද්ගලයෝ ද කුලහීන පුද්ගලයෝ ද ගුණවත් පුද්ගලයෝ ද ගුණහීන පුද්ගලයෝ ද රූපවත් පුද්ගලයෝ ද විරූපී පුද්ගලයෝ ද දක්ෂ පුද්ගලයෝ ද අදක්ෂ පුද්ගලයෝ ද මරණයට පත් වන්නේ ය. මරණයට පත් වීම කෙරෙහි පුද්ගල භේදයක් නැත.
උදෑසන කාලයේ දී ද දහවල් කාලයේ දී ද සැන්දෑ කාලයේ දී ද රාත්‍රී කාලයේ දී ද ඕනෑම පිරිමියෙකු හෝ ඕනෑම ස්ත්‍රියක හෝ මරණයට පත් විය හැකි ය. මරණයට පත් වීම කෙරෙහි කාල භේදයක් නැත.

දියෙහි ගිලීමෙන් ද ගින්නට හසු වීමෙන් ද වස විෂ ශරීරගත වීමෙන් ද මරණය සිදු විය හැකි ය. ලෙඩ රෝග නිසා ද භූමි කම්පා – ජල ගැලීම් ආදී ස්වාභාවික විපත් නිසා ද හදිසි අනතුරු නිසා ද විෂ සතුන් දෂ්ඨ කිරීමෙන් ද අමනුෂ්‍යයන් නිසා ද වෙනත් අයෙකුගේ උපක්‍රමයක් නිසා ද ආයුෂ ගෙවී යාමෙන් ද ආහාර හිරවීමෙන් ද ජලය හිරවීමෙන් ද හුස්ම හිරවීමෙන් ද පය පැටලී වැටීමෙන් ද මරණයට සිදු විය හැකි ය. මරණයට පත් වීම කෙරෙහි අවස්ථා භේදයක් නැත.

සියලු කෙලෙසුන් නැසූ, බුදුරජාණන් වහන්සේලා ද පසේබුදුරජාණන් වහන්සේලා ද මහරහත් උතුමන් වහන්සේලා ද පිරිනිවන් පා වදාළ සේක. මග ඵලලාභී උතුමෝ ද මරණයට පත්වූහ.

රෑ දවල් ගෙවී යන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය මරණය කරා ගෙන යමින් ය. ඉහළට ගත් ආශ්වාස වාතය, පහළට හෙළන කාලය තරම් ඉතා සුළු කාලයක්වත් ජීවත් වීමට හැකි වේ දැයි කිසිවෙකුට කිව නොහැකි ය. ඒ අයුරින් ඉතා සුළු කාලයක දී පවා ඕනෑම අයෙකු මරණයට පත් විය හැකි ය. ඉපදුණු සියලු සත්වයන්ට, මරණය උරුම වූ දෙයකි. ජීවත් වන කාලය තුළ කුසල් දහම් දියුණු කළ යුතු ය. සමථ විදර්ශනා වැඩිය යුතු ය. සංසාර දුකින් මිදීම පිණිස ම වෙර වීරිය කළ යුතු ය. හිස ගිනිගත් අයෙකු ඒ ගින්න නිවීමට යම් සේ උත්සාහ කරන්නේ ද වීරිය කරන්නේ ද ඒ අයුරින් ම සංසාර දුකින් මිදීම පිණිස ම නිතර වීරිය කළ යුතු ය. අප්‍රමාදී විය යුතු ය.

උපුටා ගැනීම – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ‘සිතට සුව දෙන භාවනා’ ග්‍රන්ථයෙනි.